logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විවිධ දේව වර්ග

මහාචාර්ය නලින් ද සිල්වා

ඒකදේවවාදය බහුදේවවාදී සංස්‌කෘතියකට අවශෝෂණය කිරීමේ දී මුහුණ පාන ගැටලු කිහිපයක්‌ අප සාකච්ජා කෙළෙමු. එහෙත් ඒ කිසිසේත් ම සම්පූර්ණ සාකච්ජාවක්‌ නො වන බව පැහැදිලි විය යුතු ය. බහුදේවවාදී සංස්‌කෘතියක නිර්මාපක දෙවියකු සිටිය හැකි ද යන්න එවැනි සාකච්ජාවක පැන නඟින ප්‍රධාන ප්‍රශ්නයක්‌ විය යුතු ය. නිර්මාපක දෙවියකු ඇත්නම් ඒ දෙවියන් අනෙකුත් දෙවියන් ගේ ද නිර්මාපකයා හෙවත් මැවුම්කරුවා විය යුතු ය. ඒ නිර්මාපක දෙවියන් සියලු දෙවියන් අතර ප්‍රධානියා වීම අනිවාර්ය නැතත් බොහෝ විට එවැන්නක්‌ අපේක්‍ෂා කළ හැකි ය.

අනෙක්‌ අතට නිර්මාපක දෙවි කෙනෙකු නැති වුව ද බහුදේවවාදී සංස්‌කෘතියක ප්‍රධාන දෙවියකු ගේ පැවැත්ම ප්‍රශ්නයක්‌ නො වේ. දඹදිව වෛදිකයන් පැමිණීමට පෙර ද තිබූ සංස්‌කෘතියෙහි ශක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන දෙවි විය. සක්‌ දෙවිඳු සංකල්පය එයට පෙර වකවානුවක දඹදිවට ඉරානයෙන් (පර්සියාවෙන්) පැමිණියේ ද ප්‍රධාන දෙවියකු ගේ පැවැත්ම දඹදිවට යක්‍ෂ සංස්‌කෘතියෙන් ලැබිණි ද ආදී ප්‍රශ්න මෙහි දී වැදගත් නො වේ. අපට වැදගත් වන්නේ ඒකදේවවාදයක්‌ බහුදේවවාදී සංස්‌කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න ය.

සක්‌ දෙවිඳු හෙවත් ශක්‍ර දේවේන්ද්‍ර යන වචනයෙහි ඉන්ද්‍ර යන පදයෙන් ගම්‍ය වන්නේ ප්‍රධානියා යන්න ය. බෞද්ධ සංස්‌කෘතියෙහි ද අපට සක්‌ දෙවිඳු මුණ ගැසෙයි. ඉන්ද්‍ර, ඉන්දු, ඉඳු ආදී පදවලින් ගම්‍ය වන්නේ ප්‍රධානත්වය ය. එහෙත් බෞද්ධ සක්‌ දෙවිඳු ලෝකය නිර්මාණය කළ තැනැත්තා නො වෙයි. ඔහු හුදෙක්‌ දෙවියන් අතර ප්‍රධානියා වෙයි. බෞද්ධයනට සක්‌ දෙවිඳු යන සංකල්පය පැරැණි දඹදිව සංස්‌කෘතියෙන් ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය. බහුදේවවාදී සංස්‌කෘතියකට ඒකදේවවාදී සංස්‌කෘතියක්‌ අවශෝෂණය කිරීම සාකච්ජා කිරීමේ දී වැදගත් නො වූවත් ඉන්ද්‍ර හෙවත් ඉන්ද්‍ර නමින් හැඳින්වෙන දෙවියන් යක්‍ෂ ගෝත්‍රික සංකල්පයක්‌ බව සැලකිල්ලට ගත යුතු ය.

යක්‍ෂ ගෝත්‍රිකයන් බහුදේවවාදී වූ අතර බොහෝ විට ඔවුන් ගේ දෙවියන් හැඳින්වීමේ දී යක්‍ෂයන් යන්න ද භාවිත කෙරෙයි. ඉන්ද්‍ර යනු යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ ප්‍රධාන දෙවියන් වුව ද නැත ද ඔවුන්ට නිර්මාපක දෙවි කෙනෙක්‌ නො වී ය. දඹදිවට ප්‍රධාන දෙවියකු ලබා දුන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් විය හැකි ය. එසේ වුවත් ඒ දෙවියන් දඹදිව සංස්‌කෘතියට අවශෝෂණය කර ගැනීමේ දී එතරම් ගැටලු පැන නො නඟින්නට ඇත. එයට හේතුව යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ දෙවියන් නිර්මාපක දෙවි කෙනෙකු නො වීම ය.

මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කරුණක්‌ නම් ඇතැම් උගතුනට අනුව යක්‍ෂ යන්න යාඥ යන්නෙන් බිඳී ඇති බව ය. ඇතැම් විට යක්‍ෂ ගෝත්‍රිකයන් යාඥව (යාගය) මුලින් ම දඹදිවට හඳුන්වා දුන්නා විය හැකි ය. පසුව ඉරානයෙන් හා බටහිර ආසියාවෙන් පැමිණි ආර්යයන් තව තවත් යාග දඹදිවට හඳුන්වා දී දඹදිව භාරතයක්‌ බවට පත් කළ බව පෙනී යයි. එසේ දඹදිව භාරතය බවට පත්වීමේ දී ආර්යයන්ගෙන් නිර්මාපක දෙවි කෙනෙකු ද ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය.

දඹදිව හා භාරතය අතර ඇති ප්‍රධාන වෙනසක්‌ නම් දඹදිව ප්‍රධාන දෙවි කෙනෙකු සිටිය ද නිර්මාපක දෙවි කෙනෙකු නොමැති වීම හා භාරතයෙහි ප්‍රධාන දෙවි කෙනෙකු හා නිර්මාපක දෙවියකු වෙන වෙන ම සිටීම ය. ප්‍රධාන දෙවියකු ඇති බහුදේවවාදී සංස්‌කෘතියකට ඒකදේවවාදය අවශෝෂණය කර ගැනීමේ දී දඹදිව වැසියන් මුහුණ පෑ ප්‍රශ්නයක්‌ එලෙස වෙන වෙන ම දෙවිවරුන් නිර්මාණය කිරීමෙන් (ලබා ගැනීමෙන්) විස ගෙන ඇත. එහෙත් ඒ ගැටලුව විස ගැනීමට ඇති එක ම මඟ එය යෑයි සැලකිය යුතු නො වේ.

ඒකදේවවාදී සංස්‌කෘතියක ඇත්තේ එක්‌ දෙවියකු පමණ ය. ඒ දෙවියා බොහෝ විට නිර්මාපක දෙවියකු වේ යෑයි සිතිය හැකි ය. එසේ නො වන්නට වෙනත් දෙවියන් ද බිහිකර ගැනීමට ඒ සංස්‌කෘතියට හැකි විය යුතු ය. (නිර්මාපක දෙවියන් ද බිහිකර ගනු ලබන්නේ සංස්‌කෘතියක්‌ විසිනි. දෙවි කෙනෙකු ලෝකය හා මිනිසුන් ඇතුළු සත්ත්වයන් නිර්මාණය කරනවා නොව සංස්‌කෘතියක්‌ විසින් නිර්මාපක දෙවි කෙනෙකු බිහි කරගනු ලැබේ.) එවිට ඒ සංස්‌කෘතිය බහුදේවවාදී සංස්‌කෘතියක්‌ බවට පත්වෙයි. නිර්මාපක දෙවි කෙනෙකු ඇති සංස්‌කෘතියක වෙනත් දෙවියන් නිර්මාණය කිරිමට ඇති ඉඩකඩ අඩු ය. අප මෙතෙක්‌ දෙවියන් ගැන කතා කළ නමුත් ඒ දෙවියන් ගැන එතරම් විශ්ලේෂණයක්‌ නො කෙරිණි. දෙවියන් විවිධ වර්ගවලට අයත් බව පෙනී යයි. භාරතයේ ගින්න සුළඟ ආදිය ද දෙවියන් ලෙස සැලකිණි. එහි දී සිදු වී ඇත්තේ ගින්න සුළඟ ආදියට දේවත්ව ආරෝපණය කිරිම බව පැහැදිලි ය. පැරැණි ගී්‍රක සංස්‌කෘතියෙහි ද එලෙස දේවත්ව ආරෝපණය කෙරිණි. ඒ අතර ඇතැම් සංස්‌කෘතීන් හි මියගිය ඇතැම් ඥතීන් ඇතුළු පුද්ගලයන් මිය යැමෙන් පසුව දෙවියන් බවට පත් වන්නේ යෑයි විශ්වාස කෙරිණි. වෙනත් අයුරකින් කිවහොත් ඒ දෙවියන් ලෙස උපත ලැබීමකි. එවැනි සංකල්පයක්‌ ඇති විය හැක්‌කේ සියල්ලන් හෝ ඇතැමකු හෝ මිය යැමෙන් පසුව නැවත එක්‌ වතාවක්‌වත් උපදින්නේ යෑයි විශ්වාස කෙරෙන සංස්‌කෘතියක ය.

මේ අතර දිව්‍ය ලෝක ගැන විශ්වාස කෙරුණු සංස්‌කෘතීන් ද වෙයි. මනුෂ්‍යයන් හා වෙනත් මිහිපිට වෙසෙන සත්ත්වයනට අමතරව වෙනත් ලෝකවල වසන දෙවියන් බ්‍රහ්මන් ආදීන් ගැන බෞද්ධ සංස්‌කෘතියෙහි ද සඳහන් වෙයි. මේ වෙනත් ලෝක යනු ග්‍රහ ලෝක නො වේ. භූමාටු දෙවියෝ පොළොව ආසන්නයෙහි ම ජීවත් වෙති. රුක්‌ දෙවියන් ගේ වාසස්‌ථාන සහිත ලෝකය ඇත්තේ ගස්‌වල ය. එයට අමතරව තුසිත දෙව් ලොව ආදී දිව්‍ය ලෝක ද වෙයි. මේ ලෝක එකක්‌වත් ග්‍රහලෝක වීම අනිවාර්ය නො වේ. ලෝකයක්‌ යනු යම් පිරිසක ගේ එකතුවක්‌ මිස පෘථිවිය වැනි වස්‌තුවක්‌ නො වේ.

අප මනුෂ්‍ය ලෝකය යනුවෙන් අදහස්‌ කරන්නේ මිනිසුන් ගේ එකතුවකි. මිනිස්‌ ලෝකය පෘථවියෙහි හෙවත් මේ ග්‍රහ ලෝකයෙහි පැවැතීම හේතු කොටගෙන අපට ප්‍රේත ලෝක දිව්‍ය ලෝක ආදිය ද එලෙස පවතින පඨවි ධාතුව සහිත ලෝක ලෙස සිතීමට පුරුදු කෙරී ඇත. එහෙත් තිරිසන් ලෝකය ද මනුෂ්‍ය ලෝකය ලෙස ම මේ මිහිපිට පවත්නා තවත් ලෝකයක්‌ බව අපට අමතක වෙයි. එක ම පෘථිවියෙහි ලෝක ගණනාවක්‌ පැවැතීමට හැකි ය.

අනෙක්‌ අතට වෙනත් ග්‍රහලෝකවල සත්ත්වයන් ඇති බව පිළිගැනීම බටහිරයන්ට මහත් ගැටලුවක්‌ වුවත් බෞද්ධයනට එය කිසිසේත් ම ප්‍රශ්නයක්‌ නො වේ. මනුෂ්‍යයන් ඇතුළු සත්ත්වයන් පෘථිවියට පමණක්‌ සීමා කිරීමට බෞද්ධයෝ නො පෙළඹෙති. ඒ කුමක්‌ වුවත් මිනිසුන් විසින් මිය යැමෙන් පසුව දේවත්වයෙන් පුදනු ලබන පිරිස්‌, මෙලොවින් චුත වී දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබන මිනිසුන් ඇතුළු සත්ත්වයන් අපට එක්‌ දේව කොට්‌ඨාසයකට අයත් කළ හැකි ය. මේ දෙවියන් දිව්‍ය ලෝකවල උපදින්නේ කිනම් අන්දමක වුවත් සසර ගමනෙහි යෙදෙමින් ය.

මිනිස්‌ ලොවින් හෝ වෙනත් සත්ත්ව ලෝකයකින් හෝ චුත වී දිව්‍ය ලෝකවල ඉපදෙන්නන් පසුව එයින් ද චුත වී නැවත මිනිස්‌ ලෝකයෙහි හෝ සත්ත්ව ලෝකයක හෝ ඉපදිය හැකි ය. ඒ අයුරින් දිව්‍ය ලෝකවල ඉපදෙනේනෝ සසර ගමනෙහි එක්‌ අවස්‌ථාවක දෙවියෝ වෙති. මේ දෙවිවරුන් බොහෝ මිනිසුන්ට නො පෙනුණ ද ඔවුන් දැක ඇති මිනිස්‌සු ද වෙති. අපේ පන්සල්වල ඇති දේව රූප සියල්ල පාහේ එක ම හැඩයක්‌ ගන්නේ පළමුව දෙවියන් ඇදි චිත්‍ර ශිල්පියා අනුකරණය කරමින් අනෙක්‌ චිත්‍ර ශිල්පීන් ද දේව රූප අඳින නිසා නොව දෙවියන් දකින අය දැක ඇති දෙවියන් එලෙස සැරසී සිටින නිසා ය. දෙවියන් ඇඳීම චිත්‍ර ශිල්පීන් ගේ අභිමතයට සිදුවන්නේ නම් වෙනත් ආකාරයේ දේව රූප නිර්මාණය විය යුතු යෑයි සිතමි.

සංසාර ගමනෙහි තාවකාලිකව දේව බව ලබන්නවුන්ට ද ලැබෙන නාමය දෙවියන් යන්න ය. මේ දෙවියන්ට අමතරව අප කලින් සඳහන් කළ පරිදි දේවත්ව ආරෝපණය කරනු ලැබූ වස්‌තු වෙති. ගින්න, සුළඟ, ආදී මේ වස්‌තු සංසාර ගමනෙහි යෙදෙන දෙවියෝ නො වෙති. ඒ දෙවිවරු ඒ භවයන් අත් නො හරිති. බෞද්ධයනට කිසිවක්‌ සදාකාලික නො වෙතත් මේ දෙවියන්ට ඒ ඒ සංස්‌කෘතීන් හි එක්‌තරා ආකාරයක සදාකාලික බවක්‌ ඇත. මේ දෙවියන් ජීවීන් වන්නේ දේවත්ව ආරෝපණය කෙරි ඇති බැවින් මිස ඔවුන් ජීවීන් වූ නිසා නො වේ.

මෙයට අමතරව තවත් ආකාරයක දෙවිවරු වෛදික සංස්‌කෘතියෙහි දැකගත හැකි ය. නුවණට අධිපති ගණ දෙවියන්, කලාවට අධිපති සරස්‌වතී දෙවඟන ආදී වශයෙන් ඒ ඒ ගුණයට අධිපති දෙවිවරු වෙති. එහිදී ද සිදුවන්නේ දේවත්ව ආරෝපණයකි. කලින් සඳහන් කළ දෙවියන් වස්‌තුවලට දේවත්ව ආරෝපණය කිරීමෙන් ලැබෙන අතර මේ ඝනයේ දෙවිවරුන් ගුණවලට දේවත්ව ආරෝපණයෙන් ලැබෙයි. මේ හැරෙන්නට වෙනත් දේව වර්ග ද තිබිය හැකි ය. විවිධ සංස්‌කෘතීන්හි විවිධ දේව වර්ග නිර්මාණය වන්නට ඇති ඉඩකඩ අධික ය. අපි දැනට ඒ දේව වර්ග නො සලකා මෙහි සඳහන් දේව වර්ග තුන ගැන පමණක්‌ අවධානය යොමු කරමු. අවශ්‍ය නම් කෙනෙකුට දේව වර්ග තුනක්‌ වෙනුවට දේව වර්ග දෙකක්‌ පමණක්‌ සැලකිය හැකි ය. ඒ වස්‌තුවලට හා ගුණවලට දේවත්වය ආරෝපණය කිරීමෙන් ලැබෙන දේව වර්ග එකක්‌ ලෙස සැලකීමෙනි. මෙහි පසුව සඳහන් කෙරුණු දේව වර්ග දෙක හෝ තුන හෝ බෞද්ධයන් තම සංස්‌කෘතියට අවශෝෂණය කර ඇත්තේ ඒ දෙවියන් සදාකාලික බවින් මුදා තාවකාලික දෙවියන් බවට පත් කිරිමෙන් හා ඉන් ඇතැම් දෙවියන් බෝසතුන් වහන්සේලා බවට පත්කර ගැනීමෙනි.

අප බහුදේවවාදී සංස්‌කෘතීන් ලෙස සලකන්නේ සංසාර ගමනෙහි තාවකාලික දිව්‍ය සම්පත් විඳින පළමු ගණයේ දෙවියන් ගැන විශ්වාසයක්‌ ඇති සංස්‌කෘතීන් නො වේ. බහුදේවවාදී සංස්‌කෘතීන් ලෙස ගැනෙන්නේ දෙවැනි හා තුන්වැනි ගණවල (අවශ්‍ය නම් ඒ දෙක ම එක ම ගණයක ලා සැලකෙන) දෙවියන් නිර්මාණය කෙරී ඇති සංස්‌කෘතීන් ය. දෙවැනි ගණයේ හෝ තුන්වැනි ගණයේ දෙවියෝ තාවකාලිකව දිව්‍ය ලෝකවල උපන්නවුන් නොව ඊනියා නිත්‍ය (බෞද්ධ සංකල්පයක්‌ විය නො හැකි බව පැහැදිලි ය) වූ දෙවියෝ වෙති. මෙවැනි දෙවියන් එක්‌ අයෙකුට වඩා ඇති හෙයින් එවැනි සංස්‌කෘතියක්‌ බහුදේව සංස්‌කෘතියක්‌ වෙයි. මේ එක්‌ දෙවියකුවත් ලෝකය නිර්මාණය කළ (මැවූ) දෙවි කෙනෙකු නො වීම මෙහිදී කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ වෙයි.