logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශ්‍රී ලංකාවේ වී වගා කරන පස

ලංකාවේ වගා කෙරෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්‌ටෙයාර් 780000ක්‌ පමණ වේ. මේ බිම් ප්‍රමාණය විවිධ කෘෂි දේශගුණික කලාපවල පැතිර ඇත. මේ කුඹුරු ඉඩම් අභ්‍යන්තර නිම්න පද්ධති ලෙස ද, දියලු තැනිතලා ලෙසද, සමුද්‍රසන්න තැනිතලා ලෙස ද, පිටාරතැනි ලෙස ද, උස්‌ කඳු බෑවුම්වල තට්‌ටු ලෙස ද දක්‌නට ලැබේ.

ඉහත සඳහන් ඉඩම් ප්‍රමාණයෙන් 80%ක්‌ ඇත්තේ අභ්‍යන්තර නිම්න පද්ධති ලෙස ය. පාංශූ වර්ගීකරණය අනුව මේ කුඹුරුවල වැඩි ප්‍රමාණයක්‌ ඇත්තේ ඇල්ෆිසොල් යන පාංශූ කාණ්‌ඩයට අයත් පස ය. උල්ටිසොල්, එන්ටිසොල්, ඉන්සෙප්ටිසොල් හා හිස්‌ටොසොල් යන පාංශු කාණ්‌ඩවලට අයත් පස්‌ ද දක්‌නට ලැබේ. මීට අමතරව වර්ටිසොල්, ඇරිඩොසොල්  හා මොලිසොල්  යන පාංශු කාණ්‌ඩවලට අයත් කුඹුරු පස්‌ වර්ග ද ඇත.

ඉහත සඳහන් පාංශු කාණ්‌ඩවලට අයත් කුඹුරු පස භූමියේ පිහිටීම, ජලවහනය හා මූලික ද්‍රව්‍ය අනුව ප්‍රධාන කාණ්‌ඩවලට බෙදා තිබේ.

වී වගා කරන පස්‌ කාණ්‌ඩ හා ඒවායේ පිහිටීම ගැන සලකා බලන කල එය පහත ආකාර වේ.

වියළි හා අතරමැදි කලාපයේ රතු හා දුඹුරු පස ද, චූර්ණමය නො වන දුඹුරු පස ද, රෙන්ඩීසිනා පස ද, වියළි, අතරමැදි හා තෙත් කලාපවල අවහියුමික ග්ලේ පස හා දියලු පස ද, තෙත් හා අතරමැදි කලාපවල රතු කහ පොඩ්සොලික්‌ පස හා රතු දුඹුරු ලැටසොලික්‌ පස ද, තෙත් කලාපයේ අපරිණත දුඹුරු ලෝම පස හා අර්ධ වගුරු හා වගුරු පස ද, වියළි කලාපයේ වික්‍ෂාරීත සොලනේට්‌ පස, සොලොනොවැක්‌ පස හා ග්රුබොසොල් පස යන කාණ්‌ඩවලට අයත් පස්‌ ද දක්‌නට ලැබේ.

වියළි කලාපීය දුඹුරු පස

වියළි කලාපයේ දුඹුරු පස අභ්‍යන්තර නිම්න පද්ධති ලෙස ද, වෙරළාසන්න තැනිතලා ලෙස ද, ගංවතුරට යට වන මිටියාවත් හෙවත් පිටාර තැනි ලෙස ද දක්‌නට තිබේ. අභ්‍යන්තර නිම්න පද්ධතිවල ඇති කුඹුරු ඉඩම් පළල් වූ ද, සාමාන්‍ය ආනතියකින් යුක්‌ත වූ ද ඒවා වන අතර කුඹුරු පස්‌ රතු දුඹුරු පස, අවහියුමික ගලේ පස, චූර්ණමය නො වන දුඹුරු පස හා දියලු පස වේ.

මෙයින් රතු දුඹුරු පසෙහි ච්‍ය අගය 6-7 වන අතර වයනය වැලි මැටි ලෝම සිට වැලි ලෝම දක්‌වා වෙනස්‌ වේ. කැටායන හුවමාරු ධාරිතාව පස්‌ කිලෝග්රෑමයකට සෙන්ටි මවුල 12-25ක්‌ පමණ වේ. හාස්‌මික සංතෘප්තතාව 65%-80% වන අතර පාංශු ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්රෑම් 1.5-1.6 අතර වේ. මැටි ඛනිජ ලෙස ප්‍රධාන වශයෙන් කැවොලිනයිට්‌ ද, සුළු වශයෙන් ඉලයිට්‌ හා මොන්ට්‌මොරිලොනයිට්‌ ද ඇත. මේ පස උසස්‌ බෝග උත්පාදක ශක්‌තියකින් යුක්‌ත වේ.

වියළි කලාපයේ ඇති අවහියුමික ග්ලේ පස අළු පැහැයෙන් යුක්‌ත වන අතර පාංශු වයනය වැලි, මැටි ලෝම සිට වැලි මැටි දක්‌වා වේ. පාංශු ප්‍රතික්‍රියාව හෙවත් ච්‍ය අගය 6-7.5 අතර වේ. කැටායන හුවමාරු ධාරිතාව පස්‌ කිලෝග්රෑමයකට සෙන්ටිමවුල 15ත් 30ත් අතර වේ. භාෂ්මික සංතෘප්තතාව 75%-85% වන අතර පාංශු දෘශ්‍ය ඝනත්වය 1.4-1.7ක්‌ අතර වේ. මෙහි ප්‍රධාන මැටි ඛනිජ ලෙස මොන්ට්‌මොරිලොනයිට්‌, කැවොලිනයිට්‌ හා ඉලයිට්‌ ඇත. මේ පස වියළි කලාපයේ ඉතා සාරවත් පස වේ. ජල හිඟයක්‌ නොමැති නම් යල කන්නයේ දී විශාල අස්‌වැන්නක්‌ ලබාගත හැකි ය.

චූර්ණමය නො වන දුඹුරු පස වියළි කලාපයේ නැඟෙනහිර කොටසේ අම්පාර මඩකලපුව වැනි ප්‍රදේශවල ඇත. මෙය නොගැඹුරු පසකි. මෙහි අම්ල පාංශු ප්‍රතික්‍රියා දක්‌වන අතර, කාබනික ද්‍රව්‍ය හා නයිට්‍රජන් ප්‍රමාණය ඉතා අඩු ය. වැලි ලෝම සිට ලෝම වැලි දක්‌වා වූ රළු පාංශු වයනයකින් යුක්‌ත වන අතර මධ්‍යස්‌ථ ජලවහනයක්‌ සහිත ය. භෞතික සශ්‍රීකත්වය තරමක්‌ දුර්වල වේ. පාංශු ව්‍යqහයේ දුර්වලතාව හේතු කොටගෙන තරමක සෝදාපාලුවක්‌ දක්‌නට ඇත. එහෙත් ලංකාවේ මහව ප්‍රදේශයේ ඇති චූර්ණමය නො වන දුඹුරු පස මධ්‍යස්‌ථ ගැඹුරකින් ද, රළු වයනයකින් ද, මනා ජලවහනයකින් ද යුක්‌ත වන අතර සතුටුදායක භෞතික ගුණාංගයන් ගෙන් යුත්, සෝදාපාලුව අඩු පසකි. චූර්ණමය නො වන දුඹුරු පසෙහි බෝග උත්පාදක ශක්‌තිය රතු දුඹුරු පසට වඩා අඩු ය. එහෙත් මහව ප්‍රදේශයේ ඇති චූර්ණමය නො වන දුඹුරු පස අනෙකුත් ප්‍රදේශවල ඇති එම පසට වඩා බෝග උත්පාදක ශක්‌තියෙන් යුක්‌ත ය. මේ චූර්ණමය නො වන දුඹුරු පසට යා ව පහළ කොටසේ අවහියුමික ග්ලේ පස පිහිටා තිබේ. එහෙත් මේ අවහියුමික ග්ලේ පසේ බෝග උත්පාදක ශක්‌තිය රතු දුඹුරු පසට යා වූ අවහියුමික ග්ලේ පසෙහි බෝග උත්පාදනයට වඩා අඩු බවක්‌ දක්‌වයි.

වියළි කලාපයේ දක්‌නට ඇත්තේ වී වගා කරන දියලු පස ය. මේ පස ජලය මඟින් රඳවනු ලැබූ නිධි වේ. මෙය පාංශු වර්ගීකරණයේ දී එන්ටිසොල් යන පාංශු පෙළට අයත් වේ. උඩ තට්‌ටුවේ කාබනික ද්‍රව්‍ය එකතුව හැරුණු විට එහි පැතිකඩෙහි වර්ධනයක්‌ නැත. මිටියාවත් සහ ඇළ දොළ ගංගා ආශ්‍රිත ජලයෙන් යට වන තැනිතලා මත්තෙහි දියලු පස පහසුවෙන් දැකගත හැකි ය.

වියළි කලාපයේ උතුරු හා වයඹ පෙදෙසේ මුහුදු තීරයේ වික්‌ෂාරිත සොලනේට්‌ සහ සොලොනොවැක්‌ යන පස්‌ දක්‌නට ඇති අතර මේවායේ ලවණතාව හා ක්‍ෂාරියතාව දක්‌නට ලැබේ. මෙම තත්ත්වයන් වී අස්‌වැන්න කෙරෙහි තදින් බලපායි. මේ පසෙහි PH අගය 8.5ක්‌ වන අතර විද්යුත් සන්නායකතාව ඩෙසිමීටරයට මිලිසීමන් 4කට වඩා වැඩි වේ. මේ පසෙහි ඔරොත්තු දෙන වී ප්‍රභේද වගා කළ යුතු වන අතර ලවණ ඉවත් කිරීමට භෞතික හා රසායනික ක්‍රම භාවිත කළ හැකි ය.

අතරමැදි කලාපය

දේශගුණය, උත්නතාංශය හා පාංශු කාණ්‌ඩ අනුව අතරමැදි කලාපය කොටස්‌ 03කට බෙදනු ලැබේ.

ඒ, පහතරට අර්ධ තෙත් කලාපය, පහතරට අර්ධ වියළි කලාපය සහ මැදරට වියළි කලාපය ලෙසිනි.

මෙයින් පහතරට අර්ධ තෙත් කලාපයේ රතු කහ පොඩිසොලික පස ඉඩම් පද්ධතියක උඩ කොටසේ ද පහළ කොටසේ ජලය රැඳවෙන කොටස තුළ අවහියුමික ග්ලේ පස ද දක්‌නට ඇත. මෙයින් මධ්‍යස්‌ථ ජලවහනයක්‌ ඇති අවහියුමික ග්ලේ පසෙහි වර්ණය තද දුඹුරු සිට කහ දුඹුරු වේ. පස්‌ පැතිකඩයක මැංගනීස්‌ හා යකඩවලින් වර්ණවත් වූ වර්ණක හා ලප ගැසීම් දක්‌නට ඇත. මේ අවහියුමික ග්ලේ පසෙහි පාංශු වයනය වැලි මැටි සිට වැලි මැටි ලෝම වේ. PH අගය 5-6ත් අතර වේ. කැටායන හුවමාරු ධාරිතාව පස්‌ කිලෝග්රෑමයට සෙන්ටිමෞල 5.2-7.2ත් අතර වේ. භාස්‌මික සන්තෘප්තතාව 35%-40% අතර වේ. මේ ඉඩම්වලින් 75%ක්‌ ම වර්ෂා පෝෂිත වේ. බෝග උත්පාදක ශක්‌තිය මධ්‍යස්‌ථ වන අතර වියළි කලාපීය අවහියුමික ග්ලේ පසට වඩා සරු බවින් අඩු ය. අතරමැදි කලාපයේ මධ්‍යස්‌ථ ජලවහනයක්‌ ඇති රතු කහ පොඩිසොලික පසෙහි ඉතා සුළු ප්‍රමාණයක වී වගා කරනු ලැබේ. ආම්ලිකතාව, යකඩ විෂ වීම වැනි පාංශු ගැටලු මේ පස්‌වල දක්‌නට ඇත. අතරමැදි කලාපයේ ඇති දියලු පසෙහි ද වී වගා කරනු ලැබේ.

අතරමැදි කලාපයේ රතු දුඹුරු ලැටසොලික්‌ පසෙහි මධ්‍යස්‌ථ ජලවහනයක්‌ ඇති කොටස්‌වල වී වගා කරනු ලැබේ. පසෙහි ච්‍ය අගය 6ක්‌ පමණ වන අතර පොස්‌පරස්‌ ප්‍රමාණය ඉතා අඩු ය. පොටෑසියම් සැපයුම හොඳ වුවත් කැල්සියම් හා මැග්නීසියම් යන පෝෂක මූලද්‍රව්‍ය සැපයුම මධ්‍යස්‌ථ වේ. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල මේ පස සාරවත් ය. ජල පහසුකම් සැපයේ නම් කන්න දෙක ම වගා කළ හැකි ය.

තෙත් කලාපීය දුඹුරු පස

ලංකාවේ කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 30%ක්‌ ඇත්තේ තෙත් කලාපයේ ය. පිහිටීම, උන්නතාංශය හා භූමි දර්ශනයේ රූපාකාරය අනුව කොටස්‌ තුනකට බෙදිය හැකි ය.

* මැදරට හා උඩරට පිහිටි අභ්‍යන්තර නිම්නවල හා කඳු බෑවුම්වල තට්‌ටු ලෙස පිහිටි කුඹුරු ඉඩම්.

* පහතරට තෙත් කලාපයේ අභ්‍යන්තර නිම්නවල පිහිටි කුඹුරු ඉඩම්.

* බස්‌නාහිර හා නිරිතදිග සමුද්‍රdසන්නයේ පිහිටි කුඹුරු ඉඩම් හා ජල ගැලීම්වලට පාත්‍ර වන පිටාර තැනිතලා.

මෙයින් මැදරට තෙත් කලාපයේ පිහිටි දියලු පසෙහි මහ කන්නයේ වී වගාව ද, යල කන්නයේ එළවළු වගාව ද කරනු ලැබේ. මේ පස මහවැලි නදියේ පිටාර තැනිතලා ලෙස ගම්පොළ හා ගන්නෝරුව යන පෙදෙස්‌වල ඇත. මේ පසට තද දුඹුරු පැහැයක්‌ ඇති අතර හොඳ ජලවහනයක්‌ ද ඇත. පාංශු වයනය මැටි ලෝම සිට මැටිමය වේ. පස්‌ පැතිකඩක A, B සහ C කලාප පහසුවෙන් දැකගත හැකි ය. පාංශු ව්‍යqහය අනුකෝණාකාර කැබැලි වේ. පාංශු දෘශ්‍ය ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්රෑම් 1.3-1.5ක්‌ වේ. PH අගය 4.5-5.5ත් අතර වේ. කාබනික ද්‍රව්‍ය 1%-2% අතර වේ. කැටායන හුවමාරු ධාරිතාව පස්‌ කිලෝග්රෑම් 1කට සෙන්ටි මවුල 5-8 අතර වේ. ලබාගත හැකි පොස්‌පරස්‌ ප්‍රමාණය මිලියනයකට කොටස්‌ 15-20 අතර වේ.

මැදරට තෙත් කලාපයේ වී වගා කරන අවහියුමික ග්ලේ පස්‌ ද ඇත. මේ පසෙහි කඳු සහිත ප්‍රදේශවලින් සෝදා පැමිණ තැන්පත් වූ ද්‍රව්‍ය මාතෘ ද්‍රව්‍ය ලෙස ඇත. දුර්වල හෝ ඉතා දුර්වල ජලවහනයක්‌ ඇත. අනු කෝණික කුට්‌ටිමය පාංශු ව්‍යqහයක්‌ ඇත. පසේ ඇති මයිකා නිසා පොටෑසියම් ප්‍රමාණය බහුල ය. මතුපිට පස කහ පැහැයට හුරු දුඹුරු පසකි. පාංශු වයනය මැටි ලෝම සිට මැටිමය වේ. PH අගය 4.5-5 අතර වේ. කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය 1%-2% වේ. පාංශු දෘශ්‍ය ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්රෑම් 1.2-1.3ක්‌ පමණ වේ. කැටායන හුවමාරු ධාරිතාව පස්‌ කිලෝග්රෑමයකට සෙන්ටිමවුල 8-10 අතර වේ. මේ පසෙහි කන්න දෙක ම වී වගා කළ හැකි ය.

(මතු සම්බන්ධයි)