logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අහෝ දෙව්දත් නො දිටි මොක්‌පුර

මහාචාර්ය නලින් ද සිල්වා

"කපිල පීරිස්‌ මහතා දැන් දැන් ඉතා පැහැදිලිව ම අපේ මතවාදයට ප්‍රතිවිරුද්ධ මතවාදයක්‌ ගෙන හැර දක්‌වනවා පමණක්‌ නො ව අපේ මතවාදය සංශෝධනය කරමින් වෙනත් මතවාදයක්‌ ඉදිරිපත් කරයි". යනුවෙන් ඒ මහතා ගේ නම සඳහන් කරමින් මා ලියූ පළමු ලිපියෙහි ම (සැප්තැම්බර් 30) සඳහන් කෙළෙමි. මා ඒ ලිපිය ලිවුවේ ඔහු මගේ නම මුලින් ම සඳහන් කර ලියූ ලිපිය (සැප්තැම්බර් 9) පළ වී සති කිහිපයකට පසුව ය. ඔහු සමඟ විවාදයකට එළඹීමට මට අවශ්‍යතාවක්‌ නො වී ය. ඔහු කවුදැයි මම හඳුනාගෙන සිටියෙමි. මට අවශ්‍ය වූයේ ඔහු ගේ දුර්මතවලට ඔහු ගේ නම සඳහන් නො කර පහර දීමට ය. ඒ ඔහු ගේ මතවලින් අපේ ප්‍රවාදවලට එරෙහි ව සෘජුව ම අඳබාල චෝදනා ඉදිරිපත් කෙරුණු නිසාත් ඔහු අපේ මත සමඟ එකඟ වන්නකු ලෙස සාමාන්‍ය පාඨකයා දැන සිටි නිසාත් ය. ඔහු ගේ මතවලින් වන හානිය වැළැක්‌වීම මගේ අරමුණ විය.

කපිල පීරිස්‌ මහතා දිගින් දිගට ම අපට විරුද්ධ වන බව සැඟවී ය. ඔහු අපෙන් බොහෝ දේ ඉගෙන ගත් බව පැවසී ය. නිව්ටන් ගේ ලෝකයෙන් ඔහු මුදා ගැනීම පිළිබඳව අපට පිං දුන්නේ ය. එහෙත් ඒ සියල්ල යටින් ඔහු ගේ වෛරය නිතර නිතර ඉස්‌මතු විය. ඔහු ඔළුව අතගගා හීං ටොකු අනින්නකු බවත්, අපේ දැනුමට ෙද්‍රdaහියකු බවත්, කුහකයකු බවත් මම කීවෙමි. අද ඒ සියල්ල සත්‍ය බව ඔහු ම පෙන්වා දෙයි. ඔහු පසුගිය 11 වැනි දා පළ වූ අපි මුලට යමු ලිපියෙන් ඔහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවට සියයට සියයක්‌ එකඟ නො වන බව පවසයි. ඔහු තවමත් නො කියන්නේ ඒ සමඟ කිසි ම එකඟතාවක්‌ නැති බව පමණ ය. නිර්මාණ සාපේක්‍ෂතාවාදය දැඩි විඥනවාදී අගාධයක ගිලී ඇති තැන් පිළිබඳව ක්‍රමයෙන් පෙන්වා දෙන්නේ යෑයි කියයි. ඇතැම් අපේ ප්‍රවාදවල ප්‍රලාප පෙන්වා දීමට ද ඒ මහතා සූදානම් ය. එසේ ම ඔහු ගේ මිතුරකු වූ උදයසිරි වික්‍රමරත්න මහතාට අනුව මා දැන් වන විට බෞද්ධයකු නො ව නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බව ද සඳහන් කරන්නේ ඒ අනුමත කරමින් ය. මා දැන් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙහි සිට බුදුදහම දෙස බැලීමට උත්සාහ ගන්නා බව ද එහෙත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙන් බුදුදහම නො ව අපේ එදිනෙදා ප්‍රායෝගික දැනුම් ද විස්‌තර කළ නොහැකි බව ද පවසයි. ඔහු ඒ සඳහා දක්‌වන උදාහරණයෙන් ඔහු ගේ තරම තේරුම් ගත හැකි වෙයි. නිව්ටන් ගේ නියම අපේ කර ගැනුම එයට ගෝචර නො වේ යෑයි ඔහු පවසයි. ඒ අතර බෞද්ධ සංවර්ධන රාමුව ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවෙහි ප්‍රතිඵලයක්‌ ලෙස සැලකීම ගැටලුවක්‌ බව පවසා ඒ සැණින් ම ඒ එතරම් ගැටලුවක්‌ නො වන බව පවසන්නේ ඔහුට ඒවායෙහි අයිතිකරු, හිමිකම, පරවේණිය ආදිය පිළිබඳ ගැටලුවක්‌ නොමැති නිසා යෑයි ද කියයි. කපිල පීරිස්‌ මහතා හීං ටොකු අනින්නකුට වඩා හැකි නම් මගේ ඔළුව පැලීමට සූදානමින් සිටින්නකු බව ඉහත සඳහන් බොරු සහ විලම්බීතවලින් පැහැදිලි වෙයි. එහෙත් ඔහු තම කුහක වත තව තවත් ප්‍රදර්ශනය කරමින් ඒ එසේ නො වන බව කියනු ඇත. තර්ක නො කරන්නේ යෑයි කියමින් තර්ක කරන කුහකයකුට කිව නොහැකි බොරුවක්‌ නැත. ඔහුට අද ඔහු කියා ඇති දේ දිරවාගත නොහැකි වී ඇත. ඉතා කෙටියෙන් කිව හොත් කපිල පීරිස්‌ මහතාට අත් වී ඇත්තේ ද තම තරමට වඩා පිම්බෙන්නට ගිය ගෙම්බාට අත් වූ ඉරණම ය. කපිල පීරිස්‌ මහතා කර ඇත්තේ ඉතා සුළු වරදක්‌ පමණක්‌ යෑයි කියන්නවුන් දැන් වත් ඔහු ගේ තරම දැනගත යුතු ය.

උදයසිරි වික්‍රමරත්න මහතා ගේ දාර්ශනික දැනුම ගැන අමුතුවෙන් කතා කළ යුතු නො වේ. ඔහුට නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ අබමල් රේණුවක තරමක වත් දැනුමක්‌ නැත. ඔහු මිනුම් දණ්‌ඩක්‌ ලෙස ගැනීමට පෙලඹී ඇති කපිල පීරිස්‌ මහතා ගැන ද එවිට කීමට ඇත්තේ එපමණ ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු බුදුදහමට විකල්පයක්‌ නො ව සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව දැනුම් නිර්මාණය හා දැනුමේ සාපේක්‍ෂතාව පිළිබඳව නිර්මාණය කෙරුණු ප්‍රවාදයකි. දැනුමේ සාපේක්‍ෂතාව ගැන බොහෝ දෙනා කතා කර ඇත. දැනුම යනු සොයා ගන්නක්‌ නො ව නිර්මාණය කෙරෙන්නක්‌ බව තවත් අය සඳහන් කර ඇත. මා විසින් කෙරී ඇත්තේ දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ බව ද ඒ නිර්මාණය කෙරෙන්නේ මනසට, අනෙක්‌ ඉන්ද්‍රියවලට හා සංස්‌කෘතියට සාපේක්‍ෂව බව ද නිදසුන් සහිත ව පෙන්වා දීම ය. එපමණක්‌ නො ව මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා, එනම් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, අනවබෝධය නිසා බව ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි කියෑවෙයි. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් බව ද ඒ සංකල්ප ආදී සියල්ල ශූන්‍ය බව ද එහි කියෑවෙයි. වෙනත් වචනවලින් කිව හොත් සංකල්පීය ලෝකය ශූන්‍ය බව එහි කියෑවෙයි. තව ද දැනුම නිර්මාණය කෙරෙන්නේ චින්තනයක්‌ මත පදනම් වී බව ද එක ම චින්තනයක්‌ පදනම් කරමින් විවිධ ක්‍ෂෙත්‍රවල නිර්මාණය වන දැනුම් එකිනෙකට බැඳී ඇති බව ද එහි සඳහන් වෙයි. මෙහි බුදුදහම සමඟ ඇති ප්‍රශ්නයක්‌ නැත. මම බෞද්ධයෙක්‌මි. එමෙන් ම නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියෙක්‌ වෙමි. බුදුදහම හා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර නො වේ.

බෞද්ධ සංවර්ධන රාමුව පමණක්‌ නො ව එවැනි කිසිවක්‌ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලයක්‌ නො වේ. යමක්‌ තවත් දෙයක ප්‍රතිඵලයක්‌ වන්නේ දෙවැන්න පළමුවෙන් ලබාගත හැකි නම් ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යොදාගෙන බෞද්ධ සංවර්ධන රාමුව ලබාගත හැකි නො වේ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කෙරෙන්නේ මිනිසුන් දැනුම නිර්මාණය කරන බව හා ඒ කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීම ය. දැනුම නිර්මාණය කිරීම පිළිබඳ වූ ප්‍රවාදයකින් සංවර්ධන රාමුවක්‌ පිළිබඳ දැනුමක්‌ ලබාගත නොහැකි ය. කපිල පීරිස්‌ මහතා දර්ශනය තබා ප්‍රතිඵලය යන වචනය යොදා ගන්නේ කිනම් අවස්‌ථාවක ද යන්න වත් නො දනියි. අපට දර්ශනය ගැන කතා කරන්නට වී ඇත්තේ එවැන්නන් සමඟ ය මම බුදුදහමට විවරණ කරමි. එහෙත් ඒ කරන්නේ ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි සිට බුදුදහම දෙස බැලීමෙන් නො වේ. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියෑවෙන්නේ දැනුම නිර්මාණය කිරීමේ දී බලපාන කරුණු ය. බුදුදහම පිළිබඳ විවරණ ලියූ පළමු තැනැත්තා හෝ අවසාන තැනැත්තා හෝ මම නො වෙමි. ඒ විවරණ ගැන කතා කිරීම මට ප්‍රශ්නයක්‌ නො වේ. මා ඒ උපක්‍රමශීලිව මඟහැර නැත. අවශ්‍ය විට ඒ ගැන විස්‌තරාත්මකව කතා කරමි. එහෙත් නිවන පිළිබඳව මම කිසි විටෙක විවරණයක්‌ කර නැත්තෙමි. නිවන යනු මේ යෑයි මා කියා ඇති තැනක්‌ නැත. බුදුන් වහන්සේ නිවන යනු මේ යෑයි වචනයෙන් විස්‌තර කර නැත. එසේ වූ කල මම කෙසේ නිවන විස්‌තර කරන්නෙම් ද? එහෙත් වචනයෙන් නිවන විස්‌තර කළ හැකි බව කියන පඬියෝ මෙරට වෙති. මෙන්න මේ පඬියෝ නම් බුදුදහම විකෘති කරන්නෝ වෙති. බුදුන්වහන්සේ නිවන වචනයෙන් විස්‌තර කර ඇති තැනක්‌ පෙන්වන ලෙස මා ඔවුනට අභියෝග කර ඇතත් ඔවුහු එහි දී නම් මුනිවත රකිති.

නිවන් අවබෝධ කරන්නේ මනසින් ද? මා නැඟූ ප්‍රශ්නය එයයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නිවන් අවබෝධ කළ යුතු නො වේ. මනස යනුවෙන් යමක්‌ පවතින්නේ ද? එවැනි යමක්‌ පවතින්නේ නම් සියල්ල ඒ මනසේ නිර්මාණ නම් එතැන විඥනවාදයක්‌ වෙයි. මනස යනුවෙන් ද යමක්‌ නො පවතී යෑයි කියන විට ඒ විඥනවාදයක්‌ වන්නේ කෙසේ ද? නිවන් අවබෝධ කර ගන්නේ පවත්නා මනසකින් නම් ඒ පවත්නා මනස නැති කළ හැකි නො වන්නේ ඒ උච්ඡේදවාදයට හසු වන බැවිනි. අනෙක්‌ අතට මනස නැති නො කර දිගින් දිගට ම පවතින්නේ නම් ඒ ශාස්‌වතවාදයට යටත් වෙයි. එවිට පරිනිර්වාණයෙන් පසුව ද මනස වෙයි. අපට ඒ නිගමනවලට ඒමට නිවන් අවබෝධ වන තුරු බලා සිටිය යුතු නො වේ. නැති මනස නැති මනසක්‌ බව නැති මනසින් අවබෝධ කර ගැනීම යන්න ලැබෙන්නේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ දී ය. අප කළ යුත්තේ එය බුද්ධ දේශනාව සමඟ වෙනස්‌ වන්නේ නම් ඒ කෙසේ දැයි සලකා බැලීම පමණකි. අනෙක්‌ අතට නාමරූප ඇති වන්නේ මනසට සාපේක්‍ෂව ය. අපට නිවන් දැකීමේ දී ප්‍රශ්නය වන්නේ ද මනස ය. මනස නිසා ම අපට නිවන් අවබෝධය දුරස්‌ වෙයි. මනසින් තොර ව ඊනියා ක්‍ෂණයකට වුවත් ධර්මයක්‌ පවතින්නේ නම් හා ඒ පැවැත්ම පිළිබඳ දැනුම මනසට සාපේක්‍ෂ නො වේ නම් අපට නිවන් දැකීමේ දී ඒ ප්‍රශ්නයක්‌ නො විය යුතු ය. මනසට සාපේක්‍ෂ නො වී මනසින් තොර ව පවත්නා දේ ඇත්නම් ඒ ගැන අපට කරදර වීමට අවශ්‍ය නො වන්නේ නිවන් අවබෝධ කරගැනීමේ දී ඒ ප්‍රශ්නයක්‌ නො වන නිසා ය. එහෙත් අප එවැනි දේ ගැන දන්නේ ද මනසිනි. යමක්‌ මනසට සාපේක්‍ෂ නම් හා මනසින් තොර ව ඒ නො පවතින්නේ නම් අපට නිවන් අවබෝධයේ දී ඒ ප්‍රශ්නයක්‌ වෙයි. ක්‍ෂණය පමණක්‌ නො ව ක්‍ෂණයක දී පවතින ධර්ම ද මනසට සාපේක්‍ෂ වෙයි. ඒ මනසින් තොර ව (ස්‌වායත්ත ව) පවතින්නේ නො වේ. ක්‍ෂණවාදය හා ධර්මවාදය පිළිබඳ ප්‍රශ්න පැන නඟින්නේ එපරිදි ය. එදා ථෙරවාදීන් ගෙන් මාධ්‍යමිකයන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු නො තිබූ බැවින් ථෙරවාදීහු ආරක්‍ෂාකාරී පියවර ගත් හ. එහෙත් අද අපට ක්‍ෂණවාදය හා ධර්මවාදය ගැන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි ය. අප තවදුරටත් ඒ පිsළිබඳව නිහඬව සිටිය යුතු නො වේ.

නිව්ටන් ගේ නියම අපේ කරගන්නේ කෙසේ ද? කපිල පීරීස්‌ මහතා කියන්නේ නිව්ටන් ගේ නියම අපේ කර ගැනීම නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගෝචර නො වන බව ය. එසේ කියා "මෙහි දී නිර්මාණාත්මක සාපේක්‍ෂතාව අතිශය විඤ්ණවාදී අගාධයකට ඇද\ වැටේ" යෑයි කපිල පීරිස්‌ මහතා පසුගිය 11 වැනි දා ලිපියෙන් කියයි. මේ නිගමනයේ කිසි ම පදනමක්‌ නැත. ඒ කපිල පීරිස්‌ මහතා ගේ හිතළුවක්‌ පමණකි. මා සඳහන් කර ඇත්තේ නිව්ටන් නිව්ටන් ගේ ලෝකයෙන් මුදා ගැනීම පිළිබඳ අදහස ලැබෙන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් බව ය. එයට හේතුව නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට අනුව කලින් කියා ඇති පරිදි එක්‌ චින්තනයක්‌ මත පදනම් වී විවිධ ක්‍ෂෙත්‍රවල නිර්මාණය වන දැනුම් එකිනෙකට බැඳී තිබීම ය. කපිල පීරිස්‌ මහතා ද ඒ බව පිළිගනියි. ඔහුට අනුව "නිව්ටන් නියම අපේ කර ගැනුමෙහි අපේ කර ගැනුම යන්න පිළිබඳ මූලික අදහස එන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂාතාවෙන් බව අවිවාදිත ය." එසේ නම් ප්‍රශ්නය කුමක්‌ ද? කපිල පීරිස්‌ මහතා නිව්ටන් ගේ නියම අපේ කර ගන්නේ ඉන් යථාර්ථය ඉවත් කිරීමෙනි. ඔහුට ඒ පිළිබඳව බුදුදහමින් හෝ වෙනත් තැනකින් හෝ ලබාගත් ප්‍රවාදයක්‌, විධික්‍රමයක්‌ නැත. ඔහු එය කිසිදු පදනමක්‌ නැති ව ප්‍රකාශ කරයි. අපි මුලට යමු යනුවෙන් ඔහු කියන්නේ ඔහු ගේ ලිපිවල එවැන්නක්‌ තිබූ බවක්‌ පාඨකයාට හැඟෙන පරිදි ය. එහෙත් කිසිදු ලිපියක නිව්ටන් ගේ නියමවලින් යථාර්ථය හෝ දෙවියන් වහන්සේ හෝ ඉවත් කරන්නේ කෙසේ දැයි පවසා නැත. කපිල පීරිස්‌ මහතා කී පමණින් නිව්ටන් ගේ නියමවලින් දෙවියන් වහන්සේ ඉවත් වී නො යයි. බලය යන්න ම අවසානයේ දී දෙවියන් වහන්සේ මත පදනම් වෙයි. නිව්ටන් ගේ නියමවලින් යථාර්ථය ඉවත් කිරීමට නොහැකි නිසා නිව්ටන් ගේ නියම අපේ කරගත නොහැකි යෑයි අප කියන විට ඉන් කියෑවෙන්නේ ඊනියා අපේ කර ගැනුම නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගොදුරු නො වන්නක්‌ නො ව කපිල පිරීස්‌ මහතා හඬ ගා කී පමණින් දෙවියන් වහන්සේ ඉවත් නො වන බව ය. අනෙක්‌ අතට නිව්ටන් ගේ ලෝකයෙහි ශක්‌ති සංස්‌ථිති නියමය, ඊනියා නිරපේක්‍ෂ අවකාශය ආදිය ද දෙවියන් වහන්සේ හා බැඳී ඇත. කපිල පීරිස්‌ මහතාට අනුව ඕනෑ ම බටහිර විද්‍යාවක්‌ අපේ දැනුමක්‌ බවට පත් කර ගැනීමට කළ යුත්තේ ඉන් යථාර්ථය ඉවත් කරන්නේ යෑයි පැවසීම පමණකි. මේ කිසිසේත් දැනුම් මංකොල්ලයක්‌ නො ව තම හැකියාවන් ගැන ඇති අධිතක්‌සේරුවක්‌ පමණ ය.

ඉංජිනේරු ක්‍ෂෙත්‍රයෙහි අපේ දැනුම් නොමැති වීම හිතුවක්‌කාර ලෙස නිව්ටන් ගේ නියම යොදා ගැනීමට හේතුවක්‌ නො වේ. වෙදකමෙහි අපේ ප්‍රවාද ඇත්නම් අපට යම් තරමක හෝ පදනමක්‌ ඇත. එවැනි පදනමක්‌ ගැන දැනුමක්‌ නොමැති ව නිව්ටන් යොදා ගැනීම යනු අප මුළුමනින් ම නිව්ටන්ට යට කිරීමකි. ඒ ෙද්‍රdaහිකමක්‌ බව මම නැවත නැවතත් කියමි. කපිල පීරිස්‌ මහතා කරන්නේ නිව්ටෝනීය ආධිපත්‍යය තහවුරු කිරීම පමණ ය. බයිසිකලය නිපදවූ බටහිරයෝ ඉන් නො නැවතුණ හ. ඔවුහු ඉන්ධන යොදන මෝටර් බයිසිකලය ද නිපදවූ හ. තව තවත් වාහන නිපදවූ හ. මා කලින් කියා ඇති පරිදි කපිල පීරිස්‌ මහතා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය යෑයි කියන්නේ අපේ ජීවන රටාවට ය. ඒ දෙක අතර බැඳීමක්‌ තිබෙන නමුත් ඒ දෙක එකක්‌ නො වේ. කපිල පීරිස්‌ මහතා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය සොයා ගැනීමට අදහස්‌ කරන්නේ නිව්ටන් ගේ නියම භාවිත කිරීමෙනි. අනෙක්‌ අතට ඔහු අපේ ඉංජිනේරු සම්ප්‍රදායේ වැදගත්කම අදාළ පුද්ගලයන්ට (ගැමියන්ට හා නිලධාරීන්ට) පෙන්වන්නේ නිව්ටෝනීය ලෝකයෙහි ය. (මේ චක්‍රීය චින්තනයක්‌ නො ව පොර වීමට ගොස්‌ පොට පටලවා ගැනීමකි. ඔහු ගේ ඔක්‌තෝබර් 14 වැනි දින ලිපියේ තුන් වැනි ඡේදය බලන්න). ඒ ඒ ක්‍ෂෙත්‍රවල නිව්ටන් ගේ නියම යෙදීම යනු මේ පටලැවිල්ල මිස වෙනත් දෙයක්‌ නො වේ. කපිල පීරිස්‌ මහතා ගේ ව්‍යායාමයෙහි අවසානයෙහි දී ගැමියන් හා නිලධාරීන් තව තවත් නිව්ටන් වැළඳගෙන වැව් ගොඩ කිරීමක්‌ දක්‌වා ද යනු ඇත. මේ ව්‍යායාමයෙන් කපිලපීරිස්‌ මහතාට බටහිර සංවර්ධන ආකෘතියට අබමල් රේණුවක පමණ පහරක්‌ ගැසිය නො හැකි ය. ඔහු කරන්නේ ඒ තව තවත් තහවුරු කිරීමකි. ඉංජිනේරු ක්‍ෂෙත්‍රයෙහි අපේ ප්‍රවාද නො දන්නේ නම් කපිල පීරිස්‌ මහතා කළ යුත්තේ එක්‌කෝ මහන්සි වී ඒ දැනගැනීමට උත්සාහ කිරීම ය. නැත්නම් වෙනත් අයකු ඒ පිළිබඳ අධ්‍යයනයක්‌ කරන තෙක්‌ මහන්සි නොවී සිටීම ය. අද ඔහු කරන්නේ බටහිර සංවර්ධන ආකෘතිය නම් අතීසාරයට අමුඩ ගැසීමක්‌වත් නො වේ. අතීසාරය තව තවත් ව්‍යාප්ත කිරීම ය.