logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කතෝලික චින්තන විප්ලවය

මහාචාර්ය නලින් ද සිල්වා

දෙවියන් වහන්සේලා හා විද්‍යා ගැන අපි සාකච්ජා කරමින් සිටියෙමු. මෙහි දී විවිධ විද්‍යා පමණක්‌ නො ව විවිධ දැනුම් පද්ධතීන් ද අදාළ වෙයි. ඒ ඒ දෙවියන් වහන්සේලා ද දැනුම මෙන් ම ඒ ඒ සමාජයෙහි නිර්මාණ වෙයි. ඒ සියල්ල යම් චින්තනයක නිර්මාණය වූ දෑ වෙයි. මේ නිර්මාණ හේතුවෙන් යථා කාලයේ දී චින්තනය ද වෙනස්‌ වෙයි. වෙනස්‌ නො වන කිසිවක්‌ මෙදියත නැත යන්න සිංහල බෞද්ධ චින්තනයෙහි කියෑවෙන්නක්‌ වෙයි. එහෙත් සිංහල බෞද්ධ චින්තනය වුව ද කාලයත් සමඟ වෙනස්‌ වෙයි. එසේත් නැත හොත් වෙනස්‌ වීම පදනම් කර ගනිමින් කාලය යන සංකල්පය නිර්මාණය වී ඇතැයි අපට කිව හැකි ය.

එසේ නම් දැනුම යම් චින්තනයක නිර්මාණය වන්නේ ය යන්නෙහි තේරුම කුමක්‌ ද? චින්තනය ද වෙනස්‌ වුව ද යම්කිසි කාලයක දී කාල පරිච්ඡේදයක දී බලපැවැත්වෙන චින්තනයක්‌ වෙයි. ඒ ඒ කාලවල දී අදාළ චින්තනයෙහි දැනුම නිර්මාණය වන බව ඉහත සඳහන් ප්‍රකාශයෙහි තේරුම වෙයි. ඒ ඒ දෙවියන්වහන්සේ වුව ද නිර්මාණය වන්නේ ඒ ඒ චින්තනයෙහි බැවින් අදාළ චින්තනයෙහි ආවේණික ලක්‍ෂණ දෙවියන්වහන්සේ කෙරෙහි ද දැකිය හැකි ය.

කතෝලික චින්තනයෙහි දෙවියන්වහන්සේ යුදෙව් චින්තනයෙහි දෙවියන්වහන්සේ මෙන් වියුක්‌ත දෙවියන්වහන්සේ කෙනෙක්‌ නො වෙයි. වඩාත් ම වියුක්‌ත දෙවියන්වහන්සේ ඇත්තේ යුදෙව් හා බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනවල ය. කතෝලික චින්තනයෙහි දෙවියන්වහන්සේ ද යුදෙව් චින්තනයෙහි දෙවියන්වහන්සේ ද, යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි දෙවියන්වහන්සේ ද එක ම නමින් එනම් යෙහෝවා දෙවියන් වහන්සේ ලෙස හඳුන්වනු ලැබූව ද ඒ ඒ දෙවියන්වහන්සේ අතර වෙනස්‌කම් තිබෙනු අපි දුටුවෙමු.

යුදෙව් චින්තනයෙහි යෙහෝවා දෙවියන්වහන්සේ නම් සංකල්පය ක්‍රිස්‌තුස්‌වහන්සේ අතින් යම් පමණකට වෙනස්‌ කරනු ලැබිණි. ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමා දෙවියන්වහන්සේ ගේ පුත්‍රයා යෑයි කී විට මුළු යුදෙව් චින්තනය ම සෙලවිණි. යුදෙව්වන් ක්‍රිස්‌තුස්‌ වහන්සේට විරුද්ධ වීම පුදුමයක්‌ නො වේ. එහෙත් අපට ප්‍රශ්නයක්‌ වන්නේ ක්‍රිස්‌තුස්‌වහන්සේ එවැනි ප්‍රකාශයක්‌ කෙළේ කෙසේ ද, කුමක්‌ අරභයා ද යන්න ය. මුළු ලෝක ඉතිහාසය ම වෙනස්‌ කිරීමට තුඩු දුන් මේ ප්‍රකාශය පිළිබඳව අප යම් පමණකින් හෝ එවැනි අධ්‍යයනයක්‌ කළ යුතු ය. මෙහි සඳහන් වන්නේ එවැනි අධ්‍යයනයකට මුලපිරීමක්‌ මිස පූර්ණ අධ්‍යයනයක ප්‍රතිඵල නො වේ.

ක්‍රිස්‌තුස්‌වහන්සේ දෙසූ දෑ අද ලෝකයේ වැඩි ම දෙනා පිළිගන්නා ආගමේ, එනම් කතෝලික ආගමේ හරය වෙයි. විවිධ ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ද එකතු කළ විට ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙසූ දෑ පිළිගන්නා පිරිස අති විශාල වෙයි. එතරම් විශාල පිරිසක්‌ විසින් පිළිගනු ලැබීමට තරම් ක්‍රිස්‌තුස්‌ වහන්සේ කියා ඇත්තේ කුමක්‌ ද? උන්වහන්සේ ලෝකයාට ඉගැන්වූ කාලය අවුරුදු දෙකක්‌ තරම් සුළු වූවකි. බුදුන්වහන්සේ අවුරුදු හතළිස්‌ පහක කාලයක්‌ ලෝකයාට ධර්ම දේශනා කළ බව අප අමතක නො කළ යුතු ය.

අවුරුදු දෙකක පමණ සුළු කාලයක්‌ දේශනා කිරීමෙහි යෙදුණු අයකු කියා ඇති දෙය ප්‍රමාණාත්මක වශයෙන් ගත් කල සුළු විය යුතු බව අවධාරණය කිරීමේ අවශ්‍යතාවක්‌ නැත. එසේ නම් ලෝකයා උන්වහන්සේ පිළිගත්තේ කිනම් දේශනයක්‌ නිසා ද? ඒ කන්ද උඩ දේශනාව ද? එසේත් නැත්නම් දිළින්දන් වෙත දැක්‌වූ ආදරය ද? මේ ආදරය යන්න ඒ අර්ථයෙන් සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නැත. බුදුන්වහන්සේ ලෝකයාට ආදරය කෙළේ යෑයි අපි නො කියමු. අපි බුදුන්වහන්සේ ගේ මහා කාරුණාව, මෛත්‍රිය ගැන කියමු. එහෙත් මෑතක සිට විද්යුත් නාළිකාවලින් තොර තෝංචියක්‌ නැති ව කතා කරන නිවේදක නිවේදිකාවන්ට ආදරය යන්න නැති ව ම බැරි වදනක්‌ වී ඇත. ඔවුහු ඊනියා ආදරණීය දවසක්‌ ගැන ද ඇතැම් විට කතා කරති. ඔවුන් එලෙස සීමිත වචන කිහිපයක කොටු වන්නේ ඔවුන් ගේ ශබ්ද කෝෂවල ඇති අඩුවක්‌ නිසා බව පැහැදිලි ය.

ඒ කෙසේ වෙතත් ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ආදී වචන ආගමික ශාස්‌තෲන්වහන්සේ විසින් යොදාගනු ලැබ ඇත. කන්ද උඩ දේශනාව ද අලුත් දෙයක්‌ කියා දෙන්නක්‌ නො වේ. භගවත් ගීතයෙහි මෙන් ගැඹුරු දහමක්‌ ක්‍රිස්‌තුස්‌වහන්සේ කිසි තැනක දේශනා කර ඇති බවක්‌ කිව නොහැකි ය. එමෙන් ම ක්‍රිස්‌තුස්‌වහන්සේට එකල බටහිර ආසියාවේ තිබූ දැනුම වුව ද යම් අධ්‍යාපනයක්‌ ඔස්‌සේ ලබා ගැනීමට අවස්‌ථාවක්‌ නො වූ බව පැහැදිලි ය.

එසේ තිබිය දීත් ලෝකයා ක්‍රිස්‌තුස්‌වහන්සේ දෙසට කල්ගත වීමෙන් පසුව වුවත් ආකර්ෂණය වූයේ කෙසේ ද? මා සිතන ආකාරයට ක්‍රිස්‌තුස්‌වහන්සේ ලෝකයාට ආකර්ෂණය වූයේ උන්වහන්සේ තමන් වහන්සේ දෙවියන්වහන්සේ ගේ පුත්‍රයා බවත්, තමන් දෙවියන්වහන්සේ බවත් ප්‍රකාශ කිරීම ය. උන්වහන්සේට එවැනි අදහසක්‌ කෙසේ ලැබිණි දැයි යන්න සාකච්ජා කිරීම පසුවට කල් තබා උන්වහන්සේ ගේ දහම ජනප්‍රිය වීම ගැන තවත් කරුණක්‌ දෙකක්‌ කිව යුතු ය.

ක්‍රිස්‌තුස්‌වහන්සේ යුදෙව්වන් අතර පිළිගැනීමට ලක්‌ නො වී ය. යුදෙව්වන් උන්වහන්සේට හද පත්ලෙන් ම වෛර කර ඇති බව පැහැදිලි ය. යුදෙව්වන් අතර සිටියෝ අනාගත වක්‌තෘවරු ය. අනාගතය ගැන කී අනාගත වක්‌තෘවරු කිසිවකු වත් තමන් දෙවියන්වහන්සේ ගේ පුත්‍රයන් බවක්‌ නො කීවෝ ය. ක්‍රිස්‌තුස්‌වහන්සේ පමණක්‌ එසේ කී හ. එතැනින් නො නැවතී තමන් දෙවියන්වහන්සේ බව ද කීවේ ය. ක්‍රිස්‌තුස්‌වහන්සේ වෙන කුමක්‌ දේශනා කළත් උන්වහන්සේ ගේ ම වූ එකතු කිරීම වූයේ මේ දේව පුත්‍ර කතාව ය.

යුදෙව්වෝ උන්වහන්සේට විරුද්ධව රෝම පාලකයන්ට කරුණු කීවෝ ය. හෙරෝද් රජු ඇතුළු රෝම පාලකයන්ට ක්‍රිස්‌තුස්‌වහන්සේ තර්ජනයක්‌ නො වී ය. රෝමයන්ට ක්‍රිස්‌තුස්‌වහන්සේට දඬුවම් කිරීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. උන්වහන්සේට දඬුqවම් පැමිණවීමට අවශ්‍ය වූයේ යුදෙව්වන්ට ය. අන්තිම මොහොත දක්‌වා ම යුදෙව්වෝ ක්‍රිස්‌තුස්‌වහන්සේට මරණීය දණ්‌ඩනය, එනම් එකල ක්‍රියාත්මක වූ ආකාරයට කුරුසියේ ඇණ ගැසීම පැනවීමට පිලාත් ආණ්‌ඩුකාරයට බල කර සිටිය හ. ක්‍රිස්‌තුස්‌වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට ලක්‌ වූයේ රෝමයන් ගේ අවශ්‍යතාවකට නො ව යුදෙව්වන් ගේ බලවත් ඉල්ලීමට ය.

යුදෙව්වන් අතර ක්‍රිස්‌තුස්‌වහන්සේ ජනප්‍රිය නො වී ය. උන් වහන්සේ ගේ ගෝලයන් වූයේ ධීවරයන් කිහිප දෙනෙකි. යුදෙව්වන් අතර ක්‍රිස්‌තුස්‌වහන්සේට අනුගාමිකයන් නො සිටින්නටත් උන්වහන්සේ මරණයට පත් කිරීමෙන් පසු රෝම අධිරාජ්‍යය තම නිල ආගම ලෙස ක්‍රිස්‌තුස්‌වහන්සේ ගේ ආගම පිළිගැනීමටත්, ඉන්පසු ඒ යුරෝපයේ පැතිරීමටත්, පසුව යුරෝපීය අධිරාජ්‍යය යටතේ ලොවට ම ඒ ලබා දීමටත් හේතු වූ කරුණු කවරේ ද?

ක්‍රිස්‌තුස්‌වහන්සේට එකල පලස්‌තීනය හා අවට විසූ යුදෙව්වන්, විරුද්ධ වන්නට ඇත්තේ උන්වහන්සේ තමන් දෙවියන්වහන්සේ බවත්, මෙලොවට උන්වහන්සේ ගේ පුත්‍රයා ලෙස පැමිණි බවත් ප්‍රකාශ කිරීමෙන් පසුව විය යුතු ය. ඒ පිළිබඳ සාක්‍ෂියක්‌ අපට බයිබලයෙන් සොයා ගැනීමට නොහැකි යෑයි කෙනකු කියනු ඇත. එහෙත් යුදෙව්වන් රෝමයන්ට කියා ඇත්තේ ක්‍රිස්‌තුස්‌වහන්සේ බලවත් වීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ ගේ ව්‍යාපෘතිය රජ වීමට බවත් ය. ක්‍රිස්‌තුස්‌වහන්සේ රජ වීමට උත්සාහ දැරී නම් රෝමයන් ඒ පිළිබඳව නිසි අයුරින් කටයුතු කරනු නිසැක ය. අනෙක්‌ අතට එවැනි ප්‍රයත්නයක්‌ වී නම් යුදෙව්වන් ඒ පිළිබඳව පැමිණිලි කරන තෙක්‌ රෝම පාලකයන් බලා නො සිටිනු ඇත. එහෙත් රෝම පාලකයන් විසින් ඒ රජ වීම තුට්‌ටුවකට වත් තකන ලද බවක්‌ නො පෙනේ. කලින් කී පරිදි රෝම පාලකයන්ට ක්‍රිස්‌තුස්‌වහන්සේ තර්ජනයක්‌ නො වී ය.

එයින් පෙනී යන්නේ යුදෙව්වන් ක්‍රිස්‌තුස්‌වහන්සේ රජ වීමට බලාපොරොත්තු වන බව කියා ඇත්තේ උන්වහන්සේ ගේ දේව පුත්‍ර සංකල්පය හා දේව සංකල්පය හේතු කොටගෙන බව ය. තමන් දෙවියන්වහන්සේ බව ක්‍රිස්‌තුස්‌වහන්සේ ප්‍රකාශ කරන විට එක්‌ පැත්තකින් ඉන් අදහස්‌ කරන්නේ තමන් ස්‌වර්ග රාජ්‍යයේ රජු බව ය. එයත් රාජ්‍යත්වයක්‌ වෙයි. ස්‌වර්ග රාජ්‍යය හා මෙලොව (රෝම) රාජ්‍යය යනු එකක්‌ නො ව දෙකක්‌ බව ක්‍රිස්‌තුස්‌වහන්සේට ප්‍රකාශ කිරීමට සිදු වී ඇති බව පෙනී යයි. සීසර්ට (රජුට) අයත් දේ සීසර්ටත් දෙවියන්ට අයත් දේ දෙවියන්ටත් යන සුප්‍රසිද්ධ ප්‍රකාශය මේ අරභයා කියෑවුණු එකක්‌ වෙයි.

ක්‍රිස්‌තුස්‌වහන්සේට තමන් දෙවියන්වහන්සේ ගේ පුත්‍රයා ය යන සංකල්පය කෙසේ ලැබිණි දැයි නිශ්චිතව කිව නොහැකි ය. එවැනි සංකල්පයක්‌ යුදෙව් සංස්‌කෘතියෙහි තිබී නැත. එමෙන් ම එවැනි සංකල්පයක්‌ යුදෙව් සංස්‌කෘතියෙහි පැනනැඟීමට ඇති ඉඩකඩ ද ඉතා විරල ය. වියුක්‌ත දෙවියන්වහන්සේ කෙනකු ගේ පුත්‍රයා යන සංකල්පය යුදෙව් සංස්‌කෘතියෙන් පැනනැඟිය හැකි යෑයි සිතිය නොහැකි ය. බොහෝ විට මේ සංකල්පය ක්‍රිස්‌තුස්‌වහන්සේට වෙනත් සංස්‌කෘතියකින් ලැබුණු එකක්‌ විය හැකි ය.

ඇතැමුන්ට අනුව ක්‍රිස්‌තුස්‌වහන්සේ දඹදිවට පැමිණ ඇත. එහි දී උන්වහන්සේ විෂ්ණු ගේ අවතාර පිළිබඳ සංකල්පය දැනගන්නට ඇත. විෂ්ණු යනු බ්‍රහ්මන් ගේ ත්‍රිමූර්තියෙන් එකක්‌ පමණක්‌ වෙයි. ඒ ත්‍රිමූර්තියෙන් විෂ්ණු දෙවියන් මනුෂ්‍ය ලෝකයට විවිධ අවතාරවලින් පැමිණ ඇත. පසුකාලීනව දඹදිව විකාශය වූ සංකල්ප අනුව බුදුන්වහන්සේ ද විෂ්ණු ගේ දස අවතාවරවලින් එකකි. විෂ්ණු බ්‍රහ්මන් ගේ ත්‍රිමූර්තියෙන් එකක්‌ බැවින් විෂ්ණු ගේ අවතාර යනු බ්‍රහ්මන් ගේ අවතාර වෙයි. බ්‍රහ්මන් ඉඳහිට මනුෂ්‍යාත්මයක්‌ හෝ වෙනත් ආත්මයක්‌ හෝ ලබාගෙන යහපත පිණිස මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ ය යන විශ්වාසය වෛදිකයන් අතර විය.

ක්‍රිස්‌තුස්‌වහන්සේ දඹදිවට පැමිණියත් නැතත් මේ සංකල්පය උන්වහන්සේට ලැබෙන්නට ඇත. වෙළෙන්දන් ගේ මාර්ගයෙන් හෝ දේශ ගවේශකයන් ගේ මාර්ගයෙන් හෝ මේ සංකල්පය දඹදිවෙන් පලස්‌තීන ප්‍රදේශයට නො ලැබීමට හේතුවක්‌ නැත. බොහෝ විට ක්‍රිස්‌තුස්‌වහන්සේ ඒ සංකල්පය එලෙස ලබාගත්තා විය හැකි ය. ඒ අවතාර සංකල්පය යුදෙව්වන් විසින් ප්‍රතික්‌ෂේප කෙරෙන්නට ඇත්තේ තම දෙවියන්වහන්සේ වියුක්‌ත දෙවියන්වහන්සේ කෙනකු වූ බැවිනි. වියුක්‌ත දෙවියන්වහන්සේ කෙනකු මිනිස්‌ සිරුරක්‌ සහිතව මෙලොවට පැමිණීමට යුදෙව් සංස්‌කෘතියෙහි ඉඩක්‌ නැත. එහෙත් ක්‍රිස්‌තුස්‌වහන්සේට මේ සංකල්පය අමා දහරාවක්‌ වන්නට ඇත.

ක්‍රිස්‌තුස්‌වහන්සේ විෂ්ණු අවතාර සංකල්පය තම සංස්‌කෘතියට අවශෝෂණය කරගෙන ඇත්තේ යුදෙව් චින්තනය ද වෙනස්‌ කරමිනි. යුදෙව් චින්තනයේ වියුක්‌ත බව ද ඉන්පසු අඩු වී ඇති බව පැහැදිලි ය. වියුක්‌ත දෙවියන්වහන්සේ කෙනකුට තමන් උන්වහන්සේ ගේ පුත්‍රයා යෑයි කියමින් මෙලොව මිනිස්‌ වේශයකින් ඉන්ද්‍රිය ගෝචර ව පෙනී සිටිය නොහැකි ය. ක්‍රිස්‌තුස්‌වහන්සේ තමන් කෙළේ කුමක්‌ ද යන්න දැන සිටියේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ නො වෙයි. උන්වහන්සේ පැහැදිලිව ම චින්තන විප්ලවයක්‌ කෙළේ ය. අපි එය කතෝලික චින්තන විප්ලවය ලෙස දකිමු.