|
දොස්‌තර මාමා
කිව්වට මොකද දොස්‌තර මාමට මේ ටිකේ වැඩ ටිකක් වැඩියි. ඔළුවත් ටිකක් අවුල් වෙලා. ඔය
අතරෙ තමයි දොස්‌තර මාමට මතක් වුණේ තමන් ගේ හිතවතෙක් ගෙ මංගල කටයුත්තකට සහභාගි
වෙන්න කියල ආරාධනා කරල තිබුණු වග.
අර ඉස්‌සර දවසක් කිව්ව වගේ දොස්‌තර මාමා තදින් ම විශ්වාස කරනවා මරණෙට මඟුලට නැති
මිනිස්‌සුන් ගෙන් වැඩක් නැත ය කියල. ඒක නිසා ම ද කොහෙද දොස්‌තර මාමට ඕන නෑ වැඩකට
නැති මනුස්‌සයෙක් වෙන්න.
ඉතින් ඔන්න අර කියපු දවසට දොස්‌තර මාමත් ජැන්ඩියට ඇඳගෙන මඟුල් තුලාවට සහභාගි වුණා.
උත්සවේ තිබුණෙ නුවර ටවුම කිට්‌ටුව හෝටලේක. බොහොම අපූරු තැන. මුළු නුවර නගරෙ ම බොහොම
අපූරුවට පේනවා. දොස්‌තර මාම යන කොට වෙලාව එකොළහට විතර ඇති. ඒ වෙන කොටත් හුඟ දෙනෙක්
ඇවිල්ලා. හුඟ කාලෙකට පස්‌සෙ හමු වුණු ඥාති මිත්‍රාදීන් මේස වටේ එකතු වෙලා බර කතාව.
මේ කතාවලට බාධා කරමින් උත්සව ශාලාවෙ එක කෙළවරකින් සංගීත නාදයක් පටන් ගත්තා.
කොණ්‌ඩෙ දිගට වවාගත්ත තරුණයන් තුන් හතර දෙනෙක් සංගීත සාජ්ජෙට මුලපුරන්නයි
ලෑස්‌තිය. තමන් ගෙ සංගීත උපකරණ ටික නිසි පදමට තියෙන බව තහවුරු කරගත්තට පස්‌සේ
පළවෙනි සිංදුව පටන් ගත්තා.
"දෙනුවර මින් පසු එක නුවරක් වෙමි....
ඔබෙ හදවත ම(හ)දෙහි සෙවණැල්ලකි...
යළි හෙට දිනයෙත් අපි හමු වන්නෙමු
අපි සක්‌විති රජ කිරුළු පැළැන්දෙමු...."
යුග ගීතයක් වුණාට අර කොණ්‌ඩෙ වවාගත්ත තරුණයා ම දිගට ම කියාගෙන යනවා. දොස්‌තර මාමත්
බොහොම කැමැති සිංදුවක්. කැමැති වුණාට මොකද පොඩ්ඩක් දුර යන කොට මේ ලස්‌සන සිංදුවෙ
රිද්මය වෙනස් වෙන්න පටන් ගත්තා. රිද්මය විතරක් නම් බැරි යෑ. අර ලොකු බෆල්වලින්
පිට වෙන සද්දෙ දෙගුණ තෙගුණ වුණා. කන් අඩි පැලෙන්න ගානයි. ළඟ ඉන්න කෙනාට වුණත් යමක්
කියන්න කෑ ගහන්න වෙලා. සද්දේ කොච්චර වැඩි ද කියනවා නම් පපුවත් දෙදරනවා. අර
බෆල්වලින් පිට වෙන සද්දේ දොස්‌තර මාමට දැනුණෙ තමන් ගෙ පපුවට මිටියකින් ගහනවා වගේ.
දෙනුවර එක නුවරක් වීම කෙසේ වෙතත් මුළු නුවර ම හෙල්ලෙනව ඇතැයි කියල දොස්‌තර මාමට
හිතුණා.
අලුත් ජෝඩුවට වත්, ඒ දෙන්න ගෙ ඥාති මිත්‍රාදීන්ට වත් මේක වගේ වගක් නෑ. දවල් කෑම
මේසෙත් ඉඳුල් වෙලා. කට්‌ටිය පෝළිමට ඉඳගෙන තම තමන්ට කන්න පුළුවන් ප්‍රමාණය වගේ
දෙගුණයක් විතර පිඟන්වලට පුරවගෙන ආයෙත් හිටපු තැන්වලට ඇවිත් කන්න පටන් ගත්තා. සංගීත
සද්දේ තාමත් අඩුවක් නෑ. දොස්‌තර මාමට නම් දැනුණේ සද්දේ එන්න එන්න ම වැඩි වන වගයි.
"මම ජෙමා කරත්තකාරයා...
මේකයි මගෙ බර බාගේ, පැයට සැතපුමයි වේගේ ......."
දැන් දැන් එන්නේ මේ වගේ සිංදු. දොස්‌තර මාමට නම් ඔළුවෙ කැක්‌කුමකුත් ආවා අර සද්දෙට.
ඒ විතරක් නො වෙයි දොස්‌තර මාම ගෙ නිච්චියෙ හැටියට එතන හිටපු හුඟ දෙනකුටත් මේ සද්දෙ
ඉවසගන්න බෑ. ඒක නිසා සෑහෙන ආතතියක් අමාරුවක් ඇති වෙලා. ඒ වුණාට කවුරුත් ඒක
ප්‍රසිද්ධියෙ කතා කරන්නේ නෑ. ඒ මොකද හුඟ දෙනෙක් හිතන්නේ මේක තමයි මෝස්‌තරේ. ලොකු
හෝටලේක මඟුලක් ගත්තහම කන් අඩි පැලෙන්න සද්දෙ තියෙන්න ඕන කියල. ඕක හොඳ නෑ කියල
කිව්වොත් ගොඩයෙක් කියල සවුත්තු වෙයි කියල තමයි කවුරු කවුරුත් ඒ ගැන කතා කරන්නේ
නැත්තේ.
දොස්‌තර මාම කෑම පිඟානකුත් බෙදාගෙන ශාලාවෙන් එළියට ඇවිත් ඈත කොනකට පුටුවකුත් ඇදගෙන
පිඟාන අතේ තියාගෙන ම කන්න ගත්තා. වැඩිය කන්නත් බෑ. ඔළුවෙ කරකැවිල්ල අර හිටපු ටිකට.
මේ වගේ ඉහළ ශබ්දවලට නිරාවරණය වන එක බාල, තරුණ, මහලු කාටත් එච්චර හොඳ දෙයක් නො
වෙයි. අපේ කන් ඇතුළෙ තියෙන සංවේදී අවයව බොහොම සියුම් ඒවා. විශාල ශක්‌තියක් නිකුත්
කරන ශබ්ද නිසා මේවාට හානි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දීර්ඝකාලීනව ශ්‍රවණ
ආබාධ ඇති වෙන්නත් පුළුවන්. ඒත් කිසි කෙනෙක්‌ට ඒ ගැන උනන්දුවක් නෑ. ගොඩේකම නැති
කරගන්නයි, ලොකුකම පෙන්නන්නයි සද්දෙ තමයි ලොකුවට ඕන.
අනේ අනිච්චං මෙහෙමත් මෝඩ මිනිස්‌සු... දොස්‌තර මාමට හිතුණා.
|
|
|