logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දෙවියන් වහන්සේ ගේ ප්‍රධානත්වය

මහාචාර්ය නලින් ද සිල්වා

ඒක දේවවාදයක්‌ බහුදේවවායක්‌ බවට පත් වීමේ අවස්‌ථා දෙකක්‌ ගැන අපි සඳහන් කළෙමු. ඒ භාරතයෙහි හා රෝමයෙහි ය. මේ අවස්‌ථා දෙකෙහි ම සිද්ධ වූයේ බහුදේවවාදි සංස්‌කෘතියකට ඒකදේවවාදය අවශෝෂණය කිරීම ය. එහි දී අප දුටු කරුණක්‌ වූයේ ඒ අවස්‌ථා දෙකෙහි ම ත්‍රිකෝටික න්‍යාය යොදා ගැනීම ය. ඒ එක්‌ අවස්‌ථාවකින් අනෙක්‌ අවස්‌ථාව පෝෂණය වුවත් නැතත් ඒ අවශෝෂණය බොහෝ දුරට සමාන මාවත් ගැනීම මගින් කියෑවෙන්නේ සංස්‌කෘතියකින් තවත් සංස්‌කෘතියක්‌ අවශෝෂණය කිරීමේ දී අනුගමනය කෙරෙන ආකාරය පිළිබඳව ද අවශ්‍ය නම් අපට නියම නිර්මාණය කර ගැනීමට හැකි බව ද?

ඒකදේවවාදය දඹදිවට පිවිසීමෙන් පසුව බ්‍රහ්මන් පිළිබඳ ත්‍රිමූර්තිය බිහි වූ අතර රෝමයේ දී ශුද්ධ ත්‍රිත්වය බිහි විණි. ශුද්ධ ත්‍රිත්වය සංකල්පය බිහි වීම පිළිබඳව අපට දැනට මත තුනක්‌ ඇති කරගත හැකි ය. එකක්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ඒ දිව්‍යානුභාවයෙන් ම ප්‍රකාශ කළ බව ය. දෙවැන්න නම් ක්‍රිස්‌තුස්‌ වහන්සේට ඒ සංකල්පය සෘජුව ම භාරතයෙන් ලැබුණු බව ය. තුන්වැන්න වනුයේ කතෝලික ආගම හා සම්බන්ධ මේ සංකල්පය රෝමයේ දී ඇති වූ බව ය.

එසේ රෝමයේ දී ඇති විණි නම් එය භාරතයේ ආභාසයෙන් නිර්මාණය කළ එකක්‌ ද නැත්නම් රෝමයන් තමන් ම නිර්මාණය කළ එකක්‌ ද යන ප්‍රශ්නය මතු වෙයි. ක්‍රිස්‌තු භක්‌තිකයනට හැරෙන්නට අන් අයට මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක්‌ දැනට දිය නොහැකි යෑයි සිතමි. බොහෝ ක්‍රිස්‌තු භක්‌තිකයනට නම් ඒ ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේවානුභාවයෙන් ම ප්‍රකාශ කළ එකකි.

මෙහි දී බොහෝ ක්‍රිස්‌තු භක්‌තිකයනට යන යෙදුම පිටුපස ඓතිහාසික කතාවක්‌ වෙයි. ඇතැම් ක්‍රිස්‌තු භක්‌තිකයෝ එයට ක්‍රිස්‌තු වර්ෂයෙන් තුන්වැනි සියවසේ දී ද විරුද්ධ වී ඇති බවට සාක්‍ෂි වෙයි. ක්‍රිස්‌තු වර්ෂ 250 හා 336 අතර කාලයෙහි ජිවත් වූ ඒරියස්‌ (Arius) නම් ක්‍රිස්‌තියානි පූජකවරයා ශුද්ධ ත්‍රිත්වය පිළිබඳ සංකල්පයට විරුද්ධ විය. ඔහු ඒ සම්බන්ධ කෙතරම් දැඩි මතයක සිටියේ ද කිව හොත් ක්‍රිස්‌තු වර්ෂ 325 දී පවත්වන ලද කතෝලික සභාවේ පළමු සම්මේලනයේ දී ඔහු විරුද්ධ මතධාරියකු (මිත්‍යදෘෂ්ටිකයකු) ලෙස නම් කිරීමට තීරණය විය.

පසුව ක්‍රිස්‌තු වර්ෂ 335 දී ඔහු නිදහස්‌ කරනු ලැබූ නමුත් ඔහු ගේ මරණයෙන් පසු ක්‍රිස්‌තු වර්ෂ 381 දී කොන්ස්‌තැන්තිනෝපලයේ පවත්වන ලද පළමු සභාවේ දී නැවතත් මිථ්‍යාදෘෂ්ටිකයකු ලෙස ප්‍රකාශ කෙරිණි. ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ අදහස අද වන විට කතෝලික සභාවේ ද සාමාන්‍යයෙන් ගත් කල කතෝලික නො වන ක්‍රිස්‌තියානි සභාවල ද පිළිගැනෙයි. එහෙත් අද ද ඇතැම් ක්‍රිස්‌තියානි සභාවක්‌ ශූද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ අදහස සාමාන්‍ය ක්‍රිස්‌තියානි සභාවකින් වෙන් වී ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ වෙනත් අදහසක්‌ දරයි.

යෙහෝවා ගේ සාක්‍ෂිකරුවෝ (Yehovah's witnesses) යනු එවැනි සභාවකි. ඔවුනට අනුව ඇත්තේ එක ම දෙවියන් වහන්සේ කෙනෙකි. යෙහෝවා යනු යුදෙව් දෙවියන් වහන්සේ හැඳින්වෙන නාමයයි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ද යුදෙව් ජන වර්ගයට අයත් බවත් එහෙත් උන්වහන්සේ යුදෙව්වන් ගේ හා යුදෙව් ආගමේ පූජකවරුන් ගේ ඇතැම් කරුණුවලට හා ක්‍රියාවලට විරුද්ධ වූ බවත් අපි දුටුවෙමු. එහෙත් උන්වහන්සේ ද දෙවියන් වහන්සේ යෑයි කීවේ යෙහෝවා දෙවියන් වහන්සේට බව අමතක නො කළ යුතු ය.

එබැවින් ශුද්ධ වූ ත්‍රිත්වයේ සඳහන් දෙවියන් වහන්සේ හා පියා යනු මේ යෙහෝවා දෙවියන් වහන්සේ මිස වෙනත් දෙවි කෙනකු නො වන බව පැහැදිලි ය. ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ සංකල්පයේ දී ප්‍රශ්නය වනුයේ දෙවියන් වහන්සේ හා පියා, දෙවියන් වහන්සේ හා පුතා ගෙන් වෙනස්‌ ද නැත් ද යන්න ය. මේ ප්‍රශ්නය අපට වැදගත් වන්නේ දැනුම නිර්මාණය කිරිමේ හා අවශෝෂණය කිරීමේ ප්‍රශ්නය හා සම්බන්ධව ය.

යෙහෝවා ගේ සාක්‍ෂිකරුවන් යන නමින් ම පැහැදිලි වන ආකාරයට ඒ සභාවේ සාමාජිකයෝ යෙහෝවා දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිති. ඔවුහු යෙහෝවා දෙවියන් වහන්සේ එක ම දෙවියන් වහන්සේ බවට සාක්‍ෂි දෙති. එනම් ඔවුනට අනුව දෙවියන් වහන්සේ හා පියා දෙවියන් වහන්සේ හා පුතාට වඩා ප්‍රධාන වෙයි. ශුද්ධ වූ ත්‍රිත්වය යනු එකක්‌ ම නො වන බව ප්‍රධාන සංකල්පයක පැවැත්මෙන් පැහැදිලි වෙයි.

ඒරියස්‌ නම් පූජකවරයාට පළමුව මේ ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ විරුද්ධත්වයක්‌ දැක්‌වූ අය සිටියේ දැයි කීමට නොහැකි ය. කෙසේ වෙතත් මේ සම්බන්ධ අදහසක්‌ ඉදිරිපත් වන්නේ ද ක්‍රිස්‌තු වර්ෂයෙන් තුන්වැනි සියවසේ බව කතෝලික හා සාමාන්‍ය ක්‍රිස්‌තියානි සභාවල මතය වෙයි. එපමණක්‌ නො ව කතෝලික සභාවේ මතය අනුව ඒරියස්‌ නම් පූජකවරයා සමඟ එකඟ වී ඇත්තේ තවත් පූජකවරුන් තුන් දෙනකු පමණ ය. ඔවුහු චෞර පූජකවරු ලෙස හැඳින්වෙති.

තුන්වැනි හා හතරවැනි සියවස්‌ කතෝලික සභාව සම්බන්ධයෙන් ගත් කල වැදගත් කාල පරිච්ඡේදයක්‌ වෙයි. අපි පසුව මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ජා කරමු. බටහිර විද්‍යාවේ ආරම්භයටත් බටහිර විද්‍යාව මධ්‍යකාලීන යුරෝපයේ ඇති නො වීමටත් මේ සියවස්‌හි සිදුවිම් බලපා ඇති බව පැහැදිලි ය. කතෝලික සභාව නිල වශයෙන් රෝම අධිරාජයා විසින් පිළිගැනුණේ මේ වකවානුවෙහි දී ය. ඒ කොන්ස්‌ටන්ටයින් රජු දවස ය. එකල කතෝලික සභාවේ පූජකවරුන් අතර විවිධ මත පැතිරී තිබුණු බව පැහැදිලි ය. මේ මත අතරෙන් නිවැරැදි මතය කුමක්‌ දැයි දැනගැනීමට කොන්ස්‌ටන්ටයින් රජතුමාට අවශ්‍යතාවක්‌ තිබූ බව පැහැදිලි ය. ක්‍රිස්‌තු වර්ෂ 325 දී කතෝලික සභාවේ පළමු සම්මේලනය කැඳවන ලද්දේ ද එතුමා විසිනි. එතුමා ඒරියස්‌ නම් පූජකවරයා ඒ සම්මේලනයෙන් පසුව රටින් පිටුවහල් කෙළේ යෑයි පැවසෙයි.

ඒ එසේ නමුත් මේ වන විට ඒරියස්‌ පූජකවරයා ගේ මත යම් පිරිසක්‌ විසින් පිළිගැනී ඇති බව පැහැදිලි ය. රජතුමා ගේ පුතා ද ඒ පූජකවරයා ගේ මතය පිළිගෙන ඇත. පසුව ඒරියස්‌ පූජකවරයා නිදොස්‌ කිරීමත් නැවතත් ඔහු වැරැදිකරුවකු කිරීමත් පිළිබඳ කතාවෙන් පැහැදිලි වන්නේ කතෝලික සභාව කුමක්‌ කීවත් ඒ මතවාද අතර තියුණු අරගලයක්‌ ඉහත සඳහන් සියවස්‌වල පැවැති බව ය. පසුව ඒරියස්‌ පූජකවරයා ගේ මතය පරාජය කර ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ සංකල්පය ජයග්‍රහණය කරවීමට කතෝලික සභාව සමත් වී ඇත.

දැන් අපි ඒරියස්‌ පූජකවරයා ශුද්ධ වූ ත්‍රිත්වය සම්බන්ධයෙන් කියා ඇති දේ සලකා බලමු. ඒ කරුණු ඒ ආකාරයෙන් ම නො වූව ද ඒකත්වය පිළිබඳ ප්‍රශ්නය භාරතයේත් සංකරාචාර්යතුමා ගෙන් පසුව අද්වෛත බ්‍රහ්මන් නම් සංකල්පය නිර්මාණය වීමේ දී සාකච්ජාවට බඳුන් වන්නට ඇතැයි සිතිය හැකි ය. නාගර්ජුනපාදයන් වහන්සේ ගේ ශුන්‍යතාව නම් සංකල්පය බිහි වීමේ දී ද ඒකත්වය බලපා ඇත. ඒකත්වය යන්න බෞද්ධ සංකල්පයක්‌ නො වූවත් ඉහළ ම බෞද්ධ බුද්ධිමතා ලෙස සැලකිය හැකි බෞද්ධ නාගර්ජුනපාදයන් වහන්සේ ගේ නිර්මාණවලට ද ඒ බලපා තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඒකත්වය ආකර්ෂණීය සංකල්පයක්‌ වන බව ය.

ඒරියස්‌ පූජකවරයා කියා සිටියේ ශූද්ධ වූ ත්‍රිත්වයේ අංග තුන එක හා සමාන නො වන බව ය. එතුමාට අනුව දෙවියන් වහන්සේ හා පියා අනෙක්‌ අංග දෙකට වඩා ප්‍රධාන බව ය. එතුමාට අනුව ක්‍රිස්‌තුස්‌ වහන්සේ හෙවත් දෙවියන් වහන්සේ හා පුතා යන සංකල්පය දෙවියන් වහන්සේ හා පියා යන සංකල්පයට වඩා ද්විතීයික ය. එනම් යුදෙව් දෙවියන් වහන්සේ වූ යෙහෝවා දෙවියන් වහන්සේ ක්‍රිස්‌තුස්‌ වහන්සේට වඩා ප්‍රධාන ය.

ඒරියස්‌ පූජකවරයා ඒ මතයට අහේතුකව පැමිණියා නො වේ. ඔහු ඒ සඳහා ශූද්ධ වූ බයිබලයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ජෝන් ශාන්තු තුමා ගේ සුභාරංචියට අනුව

(17. 20-26) ක්‍රිස්‌තුස්‌ වහන්සේ පවසා ඇත්තේ දෙවියන් වහන්සේ තමන් වහන්සේට වඩා ප්‍රධාන බව ය. එමෙන් ම එතුමා අපොස්‌තුළුවරුන්ට පවසා ඇත්තේ ඔවුන් ද තමන් වහන්සේ ද දෙවියන් වහන්සේ ද එක ම වන බව ය. මෙහි බ්‍රහ්මන් සංකල්පය සමඟ සමානත්වයක්‌ ඇති බව ද පැහැදිලි ය.

එපමණක්‌ නො ව ඒරියස්‌ පූජකතුමාට අනුව ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ සමඟ සදාකාලිකව වාසය කර නැත. යම්කිසි කාලයක දී දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ද නිර්මාණය කරනු ලැබ ඇත. ඉංගිරිසි ලේඛනවලට අනුව ඒරියස්‌ පූජකවරයා ක්‍රිස්‌තුස්‌ වහන්සේට නිර්මිත ප්‍රාණියකු (Creature) යන වචනය යොදාගෙන ඇත. ඉංගිරිසියෙන් ක්‍රීචර් යන වචනය ක්‍රියේට්‌ (Create) යන වචනයෙන් බිඳෙයි. ක්‍රියේට්‌ යනු නිර්මාණය කිරීම ය. ඉංගිරිසියෙන් ක්‍රීචර්ස්‌ හෙවත් සත්ත්වයෝ යනු නිර්මාණය කරන ලද ප්‍රාණීහු වෙති. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ද එලෙස නිර්මාණය කරනු ලැබූවකු ලෙස සැලකෙයි.

ඒරියස්‌ පූජකවරයා ගේ ඉහත සඳහන් අදහස්‌වලට අනුව දෙවියන් වහන්සේ පමණක්‌ නිර්මාණය කෙරී නොමැත. එබැවින් ශූද්ධ වූ ත්‍රිත්වයෙහි දෙවියන් වහන්සේ හා පියා හෙවත් යෙහෝවා දෙවියන් වහන්සේට ඇති ප්‍රධානත්වය ක්‍රිස්‌තුස්‌ වහන්සේට හෝ ශුද්ධාත්මයට හෝ නැත. මේ අදහස්‌වලින් කියෑවෙන්නේ ක්‍රිස්‌තු වර්ෂයෙන් තුන්වැනි සියවසේ දී ඒකදේවවාදය බහුදේවවාදී රෝම සංස්‌කෘතියට අවශෝෂණය කිරීමේ දී මතු වී ඇති ගැටලු සමහරකි.

අප කලින් සඳහන් කළ ශුද්ධ වූ ත්‍රිත්වය නිර්මාණය කිරීම පිළිබඳව අපට නිගමනයකට පැමිණීමටත් කතෝලික (සමස්‌ථය හෙවත් විශ්වීයත්වය) යන සංකල්පය බිහි වීම පිළිබඳව යම් නිගමනවලට පැමිණීමටත් අවශ්‍ය සාධක ඇති බව ය. මේ සියල්ල තුන්වැනි සියවසේ හා හතරවැනි සියවසේ සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ඉගැන්වූ දෙයට අමතරව තවත් කරුණු ඒ වන විට කතෝලික ආගමට හා සංස්‌කෘතියට එකතු වී ඇති බව ය. පැරැණි රෝමයේ සිදු වූ මේ සිද්ධි ගී්‍රසියේ එයට පෙර සිදු වී ඇති සිද්ධි ද සමඟ සංසන්දනය කිරීමත් ඇරිස්‌ටෝටල් න්‍යාය කතෝලික සභාවේ න්‍යාය බවට පත් කිරීමට උත්සාහ ගත් තෝමස්‌ අක්‌වයිනාස්‌තුමා ගේ ක්‍රියා කලාපය සාකච්ජා කිරීමත් මගින් පහළොස්‌ වැනි සියවසේ ඉතාලියේ සිදු වූ ඊනියා පුනරුදය ගැන අපට යම් අවබෝධයක්‌ ලබාගත හැකි ය.