logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම :
ධනේශ් විසුම්පෙරුම

පාරිසරික බලපෑම් හමුවේ
ජෛව ඉන්ධනවල අනාගතය


ජෛව ඉන්ධන පිළිබඳව ලෝකයේ බොහෝ රටවල අවධානය යොමු වී ඇත. ඒ නිසා මේ අංශය සැලකිය යුතු තරම් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. විශේෂයෙන් හරිත ආර්ථිකයක්‌ හා අඩු කාබන් ආර්ථිකයක්‌ වෙත යොමු වීම සඳහා ඇති වී තිබෙන නව ප්‍රවණතාව ද මේ අංශයේ වර්ධනයට හේතු වී තිබේ. මේ වන විට දියුණු මෙන්ම දියුණු වන රටවල් ගණනාවක්‌ ජෛව ඉන්ධන භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කිරීමට ඉමහත් වූ අවධානයක්‌ යොමු කර ඇති අතර, මේ වන විට ඇතැම් රටවල් ඒ සඳහා ඉලක්‌ක හා නිශ්චිත දින පවා නියම කර තිබේ. එසේම විවිධ සහනාධාර ලබා දීමට ද බොහෝ රටවල් පියවර ගෙන ඇත.

ජෛව ඉන්ධන නිෂ්පාදනය නිසා ඇති වී තිබෙන ගැටලූ අතර පාරිසරික ගැටලූ මෙන්ම ආර්ථිකමය ගැටලූ ද තිබේ. මේ ආර්ථික ගැටලූ අතර ආහාර නිෂ්පාදනය අඩාළ වීම, ඒ නිසා ම ආහාර මිල ඉහළ යැමට ඇති වන බලපෑම හා ඇතැම් ජෛව ඉන්ධනවල අධික නිෂ්පාදන වියදම ප්‍රධාන වේ. කෙසේ වෙතත් අප මෙහි දී අවධානය යොමු කරන්නේ මෑත දී වාර්තා වූ එවැනි පාරිසරික ගැටලූ හා පර්යේෂණ කිහිපයක්‌ පිළිබඳව ය.

ප්‍රධාන පරිසර බලපෑම්

ජෛව ඉන්ධන නිසා පරිසරයට ඇති වන බලපෑම් කලක පටන් අවධානයට ලක්‌ ව ඇති විෂයයකි. මේ පාරිසරික බලපෑම් අතර වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්‌ ව ඇත්තේ ජෛව ඉන්ධන නිපදවීමට යොදාගන්නා ශාක වගා කිරීම සඳහා ස්‌වාභාවික වනාන්තර හා තෘණ භූමි වැනි සුවිශේෂී පරිසර පද්ධති විශාල වශයෙන් හෙළි පෙහෙළි කිරීමට ඇති වී තිබෙන පෙලඹවීම ය. කෘෂි භෝග වගා කරන බිම් මේ සඳහා යොදාගැනීම නිසා ආහාර නිෂ්පාදනය අඩාළ විය හැකි බැවින් ජෛව ඉන්ධන වගා කිරීම සඳහා නව ඉඩම් යොදාගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත. පාම් තෙල් නිෂ්පාදනය සඳහා කටු පොල් වගා කිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ සිදු වන අධික වන විනාශය මේ සඳහා ඇති ප්‍රකට නිදසුනකි. මේ තත්ත්වය නිසා තවත් පාරිසරික ගැටලූ රැසක්‌ ඇති වේ. ඒවා අතර ජෛවවිවිධත්වය අහිමි වීම, හරිතාගාර වායු විමෝචන නිකුත් වීම ඉහළ යැම වැනි කරුණු දැක්‌විය හැකි ය. ඉහත පෙන්වා දුන් අධික වන විනාශය නිසා අධික ජෛවවිවිධත්වයක්‌ ඇති රටක්‌ වන ඉන්දුනිසියාවේ ජෛවවවිවිධත්වය දැඩි තර්ජනයකට ලක්‌ වී තිබීම මේ සඳහා නිදසුනකි.

වගා කිරීමට යොදාගත නොහැකි මුඩු ඉඩම්වල ජෛව ඉන්ධන වගා කිරීම මේ සඳහා ඉදිරිපත් ව ඇති විකල්පයකි. එහෙත් එතරම් අවධානයට ලක්‌ නො වුව ද ජෛව ඉන්ධන වගා කිරීම සඳහා යොදවන විවිධ යෙදවුම් මඟින් පරිසරයට එකතු වන පෝෂක මඟින් සිදු වන පරිසර දූෂණය ද ඇති විය හැකි ය. ඇමෙරිකාවේ මධ්‍ය බටහිර ප්‍රදේශයේ එතනෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉරිඟු වගා කිරීම විශාල ලෙසින් සිදු වේ. මේ නිසා මිසිසිපි නිම්නයේ හා මෙක්‌සිකෝ බොක්‌ක ප්‍රදේශයේ පරිසර දූෂණ තර්ජනයක්‌ ඇති වී තිබේ. ඒ තත්ත්වය උක්‌ත පරිසර පද්ධතිවලට හා ධීවර කර්මාන්තයට ද බලපැම් ඇති විය හැකි බව ඇමෙරිකාවේ ජෛව ඉන්ධන ප්‍රතිපත්තිය පිළිබඳව මෑතක දී නිකුත් වූ වාර්තාවක්‌ පෙන්වා දී ඇත. එසේම මිසිසිපි නදී නිම්නයේ ජල හිඟයක්‌ පවා ඇති විය හැකි බව ද පෙන්වා දී ඇත. (කෙසේ වෙතත් ඇමෙරිකාවේ තිරසාර ජෛව ඉන්ධන ප්‍රතිපත්තියක මූලධර්ම නම් මේ වාර්තාව ආර්ථික කරුණ ගැන වැඩි අවධානයක්‌ යොමු කර ඇති බවත් ඊට ප්‍රතිපාදන සපයා Øබෙන්නේ ඛනිජ තෙල් සමාගමක්‌ වීම නිසා එය විශ්වසනීය වාර්තාවක්‌ විය හැකි ද යන්න ගැනත් චෝදනා එල්ල වී ඇති බවත් මෙහි දී සඳහන් කළ යුතු ය. එවැනි චෝදනා ඇතත් ඉදිරිපත් ව ඇති කරුණු විද්‍යාත්මකව සත්‍ය නම් ඒවා පිළිගැනීමට අපට සිදු වේ.)

පාරිසරික බලපෑම් ගැන කැනඩාවේ අවධානය

එහෙත් මේ පාරිසරික කරුණු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව ලෝකයේ විවිධ ආයතන හා සංවිධාන මඟින් වරින්වර අනතුරු හඟවා තිබේ. දැන් දැන් එවැනි පියවර ගන්නා බවක්‌ ද පෙනෙන්නට තිබේ. මෑත දී කැනඩාව ගෙන ඇති තීරණය ද පූර්වාරක්‌ෂාව සඳහා ගෙන ඇති පියවරක්‌ ලෙස හඳුන්වා දිය හැකි ය.

කැනඩාවේ පරිසර අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම් පිළිබඳව විශේෂ අධ්‍යයනයක්‌ සිදු කිරීමට ය. එතනෝල් මෙන්ම ජෛව ඩීසල් නිෂ්පාදනය ද මේ ආකාරයෙන් අධ්‍යයනයට ලක්‌ කිරීම යෝජි¨ත අංශ අතර වේ.

මේ පියවරට හේතු ලෙස පෙන්වා දී ඇත්තේ වෙනත් රටවල ජෛව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලියේ දැකිය හැකි ව ඇති පාරිසරික ගැටලූ ය. මේ අධ්‍යයනය මගින් අපේක්‌ෂා කරන්නේ ජෛව ඉන්ධනවල පාරිසරික බලපෑම ගැන වැඩි අවබෝධයක්‌ ලබා ගැනීම ය. විශේෂයෙන් ඉදිරියේ දී කැනඩාවේ ද ඉන්ධනයක්‌ ලෙස ජෛව ඉන්ධන භාවිත කිරීම පිළිබඳ නව නීති ක්‍රියාත්මක වීමට නියමිත වන නිසා මේ තත්ත්වය වැදගත් වේ.

අනාගතය කෙබඳු වේ ද?

කෙසේ වෙතත් ජෛව ඉන්ධනවල අනාගතය අපැහැදිලි බවක්‌ මේ කරුණුවලින් කියවෙන්නේ නැත. මේ වන විටත් එසේ ම ආහාර හා වෙනත් අවශ්‍යතා සඳහා යොදාගත හැකි භෝග වර්ග වෙනුවට භෝග අවශේෂ වැනි අපතේ යන ද්‍රව්‍ය ජෛව ඉන්ධන නිපදවීම සඳහා යොදාගැනීම කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. එසේම ජෛව ඉන්ධන නිපදවීමට යොදාගත හැකි ඇල්ගී වැනි ශාක වර්ග පිළිබඳව ද පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. මේවා නව පරම්පරාවල ජෛව ඉන්ධන ලෙස මේ වන විටත් හඳුන්වා දී තිබේ.

තව ද ජෛව ඉන්ධන වගා කිරීමේ දී ඒ සඳහා විවිධ භෝග වර්ගවල මිශ්‍රණයක්‌ යොදාගැනීම පරිසරය හා ජෛවවිවිධත්වය සම්බන්ධයෙන් වැදගත් ය. එසේම ප්‍රවාහනය සඳහා යොදාගන්නා එතනෝල් හා ජෛව ඩීසල් වැනි ජෛව ඉන්ධනවලට වඩා විදුලිය හා තාපය නිපදවීම සඳහා ජෛව ඉන්ධන යොදාගැනීම වඩා පරිසර හිතකාමී බව ද පිළිගෙන තිබේ. ජෛව ඉන්ධන පිළිබඳව දැන් සිදු කෙරෙන පර්යේෂණ මගින් ඉදිරියේ දී වඩා යෝග්‍ය ජෛව ඉන්ධන වර්ග හඳුනාගත හැකි වෙතැයි අත්කරගත හැකි වෙතැයි අපේක්‌ෂා කෙරේ.

වායු දූෂක දිගු දුරක්‌ ගමන් කරයි

මිනිසා ගේ ක්‍රියාවලින් වායුගෝලයට නිකුත් කරන විවිධ වායු වර්ග අතර පරිසර දූෂණයට හේතුවන වායු වර්ග තිබේ. මේ වායු දූෂක අවට ප්‍රදේශ පමණක්‌ නො ව ඉතා දුර බැහැර ප්‍රදේශවලට ද ගමන් කළ හැකි ය. එහි ප්‍රතිඵලය වන්නේ සාමාන්‍යයෙන් සිතාගත නොහැකි තරම් දුර පවා වායු දූෂණයක්‌ ඇති කිරීම ය. අප දන්නා බොහෝ වායු දූෂක ඒවායේ ප්‍රභවයේ සිට බොහෝ දුර ගමන් කරන බව හෙළි වී ඇත. මෑතක දී නිකුත් වූ ග්‍රන්ථයකින් වායු දූෂකවල සිදු වන මේ දිගු දුර ප්‍රවාහනය පිළිබඳ වැදගත් කරුණු රැසක්‌ අනාවරණය කරයි.

ඇමෙරිකාව පදනම් කර ගනිමින් සිදු කර ඇති අධ්‍යයනයක වාර්තාවක්‌ වන zප්‍රාදේශීය දූෂණයේ ගෝලීය ප්‍රභවයන් (Global sources of local pollution) නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට ආසියානු ප්‍රදේශවල ඇති දූෂිත වායු උතුරු ඇමෙරිකානු ප්‍රදේශවලටත් ගමන් කරන අතර උතුරු ඇමෙරිකාවේ දී විමෝචනය වන වායු දූෂක යුරෝපය දක්‌වා ව්‍යාප්ත විය හැකි ය. මේ ව්‍යාප්ත sය ඉක්‌මනින් සිදු විය හැකි ය. එA ඉහළ වායුගෝලයේ පරිවර්තී ගෝලයේ පවත්නා දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙනි. අදාළ ග්‍රන්ථය එබඳු වායු වර්ග ගණනාවක්‌ පිළිබඳව හා ඒවායේ බලපෑම් පිළිබඳව විස්‌තර කරයි. මේ වායු දූෂක මඟින්, ප්‍රභවයෙන් ඈත වෙනත් ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක තත්ත්වය සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ හැකි බව එහි නිගමනවල සඳහන් වේ. එය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු තත්ත්වයක්‌ වන්නේ මේ වායු දූෂක එක්‌ රටක නිපදවීමත්, තවත් රටකට බලපෑමක්‌ ඇති කිරීමත් නිසා ය. අදාළ වායු දූෂක එAවායේ ප්‍රභවයේ දී ම සීමා කිරීමේ අවශ්‍යතාව ද ඉහළ ය. මේ තත්ත්වය අනාගතයේ දී වඩාත් අවධානය යොමු වන අංශයක්‌ විය හැකි ය.

මේ අතර පසුගිය දා Nature සඟරාවේ පළ වූ වාර්තාවක්‌ අනුව වසන්ත සෘතුවේ දී බටහිරදිග උතුරු ඇමෙරිකාවේ දැකිය හැකි ඉහළ ඕසෝන් සාන්ද්‍රණය සඳහා හේතු වන්නේ ආසියාවේ විමෝචනය වන වායු දූෂකවල බලපෑම ය.

සුරතලයට ඇති කරන්නට සුමාත්‍රානු ව්‍යාඝ්‍රයන්?

දුර්ලභ ව්‍යාඝ්‍ර උප විශේෂයක්‌ වන සුමාත්‍රානු ව්‍යාඝ්‍රයන් පොහොසත් පවුල්වලට හදා වඩා ගැනීම සඳහා ලබා දීමට ඉන්දුනීසියානු රජය විසින් පසුගිය දා යෝජනා කරන ලදි. මේ වන විට වාසය කරන සතුන් ගණන 400ක්‌ තරම් අඩු ය. ඔවුන් ගේ වාසභූමි, වන වනාන්තර හෙළි කිරීම හා දඩයම් කිරීම නිසා දැඩි තර්ජනයකට ලක්‌ ව ඇත. මේ ආකාරයෙන් හදාවඩා ගන්නට දෙන්නට අපේක්‌ෂා කරන්නේ මේ වන විට ඇති කරනු ලබන සතුන් වන අතර ඔවුන් ගේ අයිතිය තවදුරටත් රජය යටතේ වේ. එහෙත් මේ යෝජනාව මේ වන විට තදින් විවේචනයට ලක්‌ ව ඇත.

2009 අධික උණුසුමක්‌ තිබූ වසරකි

උෂ්ණත්වය පිළිබඳව පිළිගත හැකි වාර්තා ඇති 1880 වර්ෂයෙන් පමණ පසු ලෝකයේ මෙතෙක්‌ වාර්තාගත වී ඇති උණුසුම අධිකතම වර්ෂ අතර 2009 වර්ෂයට හිමි වන්නේ දෙවැනි තැන ය. මේ බව ඇමෙරිකාවේ නාසා ආයතනයේ අභ්‍යවකාශ අධ්‍යයන පිළිබඳ ගොඩාඩ් ආයතනය මඟින් සිදු කළ විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත. එහෙත් ලෝකයේ දකුණු අර්ධගෝලය පමණක්‌ සැලකිල්ලට ගත හොත් ගත වූ 2009 වර්ෂය වැඩි ම උෂ්ණත්වයක්‌ පැවැති වර්ෂය වේ. එසේ ම 2000-2009 අතර කාලය ලෝකයේ මෙතෙක්‌ වාර්තාගත අධිකතම උණුසුමක්‌ සහිත දශකය ද වේ. මේ විශ්ලේෂණයේ දී අවධානය යොමු කර තිබුණේ ලෝකයේ මතුපිට උෂ්ණත්වය කෙරෙහි ය.

2009 වර්ෂයේ උෂ්ණත්වය මේ දශකයේ උණුසුම අධිකතම වර්ෂය වූ 2005 වර්ෂයට වඩා අඩු වන්නේ සුළු වශයෙන් පමණකි. මේ විශ්ලේෂණයේ තවත් වැදගත්කමක්‌ පවතී. එA 2008 වර්ෂයේ දී ලෝකයේ උණුසුම අඩු වූ අතර මේ නිසා මිහිතලය උණුසුම් වීම ප්‍රශ්න කෙරෙන තත්ත්වයක්‌ ඇති වීම නිසා ය. එහෙත් මිහිතලය උණුසුම් වීම නැවතී නොමැති බවට සාධකයක්‌ ලෙස 2009 වර්ෂයේ දී ඉහළ ගිය උෂ්ණත්වය දැක්‌විය හැකි ය. 1850 වර්ෂයෙන් පසුව ගෙවී ගොස්‌ ඇති කාලයේ දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.8කින් පමණ ඉහළ ගොස්‌ ඇත.