logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


රෝගියා ගේ සුවය පිණිස ම
වෙනස්‌ වූ දොස්‌තර ඇඳුම


පුද්ගල ඇඳුම් පැළඳුම් රටාව වෙතින් අවට සමාජය වෙත නිහඬව මුදාහැරෙන සංඥාවන් අතිශයින් ප්‍රබල ය. ඇඳුමෙහි ස්‌වභාවයෙන් මෙන්ම පැහැයෙන් ද, තවත් විටක පුද්ගල ස්‌වභාවය මනෝභාවය සහ අනන්‍යතාව ද සංකේතවත් වෙයි.

වෛද්‍යවරයකු විෂයෙහි සලකා බැලෙන විට, ඔහු ගේ හෝ ඇය ගේ හෝ ඇඳුම, පැළඳුම දේශපාලනඥයකු ගේ හෝ මෝස්‌තර නිරූපණ ශිල්පියකු ගේ ඇඳුමකට වඩා බොහෝ වෙනස්‌ මුහුණුවරක්‌ ගන්නේ, සිදු කෙරෙන ගනුදෙනුව ද රෝගීන් සඳහා ම කේන්ද්‍රගත වන හෙයිනි. එය සැම විට ම වෛද්‍යවරයාත් රෝගියාත් අතර විශ්වසනීය සබඳතාවක්‌ ගොඩනැඟෙන පරිදි සකස්‌ විය යුතු ම වෙයි. එසේම එය වෛද්‍ය ක්‍ෂෙත්‍රය තුළ පවත්වාගනු ලබන චර්යා පද්ධතියකට ද අනුකූල වෙයි.

බටහිර වෛද්‍යවරයා යන වදන මඟින් එකෙණෙහි ම ජනිත වන චිත්ත රූපයෙහි ආවේණික ලක්‍ෂණ කිහිපයක්‌ තිබේ.

වෙද නළාව හැරුණු කොට අත් දිග කමිසය, එයට ම කැපෙන ටයි පටිය සහ සුදෝ සුදු දොස්‌තර කබාය ඉන් ප්‍රධාන ය. ඉහත දැක්‌වූ සංකේතාත්මක අංගයන් හමු නො වන විටක බටහිර වෛද්‍යවරයා ගේ අනන්‍යතාව මෙන්ම වෘත්තීය ගෞරවය ද ඇතැම් විටක සමාජය තුළ ප්‍රශ්න කිරීමකට ලක්‌ වෙයි. (පුහ්.. ඒත් දොස්‌තර කෙනෙක්‌ ද හැබෑට? ටයි එකක්‌ වත් නෑ. නළාව අතේ නො තිබුණා නම් දොස්‌තර කෙනෙක්‌ කියලා කියන්නත් බැහැ හලෝ)

මෙකී ජනතා මානසිකත්වයේ උච්චතම ස්‌වභාවය බොහෝ ආසියාතික රටවල දැකගත හැකි වන්නකි. ලාංකීය "පොදු ජනතාව ගේ බලාපොරොත්තුව" ද වෙනත් දෙයක්‌ නො ව මෙකී සංකේතාත්මක වෛද්‍යවරයා ම වන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. කෙසේ වෙතත් බටහිර වෛද්‍ය විද්‍යාවේ අන්තිවාරම මෙරට තුළ සකස්‌ කළ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් මේ වන විට ඉහත කී සළුපිළි ගලවා දමා තිබේ. සරලව කිව හොත් එක්‌සත් රාජධානියේ රාජ්‍ය රෝහල් පද්ධතිය (භ්‍යS) තුළ අත් දිග කමිසය, සුදු කබාය, ටයි පටිය පමණක්‌ නො ව අත් ඔරලෝසුවක්‌ හෝ පළඳින වෛද්‍යවරුන් මේ වන විට දැකගත නොහැකි වෙයි.

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියට අනුව වෛද්‍යවරුන්ට පැළඳීමට ඉඩහසර ලැබෙන්නේ ද ඉතා සිහින්ව සකස්‌ කරනු ලැබූ මඟුල් මුද්දක්‌ ම පමණි. වැරැදීමකින් හෝ ටයි පටියක්‌ කරෙහි එල්ලා ගත හොත් එය එල්ලා නො වැටෙන පරිදි කමිසයෙහි බොත්තම් අතරින් ඇතුළත ම රඳවා ගත යුතු වෙයි.

දහ නව වෑනී සියවසේ බ්‍රිතාන්‍යයේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ආරම්භ කරන ලදුව මෙතෙක්‌ සම්ප්‍රදායක්‌ ලෙසින් ආරක්‍ෂා කරගත් පිළිවෙත වෙනස්‌ වී ඇත්තේ කවර නම් වූ අරුමයක්‌ නිසා ද?

වෛද්‍යවරයා ගේ සමාජ ප්‍රතිරූපයට වඩා රෝගී සත්කාරය සහ ආරක්‍ෂාව උදෙසා ප්‍රමුඛස්‌ථානයක්‌ ලබා දීම සමස්‌ත බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ම දැකගත හැකි වන සුවිශේෂී ලක්‍ෂණයකි. විද්‍යාත්මක පදනමක්‌ මත හඳුනාගෙන ඇති පරිදි වෛද්‍යවරුන් ගේ අත් දිග කමිසය, ටයි පටිය, කබාය සහ ඇඟිලි පළඳනාවන් ද ප්‍රතිකාර පතා රෝහල් කරා ඇදී එන රෝගීන් අතරට තවත් රෝගකාරකයන් පිළිගන්වන අවදානම් සාධකයන් ය. එවන් පසුබිමක්‌ තුළ එක්‌ රෝගියකු පරික්‍ෂා කිරීමෙන් පසු තවත් රෝගියකු ස්‌පර්ශ කිරීමට යැමේ දී රෝගකාරකයන් වෛද්‍යවරයා ගේ "උපාංගයන්" හරහා පැතිර යැම වළක්‌වා ලීම මෙකී රැඩිකල් ප්‍රතිපත්තිමය වෙනසට ආසන්නතම හේතුව බවට පත් ව තිබේ.

අත් දිග කමිසය නිවැරැදිව අත් සෝදා පිරිසිදු කරගැනීමට වෛද්‍යවරුන් හට බාධාවක්‌ වීමත් කලිසම සහ කමිසය ඔවුන් සෝදා පිරිසිදු කරගත්ත ද ටයි පටිය කාලාන්තරයකට "ලොන්ඩරියකට" නො යෑවීමත් බරපතල කාරණාවන් ය. මෙකී ප්‍රතිපත්තිමය වාර්තාවේ දැක්‌වෙන පරිදි වෛද්‍යවරයා ගේ ටයි පටිය යනු "රෝගී සත්කාරයේ දී කිසිදු අයුරකින් දායක නො වන රෝග කාරකයන් ගේ ස්‌ථිර ලැගුම් හලකි"

වැලමිටෙන් පහළ නිරාවරණය කිරීමේ (ඊaරු ඉeකදඅ එයෑ eකඉදඅ) නව ප්‍රතිපත්තිය තුළ වෛද්‍යවරුන් හට අත් කොට කමිස හැඳීමත් වෛද්‍යවරියන් හට සභ්‍යත්වය සුරැකෙන පරිදි අත් කොට "බ්ලවුස" ඇඳීමත් මේ වන විට අනිවාර්ය වී තිබේ.

බ්‍රිතාන්‍ය රෝහල් පද්ධතිය තුළ රෝග වළක්‌වා ලීමේ විශිෂ්ටතම ක්‍රමවේදයක්‌ පවතින අතර හඳුනාගෙන ඇති ආකාරයට රෝහල් තුළ පැතිර යන රෝගකාරකයන් අතරින් 40%කට වැඩි ප්‍රමාණයක්‌ සඳහා වගකියනු ලබන්නේ ඵRSA බැක්‌ටීරියාව ය. මේ හැරෙන්නට Cගාeෙ බැක්‌ටීරියාව ද රෝහල් පරිසරය තුළ ම පැතිර යැමේ අවදානමක්‌ පවතියි. මෙකී රෝගකාරකයන් ප්‍රතිජීවක ඖෂධ සඳහා ඔරොත්තු නො දීම හේතුවෙන් පසුගිය සමය තුළ බ්‍රිතාන්‍ය රෝහල් අසීරුතාවකට පත් කරනු ලැබ තිබිණි.

තමන්ට අහිමි වී ගිය, ටයි පටිය හා අත් දිග කමිසය හැඳ පැළඳීමේ අයිතිවාසිකම වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් වෙතින් විරෝධතාවක්‌ මතු නො වුණ ද ස්‌වකීය අත් ඔරලෝසුව අතෙහි පැළඳීමේ අවසරය නොමැති වීම පිළිබඳව ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට තම නොසතුට පළ කර තිබේ.

මක්‌නිසා ද යත් රෝගීන් බරපතල ලෙස රෝගාතුර වන හදිසි අවස්‌ථාවල දී පහසුවෙන් රෝගියා ගේ නාඩි ගැස්‌ම සහ හුස්‌ම ගැනීමේ වේගය ක්‍ෂණිකව මැන ගැනීමේ අවස්‌ථාව ද මෙකී පසුබිම තුළ අහෝසි වී යැම හේතුවෙනි. කෙසේ වෙතත් සේවා අවස්‌ථාවල දී අතෙහි බැඳගත් ඔරලෝසුව, බඳ පටියෙහි එල්ලා ගැනීමට බොහෝ වෛද්‍යවරුන් මේ වන විට හුරු ව තිබේ.

සමස්‌තයක්‌ ලෙසින් ගන්නා කල වෛද්‍යවරුන් ගේ ඇඳුම් වෙනස බ්‍රිතාන්‍ය ජාතිකයන් වෛද්‍යවරුන් වෙත දක්‌වන ගෞරවය සහ ආදරය අඩු කරවන්නට හේතු වී ඇති බවක්‌ ද දැකගන්නට නොහැකි ය එහෙත් බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය තර්ක කරන්නේ මෙකී රැඩිකල් වෙනස්‌කම් මZඟින් වෛද්‍යවරුන් ගේ ප්‍රතිරූපයට හානි වන බවකි.

කවර සෞඛ්‍ය ප්‍රතිපත්තියක්‌ වුව ද බ්‍රිතාන්‍ය රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ඉතා පහසුවෙන් හා සාර්ථකව ක්‍රියාත්මක කරවීමේ හැකියාව ද විවෘත රහසකි.

එකී අතිශය වැදගත් කාරණාවෙහි පළමුවැන්න වන්නේ විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් නිවැරැදි සෞඛ්‍ය ප්‍රතිපත්තිමය තීරණවලට එළැඹීම ය. තීරණ ගැනීමේ පදනම සවිමත් වන තරමට ඒවා පහසුවෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද නිරායාසයෙන් ම ඇති වෙයි.

දෙවැන්න වන්නේ දේශපාලනමය ඇඟිලි ගැසීම් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ දැකගත නොහැකි වීම ය. සෞඛ්‍ය සේවාවන්හි තීරණ ගැනීම මූලික වශයෙන් විද්වත් ප්‍රජාවක්‌ විසින් ම පමණක්‌ සිදු කරනු ලබන අතර බ්‍රිතාන්‍ය දේශපාලකයන් ගේ භූමිකාව බොහෝ විට සීමා වන්නේ ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා පාර්ලිමේන්තුව හරහා ප්‍රතිපාදන (ආණ්‌ඩුවේ මුදල් නො ව ජනතා මුදල්) ලබාගැනීමේ කාර්යාවලීන් සඳහා ම පමණකි. එක්‌සත් රාජධානියේ සෞඛ්‍ය ඇමැතිවරයා යනු අප්‍රකට නමුත් වැදගත්කමින් හෙබි චරිතයකි.

වෛද්‍ය වරුණ ගුණතිලක
කායික රෝග විශේෂඥ,
එක්‌සත් රාජධානිය