logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බෙල්ලන්විල - අත්තිඩිය අභයභූමිය
සුපිරි නිවාඩු නිකේතනයකට සහ
ක්‍රීඩා පිටියකට බිලි වෙයි ද?
 

ලංකාවේ වනජීවී රක්‌ෂිත අතුරින් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩි ම තර්ජනයට ලක්‌ වී ඇත්තේ බෙල්ලන්විල-අත්තිඩිය අභය භූමියයි. මෙහි භාරකරුවා වන වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව බලා සිටිය දී අභයභූමිය මධ්‍යයේ තෙත් බිම් බොහොමයක්‌ ගොඩ කර නිවාස ඉදි කර ඇත. අනූව දශකය මුල දී ඇරඹුණු මේ ප්‍රවණතාව අද වන විට අභයභූමිය තුළ ගම්මාන බිහි වීමේ තත්ත්වය දක්‌වා ඔඩුදුවා තිබේ. මේ හේතුවෙන් අභයභූමියට අහිමි වූයේ සුවිශේෂී පක්‌ෂි ගොදුරු බිම් මෙන්ම විශාල අතිරික්‌ත වැසි ජල රැඳවුම් ප්‍රදේශයන් ය.

අද වන විට අභයභූමිය මධ්‍යයේ හෝටල් (සුපිරි නිවාඩු නිකේතනයක්‌) ව්‍යාපෘතියක්‌ ද, අභය භූමියේ ඊසානදිග කෙළවරේ ක්‍රීඩා පිටියක්‌ ද, නැඟෙනහිර කෙළවර ආශ්‍රිතව සුපිරි නිවාස සංකීර්ණයක්‌ ද ඉදි කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. මේ සියල්ල සඳහා ප්‍රබල දේශපාලන මැදිහත් වීමක්‌ ද ලැබෙමින් පවතී.

බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමිය මධ්‍යයේ ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසෙන ව්‍යාපෘති අතුරින් සුපිරි නිවාඩු නිකේතනය ප්‍රධාන වේ. නොවැම්බර් මස 25 වන දින ඊට අදාළ ව්‍යාපෘති යෝජනාව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මේ ව්‍යාපෘති යෝජනාව තමන් වෙත ලැබීමට දින තුනකටත් ප්‍රථම එනම් 2009 නොවැම්බර් 23 වැනි දින අංක

WL/6/3/6/32 දරන ලිපිය මඟින් මේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට අදාළ සියලු රාජ්‍ය අංශවල නිලධාරීන්ට කැඳවීමක්‌ සිදු කළේ ය. ඒ අනුව 2009 දෙසැම්බර් මස 3 වැනි දින මේ පිළිබඳව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ දී සාකච්ඡාවක්‌ පැවැත්විණි. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක්‌ ලෙස මේ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපෑම් අගැයීම් වාර්තාවක්‌ සකස්‌ කිරීමට තීරණය වී තිබේ.

ඉතා ප්‍රබල දේශපාලන මැදිහත් වීමක්‌ යටතේ ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමියේ නිරිතදිග කෙළවරේ පිහිටි දෙපා ඇළෙන් හා බොල්ගොඩ ඇළෙන් වට වූ ආඳාවල =-කෙරදෙනිය කොටසේ තෙත් බිම් අක්‌කර 2.4ක්‌ (පර්චස්‌ 384.69ක්‌) යොදා ගැනීමට නියමිත ව ඇත. මේ ව්‍යාපෘතිය පිටුපස සිටින ප්‍රබල දේශපාලන හස්‌තය හේතුවෙන් ව්‍යාපෘතියේ මූලික කටයුතු රාජ්‍ය ආයතනවල සහාය ඇතිව කඩිනමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඉදි කිරීමට යෝජිත නිවාඩු නිකේතනයට සුපිරි කාමරවලින් සමන්විත ගොඩනැඟිල්ලක්‌, පිහිනුම් තටාකයක්‌, මාර්ග පද්ධතියක්‌ වැනි දෑ අඩංගු වේ. ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දීමට ප්‍රථමයෙන් එම ස්‌ථානයේ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ඇතුළත් පුවරුවක්‌ ද ස්‌ථාපිත කර තිබිණි. එහෙත් එය දැනට ගලවා ඉවත් කර ඇත.

මෙය එක්‌ ව්‍යාපෘතියක්‌ පමණි. අනෙක්‌ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ අභයභූමියේ ඊසානදිග කෙළවරේ ය. එය බහුකාර්ය ක්‍රීඩා පිටියකි. අභයභූමියේ පිහිටි මූණමල්ගහ කුඹුර ලෙස හඳුන්වන වගුරු ප්‍රදේශයේ වගුරු බිම් අක්‌කර දෙකක්‌ ගොඩ කර ක්‍රීඩා පිටිය සකස්‌ කිරීමට නියමිත ය.

මේ ක්‍රීඩා පිටිය ඉදි කිරීම සඳහා අභයභූමියේ ඉඩම් ගොඩ කිරීම සිදු කෙරෙමින් පවතී. ඒ සඳහා කිසිදු රාජ්‍ය ආයතනයකින් අවසරයක්‌ හෝ ලබාගෙන නොමැත. ඒ හේතුවෙන් මේ ඉඩම හිමි පුද්ගලයාට එරෙහි ව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අද වන විට මේ ක්‍රීඩා පිටිය ඉදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අදාළ පුද්ගලයා විසින් ද ගනු ලබමින් ඇත. ඉඩම් හිමි පුද්ගලයා සූදානම් ව ඇත්තේ මේ ඉඩම ක්‍රීඩා පිටියට ලබා දී එය ගොඩ කිරීමෙන් අනතුරුව තමන්ට හිමි අභය භූමියට අයත් අනෙක්‌ තෙත් බිම් ප්‍රදේශ ද ගොඩ කිරීමට ය.

බෙල්ලන්විල තෙත් බිමට පවතින තර්ජන මෙතෙකින් නතර වී නොමැත. අභයභූමියේ නැඟෙනහිර මායිමේ පිහිටි කටු ඇළ ආශ්‍රිතව තවත් අක්‌කර 5ක තෙත් බිමක්‌ ගොඩ කර සුපිරි නිවාස සංකීර්ණයක්‌ ද ඉදි කිරීමට යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබේ. ඒ සඳහා වගුරු බිම ගොඩ කිරීම ආරම්භ කිරීමට මේ වන විට මූලික සැලසුම් සකස්‌ වෙමින් පවතී. මේ තත්ත්වයන් හමුවේ බෙල්ලන්විල අභය භූමියේ හෙට දවස කෙබඳු වේ ද යන්න සිතා ගැනීමටත් අපහසු ය.

අද තත්ත්වය මෙසේ වුව ද අසූව දශකය වන විට ජෛවවිවිධත්වයෙන් ඉතා පොහොසත් ප්‍රදේශයක්‌ ලෙස සලකනු ලැබූ බෙල්ලන්විල-අත්තිඩිය සංක්‍රමණික පක්‍ෂි විශේෂ රාශියක ගේ ලැගුම් පොළක්‌ මෙන්ම ගොදුරු බිමක්‌ ලෙස ද ප්‍රචලිත ව පැවතිණි. මේ තත්ත්වය හේතුවෙන් 1980 වර්ෂයේ දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික හා සංරක්‍ෂණ කලාපයක්‌ ලෙස බෙල්ලන්විල-අත්තිඩිය ප්‍රකාශයට පත් කෙරිණි. ඉන් පසු තෙත් බිම් සුරැකීම පිළිබඳ අන්තර්ජාතික රැම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී ආසියාවේ වැදගත් තෙත් බිම් 947කින් යුත් නාමාවලියට බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිම ද එක්‌ කෙරිණි.

මේ කාලවකවානුව වන විට පක්‍ෂි නිරීක්‍ෂකයන් ගේ අධ්‍යයන ප්‍රදේශයක්‌ පමණක්‌ නො ව දිවයිනේ නන් දෙසින් පැමිණෙන දඩයක්‌කරුවන් ගේ දඩ බිමක්‌ බවට ද බෙල්ලන්විල-අත්තිඩිය පත් ව තිබිණි. ඒ හේතුවෙන් පරිසර සංවිධානවල හා පරිසරවේදීන් ගේ කරුණු ඉදිරිපත් කිරීම් මත මෙන්ම ජාත්‍යන්තරව වැදගත්කමක්‌ හිමි වීමත් හේතුවෙන් 1990 ජූලි මස 25 වැනි දින කොළඹ දිස්‌ත්‍රික්‌කයේ, රත්මලාන, දෙහිවල, කැස්‌බෑව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශවලට අයත් ව පිහිටි බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිමේ හෙක්‌ටයාර 372ක භූමි ප්‍රමාණයක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්ත-මේන්තුව යටතේ පාලනය වන අභයභූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය රැකවරණය දැඩි කෙරිණි.

එදා මෙදාතුර කාල පරාසය තුළ දී අභය භූමියට සිදු වූ හානිය සුළුපටු නො වේ. මෙහි වැදගත්කම වැටහී යැම වැඩි වීමත්, නීතිමය

රැකවරණය වැඩි වීමත් සිදු වුව ද ඒ හා සමාන්තරව සිදු වූයේ පරිසරය පරිහානියට පත් වීම මිස රැකවරණය ලැබීමක්‌ නම් නො වේ. අද වන විට ද මේ තත්ත්වය ඒ අයුරින් ම සිදු වෙමින් පවතී.

බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිමේ ජෛව විද්‍යාත්මක හා පාරිසරික වැදගත්කම නො දන්නා මිනිසුන් මෙය හිස්‌ භූමියක්‌ ලෙස සැලකුව ද බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමියේ වටිනාකම අවබෝධ කර ගැනීමට බොහෝ කරුණු ගෙන හැර දැක්‌විය හැකි ය.

කොළඹ නගරය ආසන්නයේ මේ අභයභූමිය පිහිටා තිබීමත් පහසුවෙන් ළඟා විය හැකි වීමත් නිසා මේ පරිසර පද්ධතිය බොහෝ පර්යේෂකයන් ගේ අවධානයට ලක්‌ වී ඇත. ඒ අනුව මෙතෙක්‌ බෙල්ලන්විල-අත්තිඩිය අභය භූමියේ සිදු කර ඇති අධ්‍යයන සියල්ල සැලකිල්ලට ගෙන දත්ත සම්පිණ්‌ඩනය කර ගත් විට අංක 01 වගුවේ දැක්‌වෙන ආකාර සත්ත්ව විවිධත්වයක්‌ වාර්තා වී ඇති බව පෙනී යයි. එහෙත් මින් කියෑවෙන්නේ වර්තමානයේ මේ පරිසරයේ ජීවත් වන සතුන් ගේ ප්‍රමාණය නම් නො වේ.

වගු අංක 01
බෙල්ලන්විල-අත්තිඩිය
අභය භූමියෙන් වාර්තා වී ඇති සත්ත්ව විවිධත්වය



දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනෙක්‌ වැඩකට නොමැති හිස්‌ භූමියක්‌ ලෙස සිතන මේ තෙත් බිමේ රැකවරණය ලබන සත්ත්ව විශේෂ ගණන සිය දහස්‌ ගණනකි. විශේෂයෙන් තෙත් බිම් ආශ්‍රිත පක්‍ෂීහු රාශියක්‌ මේ පරිසරයේ ජීවත් වෙති. අනූව දශකයේ මුල් කාලය වන විට මේ අභයභූමිය තුළින් හමු වී ඇති පක්‍ෂි විශේෂ ගණන 168ක්‌ පමණ විය. ඒ අතරට ගිරා මලිත්තා, හීන් කොට්‌ටෝරුවා, හිස දුඹුරු දෙමළිච්චා යන ආවේණික පක්‍ෂි විශේෂ තුන ද ඇතුළත් විය. එහෙත් අභයභූමිය තුළ සිදු වන අනර්ථකාරී ක්‍රියා හේතුවෙන් 2000 වසර පමණ වන විට මේ ලියුම්කරු විසින් සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව අභයභූමියෙන් වාර්තා වන පක්‍ෂි විශේෂ ගණන (ඉඳහිට හමු වන විශේෂ ද ඇතුළත්ව) 88 දක්‌වා පහළ බැස තිබිණි. ඒ අතර ආවේණික විශේෂයක්‌ ලෙස දැකගත හැක්‌කේ හීන් කොට්‌ටෝරුවා පමණකි. ඒ අනුව පෙනී යන්නේ පක්‍ෂි විශේෂ අතුරින් 48%ක්‌ ම ප්‍රදේශයෙන් වාර්තා නො වන බවයි. එපමණක්‌ නො ව මෙහි වාර්තා වූ නේවාසික පක්‍ෂි විශේෂ අතුරින් රාශියක්‌ ප්‍රදේශයෙන් වඳ වී ගොස්‌ ඇති බව ද පෙනී යයි.

ලංකාවේ පක්‍ෂීන් පිළිබඳ වැදගත් නිරීක්‍ෂණ රැසකට මේ අභයභූමිය තෝතැන්නක්‌ ව තිබේ. මෙරටට පැමිණෙන සුලබ වැහිලිහිණියා ගේ උප විශේෂයක්‌ වන ටයිට්‌ලර් ගේ වැහිලිහිණියා ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමියෙනි. බඩ වත ප්‍රදේශය රතු-දුඹුරු පැහැයක්‌ ගන්නා මේ වැහිලිහිණියා 1989 වසරේ දී පරිසර නීතිවේදී ජගත් ගුණවර්ධන මහතා විසින් වාර්තා කරන ලදී. තව ද මෙවැනි ම දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු වන පළඟැටි හම්බු කුරුල්ලා ද 1991 වසරේ දී වාර්තා කිරීමට ඒ මහතාට හැකි වූයේ මේ ප්‍රදේශයෙනි. විසි වැනි සියවසේ මේ පක්‍ෂියා පිළිබඳ ප්‍රථම වාර්තාව ලෙස මෙය සැලකේ. එම වසරේ සිට බෙල්ලන්විල-අත්තිඩිය වගුරු බිමේ බෙරුදියනිල්ල පඳුරු අතරට සංක්‍රමණික සෘතුව එළඹීමත් සමඟ මොවුන් පැමිණෙනු නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇත.

ප්‍රවීන පක්‍ෂි නිරීක්‍ෂකයකු වන දීපාල් වරකාගොඩ මහතා විසින් 2000 වසරේ දී ලංකාවෙන් ප්‍රථම වරට පූගොඩ ප්‍රදේශයෙන් වාර්තා කරන ලද සංක්‍රමණික පක්‍ෂියකු වන Dමිනහ උaරඉකැර විශේෂය 2001 වසරේ දී දෙවැනි වරටත් ඒ මහතා විසින් වාර්තා කරන ලද්දේ බෙල්ලන්විල-අත්තිඩිය අභය භූමියෙනි.

ලංකාවේ ඉතා දුර්ලභ සංක්‍රමණික පක්‍ෂියකු ලෙස සැලකෙන දම් සිලුටු දෑතුඩුවා ද මෙහි පැමිණෙන ඉතා වැදගත් සංක්‍රමණික පක්‍ෂීන් අතර වෙයි. එහෙත් අද වන විට අභයභූමිය ආක්‍රමණික ශාකවලින් වැසී ඇති නිසාත් වගුරු බිම් ගොඩ කර නිවාස තැනී අභයභූමිය තුළ ජනාකීර්ණ වී ඇති නිසාත් මොවුන් සංක්‍රමණික සෘතුව තුළ දී දැක ගත හැක්‌කේ අභය භූමිය අවට පිහිටි බොරලැස්‌ගමුව වගුරු බිම තුළින් පමණි.

මීට අමතරව වගුරු පරිසරයට වැඩි වශයෙන් ඇලුම් කරන කිතලා, බළල් සේරා හා විල් කුකුළා වැනි පක්‍ෂීන් ද අද වන විට අභයභූමි සීමාවේ දක්‌නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. බොහෝ විට මොවුන් වගුරු ස්‌වරූපය තවමත් හොඳින් රැඳී ඇති අභයභූමිය අවට පිහිටි දිවුල්පිටිය හා බොරලැස්‌ගමුව යන වගුරු බිම් ප්‍රදේශවලට සීමා වී ඇත.

අභයභූමිය තුළින් ගලා බසින බොල්ගොඩ ඇළ දූෂණය වීම සෘජුව ම බලපා ඇත්තේ මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට ය. මෙහි ආවේණික විශේෂ 6ක්‌ ඇතුළුව මත්ස්‍ය විශේෂ 44ක්‌ වාර්තා වී ඇත. ඊට අමතරව කලපු ආශ්‍රිත මත්ස්‍ය විශේෂ ද සමහර කාලවල දී මේ ඇළෙන් වරින් වර හමු වී තිබේ. එහෙත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස්‌ ය. අද වන විට බොල්ගොඩ ඇළෙහි මත්ස්‍ය විශේෂ අතුරින් 89%ක්‌ ම වඳ වී ගොස්‌ ඇත. ඒ අනුව වර්තමානයේ වාර්තා වන දේශීය මත්ස්‍ය විශේෂ ගණන 5ක්‌ දක්‌වා විශාල පහළ වැටීමකට ලක්‌ වී ඇත. දැනට මෙහි වාර්තා වන දේශීය මසුන් වන්නේ හුංගා (Heteropnenstes fossilis), කලපු හඳයා (Aplocheilus parvus), කාවයියා (Anabas testudineus), ලූලා (Channa striata) හා මඩ කනයා (Channa punctata) වැනි විශේෂ අතළොස්‌සක්‌ පමණි. එහෙත් ආක්‍රමණික විදේශීය මත්ස්‍ය විශේෂ වන තිලාපියා (Satatherodon mossambicus)වෙල්ගුරාමි (Trichogaster pectoralis) හා පිදුරු පිසින්නා (Hypostomus plecostomus) යන මත්ස්‍යයෝ ඉතා බහුලව බොල්ගොඩ ඇළේ ජීවත් වෙති. කාර්මාන්තශාලාවල අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය වීම හේතුවෙන් දේශීය සංවේදී මත්ස්‍ය විශේෂ වඳ වී යැමත් සමඟ ම ඕනෑ ම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ ආක්‍රමණික මසුන් අධිකව බෝ වී ඇත.

එසේ වුව ද අභය භූමිය වටා පිහිටි දිවුල්පිටිය හා බොරලැස්‌ගමුව වගුරු ප්‍රදේශයේ ඉපිලිකඩයා (Puntius bimaculatus), බණ්‌ඩි තිත්තයා (Puntius vittatus), පුල්ලි අභිරාවා (Lepidocephalichthys thermalis), රල්ලියා (Etroplus maculatus), දණ්‌ඩියා (Rasbora doniconius) හා සොරයා (Ambylypharyngodon meletinus) වැනි දේශීය මත්ස්‍ය විශේෂ වර්තමානයේ දී ජීවත් වෙති.

අධික ලෙස දූෂණයට ලක්‌ ව ඇති බොල්ගොඩ ඇළේ හා ඒ ආශ්‍රිත දිය පහරවල අද වන විට කිසිදු උභයජීවී විශේෂයක්‌ දැකගත නොහැකි තත්ත්වයක්‌ ඇත. එහෙත් අවට වගුරු ප්‍රදෙAශවල ලංකාවට ආවේණික ලංකා බැඳි මැඩියා (Rana gracilis) නම් විශේෂයට අමතරව සසැඟිලි පලා මැඩියා (Euphlyctis hexadactyla), වෙල් මැඩියා (Limnonectes limnocharis) හා ඇටිකිත්තන් විශේෂ (Philautus spp.) කිහිපයක්‌ ද ජීවත් වෙති.

මේ අයුරින් අභයභූමිය තුළ ජෛවවිවිධත්වය ශීඝ්‍ර ලෙස අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක්‌ බලපා තිබේ. එනම් වෙල් ආත්තා හා බෙරුදියනිල්ල ශාකයෙන් අභයභූමියේ වැඩි තෙත් බිම් ප්‍රමාණයක්‌ ආක්‍රමණය වී තිබීම, අභයභූමිය වටා ඒ තුළ බොහෝ ප්‍රදේශ ගොඩ කරමින් ජනාවාස හා කර්මාන්තශාලා ව්‍යාප්ත කිරීම නිසා ශීඝ්‍රයෙන් නාගරීකරණය වීම, විශාල තෙත් බිම් ප්‍රදේශ ගොඩ කිරීම මඟින් වනජීවී වාසස්‌ථාන අහිමි වීම, බොල්ගොඩ ඇළ හා අනෙක්‌ ඇළ මාර්ග කර්මාන්තශාලා අපද්‍රව්‍ය නිසා දූෂණය වීම, ජල පෘෂ්ඨයන් ජපන් ජබර ශාකයෙන් ආක්‍රමණය වී තිබීම හා ආක්‍රමණික මත්ස්‍ය විශේෂ බෝ වීම ප්‍රධාන වේ.

මේ තත්ත්වයන් හමුවේ අභයභූමිය පරිහානියට පත් වෙමින් පැවතුණ ද අද වන විට ඉන් අමිල මෙහෙයක්‌ ඉටු වේ. ඒ අවට ප්‍රදේශය ගංවතුර උවදුරින් ආරක්‌ක්‍ෂා කිරීමයි. බෙල්ලන්විල, අත්තිඩිය, බොරලැස්‌ගමුව, පැපිලියාන, නැදිමාල, රත්මලාන උතුර, නුගේගොඩ දකුණ හා වේරහැර යන ප්‍රදේශවලට ලැබෙන වර්ෂාවේ අතිරික්‌ත ජලය ගලා එන්නේ මේ ප්‍රදේශයට ය. මේ වගුරු පද්ධතිය අධික ජල කඳ උරා ගනිමින් ප්‍රදේශය ගංවතුර උවදුරින් ආරක්‍ෂා කර ගනී. මීට අමතරව භූගත ජල මට්‌ටම ඉහළ අගයක පවත්වා ගැනීමටත්, රොන්මඩ ආදිය රඳවා ගැනීමෙනුත් විශාල මෙහෙයක්‌ ඉටු කරයි.

එහෙත් අභයභූමිය පිහිටි විශාල කැළි කසළ රැඳවුමෙන් ඇහිරී ගිය තෙත් බිම් හා විවිධ ප්‍රදේශවල සිදු වන අඛණ්‌ඩ මහා පරිමාණ ගොඩ කිරීම් හේතුවෙන් මේ වගුරු පද්ධතියට දරා ගත හැකි ජල ප්‍රමාණය සීමා වී ඇත. වසර හතරකට ආසන්න කාලයක්‌ තිස්‌සේ දෙහිවල-ගල්කිස්‌ස මහ නගර සභාව මඟින් පවත්වාගෙන ගිය විශාල කැළි කසළ

රැඳවුම් නිසා අක්‌කර ගණනාවක්‌ ගොඩ වී ඇත. 2001 වසර අවසානයේ දී මෙහි කසළ රැඳවීම තහනම් කළ ද සිදු වූ දැවැන්ත හානිය හානිපූරණය කළ හැකි ක්‍රමයක්‌ ගැන සිතීමට වත් නොහැකි විය.

කර්මාන්තශාලා හිමියන්ට අමතරව බෙල්ලන්විල විහාරස්‌ථානයේ රථ ගාල පුළුල් කිරීම හා කඩ සාප්පු ඉදි කිරීම සඳහා ද අභය භූමිය වරින් වර ගොඩ කෙරිණි. අද වන විට බොල්ගොඩ ඇළට සම්බන්ධ වන කටු ඇළ ආසන්නය දක්‌වා ම විශාල භූමි ප්‍රමාණයක්‌ රථ ගාල පුළුල් කිරීම සඳහා බෙල්ලන්විල විහාරස්‌ථානය ආශ්‍රිත ප්‍රදේශය ගොඩ කර ඇත. අභයභූමිය තුළ බොල්ගොඩ ඇළේ දකුණු ඉවුරේ ඇති රත්මලාන-පැපිලියාන මාර්ගය හා පිටවේල්ල පාර සම්බන්ධ කරන අතුරු මාර්ගය, අභයභූමිය තුළ ජනාවාස ඇති වීම හා වර්ධනය වීමට ඉතා හොඳ පෙලඹවීමක්‌ වී තිබේ. මේ මාර්ගය හා සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක්‌ තෙත් බිම තුළට සකස්‌ කර, ඒ ආශ්‍රිත ප්‍රදේශ විශාල වශයෙන් ගොඩ කර ජනාවාස ව්‍යාප්ත කර තිබේ. තවත් ජනාවාස වැඩි ප්‍රමාණයක්‌ අභයභූමියේ බටහිර මායිමේ විහිදී ඇති හරමානිස්‌ පාරේ සිට තෙත් බිම තුළට ව්‍යාප්ත වෙමින් පවතී. මේ ආකාරයට ගොඩ කෙරෙමින් පවතින අභයභූමියේ දැනට බටහිර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ නිවාසවලින් වැසී පවතී.

අභයභූමිය ගොඩ කර ඒ. කරුණාරත්න මාවත, හරමානිස්‌ පාර හා විකුම් පෙදෙස ආදී විවිධ නම්වලින් යුත් අතුරු මාර්ග සකස්‌ කර අභය භූමියට අයත්

කැරැව්දෙණිය හා කොළවින්න යන තෙත් බිම් සම්පූර්ණයෙන් ම ගොඩ කර නිවාස තනා අවසන් කර තිබේ.

වනජීවී නිළධාරීන් මේ සියලු තතු දැන සිටය ද, ඔවුන් ගේ අඩවි කාර්යාලයට ආසන්නයේ පවා ගොඩ කිරීම් සිදු කළ ද දේශපාලකයන්ට හා මැරවරයන්ට ඇති බිය නිසා නිලධාරීහු මුනිවත රකිති. පසු ගිය වසර කිහිපය පුරා ම අප මේ සම්බන්ධව නිරන්තරයෙන් අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත් බවක්‌ පෙනෙන්නට නැත. බොහෝ නිලධාරීහු "මෙය දැන් ගොඩ ගන්නට බැහැ" යෑයි පවසමින් මැරවරයන්ට රිසි සේ අභය බිම ගොඩ කිරීමට ඉඩ දී කාර්යාලය තුළට වී සිටිති.

සමහර වනජීවී නිලධාරීහු ඇපෙන් බේරීමට මෙන් ගොඩ කිරීම්වලට එරෙහි ව නඩු පවරති. නෙරපුම් නියෝග ලබා ගැනීමකින් තොර ව සිදු කරන නඩු පැවරීම් හේතුවෙන් වැරැදිකරු වන පුද්ගලයා අදාළ දඩය ගෙවා නැවත තමන්ට රිසි සේ අනවසර ගොඩ කිරීමට සකස්‌ කළ ව්‍යාජ ඔප්පුවට නීතිමය වලංගුභාවයක්‌ ඉබේ ම ලබා ගැනීමෙන් ගොඩ කිරීම් සිදු කිරීමේ හැකියාව ලැබේ. මේ ආකාරයෙන් වනජීවී නිලධාරීන් ගේ ඇල්මැරුණු වැඩපිළිවෙළ හේතුවෙන් අද වන විට අභයභූමිය දැවැන්ත ඇද වැටීමකට පත් ව තිබේ.

අභයභූමියට ඉතා ආසන්නයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලය පිහිටා ඇති මුත් මෙතෙක්‌ අභයභූමියට සිදු වූ දැවැන්ත පරිසර හානි බලධාරීන්a නො දැකීම පුදුමයට කරුණකි. අභයභූමියේ විවිධ ප්‍රදේශ ගොඩ කරද්දී බලධාරීන් කාර්යාලයට ගුලි වී නො සිටියා නම් අද වන විට අභයභූමියේ තත්ත්වය මීට වඩා සතුටුදායක මට්‌ටමක තිබීමට ඉඩ තිබිණි.

වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂණ ආඥා පනතට අනුව අභයභූමියක සිදු වන හානි කර ක්‍රියා නතර කිරීමට ඇති බලතල නිසි ලෙස ක්‍රියාවට නැංවීම මඟිsන් මෙහි සිදු වන සියලු අනර්ථකාරී ක්‍රියා නතර කිරීමේ හැකියාව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු ව ඇත. ඊට අමතරව තෙත් බිම් පරිසර ආරක්‍ෂා කිරීමට ජාතික පාරිසරික පනතට අනුව මධ්‍යම පරිසර අධිකාරියට ද නීතිමය හැකියාව ඇත. එසේ තිබිය දීත් බලධාරීන් මුණිවත රකිමින් දේශපාලනඥයන්ට හා කර්මාන්තශාලා හිමියන්ට රිසි සේ අභයභූමිය විනාශ කිරීමට ඉඩ දී බලා සිටීම කණගාටුවට කරුණකි.

දැනට අප සිදු කර ඇති අධ්‍යයන වලට අනුව පෙනී ගොස්‌ ඇත්තේ හානිකර ක්‍රියා ගණනාවකට ගොදුරු වී ඇති බෙල්ලන්විල-අත්තිඩිය අභයභූමියේ ජෛවවිවිධත්වය දැවැන්ත හානියකට ලක්‌ වී ඇති මුත් ඊට පිටතින් පිහිටි බොරලැස්‌ගමුව හා දිවුලපිටිය යන වගුරු ප්‍රදේශ තුළින් සැලකිය යුතු ජෛවවිවිධත්වයක්‌ වාර්තා වන බවයි. එහෙත් එම වගුරු ප්‍රදේශ ගොඩ කර සුපිරි නිවාස සංකීර්ණයක්‌ ඉදි කිරීමට දැනටමත් සැලසුම් සකස්‌ වෙමින් පවතී. මේ නිසා අභයභූමිය ආසන්නයේ පිහිටා ඇති මේ වගුරු බිම් ද්විත්වය ද බෙල්ලන්විල-අත්තිඩිය අභය භූමියට ඈඳාගෙන එම වගුරු පද්ධතියට ම නීතිමය රැකවරණය ලබා දීම අද වන විට අත්‍යවශ්‍ය වී ඇත. නීතිමය රැකවරණය ලබා දීම පමණක්‌ නො ව අදාළ නීති රිති ක්‍රියාත්මක කිරීම මඟින් දැනට පවතින තත්ත්වයෙන් මේ වගුරු බිම් පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් සිදු කළ යුතු වන්නේ අභය භූමිය වටා මායිම් නිවැරැදි ලෙස සකස්‌ කිරීමයි. ඊට අමතරව ආක්‍රමණික ශාක විශේෂ (වෙල්ආත්තා, ජපන් ජබර, බෙරුදියනිල්ල, බට පලා හෙවත් ඇලිගේටර් ශාක) ක්‍රමානුකූලව පාලනය කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීම මඟින් අභයභූමියේ තත්ත්වය යම් මට්‌ටමකට ඉහළ නැංවීමට හැකියාව ඇත. දැඩි ලෙස දූෂණයට ලක්‌ වී ඇති බොල්ගොඩ ඇළ (අභයභූමිය හරහා ගලා බසින) හා ඊට සම්බන්ධ තෙල් ඇළ හා කටු ඇළ පිරිසිදු කිරීම හා නිසි පරිදි ජලය බැස යැමට හැකි වන සේ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්‌ වී දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය ය.

අද සතියේ විමසුම : සජීව චාමිකර