logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ශ්‍රී ලංකාවේ ආරක්‌ෂිත කුප්පි ලාම්පුව
World Challenge 2009 සම්මානයෙන්
පිදුම් ලබයි


දමිත නිපුණජිත්

පසුගිය දෙසැම්බර් 01 වැනි දා නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති පස්‌ වැනි වාර්ෂික
World Challenge 2009 සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික පර්යේෂකයකු වන වෛද්‍ය විජය ගොඩකුඹුර නිර්මාණය කළ ආරක්‌ෂිත කුප්පි ලාම්පුවට ප්‍රථම ස්‌ථානය හිමි විය.

Shell සමාගමේ අනුග්‍රහයෙන් BBC World News හා Newsweek එක්‌ ව වාර්ෂිකව සංවිධානය කරන මෙම World Challenge තරගාවලිය මගින් ලෝකය පුරා සිටින ජනතාව ගේ ජීවිතවලට සැබෑ යහපත් වෙනසක්‌ එක්‌ කරනු ලැබූ බිම් මට්‌ටමේ ව්‍යාපෘති, කුඩා ව්‍යාපාර හා නව නිර්මාණ උදෙසා සම්මාන පිරිනමනු ලැබේ. මෙවර තරගය සඳහා ඉදිරිපත් ව තිබූ නාම යෝජනා 900කට වැඩි ප්‍රමාණයක්‌ අතරින් අවසන් නිර්මාණ 12ක්‌ ප්‍රවීණ විනිශ්චය මණ්‌ඩලයක්‌ මගින් තෝරනු ලැබූ අතර ඒ අතුරින් වඩාත් ම හොඳ නිර්මාණය තෝරා ගනු ලැබ ඇත්තේ BBC World News ප්‍රේක්‌ෂකයන් ගේ හා Newsweek පාඨකයන් ගේ ජන්දවලිනි.

විදුලි බලය අහිමි ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා දිළිඳු ජනතාව ගේ ජීවිතයට බද්ධ වූ භූමිතෙල් ලාම්පුව ආරක්‌ෂිත එකක්‌ බවට පත් කිරීම උදෙසා වෛද්‍ය විජය ගොඩකුඹුර නිර්මාණය කළ ආරක්‌ෂිත කුප්පි ලාම්පුව වසරේ හොඳ ම ලෝක අභියෝගතා නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එම ව්‍යාපෘතිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Shell සමාගම විසින් ඩොලර් 20000 ක ත්‍යාගයක්‌ පිරිනමනු ලැබී ය. මෙම තරගාවලියේ දෙවැනි ස්‌ථානය ඉන්දුනීසියාවේ, වගා බිම්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය මගින් වාණිජ මට්‌ටමේ කාබනික පොහොර සෑදීමේ ව්‍යාපෘතියකට හිමි වූ අතර තුන් වැනි ස්‌ථානය හිමි වූයේ ඇමෙරිකාවේ කෝපි වගාව නිසා නිසරු වු බිම්වල සාර්ථක හතු වැවීමේ ව්‍යාපෘතියකට ය.