logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නො වටින්නේ කුහක වත ය

මහාචාර්ය නලින් ද සිල්වා

කපිල පීරිස්‌ මහතා තම ඔක්‌තෝබර් 14 වැනි දින ලිපිය අවසන් කරන්නේ මා ගැන බොරු වර්ණනාවක්‌ කරමිනි. ඔහු මෙසේ කියයි. "මා එතුමා ගෙන් විශාල දෙයක්‌ ඉගෙනගෙන ඇත. එවැනි පසුබිමක්‌ තුළ සහ අපේ සම්ප්‍රදාය තුළ එතුමනට "ටොකු" ඇනීමට මට කිසිදු අවශ්‍යතාවක්‌ පැන නො නඟී. එපමණක්‌ නො ව මා හට එය කිරීමට ද නොහැකි ය. ටොකු ඇනීම, වාද කර ජය ගැනීම/පරාජය වීම ආදිය මේ අදහස්‌ දැක්‌වීමේ දී මුළුමනින් ම බැහැර කරමි. රටට ජාතියට විශාල මෙහෙයක්‌ කළ, එසේ ම අප ද බටහිර චින්තනයෙන් මුදාගත් ගුරුවරයෙකු සම්බන්ධයෙන් එවැනි සංකල්පයක්‌ වත් තිබිය හැකි නො වේ. හුදු තර්කය මෙහි දී අපට වැදගත් නැත."

කපිල පීරිස්‌ මහතා මේ ලිපිවලින් කරන්නේ හුදු අදහස්‌ දැක්‌වීමක්‌ නො වේ. ඔහු තර්ක කරයි. මා ගෙනෙන තර්ක ඛණ්‌ඩනය කිරීමට උත්සාහ කරයි. ඔහුට අවශ්‍ය වූයේ අදහස්‌ දැක්‌වීමට පමණක්‌ නම් ඔහු මා සමඟ විවාදාත්මක ලිපි හුවමාරුවකට නො එළඹිය යුතු ය. ඔහු ගේ අදහස දක්‌වා, වාද කිරීමෙන් වැළකී සිටීමට ඔහුට හැකියාව තිබිණි. තම අදහස ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු කළ යුතු ව තිබුණේ යම්කිසි අයුරකින් මා ඔහු ගේ අදහස්‌ විකෘති කෙළේ නම් ඒ නිවැරැදි කිරීම පමණකි. එහෙත් ඔහු ගේ අදහස්‌ විවේචනය කරන විට ඔහු තර්කයෙන් ඒ විවේචනය බිඳ හෙළීමට උත්සාහ කරයි. මම තර්ක කරන බව, විවාද කරන බව පිළිගනිමි. (තර්කය දෙපැත්ත කැපෙන අවියකි. තර්කයෙන් යමක්‌ දැනගත නොහැකි ය ආදිය මම ප්‍රතික්‍ෂේප කරමි. තර්ක කිරීමෙන් නිවන් අවබෝධ කරගැනීමට නොහැකි ය. එහෙත් අප මේ කතා කරන්නේ නිවන් අවබෝධ කරගන්නේ කෙසේ ද, ඒ සඳහා වූ මාර්ගය කුමක්‌ ද ආදිය ගැන නො ව වැව් දාගැබ් ගැන ය. අනෙක්‌ අතට ලෞකික කරුණුවල දී අනුමානය බුදුදහමෙන් ප්‍රතික්‍ෂේප නො වේ) තර්ක කිරීමෙන් ද විවාද කිරීමෙන් ද අදහස්‌ දැක්‌වීමක්‌ වන බව පැහැදිලි ය. එහෙත් ඒ හුදු අදහස්‌ දැක්‌වීමක්‌ නො වෙයි. කපිල පිරීස්‌ මහතා කරන්නේ උගුරට හොරා බේත් කෑමකි.

තමා කරන දේ පිළිගැනීමට අකැමැති අයකු ගේ වචන හරඹයකි. ඔහු අනුගමනය කරන්නේ කුහක වතකි. තර්ක කරමින් තර්ක නො කරන බව කියන ඔහු ටොකු අනින්නේ නැතැයි කියමික්‌ හීං ටොකු අනියි. ඔහු ඔළුව අත ගගා අනේ මේ මගේ ගුරුවරයකු නො වේ දැයි අසමින් හීං ටොකු අනියි. අපේ සම්ප්‍රදායේ ගුරුවරුන්ට මූසිලයන් වූ ගෝලයෝ ද සිටිය හ. කපිල පීරිස්‌ මහතා මගේ ශිෂ්‍යයකු බව පිළිගනිමින් ඒ මූසිල සම්ප්‍රදායෙහි වෙයි. ඒ ඔහු හා සම්බන්ධයෙනි. මගේ පැත්තෙන් ගත් කල ඔහු මගේ ශිෂ්‍යයකු ලෙස මම නො පිළිගනිමි. ඔහු ඇතැම් විට ඩී. ඇල්. ඕ. මැන්දිස්‌ මහතා ගේ ගෝලයකු විය හැකි ය. එහෙත් මගේ නම් ශිෂ්‍යයෙක්‌ නො වේ.

කපිල පීරිස්‌ මහතා මෙසේ ද කියයි. "දාගැබ්වල වටිනාකම ඇත්තේ ඒවා නූතන ඉංජිනේරුවන් නිව්ටන්ට අනුව ඒවායේ තාක්‍ෂණයෙන් විග්‍රහ කළ නිසා නො වන බව අවිවාදිත ය. අප එසේ නො වේ යෑයි කොතැනක වත් සඳහන් කර නැත." වටිනාකම යන වචනය ඔහු යොදා ගත් බවක්‌ මම ද නො කීවෙමි. එහෙත් ඔහු වැදගත්කම යන වචනය යොදා ගත්තේ ය. මේ සියල්ල නැවත නැවත මතක්‌ කිරීමට සිදු වීම ගැන කණගාටු වෙමි. එහෙත් කපිල පීරිස්‌ මහතා පීලි පැන නිදොස්‌ වීමට කරන උත්සාහය හෙළිදරව් කළ යුතු ය. ඔහු කිහිප වතාවක්‌ ම තම ලිපිවල මෙවැනි ප්‍රකාශ කරයි. "අද මේවා මෙපමණින් හෝ රැඳී ඇත්තේ අද ඉතා ප්‍රචලිත ව ඇති මෙම නිව්ටෝනීය සංදර්භය තුළින් ම මේවායේ වැදගත්කම පෙන්වා ලූ නිසා ය." (සැප්තැම්බර් 23) එසේ දාගැබ්වල ද වැදගත්කම නිව්ටෝනීය සන්දර්භය තුළින් පෙන්වා දීම නිසා ඒ ආරක්‍ෂා වූ බව කී කපිල පීරිස්‌ මහතා ඔක්‌තෝබර් 14 වැනි දා වන විට මේවා යන්නෙන් දාගැබ් ඉවත් කරයි. එහෙත් එසේ කිරීමේ දී ඔහු තව තවත් පරස්‌පරවල හිර වෙයි. ඔහු මෙසේ කියයි. "දාගැබ් පිළිබඳ කතාව මීට මඳක්‌ වෙනස්‌ ය. වැව්වලට (විශේෂයෙන් කුඩා) වඩා මිනිස්‌සු දාගැබ් ආරක්‍ෂා කර ගැනීමට පෙලඹෙති. කුඩා වැව් කඩා දමා, විශාල බැමි බැඳ, විශාල ජලාශ තැනීමට යෝජනා වුව හොත් අද ගැමියන් එතරම් විරුද්ධ වන්නේ නැත. මේ කුඩා වැව්වල වැදගත්කම අද සියල්ලන්ට ම පාහේ පෙන්වා දිය හැක්‌කේ නිව්ටෝනීය සන්දර්භය තුළ එහෙත් පැරැණි ඉංජිනේරු සම්ප්‍රදායේ පදනමේ සිට ය."

ඔහු මේ කියන්නේ මෙසේ ද ප්‍රකාශ කිරීමෙන් පසුව ය. "අප අප ගේ ඉංජිනේරු සම්ප්‍රදාය ලිපි මගින් පෙන්වා දීමට උත්සාහ ගත්තේa එම ඉංජිනේරු සම්ප්‍රදායේ ඇති හුදු භෞතික (ඇඟට දැනෙන) ක්‍ෂෙත්‍රයන්ට ඇති සංසිද්ධීන් නූතන නිව්ටෝනීය සන්දර්භය තුළ විස්‌තර කර වර්තමාන අදාළ බලධාරීන්ට (සහ සමාජයට) ඒ පෙන්වා දීම වැදගත් වන බව ය. වර්තමාන බලධාරීන් ද අපේ පැරැණි ගැමි සම්ප්‍රදායේ උදවිය නම් අප ගේ උත්සාහය තේරුමක්‌ නැත..... වර්තමානයේ විශේෂයෙන් ඊනියා සංවර්ධන වැඩ කටයුතු සිදු වන්නේ ගැමියන් ගේ වුවමනා එපාකම් මත නො වේ. (ඇත්තට ම වර්තමානයේ සංවර්ධනය ආදිය පිළිබඳ ගැමියන් ගේ අදහස්‌ මතිමතාන්තර අපේ සම්ප්‍රදායට බොහෝ විට එකඟ ද නැත) අපේ ඉපැරැණි වැව් පද්ධති රැක ගැනීමට ගැමියනට කෙතරම් වුවමනා වුව ද, අද ඒවා ඔය තරමින් හෝ රැකී ඇත්තේ එම වුවමනාව නිසා නම් නො වේ. එම ගැමියන් ගේ වුවමනාව සහ ඔවුන් ගේ සාම්ප්‍රදායික දැනුම ද උකහා ගෙන ඩී. ඇල්. ඕ. මැන්දිස්‌ වැනි මහතුන් විසින් ඒවා නූතන නිව්ටෝනීය සන්දර්භය තුළ අදාළ බලධාරීන්ට අතිශය ප්‍රබල එනම් ඒවායේ තාක්‍ෂණික පසුබිම සහිතව පෙන්වා ලූ නිසා ය."

ඔහු ගේ තර්කය (අදහස්‌ දැක්‌වීම)ට අනුව මිනිස්‌සු විශේෂයෙන් කුඩා වැව්වලට වඩා දාගැබ් ආරක්‍ෂා කර ගැනීමට පෙලඹෙති. අද ගැමියෝ කුඩා වැව් කඩා බිඳ ලොකු වැව් තැනීමට එතරම් විරුද්ධ නො වෙති. වර්තමානයේ සංවර්ධනය පිළිබඳ ගැමියන් ගේ මතිමතාන්තර අපේ සම්ප්‍රදාය සමඟ බොහෝ විට එකඟ වන්නේ ද නැත. මේ සියල්ලෙන් ඔහු කියන්නේ අද ගැමියන් බොහෝ විට අපේ සම්ප්‍රදාය සමඟ එකඟ නො වන බව ය. අපේ පැරැණි ගැමි සම්ප්‍රදායෙහි නොමැති නිලධාරීන්ට කපිල පීරිස්‌ මහතා නිව්ටෝනීය සන්දර්භයෙහි වැව් තේරුම් කරන්නේ ඔවුන් පැරැණි සම්ප්‍රදායෙහි විණි නම් ඒ උත්සාහය නිරර්ථක වූවක්‌ බව කියමිනි. කපිල පීරිස්‌ මහතාට ප්‍රශ්නය වන්නේ නිලධාරීන් අපේ සම්ප්‍රදායෙහි නැති වීම ය. එමෙන් ම බොහෝ දුරට ගැමියන් ද එහි නැති වීම ය. අප කලින් ද සඳහන් කර ඇති පරිදි එලෙස අපේ සම්ප්‍රදායෙහි නැති අයට නිව්ටෝනීය සංකල්ප ඔස්‌සේ ඒ වැව්වල (හා දාගැබ්වල) වැදගත්කම තේරුම් කර දීමට යැම පනින රිලවුන්ට ඉණිමං බැඳීමකි. පැන යන මුවන් හමුවේ නෙළුE පලා දැමීමකි.

අද ගැමියන්ට යම් වුවමනාවක්‌ තිබුණත් වැව් රැකගැනීමට නොහැකි යෑයි කියන කපිල පීරිස්‌ මහතා වැව් රැකුණේ ඩී. ඇල්. ඕ. මැන්දිස්‌ මහතා වැන්නවුන් අදාළ නිලධාරීන්ට නිව්ටෝනීය සන්දර්භය තුළ ඒ රැක ගැනීමේ වුවමනාව පෙන්වා දීම නිසා යෑයි කියයි. මෙහි දී කපිල පීරිස්‌ මහතා අද ගැමියන් ගැන කියන දේ පැරැණි ගැමියන් සම්බන්ධයෙන් අදාළ නො වන්නේ යෑයි ඒ මහතා වුව ද පිළිගන්නේ යෑයි සිතමි. පැරැණි ගැමියෝ බටහිර අධ්‍යාපනයෙන් හා (විකෘත) නිව්ටෝනීය සංකල්පවලින් ඔළුව අවුල් කර නො ගත්තෝ වූ හ. ඔවුනට, එනම් පැරැණි ගැමියන්ට වැව් ආරක්‍ෂා කර ගැනීමේ වුවමනාව ඉංගිරිසි පාලන සමයෙහි ද තිබෙන්නට ඇතැයි උපකල්පනය කිරීම වරදක්‌ නො වේ. එහෙත් ඔවුන්ට එදා ඒ සඳහා අවශ්‍ය පරිපාලන දේශපාලන බලය නො තිබිණි. ඒ දේශපාලන හා පරිපාලන බලය ලබා ගැනීමට ඔවුන්ට උපකාරී වූයේ ඩී. එස්‌. සේනානායක හා පසු කලෙක සී. පී. ද සිල්වා ආදී මහත්වරුන් ය.

බිරිතානීන් අපේ වැව් පද්ධතිය කඩා බිඳ දැම්මේ, ඒ ඔස්‌aසේ මහා මාර්ග තැනුවේ අපේ ආර්ථිකය කඩා බිඳ දැමීමට මිස ඒ වැව් නිව්ටෝනීය සංකල්පවලින් තේරුම් ගත හැකි ද නැත් ද යන්න සලකා බලා නො වේ. එදා සුදු ඉංජිනේරුවකු ඉදිරිපත් වී නිව්ටෝනීය සන්දර්භයෙහි වැව්වල වැදගත්කම තේරුම් කර දුන්න ද, සුදු පාලකයන් වැව් කඩා දමනු ඇත. පසුව වැව් ප්‍රතිසංස්‌කරණයට මුල් වූයේ ද ඒ ආර්ථික වුවමනාව ය. මෙරට කෘෂි ආර්ථිකය නඟා සිටුවීමේ වුවමනාව තිබූ දේශපාලනඥයෝ වැව් ප්‍රතිසංස්‌කරණයට මුල් වූ හ. වැව් ප්‍රතිසංස්‌කරණය ආරම්භ වූයේ නිශ්චිතව කවර දා දැයි කීමට මම නො දනිමි. එහෙත් ඒ ඩී. ඇල්. ඕ. මැන්දිස්‌ මහතා ඉංජිනේරුවකු ලෙස ඉංජිනේරුවන් අතර යම් "වැදගත්කමක්‌" ලබාගෙන නිව්ටෝනීය සංකල්පවලින් වැව්වල වැදගත්කම තේරුම් ගැනීමට පෙර බව නම් කිව හැකි ය. ඩී. ඇල්. ඕ. මැන්දිස්‌ මහතා ඉංජිනේරුවකු වූ පමණින් ඔහුට අනෙක්‌ ඉංජිනේරුවෝ සවන් දුන් හ යෑයි සිතීමට නොහැකි ය. අනෙක්‌ අය ඔහුට සවන් දෙන්නට ඇත්තේ ඔහු ඉංජිනේරු වෘත්තියෙහි යම් වැදගත්කමක්‌ ලබා ගැනීමෙන් පසුව විය යුතු ය. එහෙත් ඒ කාලය වන විට මෙරට යම් මට්‌ටමකින් වුව ද වැව් ප්‍රතිසංස්‌කරණය ඇරැඹී තිබුණාට සැකයක්‌ තිබිය නොහැකි ය.

එයට හේතුව පෙර සිටි ඩී. එල්. ඕ. මැන්දිස්‌ කෙනකු යෑයි කපිල පීරිස්‌ මහතාට කිව හැකි ය. එහෙත් ඩී. එස්‌. සේනානායක මහතා හෝ වෙනත් දේශපාලනඥයකු හෝ වැව් ප්‍රතිසංස්‌කරණය කිරීමට තීරණය කෙළේ ඉංජිනේරුවකු ගේ නිව්ටෝනීය සංකල්පවලින් වැව්වල වැදගත්කම පෙන්නීම නිසා යෑයි විශ්වාස කිරීමට නොහැකි ය. ආර්ථික අවශ්‍යතාව එහි දී වැදගත් සාධකය වූවා නිසැක ය. නිව්ටෝනීය සන්දර්භයේ අවශ්‍යතාව වැව් ප්‍රතිසංස්‌කරණය කිරීම නො ව වැව් නැති කිරීම ය. අද ඒ කාර්යය බිරිතානි අධිරාජ්‍යවාදයේ මුල් යුගයටත් වඩා එහාට ගොස්‌ ඇතැයි සිතමි. නිව්ටෝනීය සන්දර්භය යනු නිව්ටෝනීය යාන්ත්‍රිකය පමණක්‌ නො වේ. මා කලින් සඳහන් කර ඇති ආකාරයට පුරාවිද්‍යාඥයෝ ද නිව්ටෝනීය සන්දර්භයෙහි ක්‍රියාත්මක වෙති. ඇතැම් දේශපාලනඥයෝ ද ඒ සන්දර්භයෙහි ක්‍රියාත්මක වෙති. මෙරට ප්‍රධාන විපක්‍ෂ දේශපාලනඥයකු පසුගිය දා වැව් ගොඩ කිරීමට කතා කෙළේ නිව්ටෝනීය සංකල්පවල ආධාරයෙන් නො වූවත් නිව්ටෝනීය සන්දර්භයෙහි ය. ඔහු නිව්ටෝනීය සංකල්ප නො දන්නකු හෝ වැවේ වැදගත්කම නිව්ටෝනීය සංකල්පවලින් තේරුම් කරන බව නො දන්නකු හෝ නො විය හැකි ය. ඔහු බලයේ සිටියේ නම් ඩී. එල්. ඕ. මැන්දිස්‌ මහතාට හෝ කපිල පීරිස්‌ මහතාට හෝ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් කෙතරම් හොඳින් වැව්වල වැදගත්කම තේරුම් කළත් වැව් පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වනු ඇත. මෙරට වැව් පද්ධතිය මෙතරමින් වුවත් ආරක්‍ෂා වී ඇත්තේ පැරැණි ගැමියන්ට තිබූ වුවමනාවට පසුගිය සියවසේ මුල් භාගයේ දේශපාලන නායකත්වයක්‌ ලැබීම නිසා ය.

නිව්ටෝනීය සංකල්පවලින් වැව්වල වැදගත්කම තේරුම් ගැනීම යනු නිව්ටෝනීය සන්දර්භයට තවත් ආධිපත්‍යයක්‌ ලබා දීම පමණකි. ඒ කෙළවර වනු ඇත්තේ වැව් ගොඩ කර විනාශ කිරීමෙනි. කපිල පීරිස්‌ මහතා නිව්ටෝනීය සංකල්පවලින් වැදගත්කම් තේරුම් ගන්නේ එක්‌ පැත්තකින් සමස්‌ත නිව්ටෝනීය සන්දර්භයෙන් (සුසමාදර්ශයෙන්) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි සංකල්ප වෙන් කරගත හැකි යෑයි උපකල්පනය කිරීමෙනි. වෙන් කිරීම බටහිර ක්‍රිස්‌තියානි නුතනත්වයෙහි එක්‌ ගුණයක්‌ (Property) වුවත් ඒ දැනුම් සියල්ල ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙන් බැඳී ඇත. නිව්ටන් ගෙන් දෙවියන් වහන්සේ හා ඊනියා යථාර්ථය අයින් කර නිව්ටන් අපේ මෙහෙකරුවකු කර ගැනීම පිළිබඳව කපිල පීරිස්‌ මහතා කරන්නේ හුදු පාරම්බෑමක්‌ පමණකි. අද නිව්ටෝනීය සන්දර්භයෙහි යථාර්ථය අයින් කිරීමට කපිල පීරිස්‌ මහතා කතා කරන්නේ ඔහු ගේ බ්‍රොaහියර් - මැන්දිස්‌ ව්‍යාපෘතිය යුක්‌තියුක්‌ත කිරිම සඳහා පමණකි. නිව්ටෝනීය සංකල්පවලින් වැවේ වැදගත්කම තේරුම් කිරීමේ දී නිව්ටෝනීය සංකල්පවල වැදගත්කම වැඩි වී ඒ ඉංජිනේරුවන් අතර පමණක්‌ නො ව පුරාවිද්‍යාඥයන් හා ගැමියන් අතරත් තව තවත් ඊනියා යථාර්ථයක්‌ බවට පත් වීම වැළැක්‌විය නොහැකි ය.

නිව්ටෝනීය සන්දර්භයෙන් එහි කොටස්‌ අයින් කිරීමට කපිල පීරිස්‌ මහතා කතා කරන්නේ ද වෙන් කිරීම ආත්මය කරගත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ය. කපිල පීරිස්‌ මහතා තවමත් වෘත්තීය මට්‌ටමෙන් වැඩ කරන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි ය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි දැනුම් අපේ චින්තනයට අවශෝෂණය කිරීම එකකි. කපිල පීරිස්‌ මහතාට හෝ වෙනත් ඉංජිනේරුවකුට හෝ ඉංජිනේරු තාක්‍ෂණයෙහි තවමත් ඒ කළ හැකි යෑයි සිතිය නොහැකි ය. ඇතැම් විට අනාගතයෙහි දී ඒ කිරීමට හැකි අය ඉංජිනේරු ක්‍ෂෙත්‍රයෙහි බිහි වනු ඇත. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දැනුම් ඊනියා යථාර්ථය නොමැති ව යොදා ගන්නේ යෑයි මිථ්‍යා කතා පැතිරවීම තවත් එකකි. කපිල පීරිස්‌ මහතා කරන්නේ දෙවැන්න ය. ඒ අපේ දැනුමට කරන ෙද්‍රdaහීකමක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. මෙහි දී කිවයුත්තක්‌ වේ. මා දෙමළ ජාතිවාදයට එරෙහි ව සංකල්ප ප්‍රවාද ආදිය නිර්මාණය කෙළේ ඊනියා බලධාරීන්ට, ඔවුන් කවරකු වූවත්, සිංහලත්වයේ වැදගත්කමක්‌ ඒතතු ගැන්වීමට නම් නො වේ. මේ පිළිබඳව හා ඊනියා ගැමි බසින් ඇතැම් දේ විස්‌තර කිරීම ගැන පසුව සාකච්ජා කරමු.