logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආචරණ හා ආවරණය පිළිබඳ කපිල සූත්‍රය

මහාචාර්ය නලින් ද සිල්වා

පැරැණි ග්‍රීකයෝ අවුරුදු දෙ දහසකට පමණ පෙර එවකට බටහිර ආසියාවේ, භාරතයේ හා මිසරය (ඊජිප්තුව) වැනි අප්‍රිකාවේ උතුරේ පිහිටි රටවල (මේ ඇතැම් රටවල් මධ්‍යධරණී මුහුද අවට රටවල් වෙයි) තිබූ දැනුම ස්‌වසිද්ධි කිහිපයක්‌ මත පදනම් ව ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් ව්‍යqත්පන්න කළ හ. ගී්‍රකයන් ගේ මේ ස්‌වර්ණමය කාල පරිච්ඡේදය අවුරුදු තුන් සියයකට පමණ සීමා විය. ඔවුහු එතෙක්‌ තිබූ දැනුම ක්‍රමවත් ව සකස්‌ කළෝ යෑයි කිව හැකි ය. එතෙක්‌ පැවැති දැනුම ක්‍රමානුකූලව සංවිධානය කිරිමෙන් පසුව ගී්‍රකයන් ගේ කාර්යභාරය අවසන් විය. ඉන්පසු බටහිර නැවතත් දැනුම් කේන්ද්‍ර ස්‌ථානයක්‌ බවට පත් වූයේ ඊනියා පුනරුදයෙන් පසු ව ය.

පෛතගරස්‌ ප්‍රමේයය බැබිලෝනියාවේ, ඊජිප්තුවේ හා භාරතයේ නො තිබිණි. ඒ රටවල තිබුණේ ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයෙහි පාදවල දිගෙහි වර්ග පිළිබඳ සූත්‍ර ය. එහෙත් එපමණකින් ඒ රටවල ජනයාට හෝ ගණිතඥයන්ට හෝ පෛතගරස්‌ ප්‍රමේයයට හිමිකම් කිව හැකි නො වේ. පෛතගරස්‌ ප්‍රමේයයේ ඊනියා කොටසකටත් හිමිකම් කීමට ඒ රටවල ජනයාට හෝ ගණිතඥයන්ට හෝ නොහැකි ය. වෙනත් රටවල තිබූ දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කළ ගී්‍රකයෝ පෙර නුවූ දැනුමක්‌ නිර්මාණය කළ හ.

පෛතගරස්‌ ප්‍රමේයය හා ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණවල පාදවල දිග පිළිබඳ සූත්‍ර අතර ඇත්තේ විශාල වෙනසකි. පෛතගරස්‌ ප්‍රමේයය ලබාගත්තේ ඒ සූත්‍රවලින් නො වේ. ඒ සූත්‍ර ආවරණය කිරීමකින් පෛතගරස්‌ ප්‍රමේයය නො ලැබෙයි. පෛතගරස්‌ ප්‍රමේයය ස්‌වසිද්ධි කිහිපයක්‌ පදනම් කර ගනිමින් සාධනය කෙරුණු ප්‍රමේයයකි. කපිල පීරිස්‌ මහතාට තම පාසල් ජ්‍යාමිතිය ඇසුරින් මෙය තේරුම් ගත නොහැකි ය. යම් අයුරකින් පෛතගරස්‌ට එවැනි සූත්‍ර ගැන දැනුමක්‌ නො තිබුණත් ත්‍රිකෝණයක්‌ හා සෘජුකෝණී ත්‍රිකෝණයක්‌ අර්ථ දැක්‌වීමෙන් පසුව ඇතැම් ජ්‍යාමිතික ප්‍රමේයය හා ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් තමා නමින් ඇති ප්‍රමේයය සාධනය කිරීමේ හැකියාව තිබිණි. පෛතගරස්‌ ප්‍රමේයය යනු එතෙක්‌ පැවැති සූත්‍රවල සාධාරණීකරණයක්‌ නො වේ. ඒ ඒ රටවල එදා නො තිබූ ජ්‍යාමිතික දැනුම් රාශියක්‌ යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ඇති බව අවබෝධ කරගත යුතු ය.

බැබිලෝනියාවේ ඊජිප්තුවේ භාරතයේ තිබුණේ සංයුක්‌ත දැනුමකි. එහෙත් ග්‍රීකයන් ගේ දැනුම වියුක්‌ත විය. ගී්‍රකයන් ගේ සරල රේඛාවක්‌ යන්න ම වියුක්‌ත සංකල්පයකි. එහි වියුක්‌ත බව නැති කළ හොත් සරල රේඛාවක්‌ ඉතිරි නො වේ. බටහිර ඉංජිනේරු ගණිතයෙහි සරල රේඛාවල වියුක්‌ත බව අවධාරණය නො කළ පමණින් කපිල පීරිස්‌ මහතාට සරල රේඛාවේ වියුක්‌තය නැති කර එය අපේ (අඩු ම තරමින් භාරතයේ) ගණිතමය භූතාර්ථයක්‌ බවට පත් කරගත හැකි නො වෙයි. වියුක්‌තය නැති ව බටහිර වැනි ජ්‍යාමිතියක්‌ ගොඩනැඟිය නොහැකි බව කපිල පීරිස්‌ මහතාට අවබෝධ නො වන්නේ ඔහු ගේ බටහිර ඉංජිනේරු පුහුණුවේ ඇති අඩුපාඩුවක්‌ නිසා විය හැකි ය.

නිව්ටන් ගේ කාලය පැමිණෙන විට ඒ තවත් සංකීර්ණ වී අවසාන ය. නිව්ටන් ගේ භෞතික විද්‍යාව ද වියුක්‌ත ය. නිව්ටන් හා එයට පෙර ගැලීලියෝ වියුක්‌ත සංකල්ප බටහිර විද්‍යාවේ යොදා ගත්තෝ ය. මේ දැනුමෙන් වියුක්‌තය ඉවත් කිරීමෙන් පසු ඉතිරි වන්නේ නැවතත් සූත්‍ර ටිකක්‌ පමණ ය. මේ සූත්‍රවල ඇතැම් මූලධර්ම ඇති බවට සැකයක්‌ නැත. එහෙත් ඒ මූලධර්ම බටහිර විද්‍යාවේ පමණට වියුක්‌ත මූලධර්ම නො වේ. අපට අද ප්‍රශ්නය වී ඇත්තේ මේ මූලධර්ම කවරේ දැයි නො දැනීම ය. අවාසනාවකට කපිල පීරිස්‌ මහතා වැන්නවුන්ට ඒ මූලධර්ම ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය ප්‍රතිභාව ඇති බවක්‌ පෙනෙන්නට නැත.

අප කියන්නේ වියුක්‌තය ඉවත දැමීම නො වේ. අප ද අප චින්තනයට යම් වියුක්‌ත බවක්‌ එකතු කරගත යුතු ය. ථෙරවාද සම්ප්‍රදායෙහි අභිධර්මයෙහි මේ වියුක්‌තභාවය දැකගන්නට ඇත. අප බටහිරයන් පමණට වියුක්‌ත විය යුතු යෑයි මෙයින් අදහස්‌ නො කරයි. වියුක්‌තයේ අන්තයට නො ගොස්‌ වියුක්‌තය හා සංයුක්‌තය අතර සමායෝජනයකට සමතුලිත බවකට එළඹීමට අපට හැකි විය යුතු ය. එහි දී පළමුව කළ යුත්ත නම් අපේ චින්තනයෙහි දැනට මඳ වූ වියුක්‌තය වැඩි කර ගැනීම ය. ඒ සමඟ අපි අපේ චින්තනය ද යම් පමණකින් වෙනස්‌ කරගන්නා බව අපි දනිමු. එහෙත් එසේ නොමැති ව අපට බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් එල්ල වන ප්‍රහාරයට මුහුණ දිය නො හැකි ය. අපේ දැනට පවත්නා චින්තනය ඒ අයුරින් ම තවත් අවුරුදු දෙ දහස්‌ පන් සියයක්‌ පවත්වාගෙන යැම අපේ අභිප්‍රාය නො වන්නා සේ ම ඒ කළ හැක්‌කක්‌ ද නො වේ. අපට බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මිදීමට නම් අප අපේ චින්තනයට වියුක්‌තය යම් පමණකින් ලබාගෙන ඒ චින්තනයට බටහිර දැනුම අවශෝෂණය කළ යුතු ය. ඒ අතර නව දැනුම් ද නිර්මාණය කළ යුතු ය.

කපිල පීරිස්‌ මහතා මේ කිසිවක්‌ නො පිළිගනියි. ඔහුට දැනුම නිර්මාණය කිරීම නම් ක්‍රියාවලිය පිළිබඳ අබමල් රේණුවක වත් දැනුමක්‌ නැත. ඔහු කියන්නේ නිව්ටන් සහ අනෙක්‌ බටහිරයන් අප සංයුක්‌තව නිර්මාණය කර තිබූ ආචරණ රාශියක්‌ ආවරණය වන පරිදි සරල සූත්‍ර ගණනක්‌ ඉදිරිපත් කර ඇති බව ය. ඔහු එය ප්‍රශ්නයක්‌ ලෙස ඉදිරිපත් කර ඇතත් ඒ ඔහු ගේ අදහස බව පැහැදිලි ය. කපිල පීරිස්‌ මහතා ගේ දැනුම පිළිබඳ දැනුම එයින් ම පැහැදිලි වෙයි. නිව්ටන් සහ අනෙක්‌ වත්මන් බටහිර විද්‍යාඥයන් කරන්නේ ප්‍රවාද ඉදිරිපත් කිරීම මිස සූත්‍ර ඉදිරිපත් කිරීම නො වේ. අඩු තරමින්

පැරැණි ගී්‍රකයෝ වත් එසේ සූත්‍ර ඉදිරිපත් නො කළ හ. ගී්‍රකයන් ස්‌වසිද්ධි කිහිපයක්‌ මත පදනම් වී ප්‍රමේයය සාධනය කළ ආකාරයට මෙන් ම නො වුවත් නිව්ටන් සහ අනෙක්‌ බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත ප්‍රවාද මත පදනම් වී ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රතිඵල අපෝහනය කරති. ඒ ප්‍රතිඵල නිරීක්‍ෂණ සමඟ සංගත වීම අනිවාර්ය නො වුවත් බොහෝ විද්‍යාඥයෝ නිරීක්‍ෂණවල ප්‍රතිඵල තම ප්‍රවාදවලින් අපෝහනය කිරීමට උත්සාහ කරති.

මේ ප්‍රවාද යනු සූත්‍ර වත් සූත්‍රවල සාධාරණීකරණයක්‌ වත් නො වේ. ඒ ප්‍රවාද හැකිතාක්‌ සාධාරණ ව ප්‍රපංච වැඩි ප්‍රමාණයක්‌ තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කිරීම බටහිර විද්‍යාඥයන් ගේ අරමුණ වෙයි. අපි උදාහරණයකට නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගනිමු. (කපිල පීරිස්‌ මහතා ගේ සහ ඔහු ගේ මිතුරු දාර්ශනිකයන් ගේ අදහස අනුව එය නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ සූත්‍රය විය හැකි ය.) එයට බොහෝ දෙනා මෑතක්‌ වන තුරු කීවේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ විශ්වීය නියමය කියා ය. එය ඒ තරමට ම සාධාරණ නියමයක්‌ යෑයි බොහෝ දෙනා විශ්වාස කළ හ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අඩු ම තරමින් ඒ ඒ වස්‌තු අතර ඇති ලෙස ගනු ලැබූ සූත්‍ර රාශියක්‌ ආවරණය වන පරිදි කරන ලද සාධාරණීකරණයක්‌ වත් නො වේ. එලෙස ආවරණ සූත්‍රයක්‌ (කපිල පීරිස්‌ මහතා ගේ බසින්) නිර්මාණය කර ගැනීමට එවැනි සූත්‍ර නො තිබිණි.

නිව්ටන් ගුරුත්වාකර්ෂණ ප්‍රවාද මඟින් පෘථිවියේ හා පෘථිවියෙන් බාහිර ව වස්‌තු එකිනෙක ආකර්ෂණය කරන්නේ එක ම අයුරින් යෑයි ප්‍රකාශ කෙළේ ය. ගැලීලියෝ තම දුරේක්‍ෂය මගින් ද එයට සමාන දෙයක්‌ කෙළේ ය. දුරේක්‍ෂය පිළිබඳ දැනුමක්‌ මෙරට ද තිබුණු බවට සාක්‍ෂි වෙයි. එහෙත් මෙරට කිසිවෙක්‌ පෘථිවියෙන් බාහිරව වස්‌තු සඳහා ද ඒ යොදා ගැනීමට උත්සාහ නො කළ හ. එහෙත් ගැලීලියෝ තම දුරේක්‍ෂය යොදා ගනිමින් බ්‍රහස්‌පති ග්‍රහයා ගේ චන්ද්‍රයන් නිරීක්‍ෂණය කළේ ය. ඒ ආලෝකය පිළිබඳ ඔහුට තිබූ වියුක්‌ත දැනුම නිසා කළ දෙයක්‌ විය. ගැලීලියෝ ගේ මේ නිරීක්‍ෂණය බටහිර භෞතික විද්‍යාවේ සන්ධිස්‌ථානයක්‌ ලෙස සැලකෙයි. පෘථිවිය මත බලපාන අයුරින් ම බටහිර භෞතික විද්‍යාවේ මූලධර්ම පෘථිවියෙන් බාහිරව ද වලංගු වන්නේ යෑයි පළමු වරට උපකල්පනය කරන ලද්දේ ගැලීලියෝ විසිනි.

කපිල පීරිස්‌ මහතා කියන්නාක්‌ මෙන් නො ව බටහිර විද්‍යාවේ ආචරණ රාශියක්‌ ආවරණය වන පරිදි ඊනියා සූත්‍ර (ප්‍රවාද) ගොඩනැඟීමක්‌ නො සිදු වෙයි. ජීවිතයේ කිසිදු දිනෙක නිර්මාණයක්‌ කර නොමැති හා දැනුම නිර්මාණය කිරීම යනු කුමක්‌ දැයි නො දන්නා ඒ මහතාට මේ පිළිබඳ අවබෝධයක්‌ නොමැත. බටහිර විද්‍යාවේ ඇතැම් විට කෙරී ඇත්තේ යම් ප්‍රපංච කුලකයක්‌ තේරුම් ගැනීම සඳහා උපකල්පනයක්‌ ඉදිරිපත් කිරීම ය. ඒ උපකල්පනය ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය පදනම් කරගෙන අප ප්‍රපංච කුලකය තේරුම් ගත හැකි නම් බොහෝ විට ඒ උපකල්පනය ප්‍රවාදයක්‌ ලෙස පිළිගැනෙයි. ඒ හැරෙන්නට ආචරණ කිහිපයක්‌ ආවරණය වන පරිදි සූත්‍රයක්‌ ගොඩනැඟීමක්‌ එහි දී නො සිදු වෙයි. නිව්ටන්ලා ගේ නිර්මාණ ගොඩනැඟී ඇත්තේ ඔවුන් ගේ සංස්‌කෘතිය පදනම් කරගනිමිනිs. එහි කිසිදු හිමිකමක්‌ අපට නැත. නිව්ටන් අවස්‌ථිති සමුද්දේශ රාමු නිර්මාණය කෙළේ දෙවියන් වහන්සේට ගෝචර වන අන්දමට මිස බෞද්ධ සංස්‌කෘතියකට එකඟ වන ආකාරයකට නො වේ.

කපිල පීරිස්‌ මහතා ඉදිරිපත් කරන බටහිර ගණිතය ද අද අපට ආගන්තුක නැත යන්න ද ඒ මහතා ගේ නොදැනුමෙහි ප්‍රතිඵලයකි. බටහිර ගණිතය අපට ආගන්තුක නො වන්නේ යෑයි ඒ මහතා කියන්නේ බටහිර ගණිතය සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි බිහි වී ඇති නිසා නො වේ. ඔහු කුඩා ළමයකු මෙන් තම මතය තහවුරු කිරීම සඳහා ඒ මතයේ එල්බ ගෙන කිසි ම පදනමකින් තොර ව කුමක්‌ හෝ කියයි. අප දැන් අවුරුදු සියයකට වැඩි කාලයක්‌ ලංකාවේ බටහිර ගණිතය උගන්වා හා ඉගෙන ඇති බව සැබෑ ය. අපට ඒ පිළිබඳ දැනුමක්‌ ඇත. අපි බටහිර ගණිතය යොදා ගනිමු. එසේ යොදාගනු දකිමු. මෙලෙස බටහිර ගණිතය දැනීම කපිල පීරිස්‌a මහතා දකින්නේ ආගන්තුක නො වන්නක්‌ ලෙස ය. එහෙත් අපට තවමත් ලංකාවෙන් එකදු ගණිතඥයකු බිහි කර ගැනීමට නොහැකි වී ඇත. ඒ අපේ සංස්‌කෘතියට ආගන්තුක ය.

කපිල පීරිස්‌ මහතාට බටහිර ගණිතය ආගන්තුක නො වන ආකාරයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ද ආගන්තුක නැත. බටහිර ගණිතයට ද වඩා බටහිර වෛද්‍ය විද්‍යාව අපට ආගන්තුක නො විය යුත්තේ අද බොහෝ දෙනා උපතේ සිට මරණය දක්‌වා ම බටහිර වෛද්‍ය විද්‍යාවට සමීපව ඒ යොදා ගන්නා බැවිනි. එමෙන් ම බටහිර සංගීතය ද බටහිර නවකතාව ද අපට ආගන්තුක විය නොහැකි ය. බටහිර නිසඳැස්‌ කවි ද අපට ආගන්තුක විය නොහැකි ය. එහෙත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා සිංහල පාඨකයාට බටහිර නවකතාව හඳුන්වා දී වසර හැත්තෑ පහක්‌ පමණ ගත වීමෙන් පසුව ද නවකතාවක්‌ විභාගවලට නියම නො වුණ හොත් සිංහලෙන් ලියන බටහිර නවකතාවක පිටපත් දාහක්‌ අලෙවි කර ගැනීම ප්‍රශ්නයක්‌ වෙයි. බටහිර නවකතාවෙහි ආගන්තුක නො වීම එපරිදි ය. බටහිර අච්චුවේ කවි ආගන්තුක නො වීම ගැන කතා කිරීම කාලය කා දැමීමකි. බටහිර ගණිතය තව අවුරුදු සියයක්‌ ඉගැන්වුවත් අප සංස්‌කෘතියට එහි ආගන්තුක බව ඉවත් නො වේ.

කපිල පීරිස්‌ මහතා තරාදි පඩි හෝ වෙනත් යමක්‌ හෝ ගැන ලිවීමේ ප්‍රශ්නයක්‌ අපට නැත. එහෙත් ඔහු ඉතා ම කුහක අන්දමින් ඒ ලිපිවල නිව්ටන් යථාර්ථයෙන් මුදවා ගැනීම ආදී විකාර සඳහන් වාක්‍ය කිහිපයක්‌ ඡේදයක්‌ දෙකක්‌ එකතු කරයි. ඔහු ඒ පිළිබඳ විවාදය කෙළවරක්‌ කර ඔහු ගේ ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදායේ ලිපි ලියන්නේ නම් මැනැවි. එසේ නැතිව කුහක වත අනුගමනය කරමින් ලිපිවලට විකාර කතා රිංගවන්නේ නම් අපේ ප්‍රවාද නවතා ඒවාට දිගින් දිගට ම පිළිතුරු ලිවීමට අපට සිදු වනු ඇත.