logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


නූතන අධ්‍යාපනයේ ටියුෂන් මේනියාව

ඇතැම් ටියුෂන් ගුරුවරු සිය විෂයය උගන්වන තවත් ගුරුවරයකු තම ප්‍රතිවාදියා කොටගෙන ඔහුට නොයෙක්‌ ආකාරයෙන් දෝෂාරෝපණ එල්ල කරති. චරිත ඝාතන සිදු කරති. එහෙත් ඔවුනොවුන් උත්සවවල දී හා සාදවල දී සුහද ආකාරයෙන් හමු වී සතුටු සාමීචියේ යෙදෙනු දක්‌නට ලැබේ. මෙවැනි අය වැඩි කාල වේලාවක්‌ ගනු ලබන්නේ ඉගැන්වීමට නො ව ළමයින්ට රසාස්‌වාදය ගෙන දෙන, හාස්‍ය උපදවන රස කතා කීමට බව මම නිරීක්‌ෂණය කර ඇත්තෙමි. කෙසේ වෙතත් ටියුෂන් ගාස්‌තුව නම් සිසුන් ගෙන් කලට වේලාවට අය කර ගැනීමට ඔවුහු අමතක නො කරති.

එසේ බලන කල මොවුන් ගේ චරිත පුදුමසහගත ය. ඇත්තට ම මොවුන් කරන්නේ රඟපෑමක්‌ ද? මෙසේ බලන කල මෙය දෙබිඩි පිළිවෙතකි.

තව ද සමහර ගුරුවරුන් යෑයි හඳුන්වාදෙන අය ගේ දැනුම් සම්භාරය සහිත මොළය තිබෙන්නේ බෑගය තුළ ය. එය නැති වූ දාට උගන්වා හමාර ය.

අනෙක්‌ අතට සිසුන් ද තමන්ට සරිලන උපකාරක පන්ති තෝරා ගැනීමට යොදා ගන්නා ලබන මිනුම් දඬු ඉතා ම සරල හා කාලෝචිත නො වන ඒවා වීම මෙවැනි පිරිස්‌වලට ආශිර්වාදයක්‌ වී ඇත. එනම් නොයෙක්‌ වර්ණයෙන් යුතු කඩදාසි වැඩි ප්‍රමාණයක්‌ දෙන හා වැඩි වේලාවක්‌ පවත්වාගෙන යන පන්තිවලට සහභාගී වීමට වර්තමාන සිසුහු වැඩි වශයෙන් පෙලඹෙති.

මෙය එතරම් උචිත නො වේ. ඇතැම් උපකාරක පන්ති හිමිදිරියේ කුකුළා හැඬලීමට ද ප්‍රථම ආරම්භ කර සවස්‌ වන තුරු ම පවත්වා ගෙන යනු ලැබේ. මේවා බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ උසස්‌ පෙළ විද්‍යා පන්තිවලිනි. මෙහි දී බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිදි කිරමින්, ඈනුම් අරිමින් ගුරුවරයා දෙස කිසිදු හැල හොල්මනකින් තොර ව බලා සිටිනු දක්‌නට ලැබේ. කණගාටුවට කාරණය නම් බොහෝ දෙනාට තම මූලික ශාරීරික අවශ්‍යතා පවා සිදු කර ගැනීමට සිදු වී තිබෙන්නේ උපකාරක පන්තිවලට පැමිණීමෙන් අනතුරුව වීම ය.

එක දිගට මනාව විෂය කරුණු ධාරණය කරගැනීමට හැකි වන්නේ එක්‌තරා කාල සීමාවක්‌ දක්‌වා පමණි. එය ඉක්‌මවා යන්නට පටන් ගත් විට මොළය ක්‍රමයෙන් විඩාවට පත් වේ. මෙවැනි පන්තිවලින් මොළය පමණක්‌ නො ව සමස්‌ත කය ම විඩාවට පත් වේ. තම දරුවා උදෑසනින් පිටත් වී සවස්‌ වී ගෙදර පැමිණෙන විට මාපියන් ද සිතන්නේ දරුවා මෙන්ම ගුරුවරයා ද දරුවා ගේ අනාගතය ආලෝකවත් කිරීමට දැඩි වෙහෙසක්‌ ගන්නා බව ය. ඒ ඔවුන් ගේ මිනුම් දඬුවලට හසු වන වපසරිය ය.

අප රටේ අධ්‍යාපනය වළපල්ලට යැමට ප්‍රධාන හේතූවක්‌ වන මෙවැනි සම්ප්‍රදායයන් වළක්‌වා ලිය යුතු ය. තව ද රටක්‌ වශයෙන් සංවර්ධිත ඉලක්‌ක කරා පිය මනින විට මීට වඩා තෘතීයික අධ්‍යාපන අවස්‌ථා ද පුළුල් විය යුතු අතර පාසල් ගුරුවරුන් ද තම කාර්යය හැරිහැටි ඉටු කිරීමට සිහි තබා ගත යුතු ය.

ශශීත වජීන්ද්‍ර රාජපක්‍ෂ,
මිනු/නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලය,
මිනුවන්ගොඩ.