|
මෑත ඉතිහාසයේ ප්‍රථම වරට
යාපනයේ
පැවැත්වූ සූර්යග්‍රහණ නිරීක්‌ෂණ කඳවුර
වසර 2010 එළඹීමත් සමග ශ්‍රී ලංකාවට වලයාකාර සූර්යග්‍රහණයක් දිස් වූයේ වසර
99කට පසුව ය. එබැවින් මේ වසරේ එනම් වසර 2010 ජනවාරි 15 වැනි දින ශ්‍රී ලංකාවට
දිස් වූ මේ වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ වැදගත් තැනක්
ගනියි. එක් හේතුවකින් නො ව හේතු කිහිපයකින් ම මේ සිද්ධිය වැදගත්කමක් ඉසිලී ය.
ශ්‍රී ලංකාවේ උතුරු නැඟෙනහිර සීමාවට මේ වලයාකාර සූර්යග්‍රහණය වඩාත් හොඳින්
දිස්‌වීම එක් හේතුවක් වූ අතර යාපනය සීමාවට ඉහළින් ග්‍රහණයේ මධ්‍ය රේඛාව ගමන්
කිරීම හෙවත් වලයාකාර සූර්යග්‍රහණය ඒ ප්‍රදේශයට අංග සම්පූර්ණව දිස් වීම තවත්
ප්‍රධාන ම හේතුවක් විය.

එබැවින් දශක තුනකට පමණ ආසන්න කාලයක් තුළ උතුරු නැඟෙනහිර සීමාවට අඳුරු
කලදශාවක් ගෙන දුන් ත්‍රස්‌තවාදී උවදුර නිමා වීමත් සමගම දිස්‌වු මේ වලයාකාර
සූර්යග්‍රහණය ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ටත්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ටත්
ප්‍රදේශයේ ජනතාවටත් මහත් ආස්‌වාදයක් විය. දකුණෙන් උතුරට ගිය විද්වත් පිරිසක්
උතුරේ පාසල් දරුවන්ට එම අවස්‌ථාව පිළිබඳ විද්‍යාත්මක දැනුමක් හා අවබෝධයක් ලබා
දීමේ අරමුණින් දිවා හා රාත්‍රි අහස නිරීක්‍ෂණ කඳවුරක් හා දැනුවත් කිරීම් දේශන
කිහිපයක් පැවැත්වීම හේතුවෙන් මේ සිද්ධියට ඇති ආකර්ෂණය තවත් වර්ධනය විය. මේ
මහඟු කාර්යයට මොරටුවේ ආතර් සී. ක්‌ලාක් මධ්‍යස්‌ථානයේ නියෝජිතයන් ද, කොළඹ
විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන
ජයරත්න ද සමග විදුසර ද එක් විය. මේ සියලු කටයුතු යාපනය විශ්ව විද්‍යාලයේ
උපකුලපතිවරයා ඇතුළු ආචාර්ය මණ්‌ඩලයත් ප්‍රදේශයේ ආරක්‍ෂාව භාර ශ්‍රී ලංකා යුද
හමුදාවත් විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
දකුණේ සිසු දරුවන් මෙන්ම පොදු ජනයා දිනකට තුන් වේලක් ආහාර ගත්තත් ඉකුත් සමයේ
උතුරේ දරුවන් මෙන්ම පොදු ජනයා ගේ ආහාරය දිනකට එක් වේලක් විය. එහි දරු දැරියන්
දිනකට එක ආහාර වේලකින් පමණක් සෑහීමකට පත් වී අධ්‍යාපන කටයුතු කරගෙන යැම දකුණේ
දරුවන්ට ආදර්ශයක් විය යුතු ය. මෙවන් පසුබිමක දහවල ගිනි ගහන අව් රැස් ද නො තකා
පෙළ ගැසී සූර්යග්‍රහණය නරඹා ඉන් උපරිම දැනුමක් ලබා ගැනීමට ඔවුන් දැක්‌වූ
උනන්දුව අගය කළ යුතු ය. දහවල් අහස නිරීක්‍ෂණ කටයුතු පස්‌වරු 2ට අවසන් විය. ඉන්
පසුව උදා වූයේa රාත්‍රි අහස නිරීක්‍ෂණ කඳවුර පැවැත්වීමේ අවස්‌ථාවයි. එහි ආරම්භය
රාත්‍රී 7ට පමණ සිදු විය. එහෙත් සවස 5 සිට පාසල් දරුවන් ගුරු භවතුන් සමග
පෙළගැසී සිටි අන්දම අප සිත් සතන් තුළ ඇති කළේ ගෞරවයකි.
භෞතික විද්‍යා ආයතනයේ අනුග්‍රහයෙන් රාත්‍රි නිරීක්‍ෂණ කඳවුරේ ආරම්භය චන්දන
ජයරත්න ආචාර්ය තුමා ගේ දේශනයකින් ආරම්භ විය. ඒ සමගම රාත්‍රී අහස නිරීක්‍ෂණ
කටයුතු සඳහා දුරදක්‌න කිහිපයක් තැන් කිහිපයක සකසා තිබුණි
දේශන පැවැත්වුණේ ඉංග්‍රීසි බසිනි. එහෙත් මේ දරුවන්ට ඉංග්‍රීසි බස පිළිබඳව එතරම්
දැනුමක් නැත. සිංහල පිළිබඳ දැනුමක් ඇත්තේ ම නැත. එක ගුරුභවතකු විසිsන් ආචාර්ය
චන්දන ජයරත්න විසින් ඉංග්‍රීසි බසින් පවත්වන ලද දේශනය දෙමළ බසට පරිවර්තනය
කෙරිණි. ඊට අනුරූපව තිරයේ අසිරිමත් විශ්වයේ රූප සටහන් විණි. පරිවර්තනය වන දෙමළ
බසත් සමග තිරයේ සටහන් වන රූප ඇසුරෙන් දේශනය තේරුම් ගැනීමට සිසු දරුවන් නොමඳ
උත්සාහයක් ගන්නා බැව් පෙනිණි. රාත්‍රි 10 වන තෙක් ආචාර්ය චන්දන ජයරත්න විසින්
ආතර් සී. ක්‌ලාක් ආයතනයේ විද්වතුන් ගේ සහාය ඇති ව පවත්වන ලද දේශනය අවසානයේ දී
මම දේශනය පරිවර්තනය කළ ගුරු භවතා ගෙන් අදහස් විමසීමක් කළෙමි.
දැනගන්නට ලැබුණු කරුණු අනුව උතුරේ දරුවන් ඉගෙනීමට ගන්නේ අසීමිත උනන්දුවකි.
දහසක් අඩුපාඩු ඇතත් ඔවුන් එය අධ්‍යාපනයට බාධාවක් කර ගන්නේ නැත. දකුණේ
පාසල්වලට තිබෙන අසීමිත පහසුකම්වලින් සුළු කොටසක් වත් ඔවුන් ගෙන් බහුතරයකට නැත.
දශක තුනක පමණ කාලයක් තුළ පැවැති ත්‍රස්‌තවාදී අරගලය නිමා වීම මහත් සැනසිල්ලක්
ලබා දී ඇත. එනිසා ඔවුහු අද නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යති. මාපියන් මෙන්ම
ගුරුවරුන් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ගන්නේ නොමඳ උත්සාහයකි. සොයාගත්
කරුණුවලට අනුව ඔවුන් ගෙන් බහුතරයක් දිළින්දෝ ය. වත් පොහොසත්කම් ඇති අය ද ඇත.
මේ සියලු දෙනා ම අධ්‍යාපනය ලැබීමට ගන්නේ අසීමිත උත්සාහයකි. ඒ උද්යෝගය දකුණේ අප
අගය කළ යුතු ය.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට, යාපනයේ ඉතිහාසයේ ප්‍රථම වරට සහ විශ්වවිද්‍යාල
ඉතිහාසයේ ප්‍රථම වරට උතුරේ විශ්වවිද්‍යාල භූමියක දකණෙන් පැමිණි විද්වතුන්
පිරිසක් සූර්යග්‍රහණ නිරික්‍ෂණ කඳවුරක් හා රාත්‍රි අහස නිරීක්‍ෂණය හා දැනුවත්
කිරීමේ වැඩමුළුවක් පැවැත්වූ මෙදින එනම් 2010 ජනවාරි 15 වැනි දින යාපනය
ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබනු ඇත. ත්‍රස්‌තවාදය නිසා දකුණෙන් කොන් වූ උතුරේ
දරු දැරියන් හා ජනතාවත් සමග යළි සුහද සබඳතා පැවැත්වීමට මෙය කදිම රුකුලක් වනු
ඇත.
දකුණේ දරුවන්ට හුරු පුරුදු සන්නිවේදන ක්‍රමවේද මේ දරුවන්ගේ බහුතරයක්
හඳුනාගන්නේ නැත. පරිගණකයක් නො දුටු දරුවෝ ද සිටිය හ. දකුණේ දරුවන් කියවන
විද්‍යා පොත පත ඔවුන්ට ඔවුන් ගේ භාෂාවෙන් වත් නැත. මීට පෙර දුරදක්‌නයට ඇස තියා
ග්‍රහලොවක් නිරීක්‍ෂණය නො කළ විශ්වවිද්‍යාල සිසුහු ද සිටිය හ. එසේ නම් පාසල්
සිසුන් ගැන කවර කතා ද?
එහෙත් දකුණේ දරුවන්ට වඩා තිබෙන සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට
ඔවුහු දක්‍ෂයෝ ය. ඒ බව මෙහි සටහන් කරන්නේ ඔවුන් දකුණේ දරුවන්ට ආදර්ශයක් වන
බැවිනි. එහෙත් ඔවුනට දකුණේ රැකවරණය හා සහයෝගය තවදුරටත් අත්‍යවශ්‍ය ය. ඒ බව අප
අමතක කළ යුතු නැත.
අමල් උඩවත්ත
ඡායාරූප අමල් උඩවත්ත
විශේෂ ස්‌තූතිය - ආතර් සී. ක්‌ලාක් මධ්‍යස්‌ථානයට, කොළඹ භෞතික විද්‍යා ආයතනයට,
ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බලකායේ මේජර් දුමින්ද ගලප්පත්ති, ගජබා
රෙජිමේන්තුවේ මේජර් සාලින්ද හපුකොටුව සහ සිංහ රෙජිමේන්තුවේ මේජර් පර්සි ජයරත්න
යන මහත්වරුන්ට. |