logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වටී වටී ඔබ නිසා වටී

මහාචාර්ය නලින් ද සිල්වා

කපිල පීරිස්‌ මහතා මා නිවන හිතුමතේ විවරණය කරන්නේ ය යනුවෙන් කරන ප්‍රකාශයට පසුව පිළිතුරු දෙමි. එහෙත් පාඨකයනට ඒ පිළිබඳව එතෙක්‌ සිතීම සඳහා ඔහු කියා ඇති කරුණු මුළුමනින් ම සඳහන් කිරීම වැදගත් වෙයි. පිළිතුර දීර්ඝ වුව ද උපුටා දැක්‌වීම අවශ්‍ය ය. මගේ පිළිතුරෙහි මෙවර කොටසට ද එහි වැදගත්කමක්‌ වෙයි. කපිල පීරිස්‌ මහතා සැප්තැම්බර් 23 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "බටහිරයන්ට සැබෑ ගැටලුව වන්නේ අප අපේ ඉංජිනේරු (සංවර්ධන) සම්ප්‍රදායට යොමු වීම ය. එම සම්ප්‍රදායට අදාළ දැනුම ප්‍රධාන වශයෙන් සැපයෙන්නේ භෞතික සිද්ධීන් හා සබැඳුණු අපේ ප්‍රවාදවලින් නො ව බටහිර චින්තනයෙන් මිදුණු බුදු දහමෙනි. ඉතින් අපේ දාගැබක ව්‍යqහය නිව්ටන් නියමවලින් පැහැදිලි කර දීම, අපේ දැනුම බන්දේසියක තබා බටහිරයන්ට දීමක්‌ වන්නේ කෙසේ ද? එම විග්‍රහය ඔවුනට කොහොමත් සංවේදී ය. ඔවුනට සංවේදී නො වන්නේ අපේ බුදුදහම පසුබිම් කරගත් පෙර කී දැනුම ය. අප ඇත්තට ම පරෙස්‌සම් විය යුත්තේ ඒවා විවරණය කිරීමේ දී ය. බුදුදහම හිතුමතේ විවරණය කරන නලින් ද සිල්වා මහතා නිව්ටන් නියමවලින් දාගැබක්‌ විවරණය කිරීම කෙරෙහි විස්‌සෝප වීම අපට සිතාගත නොහැකි ය."

කපිල පීරිස්‌ මහතා අපේ ඉංජිනේරු සම්ප්‍රදායක්‌ ගැන කියයි. එය සංවර්ධන සම්ප්‍රදායක්‌ බවත් හැඟෙයි. ඒ ගැන පසුව කතා කරමු. ඒ කුමක්‌ වුවත් එයට අදාළ ප්‍රධාන දැනුම සැපයෙන්නේ බුදුදහමෙන් යෑයි කියන ඒ මහතා දාගැබක ව්‍යqහය නිව්ටෝනීය නියමවලින් පැහැදිලි කිරීමට බටහිරයන් සංවේදී බව පවසයි. එහෙත් බුදුදහම පසුබිම් කරගත් දැනුමට බටහිරයන් සංවේදී නො වන බවත්a අප පරෙස්‌සම් විය යුත්තේ ඒවා විවරණය කිරීමේ දී බවත් පවසයි. ඔහු බුදුදහම හිතුමතේ විවරණය කරන නලින් ද සිල්වා දාගැබක්‌ නිව්ටෝනීය නියමවලින් විග්‍රහ කිරීම ගැන විස්‌සෝප වීම සිතාගත නො හැකි බව කියන්නේ ඉන් පසුව ය. කපිල පීරිස්‌ මහතා කෙළින් ම නො කීවාට ඔහු කියන්නේ මා බුදුදහම හිතුමතේට බටහිරයන්ට සංවේදී වන අයුරින් විවරණය කරන බව ද? මේ සංවේදී වීම යන්නෙන් කපිල පීරිස්‌ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් කපිල පීරිස්‌ මහතා කියන්නේ මා බටහිර ප්‍රවාද නියම ආදිය යොදා ගෙන බටහිරයන්ට තේරෙන අයුරින් බුදුදහම හිතුමතේට විවරණය කරන බව ද? ඒ එසේ නම් ඒ මහතා පසුගිය අවුරුදු විසි පහක පමණ කාලයක්‌ තිස්‌සේ මා ලියා ඇති ලිපි තේරුම් ගෙන නොමැති බව පැහැදිලි ය. මට අවශ්‍ය කරන්නේ සිංහල බෞද්ධ චින්තනයෙහි බුදුදහම තේරුම් ගැනීම මිස බටහිරයන්ට හෝ බටහිරයන් අනුකරණය කරන්නන්ට හෝ තේරෙන අයුරින් බුදුදහම විවරණය කිරීම නො වේ. මා කියන ඇතැම් දේ මෙයට පෙර කිසිවකු කියා නැත්නම් එහි වරද මා අත නො වේ. මට අද පෙනෙන දේ විවිධ පුද්ගලයින්ට එදා නො පෙනීම නිසා මා අද අලුතින් යමක්‌ නො කිව යුතු ද? අනෙක්‌ අය අතීතයේ දී ලියා ඇති දේ කියවා ඒවා නැවතත් ලිවීම උගතුන් ගේ කාර්යය විය හැකි ය. මම උගතෙක්‌ නො වෙමි. බුදුදහම හා එහි විවරණ පිළිබඳ ව වැඩිදුර කතා කිරීමට පෙර පාඨකයනට කල්පනා කිරීමට ප්‍රශ්න දෙකක්‌ පමණක්‌ ඉදිරිපත් කරමි. (ස) නිවන් අවබෝධ කරන්නේ මනසින් ද? (සස) පිරිනිවන් පෑමෙන් පසුව මනස පවතී ද?

කලින් සඳහන් කළ ලිපියෙහි ම කපිල පීරිස්‌ මහතා මෙසේ කියයි. "අප ගේ අරමුණ වන්නේ.......... බටහිර ඉංජිනේරු සම්ප්‍රදායට එරෙහි ව අප ගේ ඉංජිනේරු සම්ප්‍රදාය (එය ජීවන ක්‍රමයකි) එළි පෙහෙළි කර ගැනීම ය. මේවා එළි පෙහෙළි වීම ඇරඹෙන්නේ බ්‍රොaහියර්, පාකර් වැනි වියතුන් ගෙනි. ඩී. එල් .ඕ. මැන්ඩිස්‌ වැනි වියතුන් මගින් මේවා තවදුරටත් එළි පෙහෙළි විය. පසුව කී මහතුන් මගින් මේවා හුදු ඉංජිනේරු තාක්‍ෂණික වැඩ ලෙස පමණක්‌ නො ව ඒවා සමග සබැඳුණු අප ගේ ජීවන ක්‍රමය පිළිබඳව ද කියෑවිණි. වත්මන් පරපුර මේවා පිළිබඳව දැනගන්නේ එතුමන් ලා ලබා දුන් එම අත්වැල උපයෝගී කරගෙන ය. එහෙත් මෙතෙක්‌ මේ සියලු ම දේවල්, මේවායේ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව විග්‍රහ කළේ දැන හෝ නො දැන හෝ හෝ නිව්ටන් ගේ ලෝකයේ සිට ය. නිව්ටෝනීය යාන්ත්‍රිකයක්‌a හෝ එවැන්නක්‌ පිළිබඳව අබමල් රේණුවක තරමින් හෝ නො දන්නා අපට හමු වී ඇති හද්දා පිටිසර ගැමියන් පවා මේවා විස්‌තර කරන්නේ ඉතා පැටලිලි සහිතව හෝ එම සංකල්ප භාවිතයෙනි."

කපිල පීරිස්‌ මහතා අනුගමනය කරන්නේ බ්‍රොaහියර්, පාකර්, මැන්ඩිස්‌ මහත්වරුන් ය. මේ මහත්වරුන් ගෙන් අපේ ජීවන ක්‍රමය ගැන ද කියෑවී ඇතැයි කපිල පීරිස්‌ මහතා කියයි. ඒ මහතා කියන ඉංජිනේරු සම්ප්‍රදාය ජීවන ක්‍රමයක්‌ ද වෙයි. එහෙත් මේ ජීවන ක්‍රමය දැනගත්තේ පැරැණි වැව් හා දාගැබ් ගැන ඉංජිනේරුවන් කිහිප දෙනකු විසින් නිව්ටෝනීය සංකල්ප යොදා ගනිමින් කරන ලද විස්‌තර කිරීම් නිසා ද? කිසිසේත් ම නැත. මේ ජීවන ක්‍රමය නිව්ටෝනීය සංකල්ප ගැන නො දත්, ඉංජිනේරුවන් නො වන්නන් විසින් හෙළි පෙහෙළි කෙරී ඇති අතර ඉංජිනේරුවන් කිහිප දෙනකු කර ඇත්තේ ඒ ජීවන ක්‍රමය ඔස්‌සේ වැව් ගැන කතා කිරීම ය. අපේ පැරැණි ජීවන ක්‍රමය ගැන කතා කළ අයට නිව්ටෝනීය සංකල්ප දත් ඉංජිනේරුවන් ගෙන් ලැබුණු විශේෂිත දැනුම කුමක්‌ ද? මගේ පියා නිව්ටන් ගේ බලය යනු කුමක්‌ දැයි මිය යන තුරු ම නො දැන සිටියේ ය. එහෙත් ඔහු වැවයි දාගැබයි හා බැඳුණු අපේ පැරැණි ජීවන ක්‍රමය ගැන යම් පමණකින් දැන සිටියේ ය. ඒ මගේ පියාට වක්‍රව වුවත් බ්‍රොaහියර්ලා ගෙන් ලැබුණු දැනුමක්‌ නිසා නො වේ. මා වැවයි දාගැබයි අගය කෙළේ නිව්ටෝනීය බලය ගැන හෝ බ්‍රොaහියර් ගැන හෝ මෙලෝ හසරක දැනුමක්‌ නැති ව ය. (පසු කලෙක මා තේරුම් ගත්තේ නිව්ටන්ට ද බලය ගැන පැහැදිලි තේරුමක්‌ නො වූ බව ය.) ඉංජිනේරුවන්ට අපේ ජීවන ක්‍රමය ගැන කියා දී ඇත්තේ ඉංජිනේරුවන් නො වන අය මිස නිව්ටෝනීය සංකල්ප නො වේ. මෙරට කී දෙනකු ඩී. එල්. ඕ. මැන්ඩිස්‌ මහතා ගැන අසා තිබේ ද? එසේ අසා ඇති අය අතරින් කී දෙනෙක්‌ ඔහු කර ඇති වැඩ ගැන සෘජුව හෝ වක්‍රව හෝ දනිත් ද? මැන්ඩිස්‌ මහතා අපේ පැරැණි ජීවන ක්‍රමය ගැන නිව්ටෝනීය සංකල්ප යොදාගෙන අලුතෙන් එකතු කර ඇති දැනුම කුමක්‌ ද? (මෙහි දී වැදගත් වන්නේ නිව්ටෝනීය සංකල්ප යොදා ගනිමින් එකතු කළ දැනුම බව අවධාරණය කළ යුතු ය.) ඒ දැනුම කිනම් ආකාරයකින් ජනතාව අතරට ගොස්‌ තිබේ ද?

කපිල පීරිස්‌ මහතා ඉහත සඳහන් කරුණ අවධාරණය කරමින් මෙසේ ද සඳහන් කරයි. "නිව්ටන් ගෙන් පරිබාහිරව සිට මේවා පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකි කිසිවකු අපට තවම හමු වී නැත. (එහෙත් එවැන්නන් සිටිනවා විය හැකි ය) කවුරුන් මොනවා කීවත් පවතින තත්ත්වය එයයි. කෙසේ වුවත් බ්‍රොaහියර්ලා, පාකර්ලා ගෙන් පසුව අපේ වියතුන් මේවා පිළිබඳව විග්‍රහ කොට ඒවායේ වැදගත්කම එළිපෙහෙළි කිරීම, මේවා නිව්ටන් ගේ ලෝකයේ සංකල්ප මගින් පැහැදිලි කිරීම යෝග්‍ය නො වේ යෑයි කියා පසෙකට දැමුවේ නම් අද අපට අපේ ඉංජිනේරු සම්ප්‍රදායක්‌ පිළිබඳව කතා කිරීමට වුව දෙයක්‌ ඉතිරි වන්නේ නැත. සියල්ල නූතන සංවර්ධන රැල්ලෙන් (ඉංජිනේරු සම්ප්‍රදායෙන්) අතුගෑවී ගොස්‌ කෞතුක වස්‌තූන් ලෙස කෞතුකාගාරවල පමණක්‌ රැඳෙනු ඇත. අද මේවා මෙපමණින් හෝ රැඳී ඇත්තේ අද ඉතා ප්‍රචලිතව ඇති මෙම නිව්ටෝනීය සංදර්භය තුළින් ම මේවායේ වැදගත්කම පෙන්වා දී ඇති නිසා ය."

පළමුවෙන් ම කපිල පීරිස්‌ මහතා මට හීං ටොක්‌කක්‌ අනියි. නිව්ටන් ගෙන් පරිබාහිරව මේවා ගැන කිසිවක්‌ කළ අයකු ඔහුට තවම හමු වී නැතැයි ඔහු කියන්නේ මා ගැන හෝ අපේ ප්‍රවාද නිර්මාණය ගැන කතා කරන මගෙන් යමක්‌ උගත් අය ගැන හෝ වෙයි. ලංකාවේ වෙනත් පුද්ගලයන් බටහිර ප්‍රවාදවලින් පරිබාහිරව මේවා ගැන නො සිතන බව කපිල පීරිස්‌ මහතා අවංක පුද්ගලයකු නම් පිළිගන්නවා ඇත. එසේ සිටින්නේ දැයි තමා නො දන්නා බව ඒ මහතාට කිව හැකි ය. තර්කය සඳහා එසේ කිව හැකි වුව ද ඒ උගුරට හොරා බෙහෙත් කෑමකි.

පිටරැටියන් ගැන කතා කිරීම තේරුමක්‌ නැති දෙයකි. කවුරු මොනවා කීවත් යන්නෙන් කපිල පීරිස්‌ මහතා තම ටොක්‌ක යුක්‌ති යුක්‌ත කරයි. කපිල පීරිස්‌ මහතා කියන්නේ ඇත්තකි. ඉංජිනේරු ශිල්පයෙහි අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට මා සමත් වී නැත.

මම ඉංජිනේරුවෙක්‌ නො වෙමි. එපමණක්‌ නො වේ. මම ඉංජිනේරු තාක්‍ෂණය ප්‍රිය නො කරමි. එවැනි ක්‍ෂෙත්‍රයක අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට මට නොහැකි ය. එහෙත් මා ප්‍රිය කරන ක්‍ෂෙත්‍රවල මා අතින් අපේ ප්‍රවාද නිර්මාණය වී ඇත. විදුසර පුවත්පතේ පළ වන්නේ එවැනි ප්‍රවාද ය. ඒ ගණිතය, සෛද්ධාන්තික භෞතික විද්‍යාව, දේශපාලනය, දර්ශනය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍යය, සමාජ විද්‍යාව, බුදුදහම (අර්ථකථන යන තේරුමෙන්) ආදී විෂය සම්බන්ධයෙන් වෙයි. මෙරට සන්තතික දෙමළ ඉතිහාසය ලන්දේසි යුගයෙන් ඈතට නො යන බව පෙන්වීමට අපි සමත් වීමු. ලන්දේසීන් විසින් ගෙන්වන ලද වෙල්ලාලයන් මෙරට ජීවත් වූ දෙමළ ජනතාවක්‌ අතර ගිලී ගියා නො ව එවැනි දෙමළ ජනතාවකට අවශෝෂණය වූවා නො ව, යාපනයේ සිටි සිංහලයන්, මලයාලම් කතා කළ වේලක්‌කාරයන් හා දෙමළ කිහිප දෙනකු වෙල්ලාලයන් අතර ගිලා බැස ඇති බව පෙන්වීමත් සමඟ මෙරට දෙමළ සන්තතික ඉතිහාසය ලන්දේසි යුගයෙන් පසුව ඇරඹි බව පෙන්වීමට අපි සමත් වීමු. ඒ ප්‍රවාද මහාවංසය ද නැවත විවරණය කිරීමෙන්, එහෙත් මහාවංස සම්ප්‍රදාය මත ගොඩනැඟුණු එකකි. මේ කරුණු "දි අයිලන්ඩ්" පුවත්පතෙහි කිහිප වතාවක්‌ ම පළ වී ඇති නමුත් මෙතෙක්‌ කිසි ම දෙමළ අයකු ඒ පිළිබඳව අභියෝගයක්‌ කර නැත. කපිල පීරිස්‌ මහතාට අවශ්‍ය නම් බුද්ධිමත් ජනයා හිතුමතේ කරන විවරණවලට අභියෝග නො කරන්නේ යෑයි කිව හැකි ය. එයට අමතරව ආදිවාසියා යන්න වැදි ජනයාට පමණක්‌ යෙදීමට නොහැකි බවත් සිංහලයන් ද පැරැණි ගෝත්‍ර සම්බන්ධතා මත ආදීවාසීන් බවත් අපි පෙන්වා දුනිමු. අප විසින් අපේ ප්‍රවාද ලිපි පෙළ ඔස්‌සේ පමණක්‌ ගොඩනඟන ලද ප්‍රවාද රාශියක්‌ වෙයි. ඒ සියල්ල නැවතත් මෙහි දැක්‌වීමට නොහැකි ය. ඉංජිනේරු තාක්‍ෂණයෙහි අප ප්‍රවාද ගොඩනඟා නැත්තේ අදාළ ක්‍ෂෙත්‍රය මගේ විෂය පථයෙන් බැහැර ව තිබෙන බැවිනි. මහාවංසය ඒ සම්ප්‍රදායෙහි හිඳිමින් නැවත විවරණය කරන්නාක්‌ මෙන් බුදුදහම පිළිබඳ විවරණ ද සිංහල ථෙරවාද සම්ප්‍රදායෙහි හිඳිමින් නැවත විවරණය කිරීමට මම පසුබට නො වෙමි. අටුවා ලියා ඇත්තේ රහතන් වහන්සේලා නො වේ. අපට ද අලුතෙන් අටුවා ලිවීමේ බාධාවක්‌ නැත. මා ලියා ඇති කිසිවකින් මා දන්නා ථෙරවාද බුදුදහමට ප්‍රශ්නයක්‌ වී නැත.

කපිල පීරිස්‌ මහතා ඉහත සඳහන් ඡේදයෙහි දිගින් දිගට ම මේවා යන්න සඳහන් වෙතත් ඒ කුමක්‌ දැයි පැහැදිලි නැත. මේවා යනු ඒ මහතා කියන "අප ගේ ඉංජිනේරු සම්ප්‍රදාය" ද? එසේ නම් ඒ කුමක්‌ ද? කෙසේ වෙතත් ඒක වචන වූ සම්ප්‍රදාය යන්න මේවා නමින් බහු වචන විය නොහැකි ය. මේවා යනු වැව් දාගැබ් ආදී නිමැයුම් විය යුතු ය. කපිල පීරිස්‌ මහතා ඩී. එල්. ඕ මැන්ඩිස්‌ මහතා ආදීන් අනුව යමින් කරන්නේ මේ නිර්මාණ නිව්ටෝනීය සංකල්පවලින් විස්‌තර කර "අප ගේ ඉංජිනේරු සම්ප්‍රදාය" එළි පෙහෙළි කර ගැනීම ය. කපිල පීරිස්‌ මහතාට අනුව මේ නිර්මාණ නිව්ටෝනීය සංකල්ප මගින් පැහැදිලි කිරීම යෝග්‍ය නො වේ යෑයි කියා පසෙකට දැමුවේ නම් අද ඒවා කෞතුකාගාරවල පමණක්‌ රැඳෙනු ඇත. වැව් හා දාගැබ් අද ඉතිරි ව ඇත්තේ බ්‍රොaහියර්ලා ඒවා නිව්ටෝනීය සංකල්පවලින් තේරුම් ගත් බැවිනි. මෙයටත් වඩා විහිළුවක්‌ තවත් තිබිය හැකි ද? රුවන්වැලිසෑය ප්‍රතිසංස්‌කරණය කෙළේ දැනට දශක කිහිපයකට ඉහත දී ය. ඒ ප්‍රතිසංස්‌කරණය කර "කෞතුකාගාරයෙන් එළියට" ගන්නා විට එහි ගතිකත්වය හෝ වෙනත් යමක්‌ හෝ නිව්ටෝනීය සංකල්පවලින් තේරුම් ගෙන තිබිණි ද? ඒ ඔස්‌සේ "අප ගේ ඉංජිනේරු සම්ප්‍රදාය" දැනගෙන තිබිණි ද? අවුරුදු හැත්තෑවකට අසූවකට පෙර රුවන්වැලිසෑය තිබුණේ කඩා වැටුණු දාගැබක්‌ ලෙස ය. එයට සිංහල බෞද්ධයන් අතර එකල ද වැදගත්කමක්‌ ලැබුණේ නිව්ටෝනීය සංදර්භයෙහි එහි වැදගත්කමක්‌ පෙන්වා දී තිබූ නිසා නො ව ඒ දාගැබ අපේ මහා දාගැබ බවට පුරාවිද්‍යාඥයන් හා අනෙක්‌ අය හඳුනාගෙන තිබු බැවිනි. නිව්ටෝනීය සංකල්පවලින් තේරුම් ගත්තත් නැතත් රුවන්වැලිසෑය අපට ගැමුණු රජතුමා කරවූQ මහා සෑය ය. ඒ සෑය අපට වටියි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දන්ත ධාතුන් වහන්සේ අපට වටින්නේ නිව්ටෝනීය සංකල්පවලින් බැරි නම් නිව්ටෝනීය සංදර්භයෙහි උන් වහන්සේලා ගේ වැදගත්කම පෙන්වා දී ඇති නිසා ද? නිව්ටෝනීය සංකල්ප, නිව්ටෝනීය සංදර්භය, නිව්ටෝනීය සුසමාදර්ශය යකාට ගියත් අපට ඒ වස්‌තුන් වටින්නේ ඒ අපේ ඉතිහාසය නිසා ය. ඒ අපේ වර්තමානය නිසා ය. ඒ අපේ අනාගතය නිසා ය. ඒ අපේ ජීවන සම්ප්‍රදාය සමග බැඳුණු නිසා ය. නිව්ටන් ඇතත් නැතත් අපි ඒ "කෞතුකාගාරවල" තැන්පත් වස්‌තු ලෙස නො සලකමු. අපට එහි ඇති වැදගත්කමක්‌ තේරුම් ගන්නට නිව්ටන් අවශ්‍ය නො වේ. කපිල පීරිස්‌ මහතා නම් ජනප්‍රිය ගීතයක්‌ සංශෝධනය කර නිව්ටන් ගේ ඡායාරූපයක්‌ අබියස දණින් වැටී හෝ නො වැටී හෝ කියනු ඇත්තේ කලා වැවෙන් ගත් දිය දෝතක්‌ මට වටී වටී ඔබ නිසා වටී කියා ය.

මහාචාර්ය නලින් ද සිල්වා