logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගහන්න ගහන්න වැඳ වැටීම

මහාචාර්ය නලින් ද සිල්වා

කපිල පීරිස්‌ මහතා ගේ එක්‌ තර්කයක්‌ වනුයේ අපේ දාගැබ් වැව් ආදිය මෙපමණින් හෝ රැඳී ඇත්තේ අද ඉතා ප්‍රචලිත ව ඇති නිව්ටෝනීය සන්දර්භය තුළින් ම මේවායේ වැදගත්කම පෙන්වා ලු නිසා ය. ඒ තමා කරන දෙය එනම් නිව්ටෝනීය සංකල්පවලින් දාගැබ් වැව් ආදිය තේරුම් ගැනීම, යුක්‌තියුක්‌ත කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පුහු තර්කයක්‌ පමණකි. ඔහු යම් පදනමක පිහිටා කටයුතු කරනු වෙනුවට යමක්‌ කර ඒ යුක්‌තියුක්‌ත කිරීමට තර්ක සොයන බව පැහැදිලි ය. මා ගිය සතියේ සඳහන් කළ පරිදි මෙරට සිංහල බෞද්ධයන් වැව් දාගැබ් අගය කරන්නේ වත් ඒවා ප්‍රතිසංස්‌කරණය කර පවත්වාගෙන යන්නේ වත් නිව්ටෝනීය සංකල්පවලින් ඒවා තේරුම්ගෙන එහි වැදගත්කම පෙන්වා දී ඇති නිසා නො වේ. අනෙක්‌ අතට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමට සිංහලයන් පියවර ගන්නේ ඒවාහි වැදගත්කම නිව්ටෝනීය සන්දර්භයක පෙන්වා දී ඇති නිසා නො වේ. සිංහල බෞද්ධයන් ඒ සියල්ල ආරක්‍ෂා කරන්නේත් අගය කරන්නේත් ඒ අපේ ඉතිහාසයට සංස්‌කෘතියට හා ජීවන රටාවට සම්බන්ධ නිසා ය.

කපිල පීරිස්‌ මහතා මෙසේ කියයි. "හද්ද පිටිසර ගැමියන් පමණක්‌ නො ව ඇතැම් පුරාවිද්‍යාඥයන් සහ මේවා පිළිබඳව විමසිලිමත් වන බොහෝ දෙනා මේවා විග්‍රහ කරන්නේ නිව්ටන් ගේ ලෝකයේ සංකල්ප වැරැදි ලෙස යොදා ගනිමින් ය............. අප ගේ පැරණි තාක්‍ෂණයන් පිළිබඳව අද බොහෝ උදවිය කරන්නාක්‌ මෙන් නිව්ටෝනීය ලෝකය තුළ වැරැදි අසංගත ආකාරයට විග්‍රහයන් කිරීමට ගිය හොත් හෝ / හා අපේ ම වූ විද්‍යා ප්‍රවාද (නියම) ගොඩනැඟෙන තෙක්‌ ඒවා අතහැර දමා තැබුව හොත් එම ඉංජිනේරු සම්ප්‍රදාය මතු කර ගැනීම කෙදිනක හෝ සිදු නො වනු ඇත. එවිට ඒවා පිළිබඳව අපේ ප්‍රවාද ගැන කතා කිරීමට දෙයක්‌ නො වනු ඇත. අපේ ඉංජිනේරු සම්ප්‍රදාය මතු කර ගැනීම ඉතා හදිසියෙන් සිදු විය යුතු ය............ එසේ හදාරා ඒවා සංගත ව පැහැදිලිව අද පවතින රාමුව තුළ අදාළ පුද්ගලයින්ට පැහැදිලි කළ යුතු ය. ඒ සඳහා දැනට භාවිත කළ හැකි හොඳ ම අවිය නිව්ටෝනීය රාමුව ය. මේ සඳහා වෙනත් ප්‍රායෝගික මෙවලමක්‌ අපට නම් නො පෙනේ. පෙනෙන කෙනෙක්‌ සිටිත් නම් අප වහාම දැනුවත් කරත් වා". වෙනත් මෙවලමක්‌ නැතිකම ගැන සඳහන් කර පෙනෙන කෙනෙක්‌ වහා අප දැනුවත් කරත්වා යෑයි කියමින් කපිල පීරිස්‌ මහතා නැවතත් හීං ටොක්‌ක අනියි. මම එයට පසුගිය සතියේ පිළිතුරු දී ඇත්තෙමි. එබැවින් ඒ ගැන තවදුරටත් සඳහන් කිරීම අනවශ්‍ය ය.

හද්දා පිටිසර ගැමියන් ගෙන් කිනම් ප්‍රතිශතයක්‌ අද වැව් දාගැබ් ආදිය නිව්ටන් ගේ සංකල්ප වැරැදි ලෙස යොදා ගනිමින් විග්‍රqහ කරන්නේ දැයි මම නො දනිමි. මේ මෑතක්‌ වන තුරු ම නම් ඔවුන් එසේ කිරීමට වැරැදියට වුවත් දැනගෙන සිටි නිව්ටෝනීය සංකල්පයක්‌ නැත. අපේ ගම්වල සාමාන්‍ය ගැමියන් නො ව ලෝකය ගැන යමක්‌ දැන සිටි අය එකල කී කතාවක්‌ වූයේ සුද්දන් ද මේ පැරැණි නිර්මාණ දැක පුදුම වන බව ය. සුද්දන් ද පුදුම වන නිර්මාණ අපේ පැරැන්නන් කර තිබීම ගැන එසේ ලෝකය ගැන දැන සිටි අය ආඩම්බර වූ හ. එපමණකි. නිව්ටෝනීය සංකල්ප ගැන කතාවක්‌ එහි නො වී ය.

මේ පුදුම වී යෑයි කියන සුද්දන් එසේ පුදුම විණි නම් එලෙස පුදුම වූයේ කිනම් පදනමකින් දැයි අපි නො දනිමු. ඒ සුද්දන් ගෙන් කී දෙනෙක්‌ නිව්ටෝනීය සංකල්ප දැන සිටියෝ ද? ඔවුන් පුදුම වූයේ ඔවුනට එවැනි නිර්මාණ අද වුව ද කළ නො හැකි බැවින් ද? එසේත් නැත්නම් තමුන් ගේ දැනුම නොමැති ව එදා පැරැණි සිංහලයන් ඒ නිර්මාණ කෙළේ කෙසේ දැයි සිතා ගැනීමට සුද්දන්ට නො හැකි වූ බැවින් ද? එසේත් නැත්නම් වෙනත් කරුණක්‌ හෝ කරුණු නිසා සුද්දෝ පුදුම වූවෝ ද? සුද්දන් පුදුම වීම පිළිබඳව කතාව අපේ ඉහත සඳහන් කරුණු දත් අය ගෙතු ප්‍රබන්ධයක්‌ ද? එක්‌ සුද්දකු ගේ නැත හොත් දෙදෙනකු ගේ පුදුම වීමක්‌ අපේ අය විසින් සාධාරණය කෙරී සුද්දන් මත පැටවිණි ද?

ඒ කෙසේ වෙතත් එවැනි කතාවක්‌ අප අතර ඇත්තේ අප සුද්දන්ට යම් ආකාරයකින් වුවත් අගයක්‌ ලබා දී තිබුණු බැවිනි. අප පාලනය කළ සුද්දන් (ඇතැම් විට පිටරැටියන් යෑයි කියවුණ ද බොහෝ විට ඉන් ගම්‍ය වූයේ සුද්දන් ය) පවා මවිතයට පත් කළ නිර්මාණ ගැන දැන කියා ගත් අය ආරම්බර වූ හ. මෙහි දී පැහැදිලිව ම දැන උගත් අය යන්න අපට මතක්‌ කරන්නේ ඔවුනට යම් ආකාරයකට සුළුවෙන් වුවත් බටහිර අධ්‍යාපනයක්‌ ලැබී තිබුණු බව ය. ඔවුහු පුවත්පතක්‌ ඉඳහිට වුව ද කියවූ අය වූ හ.

කපිල පීරිස්‌ මහතා කියන්නාක්‌ මෙන් අද හද්දා පිටිසර ගැමියන් පවා වැරැදි ලෙස නිව්ටෝනීය සංකල්ප යොදා ගනිමින් වැව් හා දාගැබ් විග්‍රහ කරන්නේ යෑයි සිතමු. ඉන් කියෑවෙන්නේ අද අධ්‍යාපනයෙන් නිව්ටෝනීය සංකල්ප අගය කිරීමට ගැමියන්ට ද උගන්වා ඇති බව ය. ඒ අධ්‍යාපනය පාසලෙන් ලැබෙන්නක්‌ විය හැකි ය. එසේත් නැත්නම් ජනමාධ්‍ය ඔස්‌සේ ලැබෙන්නක්‌ විය හැකි ය. ඒ කුමක්‌ වුවත් කපිල පීරිස්‌ මහතා සඳහන් කරන දැයින් පැහැදිලි වන්නේ ඒ ඇත්ත නම් අද නිව්ටෝනීය සංකල්පවලට ගැමියන් අතර ද යම් ආධිපත්‍යයක්‌ ලැබී ඇති බව ය.

කපිල පීරිස්‌ මහතා හද්දා පිටිසර ගැමියන් ගැන සඳහන් කරන දේ සත්‍ය නම් අප කළ යුත්තේ මේ ආධිපත්‍යය බිඳ දැමීම ය. ඒ කළ හැක්‌කේ කපිල පීරිස්‌ මහතා කියන ආකාරයට ගැමියන් නිවැරැදි කර ඔවුනට නිව්ටෝනීය සංකල්ප නියමාකාරයෙන් යොදා ගැනීමෙන් දාගැබ් හා වැව් ගැන විග්‍රහ කිරීමෙන් ද? එසේ කිරීමෙන් වන්නේ ගැමියන් නිව්ටෝනීය ආධිපත්‍යයට තව තවත් යට කිරීමක්‌ පමණකි. නිව්ටෝනීය සංකල්ප නිවැරැදිව යොදාගත යුතු ය සහ ඒ වරද්දාගත නො යුතු ය යන පණිවිඩය කපිල පීරිස්‌ මහතා ගැමියන්ට ලබා දීමට උත්සාහ කරයි. එමගින් කපිල පීරිස්‌ මහතා කියන ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය හඳුනාගැනීමට කෙරෙන අනුබලය කුමක්‌ ද?

බොහෝ පුරාවිද්‍යාඥයෝ බටහිර ප්‍රවාද ආධිපත්‍යයට යට වී සිටිති. පුරාවිද්‍යාව නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ගොඩනැගුණකි. ඔවුන් වැව් හා දාගැබ් තමන් හරියට නො දන්නා භෞතික විද්‍යාවේ නිව්ටෝනීය සංකල්පවලින් විග්‍රහ කිරීමට පෙලඹෙන්නේ ද එබැවිනි. ඔවුනට ඊනියා නිවැරැදි නිව්ටෝනීය සංකල්ප කියා දීමෙන් ඔවුන් බටහිර ප්‍රවාද ආධිපත්‍යයෙන් මුදවා ගත හැකි ද? අනෙක්‌ අතට ඔවුනට නිව්ටෝනීය සංකල්පවලින් වැව් දාගැබ් ගැන කියා ඔවුනට ඒත්තු ගන්වන මේ අපේ ඉංජිනේරු සම්ප්‍රදාය කුමක්‌ ද? මෙරට පුරාවිද්‍යාඥයන් තව තවත් නිව්ටෝනීය ආධිපත්‍යයට යට වීම හැර වෙනත් කරුණක්‌ ඉන් නො සිදු වෙයි. අපේ පැරැණි තාක්‍ෂණයන් ගැන වැරැදි ආකාරයට විග්‍රහ කිරීමට ගිය හොත් හෝ / හා අපේ ම වූ විද්‍යා ප්‍රවාද ගොඩනැඟෙන තෙක්‌ ඒවා අතහැර දමා තැබුව හොත් අපේ ඉංජිනේරු සම්ප්‍රදාය මතු කර ගැනීම කිසි දිනෙක හෝ සිදු නො වන බව කපිල පීරිස්‌ මහතා කියන්නේ කිනම් පදනමක්‌ මත ද? අපේ පැරැණි තාක්‍ෂණ ගැන පුරාවිද්‍යාඥයන් හා ගැමියන් කරන වැරැදි විග්‍රහ නිසා ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය මතු කර ගැනීමක්‌ සිදු නො වන්නේ කෙසේ ද?

අපේ පැරැණි තාක්‍ෂණය ගැන ඉංජිනේරුවන්ට "නිවැරැදිව" නිව්ටෝනීය සංකල්පවලින් විග්‍රහ කිරීමෙන් කපිල පීරිස්‌ මහතා කියන අපේ ඉංජිනේරු සම්ප්‍රදාය මතු කර ගන්නේ කෙසේ ද යන්න මේ ප්‍රශ්නයෙහි අනෙක්‌ පැත්ත ය. එසේ නිවැරැදිව කියා දීමෙන් ඒ සම්ප්‍රදාය මතු කර ගන්නේ නිව්ටෝනීය සංකල්පවල හිර වූ ඉංජිනේරුවන් ද? ලංකාවේ ඉංජිනේරුවන්ට බටහිර නිව්ටෝනීය සුසමාදර්ශයෙන් පිටතට පැමිණිය හැකි අධ්‍යාපනයක්‌ ලැබෙන්නේ යෑයි මම නො සිතමි. අපේ පැරැණි තාක්‍ෂණය නිව්ටෝනීය සංකල්පවලින් විග්‍රහ කිරීමෙන් සිදු වන්නේ මේ ඉංජිනේරුවන් තව තවත් නිව්ටෝනීය ආධිපත්‍යයට යට වීම පමණකි. හද්දා පිටිසර ගැමියන්ටත් වඩා ඉංජිනේරුවන් නිව්ටෝනීය ආධිපත්‍යයට යට වනු ඇත. මේ ගහන්න ගහන්න වැඳ වැටීමක්‌ මිස අනෙකක්‌ නො වේ.

කපිල පීරිස්‌ මහතා ගේ සැප්තැම්බර් 23 වැනි දින ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "අප ගේ උත්සාහය සැසඳිය හැක්‌කේ ත්‍රස්‌තවාදය නසා ලු යුද්ධය සමග ය. එහි දී භාවිත කළ අවි ආයුධ අපේ නො වේ. එහෙත් අපි ඒවා උපයෝගී කරගෙන අපට අවශ්‍ය පරිදි යුද්ධය කර දිනුවෙමු. මේ සඳහා අපේ ම වූ ආයුධ නිම වන තෙක්‌ සිටියේ නම් කවරක්‌ වනු ඇති ද?" මේ සැසඳීම විග්‍රහ කිරීමට පෙර කිව යුත්තක්‌ වෙයි. යුද්ධය ආයුධ මත පමණක්‌ පදනම් ව කෙරුණක්‌ යෑයි කපිල පීරිස්‌ මහතා ඇතැම් විට කියනු ඇත. එහෙත් එහි මතවාදී අරගලයක්‌ තිබූ බව සමහර විට බොහෝ දෙනාට මෙන් ම කපිල පීරිස්‌ මහතාට ද අමතක වන්නට ඇත.

මෙහි දී කිව යුතු ප්‍රධාන ම කරුණ වන්නේ මෙහි යුද්ධයක්‌ නො වූ බවය. රටවල් දෙකක්‌ අතර වූ යුද්ධයක්‌ හෝ සිවිල් යුද්ධයක්‌ හෝ මෙරට නො විණි. සිදු වූයේ දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහි ව කළ හමුදා මෙහෙයුමක්‌ පමණ ය. රජයට විරුද්ධ ව වෙන ම රාජ්‍යයක්‌ ඇති කිරීම සඳහා ආයුධ ගත් කල්ලියකට විරුද්ධ ව හමුදා මෙහෙයුම් සිදු කිරීම යුද්ධයක්‌ නො වේ. කපිල පීරිස්‌ මහතාට ඇතැම් විට එවැනි තර්ක හා සංකල්පීය නිටවුල් බව ද අවශ්‍ය නො වනවා විය හැකි ය. හමුදා මෙහෙයුම් යුද්ධයක්‌ ලෙස අර්ථ දැක්‌වීම ඒ මහතාට අද වැදගත් වනවා විය හැකි ය.

ඒ කුමක්‌ වුවත් දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහි ව මෙරට දශක දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ කෙරුණු හා දැනුදු දෙමළ ජාතිවාදයට එරෙහි ව කෙරෙන මතවාදී අරගලය අඩුවෙන් තක්‌සේරු කළ යුතු නො වේ. හමුදා මෙහෙයුම් ජයග්‍රහණය කළේ පළමුවෙන් ම එයට නිවැරැදි සෘජු දේශපාලන නායකත්වයක්‌ ලැබුණු නිසා ය. දෙවනුව තීක්‍ෂණ හමුදා නායකත්වයක්‌ ලැබුණු බැවින් ය. එපමණට ම වැදගත් නො වේ යෑයි අද බොහෝ දෙනා සිතුවත් දශක දෙකකට අධික කාලයක්‌ දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහි ව අඛණ්‌ඩ මතවාදී අරගලයක්‌ ද මෙරට ක්‍රියාත්මක විය. ඒ අරගලය නො වන්නට ඇතැම් විට අදත් කොටි සංවිධානය පරාජය කළ නො හැකි සංවිධානයක්‌ ලෙස හැඳින්වීමට බොහෝ දේශපාලන පක්‍ෂ ඉදිරියට ඒමට තිබිණි.

නම් වශයෙන් සඳහන් නො කළ ද දේශපාලන පක්‍ෂ බොහොමයකට කොටි සංවිධානය පරාජය කළ යුතු ය, පරාජය කළ හැකි ය යන මතයට පැමිණීමට බොහෝ කලක්‌ ගත විය. ඒ ඒ පක්‍ෂ එකක්‌ පසුපස තව එකක්‌ ආදී වශයෙන් ඒ මතයට එළඹෙනු අපි දුටුවෙමු. අවසානයේ දී දෙමළ ත්‍රස්‌තවාදයට එරෙහි මතවාදී අරගලය ජයගත්තේ රජය සියලු බාධක අභියෝග නො තකා ඒ මතයට පැමිණීමත් සමඟ ය. ඉන් පසු දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණක්‌ විය.

හමුදා මෙහෙයුම්වල දී යොදාගත්තේ පිටරටින් ගෙනා බටහිර තාක්‍ෂණය උපයෝගී කරගෙන නිෂ්පාදනය කළ ආයුධ බව සැබෑ ය. එහෙත් ඒ ආයුධ ක්‍රියාත්මක වූයේ බටහිර මතවාද වෙනුවෙන් නො වේ. ඒ ආයුධ පසුපස සිටි සෙබළුන් මෙහෙයවනු ලැබූයේ දේශීය මතවාද පිළිගත් දේශපාලන හා හමුදා නායකත්වවල අණ යටතේ ය. එහි දී ඒ අණ නො වන්නට ආයුධ ක්‍රියාත්මක නො වන බව පැහැදිලි ය. එහි දී අපේ ම වූ ආයුධ නිපදවන තෙක්‌ සිටියේ නම් කවරක්‌ වනු ඇත් දැයි කපිල පීරිස්‌ මහතා නඟන තර්කයට පිළිතුර එසේ සිටීම අවශ්‍ය නැත යන්න ය. අපට එහි දී කළ යුතු ව තිබුණේ දෙමළ ජාතිවාදය බෙදුම්වාදය හා ත්‍රස්‌තවාදය අරභයා අපේ ම වූ ප්‍රවාද නිර්මාණය කිරීම ය. ඒ ප්‍රවාද නිර්මාණය නො වී නම් කවරක්‌ වන්නට තිබිණි ද යන්නට පිළිතුරක්‌ කපිල පීරිස්‌ මහතාට ඇතැයි සිතමි.

බටහිර මතවාද හමුවේ අප බටහිර මතවාද ම යොදා ගත්තේ නම් අපට කුමක්‌ කළ හැකි ව තිබිණි ද? දෙමළ ජනයාට වී ඇති ඊනියා අසාධාරණකම් සිංහල අන්තවාදය සිංහල බෞද්ධ සුපිරිවාදය ආදිය පිළිබඳ මතවාද මෙන් ම බෞද්ධයනට ඊනියා යුද්ධ කිරීම කැප ද ආදී දහසකුත් එකක්‌ ප්‍රශ්නවලට එරෙහි ව අලුතින් ම මතවාද, ප්‍රවාද නිර්මාණය කිරීම පහසු කටයුත්තක්‌ නො වේ. එහෙත් කපිල පීරිස්‌ මහතා ඒ අමතක කර ඇත්තේ කිනම් හේතුවක්‌ නිසා ද? අද ඒ මහතා ගේ න්‍යාය පත්‍රය කුමක්‌ ද?