ඖෂධීය ශාක හා බැඳුණු
පර්යේෂණාත්මක තොරතුරු සමහරක්
වනාන්තරයේ වැවෙන සෑම පැළෑටියක් ම ඖෂධයක් ලෙසින් පැරන්නෝ හැඳින්වූ හ. දැනට
හඳුනාගෙන ඇත්තේ ඉන් ඉතා ම සුළු ඖෂධීය ශාක ප්‍රමාණයක් නමුත් තවදුරටත් බොහෝ
ශාකවල ඖෂධීය වටිනාකම් පිළිබඳව විවිධ අධ්‍යයනයන් සිදු වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ දැනට සපුෂ්ප ශාක 4143 ක් පමණ හඳුනාගෙන ඇත. මේ සපුෂ්ප ශාක
කුල 214 කට හා ගණ 1552කට අයත් වෙයි. මේ අතුරින් 1025ක් ලංකාවට ආවේණික ශාක ලෙස
ද හඳුනාගෙන ඇත. ප්‍රතිශතයක් වශයෙන් ගත් කල එය 24.5%කි. මේ ආවේණික ශාකවලින්
90%ක් පමණ ම පහතරට තෙත්කලාපීය වනාන්තරවල දක්‌නට ලැබෙන බව ද තහවුරු කර ඇත.
ඖෂධීය හා පෝෂණීය වටිනාකමකින් යුතු ශාක අළලා දැනට විවිධ ආයතන මඟින්
පර්යේෂණාත්මකව තහවුරු කරගත් අදාළ ගුණ පිළිබඳ සාරාංශගත විස්‌තරයක් මෙහි පළ වන
වගුවෙහි දැක්‌වේ.

මීට අමතරව 2008 වසරේ ආයුර්වේද සමීක්‍ෂා කෘතියේ අඩංගු වන, ශාකවල ඖෂධීය වටිනාකම්
පිළිබඳ තොරතුරු අතර පහත සඳහන් තොරතුරු විශෙෂ තැනක් ගනී.
උඩවැඩියා ශාකයේ විවිධ රටවල විවිධ සොයාගැනීම් පිළිබඳව සිදු කර තිබෙන අධ්‍යයනයන්ට
අනුව උඩවැඩියා විශේෂ 155ක ඖෂධීය හා අනෙකුත් වටිනාකම් සොයාගෙන ඇත. මේ අතරින්
වනරාජ හා ඉරුරාජ ශාක අස්‌ථි සන්ධානයට සහ සර්ප විෂ සඳහා යෝග්‍ය බව ද, ස්‌නායු
පද්ධතිය උත්තේජනය කරන ඖෂධීය ගුණයෙන් යුතු බව ද හඳුනාගෙන ඇත. (වෛද්‍ය ඊ. ආර්.
එච්. එස්. එස්. එදිරිවීර)
කළුදුරු ශාකයේ හා ඒකාවේරිය ශාකයේ ඇති සංයෝග අධිරුධිර පීඩනයට යොදා ගැනීමේ
හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කර වාර්තා කර තිබේ. (වෛද්‍ය එම්. එච්. ඒ. තිසේරා
සහ වෛද්‍ය ඒ. එම්. ටී. එස්. ගුණතිලක)
බිංකොහොඹ ශාකයේ හා හීන් බිංකොහොඹ ශාකයේ ඇති බැක්‌ටිරියානාශක හැකියාව පිළිsබඳව ද
පර්යේෂණාත්මකව තහවුරු කර ඇත. (වෛද්‍ය එස්. ඩී. හපුආරච්චි සහ ඩබ්ලිව්. ටී. පී.
එස්. කේ. සෙනරත්)
මීට අමතරව ඒකීය ඖෂධීය ශාකවල රසායනික සංඝටක සෙවීම සඳහා නාවින්න ආයුර්වේද පර්යේෂණ
ආයතනය මඟින් සිදු කර ඇති පර්යේෂණවලට අනුව ද සමහර ඖෂධීය ශාකවල ක්‍රියාකාරීත්වයන්
පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබාගත හැකි ය.
මේ යටතේ රත් නිටොල් හා එළ නිටොල් ශාකවල විද්‍යාත්මක සංසන්දනයක් හා රසායනික
සංඝටක හඳුනාගැනීමට ද, බිංකොහොඹ ශාකයේ ඇති ආර්ථිකමය වටිනාකම, අස්‌වනු නෙළීම, වගා
කිරීම, රසායනික සංඝටක හා ප්‍රතිශක්‌ති ගුණ පිළිsබඳව ද අධ්‍යයන සිදු කර ඇත.
එසේ ම ඉඟුරුවල රසායනික සංඝටක පිළිබඳ වත්, බුලත් විශේෂවල (Piper Sp.) රසායනික
සංඝටක පිළිබඳ වත් වදකහ ශාකයේ රසායනික සංඝටක හා බුද්ධි වර්ධනය සඳහා යොදාගැනීම
පිළිබඳ වත්, සෙනෙහෙකොළ ශාකයේ ආර්ථික හා අනෙකුත් වටිනාකම් පිළිබඳ වත් අධ්‍යයනයන්
සිදු කර ඇත.
එසේම ජාතික විද්‍යා පදනමේ මූල්‍යාධාර යටතේ, කර්මාන්ත තාක්‍ෂණ ආයතනයේ තොරතුරු
මධ්‍යස්‌ථානය මඟින් මුද්‍රණය කර තිබෙන අත් පත්‍රිකා වැනි පර්යේෂණාත්මක තොරතුරු
සටහන්වලින් ද විවිධ ශාකවල විවිධ ඖෂධීය වටිනාකම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය.
ඒ අතරින් අශ්වගන්ධ ශාකයේ ස්‌නායු උත්තේජන හැකියාව, ශ්වාසයට, කැස්‌සට,
පිළිකාවලට, පණු රෝගවලට, විශේෂයෙන් වාජීකරණයට සුදුසු බව ආදිය දක්‌වයි. සෙනෙහෙකොළ
මළ බද්ධයට හා කුඩා අන්ත්‍රවල ප්‍රදාහ තත්ත්වවලට සුදුසු බව සඳහන් ය. පිටවක්‌කා
කාමලාව සඳහා ද, ආමාශයේ රෝග තත්ත්ව සඳහා ද, මළබද්ධය සඳහා ද ගුණ බව සොයාගෙන ඇත.
එසේ ම එම ප්‍රකාශන අනුව මැලේරියා නාශක හැකියාව සහිත ශාක ලයිස්‌තුවක්
අධ්‍යයනයක් මඟින් අනාවරණය කරගෙන ඇත. ඒ අතර ආඩතෝඩා, කුප්පමේනියා, බෙලි, හබරල,
හවරිනුග, රුක්‌අත්තන, අස්‌වැන්න, කිඩාරම්, හීන් බිංකොහොඹ, සස්‌සඳ, කොහොඹ, මයිල,
ඇහැල, දේවදාර, බිංකොහොඹ හා රසකිඳ ආදි ශාක මුල් තැනක් ගනියි.
මේ ලිපිය සඳහා පාදක කර ගැනුණේ සීමිත ආයතන කිහිපයක් හරහා ලබාගත් සීමිත ශාක
ප්‍රමාණයක පර්යේෂණාත්මක තොරතුරු ය. තවත් බොහෝ ආයතන මඟින් මේ හා සමාන බොහෝ
පර්යේෂණ සිදු කර හා සිදු කරමින් පවතින බව ද අවධාරණයෙන් සඳහන් කළ යුතු ය.
විශේෂ ස්‌තුතිය - කොළඹ විශ්වවිද්‍යාලයයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ
කාථිකාචාර්ය වෛද්‍ය ඊ. ආර්. එච්. එස්. එස්. එදිරිවීර, රුක් රැක ගන්නෝ
ආයතනයෙහි පුබුදු වීරරත්න යන මහත්වරුන්ට හා නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ
සුදීපා සුගතදාස මහත්මියට.
සන්ධ්‍යා හල්ලල |