logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඒකදේවවාදයෙන් බහුදේවවාදයට

මහාචාර්ය නලින් ද සිල්වා

ක්‍රිස්‌තුස්‌ වහන්සේ ආගමක්‌ දේශනා කෙළේ ද යන්න ම ඇතැම් දෙනා නඟන ප්‍රශ්නයක්‌ වී ඇත. ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව්වන්ට හා ඔවුන් ගේ ආගමට විරුද්ධව ඇතැම් ක්‍රියාවල යෙදුණ නමුත් එතුමා ආගමක්‌ දේශනා නො කළ බවත් එය ආගමක්‌ බවට පත් වූයේ පසු කලෙක බවත් ඒ අය ගේ මතය වෙයි. නිසැකව ම කුරුසිය ආගමික සංකේතයක්‌ බවට පත් වී ඇත්තේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසුව බව පැහැදිලි ය. එහෙත් අනෙක්‌ කරුණු සම්බන්ධයෙන් ද අපට එසේ කිව හැකි ද?

අපි පළමුවෙන් ම ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව් ආගමෙන් හා යුදෙව් සංස්‌කෘතියෙන් වෙනස්‌ වන්නේ කෙසේ දැයි විමසා බලමු. යුදෙව්වෝ ඒක දේවත්වයක්‌ විශ්වාස කළ හ. ඔවුන්ට අනුව යෙහෝවා දෙවියන් වහන්සේ ලෝකය මැවූ හ. මේ මැවීම පරණ තෙස්‌තමේන්තුවේ උත්පත්ති කතා දෙකෙන් විස්‌තර කෙරෙයි. (ඇතැම් අයට මේ උත්පත්ති කතා දෙක අමතක වෙයි. ඔවුන් සිතන්නේ බයිබලයේ ඇත්තේ එක්‌ උත්පත්ති කතාවක්‌ පමණක්‌ බව ය) යෙහෝවා දෙවියන් වහන්සේ හැරෙන්නට වෙනත් දෙවිවරු යුදෙව්වන්ට නො වූ හ. එනම් ඔවුහු බහුදේවත්වය නො පිළිගත් හ. ගී්‍රකයෝ ද, රෝමයෝ ද, දඹදිව් වැසියෝ ද බහුදේවවාදී වූ හ. ඒකදේවවාදය රෝමයන්ට මෙන් ම දඹදිව වැසියනට ද බටහිර ආසියාවෙන් පැමිණ ඇති බව පැහැදිලි ය.

යුදෙව්වන්ට යෙහෝවා දෙවියන් වහන්සේ හැරෙන්නට සුර දූතයෝ හා සුර දූතිකාවෝ වූ හ. එහෙත් සුරදූතයෝ හා සුර දූතිකාවෝ කිසි විටෙකත් දෙවියන් වහන්සේට සම නො වූ හ. දෙවියන් වහන්සේ සුර දූතයන්, සුර දූතිකාවන් හැරුණු විට යුදෙව්වන්ට අනාගත වක්‌තෘවරු (ඡරදචයෑඑs) සිටිය හ. මේ අනාගත වක්‌තෘවරු මනුෂ්‍යයෝ වූ හ. ඔවුන්ට දේවත්වයක්‌ නො තිබිණි. ඉස්‌ලාම් ආගමේ ද අනාගත වක්‌තෘවරු වෙති. ඉස්‌ලාම් ආගමට අනුව ක්‍රිස්‌තුස්‌ වහන්සේ මෙන් ම මහමත්තුමා ද අනාගත වක්‌තෘවරු වෙති. එයින් මහමත්තුමා අවසාන අනාගත වක්‌තෘ වෙයි.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් දෙවියන් වහන්සේ ගේ පුතා බවත් තමන් දෙවියන් වහන්සේ බවත් ප්‍රකාශ කෙළේ යෑයි කියෑවෙයි. මේ කියමන යුදෙව්වන් ගේ සිත් ගත් එකක්‌ නො වන බව පැහැදිලි ය. යුදෙව්වන්ට දෙවියන් වහන්සේට සම කළ හැකි කිසිවෙක්‌ නො වී ය. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් දෙවියන් වහන්සේ බවත් එමෙන් ම උන්වහන්සේ ගේ පුතා බවත් කියන විට යුදෙව්වන්ට ඇති වන හැඟීම සිතාගත හැකි ය.

දැන් ප්‍රශ්නයක්‌ පැන නඟියි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් වහන්සේ දෙවියන් වහන්සේ හා පුතා බවත් දෙවියන් වහන්සේ හා පියා බවත් ශුද්ධාත්මය බවත් ප්‍රකාශ කෙළේ ද යන්න ඒ ප්‍රශ්නය වෙයි. වෙනත් වචනවලින් කිව හොත් උන් වහන්සේ ශූද්ධ ත්‍රිත්වය (Hදකහ ඔරසබසඑහ) යන යෙදුම යොදා ගත්තේ ද? අපි මෙයට දැනට එක්‌ පිළිතුරක්‌ දී ඇත්තෙමු. එනම් උන් වහන්සේ එසේ ප්‍රකාශ කළ බවත් එහි දී උන්වහන්සේට භාරතීයයන් ගෙන් ආභාසය ලැබුණු බවත් ය. භාරතීයයන් ගේ බ්‍රහ්මන් හා සම්බන්ධ ත්‍රිමූර්තිය මෙහි දී උන් වහන්සේට බලපාන්නට ඇතැයි අපි කීවෙමු.

එහෙත් මෙයට දෙවැනි පිළිතුරක්‌ ද වෙයි. ඒ පිළිතුර තරමක්‌ සංකීර්ණ ය. එහෙත් අප එය ද සලකා බැලිය යුත්තේ දැනුම නිර්මාණය හා විශේෂයෙන් ම බටහිර විද්‍යාව නිර්මාණය සම්බන්ධයෙන් ඒ වැදගත් බැවිනි. කිනම් ආකාරයකට බැලුවත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව්වන්ට විරුද්ධ වූ බැවින් උන්වහන්සේ ගේ ගෝලයන්ට ක්‍රිස්‌තුස්‌ වහන්සේ කියා දුන් දේ යුදෙව්වන් නො වූවන් අතර ප්‍රචාරය කරනු හැරෙන්නට විකල්පයක්‌ නො වී ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ද තම ගෝලයන්ට කියා ඇත්තේ යුදෙව්වන් නො වන්නන් අතරට යන ලෙස ය.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ගෝලයන් ගෙන් පීතර හා පාවුළු යන දෙදෙනා රෝමයට ගොස්‌ ඇත. ඇතැම් විට ඔවුන්ට ඒ සඳහා පිලාතේ නම් රෝම ආණ්‌ඩුකාරවරයා පිහිට වන්නට ද ඇත. රෝම ආණ්‌ඩුකාරවරයා ඒ ගෝලයන් දෙදෙනා යුදෙව්වන් ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන් රෝමයට යවන්නට ඇතැයි ද සිතිය හැකි ය. කෙසේ ගිය ද ඔවුන් දෙදෙනා රෝමයට යන විට කුමක්‌ සිදු වන්නට ඇත් ද? ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේශනා කළ දෙවියන් වහන්සේ කවුරුන් වන්නට ඇත් ද? ශූද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ සංකල්පය උන් වහන්සේට තිබෙන්නට ඇත් ද?

ශුද්ධ වූ ත්‍රිත්වය පිළිබඳ සංකල්පය ක්‍රිස්‌තුස්‌ වහන්සේට භාරතයෙන් ලැබිණි යෑයි අපි සිතමු. අපේ පළමු පිළිතුර ඒ වටා ගෙතුණු එකක්‌ වෙයි. අපි දැන් වෛදිකයන් ගේ ත්‍රීමූර්තිය පිළිබඳ සංකල්පය විමසා බලමු. ත්‍රිමුර්තිය පිළිබඳ සංකල්පය ඒකදේවවාදයක්‌, බහුදේවවාදයක්‌ ඇති රටකට අවශෝෂණය කිරීමේ දී නිර්මාණය වන්නක්‌ ලෙස සැලකිය හැකි ය. බහුදේවවාදී රටක්‌ (ප්‍රදේශයක්‌) වූ පැරැණි දඹදිව බටහිර ආසියාවෙන් පැමිණි ඒකදේව නිර්මාණවාදය ඒ ලෙස ම පිළිගත්තේ යෑයි සිතිය නොහැකි ය. ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ දඹදිව දී ලෝකයත් සමඟ ගැටෙන, ලෝකයත් සමඟ එකට ක්‍රියා කරන දෙවි මඬුqල්ලක්‌ බවට පත් වී ඇත. ලෝකය නිර්මාණය කර පැත්තකට වී නො සිටින මේ දෙවියන් වහන්සේ දඹදිව දී ලෝකයත් සමඟ ක්‍රියා කරන ලෝකය පවත්වාගෙන යන දෙවියන් කිහිප දෙනකු බවට පත් කරගෙන ඇත.

ඒක බ්‍රහ්මන් හෙවත් දෙවියන්a වහන්සේ දඹදිව දී ශිව, විෂ්ණු, ඊශ්වර යන දෙවියන් තුන් දෙනකු බවට පත් වී යෑයි අපට නිගමනය කළ හැකි වෙයි. එසේ කිරීමෙන් බහුදේවවාදය රැක ගැනීමට දඹදිව වැසියනට හැකි විය. ශිව, ලෝකය මවන්නා ලෙසත් විෂ්ණු, ලෝකය පවත්වාගෙන යන නිතර ලෝකයට පැමිණෙන්නා ලෙසත් ඊශ්වර, ලෝකය විනාශ කරන්නා ලෙසත් ගැනීමෙන් එක්‌ දෙවියන් වහන්සේ කෙනකු වෙනුවට දෙවියන් තුන් දෙනකු ඇති කර ගැනීමට දඹදිව වැසියෝ තම අවශෝෂණය ඔස්‌සේ සමත් වූ හ. ඒ අතර ඔවුන්ට අර ඒකදේවවාදය ද මුළුමනින් ම බැහැර කිරීමට නොහැකි විය. එබැවින් ඔවුහු ඒ දෙවියන් තිදෙනා එක්‌ බ්‍රහ්මන් කෙනකු ගේ ත්‍රිමූර්තිය ලෙස සැලකීමට පුරුදු වූ හ. ත්‍රිමූර්තිය යන සංකල්පය එලෙස ඒකදේවවාදයක්‌ බහුදේවවාදී සංස්‌කෘතියකට අවශෝෂණය කිරීමේ නිර්මාණය වූවක්‌ ලෙස සැලකිය හැකි ය.

මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. එලෙස ඒකදේවවාදයක්‌ අවශෝෂණය කිරීමේ දී දඹදිව එතෙක්‌ පැවැති චින්තනය හා සංස්‌කෘතිය ද වෙනස්‌ විය. එලෙස වෙනස්‌ වීමෙන් ලැබුණේ වෛදික සංස්‌කෘතියක්‌ හා චින්තනයක්‌ විය. ඒ තවදුරටත් පැරැණි දඹදිව සංස්‌කෘතිය හෝ අදාළ චින්තනය හෝ නො වී ය. බ්‍රහ්මන් එක්‌ දෙවියෙක්‌ මෙන් ම එක්‌ දෙවියෙක්‌ පමණක්‌ නො වී ය. එහි දී ත්‍රිකෝටික න්‍යාය යොදා ගැනෙන බව පැහැදිලි ය. ඒ ප්‍ර්‍රශ්නයක්‌ නො විය යුත්තේ ලෝකයේ ඇත්තේ ද්විකෝටික ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක්‌ නො වන බැවිනි.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව්වන් අතර තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා බව කියන විට දෙවියන් වහන්සේ හා තමන් වහන්සේ එක්‌ අයකු බව කියන්නට ඇතැයි සිතිය හැකි ය. එසේ කීමෙන් උන් වහන්සේ යුදෙව්වන් ගේ වෛරයට පාත්‍ර වුවත් ඒකදේවවාදය ආරක්‍ෂා කරගන්නට ඇත. දෙවියන් වහන්සේ හා පියා සහ දෙවියන් වහන්සේ හා පුතා යනු දෙදෙනකු නො වේ යෑයි කීම යුදෙව් චින්තනයට පටහැනි වන්නේ වියුක්‌තය සංයුක්‌තය බවට පත් කිරීමෙන් මිස ඒකදේවවාදයට විරුද්ධ වීමෙන් නො වේ.

ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ගෝලයන්ට රෝමයට ගෙන යැමට සිදු වූයේ මේ ඒකදේවවාද සංකල්පය ය. එහෙත් රෝම සංස්‌කෘතිය ගී්‍රක සංස්‌කෘතිය මෙන් ම බහුදේවවාදී සංස්‌කෘතියක්‌ විය. ඒකදේවවාදයක්‌ බහුදේවවාදය සංස්‌කෘතියකට ගෙන ඒමේ දී ඇති වන විරුද්ධතාව එහි දී ද ඇති විය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ගෝලයන් පිලාතේ ආණ්‌ඩුකාරයා ගේ පිහිටෙන් රෝමයට පැමිණිය ද නැත ද, රෝමයෝ ඒ ගෝලයන්ට කෙසේ වෙතත් ඔවුන් ගේ ඒකදේවවාදය පිළිගත් ක්‍රිස්‌තියානීන්ට විරුද්ධ වූ හ. ඔවුහු ක්‍රිස්‌තියානීන් වදයට භාජන කළ හ. රෝමයෝ තම කොලෝසියම් නමින් හැඳින්වුණු විශාල වටරවුම් ක්‍රීඩාංගනවල දී ක්‍රිස්‌තියානීන් වෙතට සිංහයන් මුදා හැර විනෝද වූ හ.

එහෙත් මේ සියලු වධහිංසා අතර රෝමයෙහි ක්‍රිස්‌තියානිය ක්‍රමයෙන් පැතිර ගියේ ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මරණයෙන් අවුරුදු පනහක්‌ වන විට රෝමයේ ක්‍රිස්‌තියානි ජනතාවක්‌ විය. ඒ ක්‍රිස්‌තියානීන් ගෙන් කොපමණ දෙනා වහලුන් විණි දැයි අපි නො දනිමු. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ඉගැන්වීම්වලට පීඩිතයන් ආකර්ෂණය වන්නට ඇත. ඒ කෙසේ වෙතත් ක්‍රිස්‌තියානීන්ට රෝමය ස්‌වර්ගයක්‌ නො වූ බව පැහැදිලි ය. රෝමයන් ගෙන් පැමිණි බලපෑම් යටතේ ක්‍රිස්‌තියානීන් දෙයාකාරයකට ප්‍රතිචාර දක්‌වා ඇත.

පළමු ප්‍රතිචාරය පැහැදිලි ය. ක්‍රිස්‌තියානීහු ඒකදේවවාදය අත්හැර බහුදේවවාදයට පිළිගැනීම ඒ ප්‍රතිචාරය ය. ඒකදේවවාදයක්‌ බහුදේවවාදයක්‌ බවට පත් වන්නේ පත් කරගන්නේ කෙසේ ද? ඒ සඳහා උදාහරණයක්‌ භාරතයෙන් (දඹදිවෙන්) ලැබෙයි. ඒ එක්‌ දෙවියන් වහන්සේ වෙනුවට දෙවියන් තුන් දෙනකු හෝ කිහිප දෙනකු ඇති කර ගැනීමත් ඒ අතර අර දේව සමූහයා එක ම දෙවියන් වහන්සේ ලෙස සැලකීමත් ඒ ප්‍රතිචාරය වෙයි. රෝමයේ විසූ ක්‍රිස්‌තියානීන් (මෙහි දී ක්‍රිස්‌තුස්‌ වහන්සේ නො වේ) භාරතයෙන් ආභාසය ලබන්නට ඇත. එසේත් නැත්නම් තමන් ම ස්‌වාධීනව ප්‍රතිචාරයක්‌ දක්‌වන්නට ඇත. ඒ කෙසේ වෙතත් ක්‍රිස්‌තියානීන් ශුද්ධ වූ ත්‍රිත්වය තම පිළිතුර ලෙස නිර්මාණය කර ඇති බව පැහැදිලි ය.

ශූද්ධ වූ ත්‍රිත්වය යන සංකල්පයෙන් කියෑවෙන්නේ යුදෙව්වන් ගේ යෙහෝවා නම් වූ දෙවියන් වහන්සේ එක ම දෙවියන් වහන්සේ ලෙස පවතිමින් ම දෙවියන් තුන් දෙනකු වන්නේ කෙසේ ද යන්න ය. එක ම දෙවියන් වහන්සේ, බහුවිධ වී දෙවියන් වහන්සේ හා පියා, දෙවියන් වහන්සේ හා පුතා සහ ශුද්ධ වූ ආත්මය යන දෙවියන් තිදෙනා ලෙස ගැනිණි. මෙය භාරතීය ආකෘතිය ම නො වූවත් එයට බොහෝ සමීප ය. මෙහි ලෝකය විනාශ කරන ඊශ්වර දෙවියන් නැත. ඒ වෙනුවට ඇත්තේ ශූද්ධ වූ ආත්මය ය. ලෝක විනාශයක්‌ ගැන සිතීමට දඹදිව වැසියන් පුරුදු වී සිටිය ද රෝමයන් එසේ නො සිතීම එයට හේතුව වන්නට ඇත. ඒ කෙසේ වෙතත් ඒකදේවවාදයක්‌ බහුදේවවාදී සංස්‌කෘතියකට අවශෝෂණය වීමක්‌ මෙහිදී ද සිදු වී ඇත. එසේ එක්‌ දෙවියන් වහන්aසේ රෝමයන් ගේ අවශ්‍යතාවට දෙවියන් තුන් දෙනකු වුව ද ක්‍රිස්‌තියානීsහු ඒ ත්‍රිත්වයේ ඒකත්වය අවධාරණය කළ හ. යුදෙව්වන් ගෙන් ලැබුණු ඒකදේවවාදය නාමිකව වුවත් ක්‍රිස්‌තියානීන් රැක ගත්තේ එලෙස ය.