logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඉතිහාස අධ්‍යයනයේ වැදගත්කම
සිහිපත් කළ ආසියානු සුනාමිය


ඉතිහාසය කුමක්‌ සඳහා ද? මෙය එක්‌තරා කාලයක දී අපේ රටේ බොහෝ සේ විවේචනයට ලක්‌ වූ මාතෘකාවක්‌ වූයේ ය. අපේ රටේ පාසල් අධ්‍යාපනයේ විෂය මාලාවෙන් ඉතිහාස විෂයය ඉවත් කර තිබූ එA කාලයේ දී මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ. වියතුන් අතින් විවේචනයට ලක්‌ වුවත් එම ප්‍රතිපත්තිය වෙනස්‌ වීමට තරමක කාලයක්‌ ගත විය. ඉතිහාසය පාසලේ දී ප්‍රධාන විෂයයක්‌ ලෙස ක්‍රමානුකූලව හැදෑරීමට නොහැකි වූ පරම්පරාවක්‌ අද අපේ රටේ සිටිති. එA පරම්පරාවට සිදු වූයේ වාසනාවකට මෙන් මෙරට ඉතිහාසය පිළිබඳව ලියෑවී තිබූ විවිධ ලිපිලේඛන හා ග්‍රන්ථ සම්භාරය කියෑවීමෙන් ඒ අඩුව පුරවා ගැනීමට ය. පසු කලක යළිත් ඉතිහාස විෂයය අපේ රටේ පාසල් විෂය මාලාවට ඇතුළත් වූයේ ය.

ඉතිහාසය යනු මිනිසා ගේ අතීතය පිළිබඳව ප්‍රධාන වශයෙන් ලිත සාධක භාවිතයෙන් සිදු කරනු ලබන අධ්‍යයනයයි. එහි දී ඉතිහාසයේ දී ඇති වූ සිද්ධි දාමයක්‌ විශ්ලේෂණය කරනු ලබන අතර එහි සිදුවීම් ඇති වූ ආකාරය හා එA සිදුවීම් සඳහා තීරණාත්මක වූ සාධක පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. ඉතිහාසය අධ්‍යයනය කිරීමේ එක්‌ අරමුණක්‌ වන්නේ වර්තමාන ගැටලූ දෙස බැලීමට ඉතිහාසයේ අප උගත් පාඩම් හා අත්දැකීම් භාවිත කිරීමට හැකි වීම ය.

ඉතිහාසය යනු බොහෝ දෙනා අදහස්‌ කරන ආකාරයට දේශපාලනයට හා යුද්ධ සංග්‍රාම ආදියට සීමා වූ විෂයයක්‌ පමණක්‌ නො වේ. රටක්‌ තුළ සිදු වන සියලු සිදුවීම් ඉතිහාස ලේඛනවල ඇතුළත් වේ. ඉතිහාසයේ දැක්‌වෙන මෙවැනි දේශපාලනික නො වන කරුණු අතර ස්‌වාභාවික ආපදා හා ව්‍යසන ආදිය ද ඇතුළත් වේ. අපේ රටේ වංසකතා තුළ මෙන්ම අනෙකුත් ඓතිහාසික ග්‍රන්ථ හා නිල ලේඛනවල ද අපේ රටේ සිදු වූ ස්‌වාභාවික ව්‍යසන පිළිබඳව යම් යම් කරුණු ඇතුළත් ව ඇත. නියඟ, සුනාමි තත්ත්ව හා භූමිකම්පා වැනි සිදුවීම් එA අතර වේ. මේ කරුණු එතරම් විස්‌තර නො වෙතත් පසුකාලීනව ඇති වූ සිදුවීම් පිළිබඳව වඩා විද්‍යාත්මක අධ්‍යයනයක්‌ සඳහා යොදාගත හැකි විස්‌තර සහිත වාර්තා අපේ රටේ තිබේ. මේ සඳහා දිය හැකි හොඳ ම නිදසුන වන්නේ 1883 වර්ෂයේ දී අපේ රටට බලපෑ සුනාමිය පිළිබඳ අප සතු විස්‌තරයි. මේ විස්‌තර ක්‍රමානුකූලව අධ්‍යයනය කර තිබුණේ නම් 2004 වර්ෂයේ දී ඇති වූ ආසියානු සුනාමියෙන් සිදු වූ විනාශය අවම කර ගැනීමට අපට හැකියාව තිබූ බව පෙනේ. එනම් ඉතිහාසයේ වැදගත්කම තහවුරු වූ තවත් අවස්‌ථාවක්‌ ලෙස මේ ෙදවාචකය සැලකිය හැකි ය.

සුනාමි හානිය වැළැක්‌වීමට ඉතිහාස දැනුම

ආසියානු සුනාමියට වසර පහක්‌ සම්පූර්ණ වූයේ දැනට සති කිහිපයකට පෙර දී ය. ඉන් අපේ රටට සිදු වූ විනාශය අතිමහත් ය. ඉන්දුනීසියාව සමීපයේ මුහුදේ සිදු වූ භූමිකම්පාවක්‌ නිසා මේ සුනාමිය ඇති විය. ඉන් සිදු වූ ජීවිත හා දේපළ විනාශය මෙරට අප දන්නා ඉතිහාසයේ එක්‌ සිද්ධියක දී සිදු වී නොමැති එකකි. වාර්තාවලට අනුව 35000කට අධික ජීවිත ප්‍රමාණයක්‌ රටට අහිමි වූ අතර තවත් 500,000කට අධික පිරිසක්‌ අවතැන් වූ හ. නිවාස හා වෙනත් ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක්‌ ද, මාර්ග, පාලම් වැනි වැදගත් යටිතල පහසුකම් ද බෙහෙවින් විනාශ වූ අතර රටේ ආර්ථිකයට දැඩි බලපෑමක්‌ ඇති විය. මේ නිසා ම උක්‌ත සුනාමිය අපේ රටේ මහත් වූ වෙනසක්‌ ඇති කළේ ය. සුනාමි අනතුරු හැඟවීම් පද්ධතිය, ආපදා කළමනාකරණය සඳහා සංවිධානගත ව්‍යqහ පිහිටුවීම වැනි ක්‍රියාවලි ඇති වූයේ මින් පසුව ය.

1883 වර්ෂයේ දී සුනාමියක්‌ ඇති වූයේ ඉන්දුනීසියාවට අයත් ක්‍රැකටෝවා දූපතේ තිබූ ක්‍රැකටෝවා ගිනි කන්ද එA වර්ෂයේ අගෝස්‌තු මස 26 වැනි දින විදාරණය වීම නිසා ය. මේ නිසා ඇති වූ "උදම් රළZ" (එසාaක ආඩැs - එවකට ඉංග්‍රීසි භාෂාවේ සුනාමි හැඳින්වීම සඳහා යොදාගන්නා ලද්දේ මේ වදනයි) අපේ රටට කඩා වැදුණේ ඊට පසු දිනයේ ය. මේ නිසා අපේ රටේ විශාල හානියක්‌ සිදු නො වූවත් එක්‌ මරණයක්‌ හා දේපොළ හානි පිළිබඳව වාර්තා වී ඇත. මේ පිළිබඳව අපේ රටේ එවකට පළ වූ පුවත්පත්වල සවිස්‌තර වාර්තා දැකගත හැකි ය. එපමණක්‌ නො ව මේ පිළිබඳව අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාව දුටු රජය මේ පිළිබඳව සැසි වාර්තාවක්‌ ද ප්‍රකාශයට පත් කළේ ය. වැඩබලන මිනුම්පතිවරයා වූ ඡේ. ස්‌ටොඩාට්‌ විසින් සකස්‌ කරන ලද මේ වාර්තාව 1884 අංක 4 දරන සැසි වාර්තාව ලෙස ප්‍රකාශයට පත් ව තිබේ.

මේ වාර්තා පිළිබඳව සංසන්දනාත්මකව අධ්‍යයනය කරන අපට එහි දී ඇති වූ සමානතා කිහිපයක්‌ හඳුනාගත හැකි ය. එA සමානතා පිළිබඳව කිසියම් වූ අවබෝධයක්‌ සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණේ නම් (ඉතිහාසය හෝ භූගෝල විද්‍යා විෂයය තුළින්) අපේ රටේ දී ජීවිතවලට සිදු වූ හානිය අඩු කර ගැනීමට අවස්‌ථාවක්‌ වූ බව පැහැදිලි ය. අප එසේ පවසන්නේ කරුණු දෙකක්‌ මත ය.

1. සුනාමි රළ අපේ රටට පැමිණි වේලාව

1883 ඇති වූ සුනාමිය හා 2004 දෙසැම්බර් මාසයේ 26 වැනි දින ව්‍යසනය උදා කළ සුනාමිය අතර දැකිය හැකි සමානතාවක්‌ වන්නේ සුනාමි රළ මෙරටේ එක්‌ එක්‌ ප්‍රදේශවලට බලපෑ වේලාවයි. සුනාමියේ බලපෑම් මුලින් ම ඇති වන්නේ නැඟෙනහිර වෙරළේ ස්‌ථාන කිහිපයකට ය. එය ස්‌වාභාවික ය. අපේ රටේ නැඟෙනහිර වෙරළ ඉන්දුනීසියානු සාගර ප්‍රදේශයට වඩාත් සමීපයෙන් පිහිටා ඇත.

1883 වර්ෂයේ ඇති වූ සුනාමියේ දී ද මීට සමාන කාල වකවානු දැකගත හැකි ය. එහි දී ද මුලින් ම රළ පහරට ලක්‌ වන්නේ නැඟෙනහිර වෙරළ තීරයයි. මේ පිළිබඳව ලංකාවේ ස්‌ථාන ගණනාවකින් ම වේලාව පිළිබඳ බොහෝ දුරට නිවැරැදි වාර්තා ලැබී තිබේ. පෙර සඳහන් කරන ලද සැසි වාර්තාවේ සඳහන් පරිදි වඩා නිශ්චිත කාල වේලාවන් සඳහන් ස්‌ථාන මෙහි පළ වන වගුවේ ඇතුළත් ය. (මඩකලපුවේ වේලා සටහන කිසියම් සැකසහිත බවක්‌ දිස්‌ වුවත් එය ද පෙරවරුවේ සිදු වූ බව පැහැදිලි ය.)

මේ කාලසටහන සමඟ 2004 සුනාමියේ කාලසටහන සංසන්දනය කිරීමේ දී අපට පැහැදිලි සමානතාවක්‌ හමු වේ.

2004 වර්ෂයේ ඇති වූ සුනාමියේ දී කල්මුනේ ප්‍රදේශය එදින පෙරවරු 8.30ට පමණ සුනාමි රළට ගොදුරු වේ. රටේ දකුණු වෙරළට සුනාමි රළ ළඟා වූයේ ඉන් පසුව ය. ගාල්ල සුනාමි රළ පහරට ලක්‌ වූයේ 9.25ට පමණ ය. මාතර ඊට පෙර සුනාමි රළ පහරට ලක්‌ ව තිබිණි. බටහිර වෙරළ තීරයේ මීගමුව දක්‌වා වූ ප්‍රදේශය සුනාමියෙන් බැට කෑවේ ඊටත් පසු ව ය. හික්‌කඩුව (9.45), බේරුවල (10.00) හා පානදුර (11.00) ප්‍රදේශ සුනාමි රළට ලක්‌ වීම පිළිබඳව වාර්තා අපට දැකිය හැකි විය.

මේ වෙනස කෙටි කාලයක්‌ වුවත් මේ ස්‌වභාවය පිළිබඳව යම් දැනුවත්කමක්‌ වූයේ නම් මේ හානිය අවම කරගැනීමට හැකියාවක්‌ තිබිණි. නිදසුනක්‌ ලෙස අතීතයේ ඇති වූ මේ සිදුවීම පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක්‌ අපට තිබුණේ නම් නැඟෙනහිර වෙරළ තීරය සුනාමියට ලක්‌ වූ පසු රටේ අනෙක්‌ වෙරළබඩ ප්‍රදේශවලට අනතුරු හැඟවීමක්‌ කිරීමට හැකියාවක්‌ නො තිබුණේ නො වේ. 1883 වර්ෂයේ දී අපට නො තිබූ ශක්‌තිමත් සන්නිවේදන ක්‍රමවේදයක්‌ 2004 වර්ෂය වන විට අපට තිබිණි. ගුවන්විදුලිය හා රූපවාහිනිය මෙන්ම දුරකථන ද මේ අතර වේ. එවැනි සිදුවීමක්‌ ඇති වූ මුල්ම අවස්‌ථාවේ දී කිසියම් දැනුවත් කිරීමක්‌ සිදු කළේ නම් ජීවිත රැසක්‌ බේරාගැනීමට හැකියාවක්‌ තිබූ බව පෙනේ. එහෙත් අවාසනාවකට මෙන් මේ සිදු වන්නේ කුමක්‌ ද යන්න ගැන එතරම් අවබෝධයක්‌ සාමාන්‍ය වැසියන්ට මෙන්ම මාධ්‍යවේදීන්ට එA අවස්‌ථාවේ දී නො වී ය. එA අපේ රටේ අතීතයේ දී ද සුනාමි තත්ත්ව ඇති වී තිබූ බව නො දැන සිටි නිසා බව පෙනේ.

2. සුනාමි රළ පැමිණීමට පෙර ඇති වූ සිද්ධි

සුනාමි රළ පැමිණීමට පෙර මුහුදේ ජල මට්‌ටම පහළ බැසීමක්‌ දැකිය හැකි වීම සුනාමි අවස්‌ථාවක දී මුලින් ම නිරීක්‌ෂණය කළ හැකි අසාමාන්‍ය සිදුවීමකි. එය 1755 තරම් අතීතයේ පෘතුගාලයේ ලිස්‌බන්හි සිදු වූ සුනාමියේ දී ද වාර්තා වී ඇත. මේ නිසා සුනාමි අවදානමක්‌ ඇති රටවල මේ දර්ශනය අනතුරු හැඟවීමක්‌ ද වේ.

මේ ආකාරයෙන් මුහුදු ජල මට්‌ටම අඩු වීම ලංකාවට 1883 දී බලපෑ සුනාමියේ දී ද සිදු වී තිබේ. 1883 දී ඇති වූ මේ ආකාර ම මුහුදේ ජල මට්‌ටම අඩු විම එක්‌ සිංහල පුවත්පතක්‌ වාර්තා කරන්නේ "මුහුදේ අපූරු දිය සිඳීමක්‌" යන සිරස්‌තලයෙනි. වෙරළේ සිටි ජනතාව විවෘත වූ මුහුදු පත්ලෙන් විවිධ ද්‍රව්‍ය එකතු කිරීමට හා මසුන් ඇල්ලීමට පෙලඹුණු බව මේ වාර්තාවල සඳහන් ය. එහෙත් මේ සිදුවීම පිළිබඳව අවබෝධයක්‌ නොමැති වීම නිසා 2004 වර්ෂයේ දී මුහුදු ජල මට්‌ටම පහළ බැසීම නැරඹීමට ගිය අය ද විශාල පිරිසක්‌ මුහුදට බිලි වූ හ.

අවසන් වශයෙන් කිව යුත්තේ මේ වන විට සුනාමි පිළිබඳව මෙරට පාසල් විෂය මාලාව තුළට ඇතළත් ව ඇති බව ය. එය සතුටට කරුණකි. මේ ආකාරයෙන් ලබා දෙන දැනුම මඟින් අනාගතයේ ඇති විය හැකි සුනාමියක දී සිදු විය හැකි හානිය වළක්‌වා ගැනීමට අපට හැකියාවක්‌ ලැබෙනු ඇත. ඉතිහාසය පිළිබඳ අවබෝධය භාවිතයෙන් අපේ වර්තමානය හා අනාගතය හැඩගස්‌වා ගැනීමට අපට හැකියාව තිබේ.

ධනේෂ් විසුම්පෙරුම