|
මා දුටු අවතාර් මේ ලිපියේ අරමුණ මේ දිනවල මෙරට සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කෙරෙන අවතාර් (Avatar) නම් ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැන සිංහල බෞද්ධයකු ලෙස අප ගේ ඇසින් ම බලා විචාරයක් කිරීම ය. මේ විචාරය එම බටහිර චිත්‍රපටය සිංහල බෞද්ධයකු දුටු ආකාරය ඒත්තු ගැන්වීමට මිස චිත්‍රපට වර්ණනාවක් සඳහා නො වන බව ද කරුණාවෙන් සලකන්න. "අවතාර්" චිත්‍රපටයේ නමට අදාළ ඉංග්‍රීසි උච්චාරණය කුමක් වුව ද එය නිර්මාණය වී ඇත්තේ පෙරදිග අප කවුරුත් පාහේ සාමාන්‍යයෙන් දන්නා අවතාර සංකල්පය සම්බන්ධ කරගෙන බව කිව හැකි ය. චිත්‍රපටයේ දැක්‌වෙන පරිදි මෙලොව මිනිස්‌සු ක්‍රිස්‌තුවර්ෂ 2914 දී වෙනත් චක්‍රාවාටයක පිහිටි "පැන්ඩෝරා" නම් චන්ද්‍ර (උපග්‍රහ) ලෝකයක ඛනිජ සම්පත් ගවේෂණයකට සූදානම් වීමේ දී එහි පළමු අදියර ලෙස පරිසර හිතකාමීව එලොව ජීවත් වන "නාවී" නම් දියුණු ජීවීන් කොට්‌ඨාසයක් සමග සම්බන්ධීකරණ කටයුතු ඇරඹීමේ මෙහෙයුමක් සිදු කරගෙන යති. පෘථිවි මිනිසුන්ට අදාළ ග්‍රහලෝකයේ ඇති වායුගෝලය හිතකර වන අතර මෙහෙයුමේ පළමු පියවර ලෙස ඔවුහු එහි වෙසෙන "නාවී" නම් මනුෂ්‍යාභයන්a (මනුෂ්‍යන් වැනි දියුණු ජීවීන්) පිරිස එහි ඛනිජ සම්පත් ඇති ස්‌ථානවලින් ඉවත් කිරීම සඳහා කැමැති කරවා ගැනීමේ පළමු පියවර උදෙසා අවතාර් නමින් හැඳින්වෙන "නාවී" ජීවින් වැනි ම වූ ශරීර කෘත්‍රීමව නිර්මාණය කරති. "අවතාර් (Avatar) නම් එම ශරීර වාහනය (මාධ්‍යය) ලෙස යොදා ගනිමින් තෝරාගත් මිනිසුන් කිහිප දෙනකු "නාවී" ජනයා සමග සම්බන්ධකම් පැවැත්වීමේ මෙහෙයුමකට යොදා ගැනෙයි. එනම් උපකරණයක් භාවිතයෙන් අවතාර් ශරීරයන්ට තෝරාගත් මිනිසුන් ආරූඪ කරවා "නාවී" ජනයා අතරට යවනු ලැබේ. "අවතාර්" ශරීරයට මිනිසකු ආරූඪ වූ පසු අදාළ මිනිස් ශරීරය අක්‍රිය නිද්‍රdවකට පත් වේ. එමෙන්ම නැවතත් මිනිස් ශරීරයට එම පුද්ගලයා පැමිණි පසු "අවතාර්" ශරීරය අක්‍රිය වේ. මේ අනුව මේ අනුව එක් වරකට එක් ශරීරයක් පමණක් සක්‍රිය වන අතර අනෙක් ශරීරය අක්‍රිය වේ. එනම් මිනිස් ශරීරය සක්‍රිය වන විට අවතාර් ශරීරය අක්‍රිය වන අතර අවතාර් ශරීරය සක්‍රිය විට මනුෂ්‍ය ශරීරය අක්‍රිය වේ. එනම් කිසිදු අවස්‌ථාවක මිනිස් ශරීරය සහ අවතාර් ශරීරය එක ම මොහොතක සක්‍රියව නො පවතී. මෙය අපට සක්‍රිය-අක්‍රිය අවතාරයක් ලෙස හැඳින්විය හැකි ය. මෙය අප කවුරුත් පාහේ දන්නා කියන පෙරදිග අවතාර සංකල්පයට වඩා තරමක් වෙනස් තත්ත්වයකි. අප ගේ පෙරදිග අවතාර සංකල්පයේ කිසියම් පුද්ගලයකු හට දෙතැනක හෝ කිහිප තැනක හෝ එක ම අවස්‌ථාවක සක්‍රියව ක්‍රියා කළ හැකි ය. අප ගේ බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොව අභිධර්මය දේශනා කරන අවස්‌ථාවේ දී ම උන්වහන්සේ මෙලොව උතුරුකුරු දිවයිනේ පිඬුසිඟා වැඩ ඉන්පසු දන් වළඳා සැරියුත් තෙරුන්ට සංක්‌ෂිප්ත අභිධර්ම දේශනයක් ද කළ සේක. මෙහි දී වැදගත් කාරණය වන්නේ තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කරමින් සිටිය දී ම මෙලොව කටයුතු ද ඒ මොහොතේ දී ම බුදුරජාණන්වහන්සේට කරගෙන යැමට තිබූ විශේෂ හැකියාවයි. එනම් බුදුන් වහන්සේට අවතාර වශයෙන් එක ම මොහොතේ ම වෙනත් ස්‌ථාන කිහිපයක සිටිමින් වුව ද එකිනෙකට වෙනස් කර්තව්‍යයන් කරගෙන යාමේ හැකියාවක් තිබූ බව මේ අනුව තහවුරු වේ. මෙය සක්‍රිය-සක්‍රිය අවතාරමය අවස්‌ථාවක් ලෙස අපට හැඳින්විය හැකි ය. චුල්ලපන්ථක තෙරුන්වහන්සේ ගේ කථාව එවැනි ම සක්‍රිය-සක්‍රිය අවතාර පිළිබඳ උදාහරණයකි. චුල්ලපන්ථක තෙරුන්වහන්සේ බුදුරජාණන්වහන්සේ ගෙන් කමටහන් ලබාගෙන සුදු රෙදිකඩක් අතින් පිරිමැදීමෙන් පසු අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධ කොටගෙන රහත් බවට පත් වූ සේක. උන්වහන්සේ රහත්භාවය ලැබීමේ දී විශේෂ අමතර හැකියාවක් ද ලද හ. එනම් උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ එකවර ශරීර රාශියකින් පෙනී සිටිය හැකි භික්‌ෂුන්වහන්සේලා අතර අගතැන්පත් වූ සේක. එනම් චුල්ලපන්ථක තෙරුන්වහන්සේට එක ම අවස්‌ථාවක විශාල අවතාර ප්‍රමාණයක් මැවීමේ විශේෂ හැකියාවක් තිබුණු බව හඳුනාගත හැකි ය. මෙහි දී බටහිර චිත්‍රපට කතා රචකයන් ගේ අවතාර වැනි පෙරදිග සංකල්ප චිත්‍රපට සඳහා අවශෝෂණය කිරීමේ දී මෙවැනි ඌනතාවන් ඇති වන්නේ ඔවුන් ගේ චින්තනය මත පදනම් වී ඇති ද්විකෝටික න්‍යායේ සීමාවන් නිසා බව අප ගේ වැටහීමයි. දඹදිව චතුස්‌කෝටික න්‍යාය ඇසුරෙන් බිහි වූ අවතාර වැනි සංකල්ප බටහිර ද්විකෝටික න්‍යායෙන් තේරුම් ගත් විට පැවතිය හැක්‌කේ සක්‍රිය-අක්‍රිය සහ අක්‍රිය-සක්‍රිය අවස්‌ථාවන් පමණි. එනම් අවතාරයන්හි සක්‍රිය-සක්‍රිය අවස්‌ථාවක් ඔවුන්ට නො ලැබේ. එනම් පහත සඳහන් අවස්‌ථාවලින් තුන් වැනි සහ හතර වැනි අවස්‌ථාවන් ද්විකෝටික න්‍යායේ දී නො ලැබේ. 1. සක්‍රිය-අක්‍රිය 2. අක්‍රිය-සක්‍රිය 3. සක්‍රිය-සක්‍රිය 4. අක්‍රිය-අක්‍රිය පෙරදිගින් ලබාගත් අවතාර සංකල්පයට අමතරව තවත් වැදගත් සංකල්පයක් අපට අවතාර් චිත්‍රපටයේ දී දැකගැනීමට ලැබිණ. එනම් කිසියම් ජාතියක හෝ ජනවර්ගයක විශ්වාසය දිනා ගත හැකි වියුක්‌ත වීර චරිත ගොඩනැඟීමක් පිළිබඳ උදාහරණයකි. චිත්‍රපටයේ එක්‌තරා අවස්‌ථාවක එහි කථානායකයා වන ඡේක් සැලී නමැති පුද්ගලයා ඔහු ගේ අවතාර් ශරීරය ඇසුරෙන් "නාවී" ජනයා ගේ (මනුෂ්‍යාභයන් ගේ) ගෝත්‍රිකයකු වීමට අදාළ සුදුසුකම ලබාගනී. ඉන්පසු ඔහු "ඔම්ටකායා" නම් නාවී ගෝත්‍රයේ සාමාජිකයකු ලෙස පිළිගැනේ. එම ගෝත්‍රයේ වැඩිහිටි සාමාජිකයකු වීමට එහි චාරිත්‍ර සහ ජීවන රටාව පිළිපැදිය යුතු ය. එහි වැඩි විය පැමිණි සෑම සාමාජිකයකු ම පියාඹන මෘග පක්‌ෂියකු හීලෑ කරගත යුතු ය. වරක් හීලෑ කරගත් පසු එම මෘග පක්‌ෂියා ජීවිත කාලයට ම ගෝත්‍රික සාමාජිකයකු ගේ පෞද්ගලික ගුවන් ගමන් වාහනය ලෙස දැඩි බැඳීමකින් යුතු ව දිගට ම ක්‍රියා කරනු ලැබේ. එවැනි මෘග පක්‌ෂීන් වර්ග දෙකක් සිටින අතර එක වර්ගයක් කොළ පැහැති ය.. අනෙක් වර්ගය රතු පැහැති ය. සාමාන්‍යයෙන් අදාළ ගෝත්‍රික පුහුණුව ඇත්නම් තරමක උත්සාහයකින් පසු කොළ පැහැති පක්‌ෂියකු හීලෑ කරගැනීම අපහසු නො වේ. එහෙත් රතු පැහැති පක්‌ෂීන් ශරීර ප්‍රමාණයෙන් විශාල සහ දරුණු මෘගයන් බැවින් හීලෑ කරගැනීමට ඉතා ම අපහසු ය. එබැවින් කිසිදු සාමාන්‍ය ගෝත්‍රිකයෙක් රතු මෘග පක්‌ෂීන් හීලෑ කරගැනීමට ඉදිරිපත් නො වේ. එහෙත් ඔම්ටකායා ගෝත්‍රයේ ඈතට දිවෙන ඉතිහාසයේ පෙර සිටි නායකයන් අතරින් පස් දෙනකු පමණක් එම හපන්කම කර ඇත. එම ගෝත්‍රයේ වර්තමාන සාමාජිකයන් කිසිවකුත් එම හපන්කම කිරීමට අසමත් වූ බැවින් එහි කිසිවකුත් රතු මෘග පක්‌ෂියකු සිය පෞද්ගලික වාහනය ලෙස භාවිත නො කරති. ඡේක් සැලී, ඔම්ටකායා ගෝත්‍රිකයන් අතර එක්‌තරා අවස්‌ථාවකින් පසු අවිශ්වාසයකට (විශ්වාස භංගයකට) භාජන වන අතර ඉන්පසු ඔහු කෙරෙහි ගෝත්‍රයේ විශ්වාසය කඩ වී යයි. ඔහු නැවත ගෝත්‍රයේ විශ්වාසය දිනාගැනීමට උපක්‍රමයක් ලෙස ඉතා දැඩි ආයාසයකින් පසු රතු පැහැති මෘග පක්‌ෂියකු හීලෑ කරගෙන නැවතත් ගුවනින් ගෝත්‍රිකයන් අතරට පැමිණි පසු සෙසු සියලු ම ගෝත්‍රික සාමාජිකයෝ දණ නමා ඔහු සිය නායකයා ලෙස පිළිගනිති. ඉන්පසු සියලු දෙනා ම ඔහු ගේ බසට අවනත ව ක්‍රියා කර ආක්‍රමණිකයන්ට එරෙහි සටන ජය ගනු ලැබේ. මෙහි දී වැදගත් කාරණය වනුයේ අදාළ ප්‍රජාව ගේ සාම්ප්‍රදායික විශ්වාසයක් වූ රතු පැහැති මෘග පක්‌ෂියකු හීලෑ කරගන්නා පුද්ගලයා ශ්‍රේෂ්ඨ නායකයකු ය යන කාරණය භාවිතයෙන් එම ප්‍රජාව ගේ අවධානය ලබාගැනීම සහ එමඟින් ඔවුන්ව ජයග්‍රහණය සඳහා මෙහෙයවීම යන කාරණයයි. රතු මෘග පක්‌ෂියකු හීලෑ කරගැනීම යන්න මෙහි දී වියුක්‌තව ගෝත්‍රයේ ශ්‍රේෂ්ඨ නායකයන් හඳුනා ගැනීමේ ලක්‌ෂණයකි. එනම් රතු මෘග පක්‌ෂියකු හීලෑ කරගත හැකි ඕනෑ ම කෙනකුට එම ගෝත්‍රයේ ශේ්‍රෂ්ඨ නායකයකු වීමේ හැකියාව පවතී. මෙහි දී අපට සිහියට නැඟෙන්නේ සිදුහත් කුමාර උත්පත්තියෙන් පසු එක සිය අටක් වූ බමුණන් විසින්, සක්‌විති රජකමට හෝ බුදු බවට හෝ පත් වන බවට කළ ප්‍රකාශයයි. එයිනුත් කොණ්‌ඩඤ්ඤ තවුසා විසින් සිදුහත් කුමරු අනිවාර්යයෙන් ම බුදු වන බව ප්‍රකාශ කරන ලදී. එක සිය අටක් වූ බමුණන්ට එසේ ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබුණේ සක්‌විති රජ සහ බුද්ධ සංකල්පයන් සිදුහත් කුමරු උපදින අවස්‌ථාව වන විටත් එකල දඹදිව ව්‍යාප්ත ව තිබූ බැවිනි. සිදුහත් කුමාර උත්පත්තියටත් පෙර බුද්ධ සංකල්පයේ ව්‍යාප්තිය දඹදිව සිදු වූ ආකාරය ලෙස බෞද්ධ පොත පතේ සඳහන් වන්නේ සතර වරම් දෙවියන් විසින් බුදු කෙනකු පහළ වීමට පෙර ලොව පුරා ම කරන ලද ප්‍රචාරණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එහි දී සතර වරම් දෙවියන් විසින් බුදු කෙනකු හඳුනාගන්නා ශාරීරික ලක්‌ෂණ ආදිය මිනිසුන්ට දන්වා සිටින ලද අතර එහි දී දෙ තිස් මහා පුරුෂ ලක්‌ෂණ ගැන ද සඳහන් වේ. සේල සූත්‍රයේ සඳහන් පරිදි වරක් සේල නම් බමුණකු බුදුරජාණන්වහන්සේ අභියසට පැමිණ දෙතිස් මහා පුරුෂ ලක්‌ෂණ අනුව උන්වහන්සේ නියත වශයෙන් ම බුදුන් බව සාක්‌ෂාත් කරගැනීම යන කාරණය මෙහි දී මතක් කළ හැකි ය. එමෙන්ම බුදුවරයකුට පමණක් සිදු කළ හැකි යමාමහ පෙළහර පෑම නියත වශයෙන් ම බුදු බව ලැබූ බව ඔප්පු කරන්නා වූ ද, දඹදිව ජනයා අතර පැතිර තිබුණු බුදු කෙනකු හඳුනා ගන්නා විශේෂ ලක්‌ෂණයක් වන්නට ද බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු සැට නමක් වූ පළමු රහතන් වහන්සේලා බුදුන් පහළ වූ බව දඹදිව වැසියන්ට දැනුම් දීම සඳහා ධර්ම ප්‍රචාරයේ වැඩි සේක. එමෙන් ම බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසා ව සිටිය දී බුදු වීමෙන් පසු සිය රාජ්‍යයේ අගනුවර වන රජගහ නුවරට වඩින ලෙස කළ ආරාධනයක් අනුව පසුව එනුවරට බුදුරජාණන් වහන්සේ වැඩමවූ බව ද සිහි කළ යුතු කරුණකි. මෙහි දී සිදුහත් තවුසා බුදු වීමට වීර්යය වඩන බව බිම්බිසාර රජු විසින් සිදුහත් තවුසා බුදු වීමට පෙර සිට ම දැන සිටීමෙන් ශාක්‍ය ජනපදයෙන් එපිට පිහිටි මගධ රාජ්‍යයේ පවා බුද්ධ යන සංකල්පය පැතිර පැවති බව හඳුනාගත හැකි ය. මෙකී සියලු කරුණුවලින් පෙනී යන්නේ බුද්ධ සංකල්පය සිදුහත් කුමරු බුදු වීමට සහ ඉපදීමට පෙර සිට ම දඹදිව මධ්‍ය ප්‍රදේශයේ ජනයා අතර පැවති බවයි. එම සංකල්පය සතර වරම් දෙවියන් මුල් වී ප්‍රචාරය ආරම්භ වී දඹදිව පැතිරී තිබීම බුදුරජාණන්වහස්‌සේට ධර්ම ප්‍රචාරය හඳහා අවශ්‍ය සමාජීය පිළිගැනීම ලැබීමට මනා පහසුවක් ද වන්නට ඇත. එමෙන්ම බුදුසසුනට රාජ්‍ය අනුග්‍රහය නොමඳව ලැබෙන්නට එම බුද්ධ සංකල්පය කලින් ම හඳුනාගෙන තිබීම වැදගත් වන්නට ඇත. සක්‌විති රජකම ද එවැනි ම දඹදිව වැසියන් අතර පැතිර තිබූ තවත් වැදගත් වියුක්‌ත නායක සංකල්පයක් වන්නට ඇත. මේ අනුව දඹදිව එවැනි ශේ්‍රෂ්ඨ නායකයන් සඳහා වියුක්‌ත පුද්ගල ආකෘති පැවතී ඇත. එනමුත් ලක්‌දිව සමාජයේ එවැනි ශේ්‍රෂ්ඨ නායක ආකෘති බිහි වී නොමැත. ඒ වෙනුවට දියසේන කුමරු වැනි සංයුක්‌ත චරිත සහ දුටුගැමුණු රජු විසින් වැනි නිශ්චිත වීරයන් මෙරට බිහි වී ඇත. එනම් දියසේන කුමරුට පහළ විය හැක්‌කේ එක් වරක් පමණි. අපට ඇත්තේ එක් දුටුගැමුණු රජ කෙනකු පමණි. නැවතත් දුටුගැමුණු රජවරුන් හෝ දෙවැනි දියසේන කුමරකු හෝ මෙරටේ පහළ වීමට ඉඩක් නැත. එම නිසා දියසේන කුමාර සංකල්පය සංයුක්‌ත වීර චරිතයක් වන අතර දුටුගැමුණු රජු නිශ්චිත වීර චරිතයකි. එනමුත් ඉදිරියටත් බුදුවරු සහ සක්‌විති රජවරු මෙලොව පහළ වෙත්. එබැවින් බුදු බව සහ සක්‌විති රජකම වියුක්‌ත වීර චරිත වෙයි. එනම් අදාළ සුදුසුකම් සම්පූර්ණ කොට ඇත්නම් ඕනෑ ම කෙනකුට අදාළ සමාජයේ වියුක්‌ත වීර චරිතයට හිමි පිළිගැනීම එම ජනතාව ගෙන් ලැබේ. මේ අනුව අවතාර් චිත්‍රපටයේ පෙන්වන රතු මෘග පක්‌ෂියා හීලෑ කරගැනීමෙන් පසු බිහි වන වීර චරිතය ද එවැනි වියුක්‌ත වීර චරිතයකි. එහි ඕනෑ ම රතු මෘග පක්‌ෂියකු හීලෑ කරගන්නට සමත් වන්නකුට එම වීරත්වයට පිළිගැනීම එම ගෝත්‍රයෙන් ලැබේ. මෙයින් දක්‌වා සිටියේ මා අවතාර් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට දුටු ආකාරයයි. මේ ලිපිය කියවන ඔබ වෙනත් විධියකින් "අවතාර්" චිත්‍රපටය දකින්නට ඇත. අපි සියලු දෙනා ම දකින්නේ එක ම චිත්‍රපටයක් නො වන බව සිහි තබා ගනිමු. ඉන්දික ප්‍රසාද් කුමාර පරිගණක ජාල විශේෂඥ
|
|
||||
|
|||||