logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අවශෝෂණය යනු වියුක්‌තය නැති කිරීම නො වේ

මහාචාර්ය නලින් ද සිල්වා

කපිල පීරිස්‌ මහතා තම දෙසැම්බර් 16 වැනි දා ලිපියෙන් තම නො දැනුවත්කම මෙන් ම ආධානග්‍රාහී බව ද හෙළි කරයි. ඔහු බර කිරුමේ අපේ සම්ප්‍රදාය නමින් ලියා ඇති ලිපියෙහි සංවේදීතාව සඳහා ව්‍යqත්පන්න කර ඇති සමීකරණයෙහි නිරවද්‍යතාව පිළිබඳ ප්‍රශ්න ඇතත් මම ඒ ගැන උනන්දුවක්‌ නො දක්‌වමි. මා කලින් ලිපියක ද කියා ඇති පරිදි බටහිර විද්‍යව ඇසුරෙන් හා ඒ පිළිබඳ ලියන ලිපිවල වැරැදි නිවැරැදි කිරීම මගේ කාර්යයක්‌ නො වේ. හැරත් කපිල පීරිස්‌ මහතා තම වරද පිළිගැනීමට සූදානම් පුද්ගලයෙක්‌ නො වේ. මෙහි දී මා සඳහන් කරන්නේ කපිල පීරිස්‌ මහතා ඊනියා දර්ශනයක්‌ ගැන කියා ඇති කරුණු සහ ඒ පිළිබඳ විවේචනයක්‌ ය.

අපි පළමුව ඒ මහතා ලියා ඇති දේ ඒ ආකාරයෙන් ම ප්‍රකාශ කරමු. "පැරැන්නන් කර ඇත්තේ යම් නිශ්චිත ආකාරයකට යම් යම් ද්‍රව්‍යවල ප්‍රමාණ මැන ගැනීමට ක්‍රමයක්‌ නිමැවීම ය. එම මැනීම ඔවුන් ගේ අදාළ කටයුතු සඳහා ප්‍රමාණවත් වී නම් ඔවුහු ඉන් සෑහීමකට පත් වෙති. මෙවැනි භෞතික ආචරණ පිටුපස ඇති යම් "සංක්‍ෂිප්ත සත්‍යයන්" සොයා ගැනීම පිළිබඳ වුවමනාවක්‌ ඔවුනට නො වී ය. එහෙත් නිව්ටන්ලාට එසේ නො වේ. ඔවුන්ට විශ්වයේ යථාර්ථය සොයා යැම අවශ්‍ය ය. ඒවා හැකි පමණ සාධාරණ, වියුක්‌ත විය යුතු ය. ඉතින් නිව්ටන් ලා තම වියුක්‌ත සූත්‍ර (නියම) ගණිත ආකෘති තුළ නිමැවූයේ (ඔවුනට අනුව සොයා ගත්තේ) පෙර කී පරිදි අප වැනි රටවල උදවිය ද ඇතුළු පැරැන්නන් ගේ අත්දැකීම් මත ද? තමනට පෙර බිහි වූ තරාදි ආචරණය ආදිය නිව්ටන්ට ප්‍රයෝජනවත් වන්නට ඇත් ද? (මේ සංක්‍ෂිප්ත සත්‍යයන් යනු මොනවා දැයි දන්නේ කපිල පීරිස්‌ මහතා හා ඔහු ගේ ඊනියා දාර්ශනික මිතුරන් පමණක්‌ විය යුතු ය. අනෙක්‌ අය ගේ දැනගැනීම සඳහා ඔහු ඒ තේරුම් කර දිය යුතුව තිබිණි)

"එනම් නිව්ටන්ගෙන් සිදු වූයේ පෙර සංයුක්‌තව ඒ ඒ කාර්යයන්ට අදාළ වන පරිදි නිර්මාණය වී තිබුQ ආචරණ (භෞතික බොහෝ ගණනක්‌ ආචරණය වන පරිදි සරල සූත්‍ර ගණනක්‌ ඉදිරිපත් කෙරුම ද? එය එසේ නම් නිව්ටන් නියම නැවත නිව්ටන් ගේ වියුක්‌තයෙන් හා යථාර්ථයෙන් මුදා ගෙන අපේ කටයුතු සඳහා යොදා ගැනීමේ කිසිදු වරදක්‌ දාර්ශනික මට්‌ටම්වල වුව තිබිය හැකි නො වේ. මෙහි දී මේ සුත්‍රගත කෙරුමේ දී නිව්ටන් විසින් සොයා ගන්නා ලද ගණිත සමීකරණ අප අද ප්‍රතික්‍ෂේප කළ යුතු නැත. මේ ගණිතය ද අද අපට එතරම් ආගන්තුක නැත. නිව්ටන් විසින් තම නියම නිමැවීම පිළිබඳව ඉහත කථාව සාධාරණ නම් එම නියමවල හිමිකමක්‌ අපට ද ඇත. ඒවා මුළුමනින් ම නිව්ටන්ලාට භාරදිය යුතු නැත. තරාදිය වැනි ආචරණ විශාල ගණනක්‌ අපේ පැරැන්නන් ද සතු වී ඇත. එසේ වුවහොත් අප දැන් කරන්නේ එම ආචරණ, එම ආචරණ මත ම පදනම් වෙමින් නිමැ වූ නිව්ටන් නියම (සමීකරණ) පදනම් කර ගනිමින් එහෙත් ඒවායේ යථාර්ථය හා අනවශ්‍ය වියුක්‌ත ස්‌වභාවය ඉවත ලා නැවත එම ආචරණ ම තේරුම් ගැනීමට යොදා ගැනීම ය. කෙසේ වුවත් මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට එළඹීමට කලින් ප්‍රබල ගවේෂණයක්‌ (ධ්‍යාන/අධ්‍යයන) කළ යුතු ය."

කපිල පීරිස්‌ මහතා එරී ඇති මඩගොහොරුව ගැන කතා කිරීමට පෙර ඒ මහතා පසුගිය සැප්තැම්බර් මස 2 වැනි දා ලියූ ලිපියේ වියුක්‌තය ගැන ලියා ඇති කොටසක්‌ ද පාඨකයාට මතක්‌ කර දිය යුතු ය. "අප ගේ ගණිතය හා සම්බන්ධ ලිපි... මහතා ගේ ද විමසුමට ලක්‌ වූ ඒවා ය. ඒවා හුදෙක්‌ ඉංජිනේරු ගණිතය මත පදනම් වූ දෑ නො වේ. කෙසේ වෙතත් ඉංජිනේරු ගණිතයට වඩා මහා ලොකු යථාර්ථයක්‌ අනෙක්‌ ගණිතයේ නොමැති බව ද සඳහන් කළ යුතු ය. එහි වියුක්‌තිය වැඩි ය. වියුක්‌තිය වැඩි වීමේ විශේෂ හොඳක්‌ නැත. එසේ ම බටහිර අර්බුදය ඇත්තේ වියුක්‌තකරණයේ පමණක්‌ නො වේ." මෙහි හිස්‌ තැනක්‌ තබා ඇත්තේ ගණිතය පිළිබඳ විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයෙකු ගේ නම සඳහන් ව තිබූ තැන ය. ඒ ගණිතයෙහි ඉංජිනේරු ගණිතයට වඩා මහා ලොකු යථාර්ථයක්‌ නැතැයි කියමින් කපිල පීරිස්‌ මහතා ගණිත කථිකාචාර්යවරයෙකු සාක්‍ෂියට කැඳ වූ තැනකි.

කපිල පීරිස්‌ මහතාට වියුක්‌තය ගැන ඇත්තේ අපැහැදිලි අදහසකි. ගණිතයෙහි දර්ශනය ගැන කිසිම වැටහීමක්‌ නැති ඒ මහතා බටහිර ගණිතයෙහි යථාර්ථයක්‌ නැති බව නො දනියි. ගණිතයෙහි ප්‍රතිඵල සත්‍යය ද නැත් ද යන්න ගැන බටහිර ගණිතඥයෝ කතා නො කරති. ගණිතමය වශයෙන් සත්‍ය වීම යනු භෞතික වශයෙන් සත්‍ය වීමක්‌ නො වේ. යම් ප්‍රතිඵලයක්‌ ඇරිස්‌ටෝටලීය තර්කය යොදා ගනිමින් ස්‌වසිද්ධිවලින් (ප්‍රත්‍යක්‍ෂවලින්) ලබාගත හැකි නම් ඒ ප්‍රතිඵලය ගණිතමය වශයෙන් සත්‍ය ලෙස සලකනු ලැබේ. එහි දී ගණිතඥයෝ ස්‌වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ගැන නො සොයති. බටහිර ගණිතයෙහි වියුක්‌තය වැඩි ය. පොදුවේ ගත් කල බටහිර දැනුම අනෙක්‌ දැනුම්වලට වඩා වියුක්‌ත වෙයි. වියුක්‌ත චිත්‍රකලාවක්‌ ඇත්තේ බටහිර ය. අපේ චිත්‍රකලාව වියුක්‌ත නො වේ. බටහිර සම්භාව්‍ය සංගීතය වියුක්‌ත ය. අපේ සංගීතය එතරම් වියුක්‌ත නො වේ යෑයි කිව හැකි ය. ඇතැම් විට ඒ හේතුව නිසා අපට ගීයෙන් තොර සංගීතයක්‌ නැතැයි කිසිවකුට කිව හැකි ය. එහෙත් බෙර වාදනයෙහි යම් වියුක්‌ත බවක්‌ ඇත. ගායනයක්‌ නැතිව කෙරෙන වාදනයක වියුක්‌ත බවක්‌ යම් ප්‍රමාණයකට වුවත් තිබිය යුතු යෑයි සිතමි. එහෙත් අපට බටහිර සම්භාව්‍ය සංගීතය හෝ උත්තර භාරතීය සංගීතය හෝ තරමට වියුක්‌ත වූ සංගීතයක්‌ නොමැත. අපේ වෛද්‍ය ක්‍රමයට ද යම් වියුක්‌ත බවක්‌ ඇත. එය ආයුර්වේදය තරමට වියුක්‌ත නොවන බව සැබෑ ය. එහෙත් වියුක්‌ත සංකල්ප කිසිවක්‌ නොමැතිව විද්‍යාවක්‌ හෝ තාක්‍ෂණයක්‌ හෝ ගොඩනැඟිය හැකි නො වේ. වියුක්‌ත බවක්‌ නැති තැන ඇත්තේ වට්‌ටෝරු ක්‍රමයක්‌ පමණකි. සිංහල වෙදකමෙහි ශීත උෂ්ණ යනුවෙන් සංකල්ප දෙකක්‌ ඇත. ආයුර්වේදයෙහි ඇති වා පිත් සෙම් වෙනුවට සිංහල වෙදකමේ ඇත්තේ ඉහත සඳහන් සංකල්ප දෙක ය. ඒ සංකල්ප දෙක සංයුක්‌ත නො වේ. චීන වෙදකමෙහි ද යින් හා යෑන් යන සංකල්ප වැදගත් වෙයි. ඒ සංකල්ප ද යම් පමණකට හෝ වියුක්‌ත වෙයි.

මුළුමනින් ම සංයුක්‌ත වූ සංකල්ප මත පදනම් ව ගැඹුරු සාධාරණීකරණයක්‌ කළ නො හැකි ය. එවිට ඇත්තේ සූත්‍ර ටිකක්‌ පමණකි. සූත්‍රයක්‌ යනු අවසානයේ දී අසා දැනගත්තක්‌ වෙයි. සිංහල වෙදකම ආයුර්වේදය තරමට ම වියුක්‌ත වන්නේවත් සිංහල සංගීතය උත්තර භාරතීය සංගීතය පමණට වියුක්‌ත වන්නේවත් නො වේ. සිංහල සංස්‌කෘතිය වියුක්‌තයෙන් අඩුවීම එයට හේතුව ය. සිංහල ඉංජිනේරු ශිල්පය ද එතරම් වියුක්‌ත විය නො හැකි නමුත් එය කිසිම වූ ආකාරයකට මූලධර්ම නොමැති හුදු සංයුක්‌ත පද්ධතියක්‌ විය නො හැකි ය. සිත් පිත් ඇති මිනිසුන්ට එසේ නොමැතිව දාගැබ් වැව් ආදිය ගොඩනැඟිය නො හැකි ය.

වේයා හුඹසක්‌ නිර්මාණය කරන්නේ කෙසේ දැයි අපි නො දනිමු. හුඹස නිර්මාණය කිරීමේ දී වේයන් සැලැස්‌මක්‌ ඇතිව ඒ කාර්යයට අවතීර්ණ වන්නේ යෑයි අපි නො සිතමු. එහෙත් සිංහලයන් දාගැබ් නිර්මාණය කරන්නට ඇත්තේ වේයන් හුඹස්‌ නිර්මාණය කරන අන්දමට නම් විය නො හැකි ය. සිංහල ඉංජිනේරුවන්ට (නයිදෙලාට) දාගැබ් නිර්මාණයට පෙර යම් සැලැස්‌මක්‌ තිබූ බව පැහැදිලි ය. රුවන්වැලි සෑය නිර්මාණයේ දී භික්‍ෂූන් වහන්සේ නමක්‌ ජල බඳුනක්‌ ගෙන එහි ඇති කළ බුබුළක බුබ්බුලාකාර හැඩය ගැමුණු රජතුමාට පෙන්වා ඇතැයි සඳහන් වෙයි. මහාසෑය පමණක්‌ නොව අනෙක්‌ දාගැබ් ගොඩ නඟද්දී ද යම් මූලධර්ම මත පිහිටා යම් සැලැස්‌මකට අනුව කටයුතු කර ඇති බව පැහැදිලි ය. ථූපවංශයෙන් මේ ඇතැම් කරුණු හෙළි වෙයි. වේයන් හුඹස්‌ බඳින ආකාරයට සිංහලයන් දාගැබ් තනා නොමැති බව ඒ ගඩොල් ඒ ඒ ස්‌ථරවල තැබීමෙන් ද පැහැදිලි වෙයි.

අපට අවශ්‍ය වන්නේ සිංහල ඉංජිනේරු ශිල්පයෙහි මූලධර්ම කවරේදැයි දැනගැනීම ය. එය නිව්ටන් ගේ නියමවලින් නම් දැනගත නො හැකි බව පැහැදිලි ය. කපිල පීරිස්‌ මහතාට වුව ද ඒ බව පැහැදිලි විය යුතු ය. ඔහු ද තේරුම් ගෙන ඇති පරිදි සිංහල ඉංජිනේරු ශිල්පය නිව්ටන්ට වඩා පැරැණි ය. බටහිර විද්‍යාඥයන් කෙසේ වෙතත් පැරැණි ගී්‍රකයන් නම් කර ඇත්තේ එවකට ලෝකයේ අනෙක්‌ රටවල තිබූ දැනුම් වියුක්‌තකරණයෙන් සාධාරිත දැනුමක්‌ නිර්මාණය කිරීම ය. එහෙත් ඒ සියල්ලට ම වඩා ඔවුන්ට පිහිටට තිබුණේ ගී්‍රක ස්‌වසිද්ධාත්මක ක්‍රමය ය. මෙහි දී යුක්‌ලීඩ් (හා ඔහු ගේ ගුරුවරු) ඉතා වැදගත් වෙති. ඔවුහු වියුක්‌ත සරල රේඛා හා වෙනත් ජ්‍යාමිතික රූප යොදා ගනිමින් ස්‌වසිද්ධි කිහිපයක්‌ මත පදනම් වෙමින් වියුක්‌ත ජ්‍යාමිතියක්‌ ගොඩ නැඟූහ. පෛතගරස්‌ ප්‍රමේයය පිළිබඳ ගොඩනැඟුණු සූත්‍ර භාරතයෙහි ද බැබිලෝනියාවේ ද ඊජිප්තුවේ ද තිබිණි. එහෙත් ඕනෑම වියුක්‌ත සෘජුකෝණි ත්‍රිකෝණයකට සරිලන පරිදි ඒ පිළිබඳ සාධනය සැපයුවේ පෛතගරස්‌ ය.

බටහිර විද්‍යාව ආරම්භයේ දී කොපර්නිකස්‌ ගැලීලියෝ නිව්ටන් ආදීහු පෙරදිග ඇතැම් දැනුමක්‌ තම සංස්‌කෘතියට හා චින්තනයට අවශෝෂණය කළහ. නිව්ටන් හා ලයිබ්නීටිස්‌ යන දෙදෙනාම කලනය පිළිබඳ මූලධර්ම භාරතයෙන් ගත් බවට සාධක ඇත. එහෙත් ඒ මූලධර්ම ලබාගත් පමණින් අපට ඒ අපේ දැනුමක්‌ යෑයි කිව නො හැකි ය. ඔවුන් කර ඇත්තේ අපේ දැනුම ඔවුන් ගේ සංස්‌කෘතියට හා චින්තනයට අවශෝෂණය කිරීමකි. එසේ අවශෝෂණය කිරීමෙන් පසු ඒ දැනුම තවදුරටත් අපේ නො වේ. අපට ඒ දැනුමට හිමිකම් කීමට නො හැකි ය. නිව්ටන් ගේ කලනය අපේ කලනයක්‌ නො වේ. පෛතගරස්‌ ප්‍රමේයය ද අපේ දැනුමක්‌ නො වේ. අප ඒ අපේ දැනුම් බවට පත් කරගන්නේ නම් ඒ කළ හැක්‌කේ අපේ සංස්‌කෘතියට හා චින්තනයට ඒ අවශෝෂණය කිරීමෙන් පමණකි. එක්‌ සංස්‌කෘතියක දැනුමක්‌ තවත් සංස්‌කෘතියකට අවශෝෂණය කිරීම යන්න කපිල පීරිස්‌ මහතා අවබෝධ කරගෙන නැත. සංස්‌කෘතියකින් තවත් සංස්‌කෘතියකට අවශෝෂණය කිරීම දැනගැනීමට ලෝක ඉතිහාසයේ අපමණ සිද්ධි ඇත. බටහිරයන් පෙරදිග දැනුම අවශෝෂණය කිරීම එයට එක්‌ උදාහරණයක්‌ පමණකි. වෛදිකයෝ එකල දඹදිව පැවැති දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කරමින් වෛදික දැනුමක්‌ ගොඩ නැඟූහ. සිංහලයෝ දඹදිවින් ලැබුණු බුදුදහම ආශ්‍රීත සංස්‌කෘතිය මෙරට පැවැති සංස්‌කෘතියට අවශෝෂණය කළ හ.

කපිල පීරිස්‌ මහතාට අවශෝෂණය යනු වියුක්‌තිය හා යථාර්ථය කපා දැමීමකි. වියුක්‌තිය මුළුමනින් ම කපා දැමූ විට (එසේ කළ හැකි නම්) වාචිකව ප්‍රකාශ කරන කිසිම දැනුමක්‌ ඉතිරි නො වේ. එයට හේතුව වචන ද වියුක්‌ත වීම ය. පුටුව යන වචනය අප යොදා ගන්නේ සංකේතයක්‌ ලෙස ය. ඒ වචනය වියුක්‌ත වූවකි. පුටුව යන වචනයෙහි අප විසින් එලෙස හැඳින්වෙන වස්‌තුවෙහි කිසිම ගුණයක්‌ අඩංගු නො වේ. මේ බව බටහිර වාග් විද්‍යාඥයෝ ද කියති. අප එය සිංහල සංස්‌කෘතියට අවශෝෂණය කර ඇත්තේ වචනයකට වචනයෙන් පමණක්‌ තේරුමක්‌ දිය නො හැකි බව අවධාරණය කිරීමෙනි. වචනයකට තේරුමක්‌ ලැබෙන්නේ සංදර්භය ද එකතු වූ පසුව ය. සංදර්භයෙන් තොර හුදු වචනවලට ඇති තේරුම් සීමාසහිත වෙයි. කපිල පීරිස්‌ මහතා කියන්නේ වියුක්‌තය අත්හැර සූත්‍රවලට ආපසු යා යුතු බව ය. එසේ කිරීමෙන් ගොඩ නැඟෙන නව දැනුමක්‌ නැත. යථාර්ථය යන්න කපිල පීරිස්‌ මහතා කෑ ගැසූ පමණින් නැති වී යන්නක්‌ නොවන බව අපි කලින් පැහැදිලි කර ඇත්තෙමු. කපිල පීරිස්‌ මහතා බෙරිහන් දුන් පමණින් නිව්ටන් ගේ නියමවලින් යථාර්ථය ඉවත් කළ නො හැකි ය. අනෙක්‌ අතට බටහිර ගණිතය අපට ආගන්තුක නො වේ යෑයි ඒ මහතා කියයි. මේ පිළිබඳ විවේචනය ලබන සතියට කල්දැමුමට සිදු වෙයි.