logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වසර 2010 - ජෛවවිවිධත්වය
දිවි හිමියෙන් සුරැකීම වෙනුවෙන්......


ලැබූ නව වසරේ පැතිය යුතු පැතුම් අතරට, ඉටු විය යුතු යුතුකම් හා වගකීම් අතරට, ස්‌වාභාවික සම්පත් මනා සංරක්‍ෂණයකින් යුතුව පරිහරණය කිරීම ද ඇතුළත් විය යුතු වෙයි. විශේෂයෙන් අප රටේ ජෛවවිවිධත්වය සංරක්‍ෂණය වෙනුවෙන් මේ වසරේ විශේෂ අවධානයක්‌ යොමු කළ යුතු වෙයි.

මේ වසර තුළ, මේ විශේෂ කර්තව්‍ය අප රටට පමණක්‌ නො ව ලොවට ම ඉලක්‌කයක්‌ බව සිහිපත් කරමින් එක්‌සත්ජාතීන් ගේ සංවිධානය මගින් 2010 වසර ජාත්‍යන්තර ජෛවවිවිධත්ව වසර (International Year of Biodiversity 2010) යනුවෙන් නම් කර ඇත. මෙසේ නම් කිරීමට ප්‍රධාන හේතුවක්‌ වූයේ ඒ ඒ රටවල් සතු ජෛවවිවිධත්වය සංරක්‍ෂණය කර එහි වර්ධනයක්‌ ඇති කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතනවල සහයෝගය ලබාගැනීම ය.

සමකය ආශ්‍රිත ඝර්මකලාපීය රටක්‌ වන ශ්‍රී ලංකාවට, සාපේක්‌ෂව වඩාත් දියුණු ජෛවවිවිධත්වයක්‌ උරුම ව තිබෙයි. ලෝක සංරක්‍ෂණ සංගමය (International Union of Conservation of Nature - IUCN) විසින් ජෛවවිවිධත්වයෙන් ඇති සංවේදි ස්‌ථානයක්‌ (Biodiversity Hotspot) ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ ද එබැවිනි.

ඒ කෙසේ වෙතත් පසුගිය දශක තුනක තරම් කාලයක්‌ තුළ මෙරට පැවැති විවිධ ප්‍රවණතාවන් හේතු කොට ජෛවවිවිධත්වයට සිදු වූ හානි සුළුපටු නැත. සංවර්ධනයේ නාමයෙන් වුව මෙරට තුළ විනාශ වූ ශාක හා සත්ත්ව විශේෂ ගණන සුළු පටු නැත. එසේම දශක තුනක පමණ කාලයක සිට මෙරට පැවැති ත්‍රස්‌තවාදී යුද වාතාවරණය රටට හිතැති මිනිස්‌ ප්‍රජාවටත් ශාක සහ සත්ත්ව විශේෂවලටත් ඉමහත් පීඩාවක්‌ ගෙන දුන් අතර ඇසට කනට පෙනෙන වටිනා ගසක්‌ කපා මුදල්වලට පරිවර්තනය කරන පිරිස්‌වලටත් අහිංසක සතුන්ට ගිනිබිඳ තම බඩකට පුරවා පරපුර රැකගන්නා මස්‌ වැද්දන්ටත් මේ වාතාවරණය "වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට මඟුල්" වැනි වරමක්‌ විය.

ඉදිරි වසරේ දී මෙරට සාර්ථක ජාතික සංවර්ධනයක්‌ කරා ගෙන යැමට අවශ්‍ය නම් විවිධ පැතිකඩ ඔස්‌සේ විසිරී ඇති ජෛවවිවිධත්වය ද රැක ගත යුතු වෙයි. මේ පිළිබඳව විමසීමේ දී පැතිකඩ ගණනාවක්‌ සිහියට නැඟෙයි. මේ පැතිකඩ කිහිපයක්‌ පිළිබඳව සමාලෝචනයක්‌ කිරීම මේ ලිපියේ අරමුණ වෙයි.

යෝජිත රක්‍ෂිත

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය සුරැකීම පිළිබඳව පුරසාරම් දොඩන බොහෝ බලධාරීන්ට අමතක වුණු එසේ ම ඔවුන් අමතක කළ පරිසර පද්ධති ලෙස යෝජිත රක්‍ෂිත ප්‍රදේශ හැඳින්විය හැකි ය. සිංහරාජය ආශ්‍රිත සුවිශේෂී වනාන්තර පද්ධති කිහිපයකට නිසි නීතිමය රැකවරණයක්‌ නො ලැබීම හේතුවෙන් දිනෙන් දින විනාශ වෙමින් තිබෙන බැව් මෙහි දී සඳහන් කළ යුතු ය. මේවා දෙල්ගොඩ යෝජිත රක්‌ෂිතය, පනාගල යෝජිත රක්‍ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්‍ෂිතය, තිබ්බොටුවාව යෝජිත රක්‍ෂිතය සහ රූනකන්ද යෝජිත රක්‍ෂිතය නම් වෙයි.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් ව පිහිටි රූනකන්ද යෝජිත රක්‍ෂිතය පිළිබඳව විමසා බැලීම අනෙක්‌ යෝජිත රක්‍ෂිත පිළිබඳව කිසියම් අවබෝධයක්‌ ලබා ගැනීමට ආධාරයක්‌ වෙයි. අතීතයේ දී සිංහරාජ වනාන්තරයට සම්බන්ධව පැවැති මේ වනාන්තර දශක දෙකකට අධික කාලයක සිට යෝජිත රක්‍ෂිතයක්‌ ලෙස නම් කර තිබුණ ද තවමත් රක්‍ෂිතයක්‌ ලෙස ප්‍රකාශ කර නැත. එබැවින් මේ වන විට මේ වන පද්ධතිය තුළ ස්‌ථාපිත වූ අසීමිත වටිනාකමකින් යුත් ජෛවවිවිධත්වය විවිධ හානි වලට ලක්‌ වෙමින් පවතී. විශේෂයෙන් අනවසර දැව හෙළීsම්, වැලි ගොඩ දැමීම් මෙන්ම සතුන් දඩයම් කිරීම් නිතර ම සිදු වෙයි. වටිනා ඖෂධීය ශාක විශේෂ රැසක්‌ ආරක්‍ෂා කරගත් මේ වනාන්තරයේ ඇති තවත් සුවිශේෂී ලක්‌ෂණයක්‌ වන්නේ සිංහරාජයෙන් වෙන් වුවත් මේ වනාන්තරයට පමණක්‌ සීමා වූ සත්ත්ව විශේෂ ගණනාවක්‌ වාසය කිරීමයි.

මෙහි ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් ප්‍රදේශයක පිහිටි කුඩුමිරිස්‌ස යෝජිත රක්‍ෂිතය පමණක්‌ රක්‍ෂිතයක්‌ බවට පත් කිරීම ය. ඇකේසියා වගා කළ මේ යෝජිත රක්‌ෂිතය, රක්‍ෂිතයක්‌ බවට පත් කිරීමට බලධාරින්ට මතකයට නැඟුණත් වටිනා ජෛවවිවිධත්වයක්‌ සඟවාගත් පුංචි සිංහරාජයක්‌ බඳු වූ රූනකන්ද රක්‌ෂිතයක්‌ බවට පත් කිරීම මේ දක්‌වා බලධාරීන්ට අමතක වී ඇත. මේ වන පද්ධතිය තුළ කෙරෙන නීති විරෝධී ක්‍රියා, පිළිබඳව පරිසර හිතැති ප්‍රදේශවාසීන් ප්‍රදේශයේ බලධාරීන් ගේ අවධානය යොමු කර ඇතත් ඒ ඔවුන් ගණනකට නො ගන්නේ ඔවුන් ගේ ආධාරකරුවන් ම වනය වනසන නිසා දැයි සැකයක්‌ පවතී. ලැබූ ජෛවවිවිධත්ව වසර වෙනුවෙන් රූනකන්ද යෝජිත රක්‍ෂිතය දැඩි රක්‍ෂිතයක්‌ බවට පත් කර ජෛවවිවිධත්වය සුරැකීමට, අදාළ අංශ පියවර ගනු ඇතැයි යන්න අප ගේ විශ්වාසයයි.

දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ

පසුගිය දශක තුනක කාලයේ පැවැති ත්‍රස්‌තවාදී වාතාවරණය අවසන් වීමෙන් පසු ජාතික උද්‍යානවලටත්, නිලාවැලි, පාසිකුඩා, කල්කුඩා සහ ආරුගම්බේ වැනි අති සුන්දර වෙරළාශ්‍රිත ප්‍රදේශ වෙතත් ඇදී යන දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේ වන විටත් උඩවලව, යාල වස්‌ගමුව වැනි වනෝද්‍යානවලට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ගේ අසීමිත වර්ධනයක්‌ පෙන්නුම් කරයි. මෙයින් යාල වනෝද්‍යානය ගැන විමසීමේ දී දිනකට සංචාරකයන්

රැගත් මෝටර් රථ 300ක්‌ පමණ පැමිණෙන බැව් දක්‌නට ලැබේ. මෙය මෑත ඉතිහාසයේ වාර්තාගත වර්ධනයක්‌ බැව් වනජීවී නිලධාරීහු පවසති. එබැවින් යාල වනෝද්‍යානය පමණක්‌ වසර 2008ට සාපේක්‍ෂව වසර 2009 දී ලැබූ වාර්ෂික ආදායම රුපියල් ලක්‌ෂ 793කි. මෙය වසර 2008ට වඩා රුපියල් ලක්‌ෂ 455ක වැඩි වීමකි. මෙවන් ආදායමක්‌ වනෝද්‍යානයකට ලැබීම රටේ ජාතික සංවර්ධනයටත් වනෝද්‍යානයේ සංවර්ධනයටත් මහත් පිටිවහලක්‌ වන්නා සේ ම උද්‍යානයේ ජෛවවිවිධත්වයටත් පරිසරයටත් ඉන් සිදු වන හානි ද අපමණ ය. මුදල් ලැබීමෙන් පමණක්‌ උද්‍යානයක ජෛවවිවිධත්වය සංරක්‍ෂණය කළ නොහැකි ය. එසේ නම් කළ යුත්තේ කුමක්‌ ද? වනෝද්‍යානයට පිවිසෙන සංචාරකයන් කිසියම් පාලනයකට ලක්‌ කිරීම ය.

මේ වන විටත් සංචාරකයන් සඳහා විවෘතව පවතින්නේ යාල පළමු කොටස (Block i) පමණි. එහි භූමි ප්‍රමාණය හෙක්‌ටයාර 126786කි. මෙපමණ කුඩා ඉඩ ප්‍රමාණයක්‌ තුළ දිනකට සංචාරකයන් ලක්‌ෂ ගණනක්‌ සංචාරය කිරීම වන ජීවීනට මහත් හිසරදයක්‌ වී ඇතිවා නොඅනුමාන ය. උද්‍යානය තුළ ධාවනය වන වාහනවල තදබදයත්, එම වාහනවලින් නැඟෙන ශබ්දයත් නිසල දිවියක්‌ ගත කරන පරිසර සංවේදී වන සතුන්ට මහත් පීඩාවක්‌ ගෙන දේ. වාහන දුම ද, එසේම සංචාරකයින් ඉවත දමන කැළි කසළ ද වන ජීවින් ගේ ජීවිතවලට ගෙන දෙන හානිය සුළු පටු නැත.

එසේ නම් කළ යුත්තේ කුමක්‌ද? ඉතිරි කොටස්‌ සියල්ල ම එනම් කොටස්‌ පහකින් යුත් සමස්‌ත යාල වනෝද්‍යානය ම දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා විවෘත කළ යුතු ය.

යාල වනෝද්‍යානයේ ඉතිරි කොටස්‌ පිළිසකර කර සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව විල්පත්තුව වැනි ජාතික වනෝද්‍යාන ද වැඩි කල් නො ගොස්‌ සංචාරකයන් සඳහා විවෘත කළ යුතු ය. එවිට වනෝද්‍යානයේ විශාල පෙදෙසක්‌ තුළ සංචාරකයන් ගේ විසිරීමක්‌ සිදු වන බැවින් එනම් ඒකක පරිමාවක්‌ තුළ සැරිසරන සංචාරකයින්ගේ ඝනත්වය අඩු වන බැවින් වන ජීවින්ටත් පරිසරයට සිදු වන හානි වඩාත් අවම වන අතර ම පැමිණෙන සංචාරකයන් ගේ ප්‍රමාණය වැඩි වීම, ආදායම වර්ධනය වීමට ද හේතුවක්‌ වෙයි. මෙහි දී කිව යුතු දෙයක්‌ වෙයි. වනෝද්‍යාන පාලනය කිරීමට සිටින වන ජීවී නිලධාරීන් ගේ සංඛ්‍යාව ද වර්ධනය කරන්නේ නම් එය ද වනෝද්‍යානවල හා වන ජීවීන් ගේ පැවැත්මට හේතු වෙයි. පසුගිය දිනවල මේ ලියුම්කරු යාල, උඩවලව, වස්‌ගමුව, ලුණුගම්වෙහෙර යන ජාතික වනෝද්‍යානවල කළ සංචාරවල දී දුටු දෙයක්‌ නම් ඒ ඒ වනෝද්‍යානවල සේවය කරන සීමිත නිලධාරීන් සංඛ්‍යාව තමන්ට හැකි උපරිමයෙන් සංචාරකයන් දැනුවත් කිරීමටත් වනෝද්‍යානය දූෂණයෙන් තොර පරිසරය පද්ධතියක්‌ ලෙසට පවත්වා ගෙන යැමටත් දරන අසීමිත උත්සාහයයි. එහෙත් වැඩි වන සංචාරකයන් හමුවේ මේ නිලධාරීන් දැඩි පීඩාකාරී තත්ත්වයකට පත් වන අවස්‌ථා ඇත. ඒ අවශ්‍යතා පමණට පහසුකම් නොමැති බැවිනි. එබැවින් මෙකී අවශ්‍ය පහසුකම් සැපයීම ද ජෛවවිවිධත්වය සංරක්‍ෂණය කිරීමට වක්‍ර ආකාර දායකත්වයක්‌ සලසනු නිසැකය.

අපට අහිමි වන හිමිදිරි පෙදෙස

සිංහරාජ වනාන්තරයට අයත් රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව හෙක්‌ටයාර 11187ක්‌ වැනි භූමි ප්‍රමාණයක පැතිර ඇති මේ අති සුන්දර වන බිම් දවස පුරා ම හිමිදිරි උදෑසන පෙනුමක ස්‌වරූපයක්‌ ගන්නා බැවින් හිමිදිරි පෙදෙස හෙවත් Morning Side යනුවෙන් අතීතයේ සිට නම් කෙරිණි. මේ භූමි පෙදෙසේ ඇති විශේෂත්වය වන්නේ සිංහරාජයේ අනෙකුත් වන පෙදෙස්‌වලින් වාර්තා නො වන මේ පෙදෙසින් පමණක්‌ වාර්තා වන ශ්‍රී ලංකාවට ආවේණික කටුසු විශේෂ අටක්‌ වාර්තා වීමය. කරු ගේ අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරා කටුස්‌සා, කරවල බෝදිලියා, පිහිනුම් කටුස්‌සා යන විශේෂ ඒ අතර වෙයි. සිංහරාජයේ වෙසෙන අලින් තිදෙනා නිතර ම සැරිසරන්නේ ද හිමිදිරි පෙදෙසහි වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන්

රැසක්‌ මේ පෙදෙසින් හමු වෙයි. ශාක විශේෂ අතර ඉරුරාජ, සඳරාජ, කුඩා හැඩයා, මහා හැඩයා, නිල් බිනර වැනි වටිනා ඖෂධීය ශාක රැසක්‌ ද මේ හිමිදිරි පෙදෙසහි වෙයි.

අතීතයේ දී තේ වගාවට ඉංග්‍රීසි ජාතිකයන් යොදාගත් මේ බිම් පෙදෙස පසුව එනසාල් වගා කර ඇති අතර අද වන විට එය ද අතහැර දැමීම නිසා ද්විතීයික වනාන්තර ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ. වත්මන හිමිදිරි පෙදෙස ආක්‍රමණය කරන්නේ වනාන්තර කපා දමමින් කරන නව තේ වගාවයි. එසේම බීජ අර්තාපල් ව්‍යාප්තිය ද හිමිදිරි පෙදෙසේ සුන්දරත්වය වැනසීමට හේතුවක්‌ වී තිබේ. ඉවක්‌ බවක්‌ නැති ව වනාන්තර කපා කරන නව තේ වගාවන් හා අර්තාපල් වගාවන් නිසා මේ පෙදෙසේ වෙසෙන ආවේණික ජීවීන්ටත්, පොදුවේ ගත් කල ජෛවවිවිධත්වයටත් සිදු වන හානිය වැළැක්‌වීමට ජෛවවිවිධත්ව වසර වන මේ වසරේ දී හෝ පියවර නො ගත හොත් නුදුරු දිනක දී ම හිමිදිරි පෙදෙස මධ්‍යහ්න පෙදෙසක්‌ බවට පත් වීම වැළැක්‌විය නොහැකි ය.

කුඩා ජල විදුලි බලාගාර

දිනෙන් දින ඉහළ යන ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදයට තිබෙන පරිසර හිතැති පිළියම් අතර කුඩා ජල විදුලි බලාගාර නිපදවීම සාර්ථක පිළියමකි. කුඩා හෝ මධ්‍ය හෝ මහා පරිමාණ හෝ විදුලි බලාගාරයක්‌ නිපදවීමට ජල මූලාශ්‍රයක්‌ අවශ්‍ය වන බව අපි දනිමු. වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ, ලක්‌ෂපාන, උකුවෙල වැනි මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් රටට අවශ්‍ය සමස්‌ත විදුලිය සපුරා දීමට හැකි වුවත් ගංගාවල ජල මට්‌ටම පහළ බැසීමත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට නිසි වර්ෂාව නො ලැබීමත් නිසා සමස්‌ත විදුලි ධාරිතාව නිපදවා ගැනීමට නොහැකි ව ඇත. එසේම පරිසර පද්ධති පිළිබඳව නිසි ඇගයීමක්‌ නො කිරීමේ වරදින් වික්‌ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ යන ජලාශ්‍රිත පරිසර පද්ධතිවල ජෛවවිවිධත්වය ක්‍රමයෙන් විනාශ වූයේ ප්‍රදේශයට වියළි ස්‌වභාවයක්‌ අත් කර දෙමිනි. එදා එසේ වුවත් පරිසරය ගැන අබමල් රේණුවක තරම් දැනුමක්‌ නැති අතමිට මුදල් ගැවසෙන ව්‍යාපාරිකයන්, විවිධ දේශපාලනඥයන් ගේ බල මහිමයෙන් කුඩා විදුලි බලාගාර නිපදවීමට අවතීර්ණ වීම වසර දහස්‌ ගණනක්‌ තුළ නිහඬ ව වර්ධනය වුණු වටිනා ජෛවවිවිධත්වයක්‌ විනාශ කිරීමට හේතුවක්‌ වී ඇත. මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ විදුලි බලාගාර බොහොමයක්‌ ඉදි වී ඇත්තේ රත්නපුර, ගාල්ල, මහනුවර, කළුතර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්‌ත්‍රික්‌කවල ය. හේතුව ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර වැඩි ප්‍රමාණයක්‌ පැතිර ඇත්තේ මෙම දිස්‌ත්‍රීක්‌කවල වීමයි. බොහෝ විට මේ බලාගාර ඉදි කරනු ලබන්නේ මේ වනාන්තර ආශ්‍රිතව ගලා බසින ගංගාවක හෝ අතු ගංගාවක හෝ ඉහළ සීමාවක ය. විශේෂයෙන් දිය ඇලි ආශ්‍රිත ව ය.

රටේ සංවර්ධනයට විදුලිබලය අත්‍යවශ්‍ය වුව ද පෞද්ගලික ඕනෑ එපාකම් මත ඉදි කෙරෙන මෙවන් කුඩා විදුලි බලාගාර නිසා ශ්‍රී ලංකාවේ අති සංවේදී පරිසර පද්ධති මේ වන විටත් විනාශය කරා යැමේ ගමන ආරම්භ කර ඇත. දිය ඇල්ලට ඉහළින් වේල්ලක්‌ බැඳ ජලය හරස්‌ කර මෙවන් බලාගාර ඉදි කිරීම නිසා අද වන විට සිඳී ගොස්‌ ඇති දිය ඇලි ප්‍රමාණය අති විශාල වන අතර දිය ඇල්ලට පහළින් වන පරිසර පද්ධති පෝෂණය කිරීම සඳහා නියමිත ජල ධාරිතාවක්‌ නොමැති වීම, එම පරිසරයේ ජෛවවිවිධත්වය විනාශ වීමට හේතුවක්‌ වී ඇත. විශේෂයෙන් දේශීය මත්ස්‍ය විශේෂ මෙන්ම උරග විශේෂ හා උභය ජීවි විශේෂ මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය සිත් පාරවනසුලු ය. වසර ගණනකට පසු (සමස්‌ත පිරිවැය පියවා ගැනීමෙන් අනතුරුව) ජලය සිඳී ගොස්‌ නිසි විදුලි ධාරිතාව නිපදවීමට නොහැකි වූ විට බලාගාරය ද වසා දැමෙයි. එබැවින් කුඩා විදුලි බලාගාර නිපදවීම, ජෛවවිවිධත්වයට හානි සිදුවන අයුරින් නොකිරීමට වග බලා ගැනීම අවශ්‍ය වෙයි.

වෙරළ තීර හා සමුදුරු දූෂණය

දූපත් රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාවේ ගොඩබිම් පරිසර පද්ධති මෙන්ම ඊටත් වඩා ඉහළ අගයක්‌ ගන්නා සාගර පරිසරයේ තිබෙන පරිසර පද්ධති ආශ්‍රිත ජෛවවිවිධත්වය ද අද ආරක්‍ෂා කළ යුතු තත්ත්වයට පැමිණ ඇත. සාගර හා වෙරළාශ්‍රිත පරිසරය දූෂණයට හේතු වන ප්‍රධාන කරුණු අතර ගොඩබිමේ සිදු කරන ක්‍රියාකාරකම්, සාගර සම්පත් සූරාකෑම, සාගර ජීවීන් ගේ වාසස්‌ථාන වෙනස්‌ වීම හා විනාශ කිරීම, ආක්‍රමණශීලී ජීවීන් ගේ ව්‍යාප්තිය වැනි කරුණු ප්‍රධාන වෙයි.

වෙරළ ආශ්‍රිත පරිසර පද්ධති හරහා මුහුදට ගලන ඇළ මාර්ග ඔස්‌සේ රට තුළ ඉදි කෙරෙන කර්මාන්ත ශාලා හා සංචාරක හෝටල් වැනි ස්‌ථානවලින් අපද්‍රව්‍ය ගලා ඒම වෙරළාශ්‍රිත පරිසර පද්ධති දූෂණය කර ජෛවවිවිධත්වය වැනසීමට මූලික හේතුවක්‌ වී ඇත. නීතිවිරෝධී ලෙස කෙරෙන ධීවර කටයුතු නිසාත් වෙරළාශ්‍රිත පරිසර පද්ධති මෙන්ම සාගර ජීවීන් ද විනාශ වීමට ලක්‌ වී ඇත. දෙස්‌ විදෙස්‌ සංචාරකයන් කොරල් පර නැරඹීමේ දී භාවිත කරන පතුලට විදුරුවක්‌ සවි කළ බෝට්‌ටු  සීමාවකින් තොරව ධාවනය නිසා වටිනා කොරල් පර හා ඒ ආශ්‍රිත ජීවීන් ද විනාශ වීමක්‌ සිදු වෙයි. මෙහි දී බෝට්‌ටුවලින් නිකුත් වන දැවි තෙල් හා ධාවනයේ දී සිදු වන වේගවත් ජල කැළඹීම්වල බලපෑමෙන් කොරල් පර ආශ්‍රිතව දිවි ගෙවන ජීවීන් දමන බිත්තර විනාශ වීම උන් ගේ වඳ වීමට හේතුවක්‌ වෙයි.

වෙරළාශ්‍රිතව සංචාරක ව්‍යාපාර ව්‍යාප්තිය වෙරළාශ්‍රිත පරිසර පද්ධතිය දූෂණය වීමට එක්‌ හේතුවක්‌ වූයේ ඒ සඳහා ස්‌වාභාවික වෙරළ ආරක්‍ෂකයන් වූ කඩොලාන ගස්‌ කපා දැමීම ය. මහා පරිමාණයෙන් මෙන්ම මධ්‍ය පරිමාණයෙන් සිදු කෙරෙන මේ හානිකර ක්‍රියා අවම කිරීමට පියවර ගැනීම වෙරළාශ්‍රිත ජෛවවිවිධත්වය සංරක්‍ෂණය කිරීමට පහසුවක්‌ වෙයි. මේ සඳහා නිසි ක්‍රමවේද භාවිත කළ යුතු අතර අන්තර්ජාතික සාගර සම්මුතිය බලාත්මක කිරීමට ද බලධාරීන් වගබලා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

ආක්‍රමණශීලී ජීවීන්

ජෛවවිවිධත්වයට ආක්‍රමණික ජීවී විශේෂවලින් ඇති කරනු ලබන බලපෑම් සුළුපටු නැත. ආක්‍රමණික ශාක, හා සත්ත්වයන් මෙන්ම පියවි ඇසට නො පෙනෙන ක්‍ෂද්‍රජීවීන් ද මේ යටතේ වෙයි. ආක්‍රමණික ජීවියකු තවත් ජීවියකුට, ජීව විශේෂ කිහිපයකට හෝ පරිසර පද්ධතියකට හෝ විවිධ හානි සිදු කළ හැකි ය. ආක්‍රමණික ජීවින් නිසා විනාශ වූ පරිසර පද්ධති නැවත යථා තත්ත්වයට පත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නො වේ. එබැවින් විසිතුරු ශාකයක්‌ ලෙසත්, සුරතල් සතුන් ලෙසත්, වෙනත් කවර හෝ ජීවියකු ලෙසත් රට තුළට පැමිණිය හැකි ආක්‍රමණික ජීවීන් පාලනය කිරීම සඳහා පාසල් මට්‌ටමින් මෙන්ම පොදු ජනතා මට්‌ටමෙන් ද දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය වෙයි. එබැවින් තවදුරටත් මෙරට තුළ ආක්‍රමණික ජීවීන් පිළිබඳව දැනුවත් කිරීම් හා නීතිය ක්‍රියාත්මක කිරීම් විධිමත්ව සිදු කිරීම ජෛවවිවිධත්වයට සිදු වන හානි අවම කර එහි වර්ධනයක්‌ හා සංරක්‍ෂණයක්‌ කිරීමට තිබෙන ඉඩකඩ වඩාත් පුළුල් වීමට හේතු වනු ඇත.

රටකින් රටකට ගෙන්වන හෝ සංචාරකයන් විසින් ගෙනෙනු ලබන හෝ සුරතල් සතුන්, විසිතුරු ශාක, කෘෂිකාර්මික වගා සඳහා රටට ආනයනය කරන ශාක වර්ග, බීජ වර්ග, ජෛව පාලනයක්‌ සඳහා ගෙන්වන ලද ජීවියකු, පසු කලෙක ආක්‍රමණශීලී ජීවියකු ලෙස රට තුළ ව්‍යාප්ත වීම, ජල ජීව වගාව සඳහා ගෙන්වන ලද ජීවියකු පසු කලෙක ආක්‍රමණික ජීවියකු වීම වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීම ආක්‍රමණික ජීවීන් නිසා සිදු වන ජෛවවිවිධත්ව විනාශය වළක්‌වා ලීමට හේතුවක්‌ වෙයි. ලැබූ වසරේ ආක්‍රමණික ජීවීන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීම රට තුළ තිබෙන විවිධාකාර පරිසර පද්ධති ගණනාවක්‌

රැකගැනීමටත් ඒ හා සම්බන්ධව ඇති ජෛවවිවිධත්වය රැකගැනීමටත් හේතුවක්‌ වනු ඇත.

බෝග වන දර්ශ

රටක වර්ධනය වන ජනගහනයට සරිලන පරිදි ආහාර සැපයීම ද අභියෝගයකි. මේ අභියෝගය ජය ගැනීමට නම් බෝග වන දර්ශවල දායකත්වය අත්‍යවශ්‍ය වෙයි. ලොව පුරා සිදු වන අවිධිමත් සංරක්‍ෂණ කටයුතු හේතුවෙන් සිදු වන පරිසර විනාශය බෝග වන දර්ශවල පැවැත්මට තර්ජනයක්‌ වී ඇත. ශ්‍රී ලංකාව පිළිබඳව විමසීමේ දී පෙනී යන කරුණක්‌ වන්නේ අදූරදර්ශී සැලසුම් හේතුවෙන් බෝග වන දර්ශ විනාශයයි. එසේම වඳ වී යැමේ තර්ජනයට ද ලක්‌ වී ඇති බැවින් බෝග වන දර්ශවල ජාන විවිධත්වය ද හීන වී යැමේ තර්ජනයක්‌ උදා වී ඇත.

දේශගුණික විපර්යාස හේතුවෙන් පැවැත්මට සුදුසු පරිසර පද්ධති හීන වීම, නාය යැම් සහ ලැව් ගිනි ආදිය නිසා පරිසර පද්ධති විනාශ වීම වැනි සිදුවීම් බෝග වන දර්ශවල පැවැත්මට තර්ජනයක්‌ වී ඇත. මෙවන් තත්ත්ව වන දර්ශ වඳ වී යැමට හේතු වන්නාක්‌ සේ ම ඒවා වෙනත් වාස භුමිවලට සංක්‍රමණයට ද හේතු විය හැකි ය. නිදසුනක්‌ ලෙසට වත්මන් වියළි කලාපයේ දක්‌නට ලැබෙන වන දර්ශ අනාගතයේ වියළි කාලගුණික තත්ත්වයක්‌ ඇති විය හැකි වත්මන් තෙත් කලාපය වෙත සංක්‍රමණය වීමක්‌ සිදු විය හැකි ය. මෙවන් තත්ත්වයක්‌ හමුවේ පැන නඟින ගැටලු සඳහා පිළියම් සෙවීම අත්‍යවශ්‍ය වන්නේ බෝග වන දර්ශවල විවිධත්වය රැක ගැනීම අත්‍යවශ්‍ය වන බැවිනි.

බෝග වන දර්ශ වටිනා ජාන සම්පත් වුව ද ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය තුළ මේ ස්‌වාභාවික සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නා බවක්‌ දක්‌නට නැත. මේ තත්ත්වය හමුවේ වසර 2004 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පරිසර අමාත්‍යංශයත් එක්‌ ව ක්‍රියාත්මක කළ බෝග වන දර්ශ ස්‌ථානීය සංරක්‌ෂණය තවදුරටත් සාර්ථකව කර ගෙන යැමට මහජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය ය. මහජනතාව දැනුවත් කරන අතර ම පාසල් දරුවන් දැනුවත් කිරීම වඩාත් පලදායි වන්නේ ඔවුන්ට සංරක්‍ෂණය කිරීමේ විද්‍යාත්මක පදනම වැඩිහිටියන්ට වඩා හොඳින් අවබෝධ කර ගත හැකි බැවිනි. මෙහි දී තර්ජනයට ලක්‌ වී ඇති වන දර්ශ මොනවා ද යන්න හඳුනා ගැනීමට ඒවායේ දත්ත ගබඩා කර සැකසීම, වන දර්ශ සංරක්‍ෂණය කිරීම වැනි දේ පිළිබඳව අවබෝධයක්‌ ලබා දීම අත්‍යවශ්‍ය වෙයි ශ්‍රී ලංකාවේ අනාගතයේ දී ඇති විය හැකි කවර හෝ ආහාර අර්බුදයක්‌ ජයගැනීම සඳහා අභියෝගයක්‌ ලෙස බෝග වන දර්ශ පිළිබඳව රටවැසියා දැනුවත් කිරීම බෝග වන දර්ශ ජෛවවිවිධත්වය

සුරැකීමටත් ඉන් නිසි පල ලබා ගැනීමටත් හේතු වනු නිසැක ය.

වගුරු බිම්

ශ්‍රී ලංකාවේ වගුරුබිම් සහිත අභයභූමී අතර බස්‌නාහිර පළාතට අයත් බෙල්ලන්විල අත්තිඩිය, වගුරුබිම සහ ශ්‍රී ජයවර්ධනපුර වගුරු බිම ප්‍රධාන තැනක්‌ ගනී. මේ වගුරු බිම් දෙක ම අභයභූමි ලෙස නම් කර ඇත. දැනට කර ඇති අධ්‍යයන කටයතුවලට අනුව බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියේ ශාක කුල 54කට අයත් විශේෂ 148ක්‌ පක්‍ෂි විශේෂ 168ක්‌, උරග විශේෂ 30ක්‌, සමනළ විශේෂ 82ක්‌, දේශීය මත්ස්‍ය විශේෂ 43ක්‌ හා ක්‍ෂීරපායි විශේෂ 17ක්‌ ක්‌ද වාර්තා වෙයි. මේ සත්ත්ව විශේෂවලට ආහාර සහ වාසස්‌ථාන සපයා දෙන ශාක ප්‍රජාව අතර කදුරු, වැටකෙයියා, බෙලිපට්‌ට, බෝවිටියා, වෙල් ආත්තා වැනි ශාක විශේෂ ප්‍රධාන තැනක්‌ ගනී. මේ ශාක විශේෂ හැරුණු කොට ඕලු, නිල් මානෙල්, කෙකටිය වැනි ජලජ ශාක ද වෙයි. මෙහි විශාල පරාසයක පැතිරී ඇති වෙල් ආත්තා ආක්‍රමණික ශාක විශේෂයක්‌ වුව ද පක්‍ෂීන්ටත් දේශීය මත්ෂ්‍ය විශේෂවලටත් ආහාර හා වාසස්‌ථාන සපයන පරිසර පද්ධතියක්‌ සකස්‌ කර දෙයි. බොහෝ දෙනකු අදහස මෙන් කළ යුත්තේ වෙල් ආත්තා මේ පරිසරය පද්ධතියෙන් ඉවත් කිරීම නො ව කිසියම් පාලනයකට යටත්ව ව්‍යාප්ත වීමට ඉඩ හැරීම ය. දැනට එවැන්නක්‌ සිදු නො වන අතර මේ වගුරු බිමට ව්‍යාපාරිකයන් ගේ ඇස ගැටී ඇති බැවින් තැන තැන ගොඩකිරීම් සිදු කෙරෙයි ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු ගේ අනුදැනුම ඇති ව ප්‍රබල ව්‍යාපාරිකයන් වගුරු බිමෙන් කොටසක්‌ අයත් කර ගැනීමේ උත්සාහයක යෙදෙන බවට ද කරුණු හෙළි වී ඇත. අනවසර ගොඩකිරීම් සිදු කෙරෙන මේ වගුරුබිම කෙරෙහි බලධාරින් දක්‌වන අඩු සැලකිල්ල නිසා ඉදිරි දශකය තුළ මෙය ව්‍යාපාරික ස්‌ථාන හා සංචාරක නිකේතන ඉදි කළ ස්‌ථානයක්‌ බවට පත් විය හැකි ය. අගනුවර ආසන්නයේ පිහිටි මේ වටිනා වගුරුබිම පරිසර අධ්‍යයනයේ යෙදෙන පාසල් සිසුන්ටත් දෙස්‌ විදෙස්‌ පර්යේෂකයන්ටත් විවෘත කර දී වඩාත් සාර්ථක සංරක්‍ෂණයකට ලක්‌ කිරීම ජෛවවිවිධත්ව වසර යනුවෙන් නම් කළ මෙම වසරේ දී වත් සිදු වෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

මේ වන විට විටත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ වගුරුබිම අභය භූමියක්‌ ලෙස නම් කර තිබුණත් මේ ලියුම්කරු ගේ දැනුමට අනුව විධිමත් සැලකිල්ලක්‌ නොමැති බැවින් එය ද ක්‍රමයෙන් පිරිහෙන තත්ත්වයකට පත් වී ඇති බවක්‌ දක්‌නට ලැබේ. එබැවින් මෙම වගුරුබිම ද අභය භූමියක්‌ ලෙසට සංවර්ධනය කිරීමට අදාළ බලධාරීන් පියවර ගනු ඇතැයි අප ගේ විශ්වාසයයි.

රටක ජෛව විවිධත්වය රැක ගැනීමට ජාත්‍යන්තර සම්මුතිවලින් යම් යම් කරුණු අවශෝෂණය කර ගැනීම සිදු කළත් එම සම්මුතිවලට අනුව ම කටයුතු කිරීම අවශ්‍ය නැත. එසේ වන්නේ රටේ ජෛවවිවිධත්වය රටේ දේශීය දැනුම හා ද සම්බන්ධ ව පවතින බැවිනි. රටක දේශීය දැනුම සංරක්‍ෂණය කිරීම ඒ රටේ අවශ්‍යතාවක්‌ මිස අන් රටක අවශ්‍යතාවක්‌ නො විය යුතු ය. ශ්‍රී ලංකාව ගැන විමසීමේ දීත් මෙය වලංගු වන බවක්‌ පෙනේ. ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වය හා ඒ හා බැඳුණු පරිසර පද්ධතිවල වටිනාකම ශ්‍රී ලංකා ජනතාවට අවබෝධ විය යුතු ය. එය දේශීය දැනුම හා බැඳී පවතින බව ද ජනතාව දැනගත යුතු ය. මෙසේ නො වන තෙක්‌ මේ රටේ දේශීය දැනුම අභාවයට යන අතර ම ජෛවවිවිධත්වය ද විනාශ වනු ඇත. මේ වටිනා සාධක දෙක ම රැක ගැනීමට නම් දැනුවත් කිරීම් අත්‍යවශ්‍ය වනු ඇත. දැනුවත් කිරීම පාසල් මට්‌ටමේ සිට විශ්වවිද්‍යාල මට්‌ටම හරහා පොදු ජනතාව අතරට යා යුතු ය.

මේ සියලු කර්තව්‍යයන් සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාගත යුතු ය. මීට අමතරව ශ්‍රී ලාංකේය ජෛවවිවිධත්ව සංරක්‍ෂණයේ දී දැඩි අවධානයක්‌ යොමු කළ යුතු පැතිකඩ රාශියක්‌ ඇත. වගා නො කරන පුරන් කුඹුරු හා අතහැර දමන ලද වගුරු බිම් යෝජිත රක්‍ෂිත ලෙස හෝ නම් කර නැති වන භූමි ඇළ දොළ සහ ගංගා දෙපස පිහිටි බිම් පෙදෙස්‌ මෙන්ම අලි මිනිස්‌ ගැටුම් පිළිබඳව ද වඩාත් සංවේදීව ක්‍රියා කළ යුතු යෑයි යන්න අප ගේ හැඟීමයි.

අද සතියේ විමසුම
අමල් උඩවත්ත