logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ක්‍රිස්‌තුස්‌ වහන්සේ හා භාරතීය ආභාසය

මහාචාර්ය නලින් ද සිල්වා

සියවස්‌ තුනක්‌ පමණ එතරම් පැතිරීමක්‌ නො තිබුණු ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ඉගැන්වීම් රෝම අධිරාජ්‍යය විසින් අවශෝෂණය කරගනු ලැබිණි. යුදෙව්වන් අතර ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ඉගැන්වීම් එතරම් නො පැතිරීම පුදුමයක්‌ නො වේ. ඒ උන්වහන්සේ යුදෙව්වන්ට හා යුදෙව් චින්තනයට තර්ජනයක්‌ වූ බැවිනි. එහෙත් රෝමයන් අතර ඒ ජනප්‍රිය වූයේ කෙසේ ද, ඇයි ද ආදී ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු ඇතැයි නො සිතමි. කෙසේ වෙතත් රෝමයෝ ඒ ඇසුරෙන් ආගමක්‌ ද, වඩා පළල් අධිරාජ්‍යයක්‌ ද ගොඩ නැඟු හ.

රෝමයන් ගොඩනැඟූ ආගම කතෝලික හෙවත් රෝමානු කතෝලික නමින් හැඳින්වෙයි. අප කලින් ද කියා ඇති පරිදි කතෝලික යන්නෙහි තේරුම සමස්‌තය යන්න ය. මෙය ද ක්‍රිස්‌තුස්‌ වහන්සේට භාරතයෙන් ලැබුණු දැනුමක්‌ බව පැහැදිලි ය. වෛදික ආගමෙහි බ්‍රහ්මන් යනු සමස්‌තය වෙයි. බ්‍රහ්මන් හා එතුමා මැවූ ලෝකය යනු එකක්‌ මිස දෙකක්‌ නො වේ. පසු කලෙක නිර්ගුණ්‌ අද්වෛත බ්‍රහ්මන් දක්‌වා වර්ධනය වූයේ මේ සංකල්ප ය.

ඒ නයින් බැලූ කල කතෝලික ආගමට වෛදික ආගමෙන් අඩු ම තරමින් ප්‍රධාන සංකල්ප තුනක්‌ හිමි වී ඇත. බ්‍රහ්මන් ගේ ත්‍රිමූර්තියෙන් එකක්‌ වූ විෂ්ණු විවිධ අවතාර ගෙන මිනිස්‌ ලොවට එළඹෙන ආකාරයට දෙවියන් වහන්සේ තම පුත්‍රයා ගේ වෙසින් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලෙස මනුෂ්‍යයකු මෙන් ඉපිද ඇත. දෙවනුව ලෝකය සමස්‌තයක්‌ ය යන හැඟීම වෙයි. තුන්වැනුව ඒ ආගම් දෙකෙහි ම න්‍යාය ත්‍රිකෝටික න්‍යාය වෙයි. ත්‍රිකෝටික න්‍යායෙහි යම් ප්‍රස්‌තුතයක්‌ මෙන් ම එහි නිශේධය ද එක්‌ විට සත්‍ය විය හැකි ය.

ක්‍රිස්‌තුස්‌ වහන්සේට එක්‌විට දෙවියන් වහන්සේ මෙන් ම දෙවියන් වහන්සේ ගේ පුතා ද විය හැක්‌කේ ත්‍රිකෝටිකයට පින් සිදු වන්නට ය. ද්විකෝටිකය අනුව දෙවියන් වහන්සේ කිසිසේත් ම ක්‍රිස්‌තුස්‌ වහන්සේ විය නොහැකි ය. එපමණක්‌ නො ව එක්‌ විට ක්‍රිස්‌තුස්‌ වහන්සේට දෙවියන් වහන්සේ මෙන් ම දෙවියන් වහන්සේ ගේ පුතා ද විය හැක්‌කේ ත්‍රිකෝටික න්‍යාය යොදා ගැනීමෙනි. ද්විකෝටිකයෙහි දී ක්‍රිස්‌තුස්‌ වහන්සේ, දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා විය නොහැකි ය. ද්විකෝටිකයෙහි යම් ප්‍රස්‌තුතයක්‌ හා එහි නිශේධය දෙක ම එක්‌වර වලංගු වීමට නොහැකි ය.

ඇතැමුන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ බුදු දහමින් ආභාසය ලබා ඇතැයි කීමට තැත් කළ ද ඒ සඳහා පිළිගත හැකි සාක්‍ෂි නැත. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දේශනා කර ඇත්තේ ආත්මවාදී දහමකි. එහෙත් අපට මඟහැරීමට නොහැකි කරුණක්‌ වෙයි. ඒ ඇතැම් මහායානික ගුරුකුල ද වෛදික සම්ප්‍රදායේ ආභාසය ලබා ආත්මවාදී වීම සහ සමස්‌තය ගැන කතා කිරීම ය. එසේ ම බුදුන්වහන්සේ ගේ විවිධ කාය ගැන සංකල්පය නිර්මාණය කර ඒ ඇතැම් කායක්‌ අනන්ත කාලයක්‌ පවතින ලෙස ගැනීමත්, යළි ඉපදීම නැති කරනු වෙනුවට අමරණීය තත්ත්වයකට බුදුන්වහන්සේ පත් කිරීමත් ඒ මහායානික ගුරුකුලවල දැකගත හැකි ය.

මේ මහායානික ගුරුකුල වෛදිකයන් ගේ ආභාසය යම් යම් කරුණුවල දී ලබාගත්ත ද විෂ්ණු අවතාර සම්ප්‍රාප්තිය ඒ අයුරින් ම ලබාගෙන නැත. එබැවින් ක්‍රිස්‌තුස්‌ වහන්සේට භාරතීය ආභාසය ලැබෙන්නට ඇත්තේ වක්‍ර වූ කිසිsයම් වූ බෞද්ධ ගුරු කුලයකින් නො ව සෘජුව ම හෝ වක්‍රව හෝ වෛදිකයන් ගෙන් විය යුතු ය. ඒ කෙසේ වෙතත් ක්‍රිස්‌තුස්‌ වහන්සේට එවැනි ආභාසයක්‌ ලැබෙන්නට ඇත්තේ භාරතයෙන් බටහිර ආසියාවට ගිය වෙළෙඳුන් ගෙන් ද (බුද්ධිමතුන් ගෙන් ද) එසේත් නැත්නම් උන්වහන්සේ භාරතයට පැමිණ ඒ දැනුම ලබා ගත්තේ ද යන්න කීමට තරම් අපට වර්තමානයේ දත්ත නැත. එයින් කියෑවෙන්නේ ඒ පිළිබඳ දත්ත කිසිවකුට වත් නැති බවක්‌ නො වේ. එවැනි දත්ත අපට නැති බව පමණක්‌ ඉන් ගම්‍ය වෙයි.

රෝමානු කතෝලික ආගම හා වෛදික ආගම අතර ඇති සම්බන්ධය ක්‍රිස්‌තියානි හෝ කතෝලික හෝ උගතුන් ගේ අවධානයට ලක්‌ නො වන්නේ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාට වෙනත් අයකු ගෙන් එවැනි දැනුමක්‌ ලබාගත යුතු ද යන්න ප්‍රශ්නයක්‌ වන නිසා යෑයි සිතිය හැකි ය. එහෙත් බෞද්ධයනට හා වත්මන් හින්දුන්ට (ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ කාලයෙහි දී හින්දු ආගමක්‌ නො තිබූ බව අවධාරණය කළ යුතු ය) එවැනි අධ්‍යයනයක්‌ කිරිමේ බාධාවක්‌ තිබිය නොහැකි ය. එසේ කළ යුත්තේ කිසියම් ආගමක්‌ පහත හෙළීමේ පටු ෙච්තනාවෙන් නො ව දැනුම නිර්මාණය කිරීම හා ගලා යැම කෙසේ සිදු වන්නේ දැයි දැනගැනීම සඳහා ය.

කෙසේ වෙතත් ක්‍රිස්‌තුස්‌ වහන්සේ විසින් කරන ලද චින්තන විප්ලවය අප විසින් සුළුවෙන් සැලකිය යුතු නො වේ. බටහිරයන් දැනුම් ආධිපත්‍යය ලබා ගැනීමට පෙර සියවස්‌ තුනක හතරක පමණ ගී්‍රක චින්තන මැදිහත් වීමක්‌ හැරෙන්නට ලෝකයේ දැනුම් මධ්‍යස්‌ථානය වූයේ ආසියාව ය. යුදෙව් චින්තනය පවා බිහි වූයේ බටහිර ආසියාවෙහි ය. ඒ තරමක්‌ අනෙක්‌ ආසියාතික දැනුම්වලින් වෙනස්‌ විය. විශේෂයෙන් ම වියුක්‌තය ලොවට හඳුන්වා දුන්නෝ යුදෙව්වෝ ය. ඒ කලින් කියා ඇති පරිදි බටහිර ආසියාවේ කාන්තාරවල නිර්මාණය විය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ විසින් කරන ලද්දේ යුදෙව් චින්තනයෙන් වියුක්‌ත බව පලවා හැරීම ය. මිනිසා ගෙන් හා ලෝකයෙන් වියෝ වී සිටි දෙවියන් වහන්සේ කෙනකු වෙනුවට ක්‍රිස්‌තුස්‌ වහන්සේ මිනිස්‌ ලොව සමඟ සම්බන්ධකම් ඇති කරගත් සංයුක්‌ත දෙවියන් වහන්සේ කෙනකු හඳුන්වා දුන් හ.

එසේ කිරීමේ දී ක්‍රිස්‌තුස්‌ වහන්සේ භාරතයේ දැනුමෙන් ආභාසය ලැබුවා පමණක්‌ නො ව යුදෙව් චින්තනය ද වෙනස්‌ කර එතරම් වියුක්‌ත නො වූ අනෙක්‌ ආසියාතික චින්තන සමඟ පෑහෙන චින්තනයක්‌ නිර්මාණය කළ හ. අප මතක තබාගත යුතු කරුණක්‌ නම් යුදෙව් චින්තනය අනෙක්‌ ආසියාතික චින්තනවලින් ප්‍රධාන වශයෙන් ම වෙනස්‌ වූයේ එය වියුක්‌ත වීම හේතුවෙනි. වියුක්‌තය නැති වූ විට ඒ අනෙක්‌ ආසියාතික චින්තන සමඟ පෑහෙන්නට විය. භාරතයෙන් ආභාසය ලබා ක්‍රිස්‌තුස්‌ වහන්සේ ඇති කළ චින්තනයට අපි කතෝලික චින්තනය යෑයි කියමු.

අප කලින් කියා ඇති පරිදි මේ නව චින්තනය යුදෙව්වන් අතර ජනප්‍රිය නො වී ය. ඔවුන්ට දෙවියන් වහන්සේ වියුක්‌ත දෙවියන් වහන්සේ කෙනකු ලෙස මිනිසුන් ගෙන් ඈත් කර තැබීමට අවශ්‍ය වූවා නිසැක ය. එහෙත් මේ යුදෙව්වන් ආසියාතිකයන් වූ බවත් යුරෝපයේ මේ වන විට ගී්‍රක චින්තනය හැරෙන්නට වෙනත් වැදගත් චින්තනයක්‌ බිහි නො වී තිබූ බවත් අමතක නොකළ යුතු ය. රෝමයන් නීති පද්ධතියක්‌ හා මහා මාර්ග පද්ධතියක්‌ ගොඩනඟා තිබුණ ද දර්ශනික වශයෙන් ගත් කල චින්තනයක්‌ නිර්මාණය කර නො තිබුණි. වහල් සමාජයක්‌ මත පදනම් ව යුද්ධය ආධාර කරගනිමින් යටත්විජිත අත්පත් කරගත් රෝමයන්ට දර්ශනයක අවශ්‍යතාව තිබෙන්නට ඇත.

අනෙක්‌ අතට ගී්‍රකයන්ට එවැනි අවශ්‍යතාවක්‌ නො වී ය. ඔවුන්ට ඔවුන් ගේ ස්‌වසිද්ධාත්මක විධි ක්‍රමය හා ඇරිස්‌ටෝටලීය න්‍යාය විය. ඒ ඔස්‌සේ ඔවුහු එතෙක්‌ අනෙක්‌ රටවල පැවැති දැනුම ක්‍රමානුකූලව සංවිධානය කළ හ. ස්‌වසිද්ධිවලින් හෙවත් ප්‍රත්‍යක්‍ෂවලින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් නිගමනවලට පැමිණීම ඔවුන් විසින් ලෝකයට හඳුන්වා දෙනු ලැබිණි. ගී්‍රකයන් විසින් එසේ ඇති කරනු ලැබූ දැනුම බොහෝ විට සාධාරණීකරණයට ලක්‌ වූ දැනුමක්‌ විය. ඒ දැනුමේ ද එක්‌තරා වියුක්‌ත බවක්‌ තිබිණි. ඒ ඔවුන් යුදෙව්වන් ගෙන් ලබාගත්තක්‌ විය හැකි ය. එහෙත් යුදෙව්වන් පමණට ම ගී්‍රකයන් වියුක්‌ත වී යෑයි කිව නොහැකි ය.

ග්‍රීක දැනුම සෘජුව ම ලෝකයට බලපෑම් කළ කාලය අවුරුදු තුන් සියයකට හාර සියයකට පමණ සීමා විය. ඒ කාලයෙහි ඔවුහු ලෝකයේ සෙසු ප්‍රදේශවල තිබූ දැනුම ඒකරාශී කර බොහෝ විට ස්‌වසිද්ධාත්මක ක්‍රමය යොදා ගනිමින් සාධාරණීකරණයට ලක්‌ කරමින් නව දැනුමක්‌ ගොඩනැඟූ හ. එහෙත් ගී්‍රකයන්ට මේ කාර්යය දිගින් දිගට ම කරගෙන යැමට නො හැකි විය. ඔවුහු ප්‍රධාන වශයෙන් ම දැනුම සංවිධානය කරන්නවුන් මිස බොහෝ විට සෘජුව ම දැනුම නිර්මාණය කරන්නෝ නො වූ හ.

රෝමයෝ තුන්වැනි සියවසේ දී කොන්ස්‌ටන්ටයින් රජු ගේ රාජ්‍ය සමයෙහි දී ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ඉගැන්වීම් මත පදනම් ව නව ආගමක්‌ තනා ඉන්පසු එය තම අධිරාජ්‍යය පුරා ව්‍යාප්ත කළ හ. ආරම්භයේ දී ආගම රජුට ප්‍රධානත්වය දුන් නමුත් කල් යැමේ දී ආගම ම ප්‍රධානත්වයට පත් විය. පාප් වහන්සේ නමින් ඇති කරනු ලැබූ නිලය අධිරාජ්‍යයේ ප්‍රධාන නිලය බවට පත් විය. පළමු පාප් වහන්සේ ලෙස නම් කෙරී ඇත්තේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ ගෝලයකු වූ නමුත් එතුමාට බලතල නො තිබුණි. එවැනි නිලයක්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මරණයෙන් පසු ඇති කෙරිණි ද යන්න ද ප්‍රශ්නයකි.

පාප් වහන්සේ යන්නෙහි තේරුම පියා යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් පාප් වහන්සේ යනු දෙවියන් වහන්සේ ගේ මෙලොව නියෝජිතයා විය. ඒ ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් වහන්සේ දෙවියන් වහන්සේ හා දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා ලෙස ප්‍රකාශ කිරිමෙන් ලබාගත්තක්‌ බව පැහැදිලි ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මරණයෙන් පසු උන්වහන්සේ ගේ කිසි ම ගෝලයකු තමන් දෙවියන් වහන්සේ ගේ නියෝජිතයා යෑයි පැවසීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේට මරණ දඬුවම දීමට යුදෙව්වන් ක්‍රියා කෙළේ ම උන්වහන්සේ තමන් වහන්සේ දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කිරීම හේතුවෙනි. එවැනි තත්ත්වයක්‌ යටතේ උන්වහන්සේ ගේ ගෝලයකු ඒ යුදෙව් සමාජයෙහි ම තමන් දෙවියන් වහන්සේ ගේ නියෝජිතයා යෑයි පැවසීමට ඉඩක්‌ නැත. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ මරණයත් සමඟ උන්වහන්සේ ගේ ගෝලයන් ඉතා අසරණ බවට පත් වීම ස්‌වාභාවික ය. සමාජයේ බලයක්‌ නො තිබූ පිරිසක්‌ එවැනි අසරණභාවයක සිටිමින් තමන් ගෙන් එක්‌ අයකු දෙවියන් වහන්සේ ගේ නියෝජිතයා යෑයි ප්‍රකාශ කෙළේ නම් ඔහුට ද මරණ දඬුවම නියම කරවීමට යුදෙව්වන් කටයුතු කරනු නොඅනුමාන ය.

පාප් වහන්සේ යනු පීතෘ බව සහ දෙවියන් වහන්සේ ගේ නියෝජිතයාය යන්න රෝම රාජ්‍යය හා එහි ආගම බවට පත් වූ කතෝලික ආගම අතර හටගත් අරගලයක දී නිර්මාණය වූ සංකල්පයක්‌ විය යුතු ය. රජු අභිබවා ආගම පැනනැඟීම එක්‌ රැයකින් සිදු වූවක්‌ විය නොහැකි ය. ආගමේ නායකයා රාජ්‍යයේ නායකයා බවට පත් වීමේ කතාව අපට වැදගත් වෙයි. ඉස්‌ලාම් ආගමේ ද එවැන්නක්‌ මුල සිට ම පැවතිණි. දැනුම පිළිබඳ කතාවේ දී රෝම අධිරාජ්‍යයේ නැඟීම හා වැටීම අපට වැදගත් වන්නේ අවසානයේ දී බටහිර දැනුම් ආධිපත්‍යය ගොඩනැඟුණේ රෝම අධිරාජ්‍යය මුල් කරගෙන වීම නිසා ය.