o logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


මතවාදවල වැදගත්කම

මේ රටේ විසඳීමට ඇති එක ම ප්‍රශ්නය කොටි ත්‍රස්‌තවාදය පමණක්‌ නො වේ. එක්‌ පැත්තකින් දෙමළ ජාතිවාදය සහ දෙමළ බෙදුම්වාදය වෙයි. එමෙන් ම දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික, සමාජීය, ආදී නොයෙකුත් ප්‍රශ්න වෙයි. අධ්‍යාපන, සෞඛ්‍ය ආදි ක්‌ෂේත්‍රවල ඇති වී තිබෙන ගැටලු, රජය කෙරෙහි ජනතාව කලකිරවීමට හේතු වී තිබේ. ලෝකයේ භයානක ම සහ බටහිර රටවල ආධාර වැඩියෙන් ම ලැබූ ත්‍රස්‌ත සංවිධානය වන කොටි සංවිධානය පරාජය කළ අපට එතරම් බරපතල යෑයි කිව නොහැකි මේ එක ද ප්‍රශ්නයක්‌ හෝ විසඳිය නොහැක්‌කේ ඇයි? ඊට මූලික හේතුව ඒ සඳහා අවශ්‍ය මතවාද අප නිර්මාණය කරගෙන නො තිබීමයි. නිර්මාණය කෙරී තිබුණ ද ඒවා රජය විසින් නො තකා හරිනු ලැබීමයි.

මෙහි දී එනම් අවශ්‍ය මතවාද නිර්මාණය කර ගැනීමේ දී අපට නැවතත් වැදගත් වන පුද්ගලයා වන්නේ දැනුම නිර්මාණයේ රහස්‌ අනාවරණය කරගත් පුද්ගලයා වන මහාචාර්ය නලින් ද සිල්වා මහතායි. දැනුම නිර්මාණයට අදාළව ඒ මහතා පෙන්වා දී ඇති කරුණු අතරින් වත්මන් අභියෝගවලට මුහුණු දීමේ දී පහත දැක්‌වෙන කරුණු හතර වැදගත් ය. (1) දැනුම යනු නිර්මාණය කෙරෙන දෙයක්‌ වන අතර එය වෙනත් දේ අතර, සංස්‌කෘතියට සාපේක්‌ෂව, චින්තනයක්‌ මත පදනම් ව නිර්මාණය කෙරෙයි. (2) අද අප මත බලෙන් පටවා ඇති බටහිර නිර්මාණය කෙරී ඇති දැනුම ඊනියා වාස්‌තවික දැනුමක්‌ නො ව එය ඔවුන් ගේ සංස්‌කෘතියට සාපේක්‌ෂව නිර්මාණය කෙරී ඇති ක්‍රිස්‌තියානි දැනුමකි. (3) ඕනෑ ම කෙනකුට දැනුම නිර්මාණය කළ හැක්‌කේ තමන් ගේ සංස්‌කෘතියට සාපේක්‌ෂව පමණක්‌ වන අතර අනුන් ගේ සංස්‌කෘතියට සාපේක්‌ෂව දැනුම නිර්මාණය කිරීමට සමත් වූ අයකු ගැන දැන ගන්නට නැත. (4) අපත් අනලස්‌ ව අපේ සංස්‌කෘතියට සාපේක්‌ෂව දැනුම නිර්මාණය කරනවා නම් බටහිරයන් ගේ ආධිපත්‍යයෙන් මිදිය හැකි ය. කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කළ අපට ජය ගැනීමට තවත් අභියෝග රාශියක්‌ තිබේ. අප එම අභියෝගවලට කෙතරම් සාර්ථකව මුහුණ දෙනවා ද යන්න මූලික ලෙස තීන්දු කරනු ඇත්තේ අපට අවශ්‍ය දැනුම නිර්මාණය කර ගැනීමට අප සාර්ථක වන තරම අනුව ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට එරෙහි ව ඉහළ ම සාර්ථකත්වය ලබාගත් සිංහල පාලකයා ලෙස සැලකීම නිවැරැදි යෑයි අපි සිතමු. (ඒ අතර මහින්ද රාජපක්‌ෂ මහතා බලයට එන විට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට බහින කලාව ලබා තිබූ බව ද අප අමතක නො කළ යුතු ය). අප කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට සමත් වී ඇත. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය පරාජය කිරීමට සමත් වී නැත. අපට එය කළ හැක්‌කේ ජනතාව ආවේශ කරවිය හැකි දැනුම අප සිංහලත්වය මත පදනම් ව නිර්මාණය කරයි නම් පමණි. ජනතාව ආවේශ කරවීමේ දී අපේ දැනුම කෙතරම් සිංහලත්වය මත පදනම් වෙයි ද, කෙතරම් සංගත වෙයි ද යන්න බලපායි. කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා නිමැවුණු සිංහලත්ව මතවාද පිළිගෙන රජය කටයුත කළා සේ අනෙකුත් ක්‌ෂේත්‍රවල ද අපේ දැනුම මත පදනම් ව ක්‍රියා කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයීමට මහින්ද රාජපක්‌ෂ මහතා සමත් වෙයි නම් ඔහු මහා මහින්ද ලෙස ඉතිහාසගත වනු ඇත.

නාරද වික්‍රමගේ