logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)



සුවපත් වන්නට ද වැදගත් විය හැකි සියරට දේ

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි

ලෙඩකට ලැබෙන ප්‍රතිකාරය තවත් ලෙඩකට රෝගකාරකයක්‌ වන විට ඇති වන්නේ ලෙඩුන් ද, වෙදුන් ද අඩු වැඩි වශයෙන් අසරණ වන ඉඩකඩ ය. එලෙස ඇති වන, නැති ලෙඩට ඉදිරියෙන්, "මාරාන්තික" විශේෂණය යෙදෙන විට ලෙඩ ලද ඇත්තෝ ද සමීපතමයෝ ද අන්ත අසරණ ය.

අසූවේ දශකයේ සිදු වූ වරදකට අනුව, ප්‍රතිකාරයට රෝගකාරකය ද එක්‌ වීමෙන් සිය ජීවිතය අවසන් කොට මෙලොවින් නික්‌මී ගිය හා ජීවත් වීම අදටත් ගැටලුවක්‌ කර ගත් පිරිසක්‌ පිළිබඳව ලියෑවුණු වාර්තාවක්‌ පසුගිය දා එළි දැක්‌වුණේ බ්‍රිතාන්‍යයේ දී ය. ඒ, ප්‍රතිකාර සඳහා ලබා දුන් රුධිර නිෂ්පාදන හරහා එච්අයිවී සහ හෙපටයිටිස්‌ වයිරස ආසාදනයට ලක්‌ ව විපතට පත් වූ හය දහසකට ආසන්න එරට වැසියන් සම්බන්ධයෙන් සැකසුණු වාර්තාවකි. එමගින් මරණයට පත් සංඛ්‍යාව දෙ දහස ඉක්‌මවයි. මේ වාර්තාව ඉදිරිපත් කරමින් එරට සොලිසිටර් ජනරාල් ව සිටි පාර්ලිමේන්තු නියෝජිත පීටර් ආචර් පවසා ඇත්තේ

වැරැදිකරුවන් සොයා නම් කොට සිදු වූ වරද බෙදා දීමට තමන් යොමු නො වූ බව ය.

වැරැදිකරුවන් නම් කිරීමෙන් අදට ලැබෙන ප්‍රතිඵලයක්‌ නොමැති බවත් එවැන්නක යෙදීමට දැන් පමා වැඩි බවත් එහි සදහන් ය.

ඒඩ්ස්‌ පිළිබඳව මෙයින් වසර විසි අටකට පෙර 1981 දී මුලින් ම ලොවට ඇසෙන විට එය ලැබෙන ආකාරය ලෙස සටහන් වූයේ ආනාරක්‌ෂිත නො ගැලපෙන ලිංගික සබඳතා ය. ඒඩ්ස්‌ වෙනත් ආකාරයකට ද ලැබිය හැකි බව 1982 දී ප්‍රකාශ වූයේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හීමොෆිලියා රෝගීන් තිදෙනකු සිය ප්‍රතිකාරය ලෙස ලබා ගත් රුධිර නිෂ්පාදන මගින් ඒ ආසාදනයට ද පත් වීමත් සමග ය. 1983 දී අදාළ රුධිර නිෂ්පාදන සැපයූ සමාගම ද පිළිගෙන ඇත්තේ එවැන්නක්‌ සිදුවීම සම්බන්ධයෙන් සාක්‌ෂි පවතින බව ය.

1984 දී අදාළ රුධිර නිෂ්පාදන සැපයීමෙහි නිරත වූ ඇතැම් සමාගම් සිය නිෂ්පාදන ක්‍රමවේදයන්හි වෙනසකට පියවර ගෙන ඇත්තේ ද මේ අනුව ය. එහෙත් සිය සැපයීම් සඳහා ඉදිරි වසර කිහිපයකට ඒ වන විටත් ගිවිසුම්වලට එළඹ සිටීමත්, එමගින් ගිවිසගත් මිලට නව නිෂ්පාදන සැපයීම අපහසු වීමත් අනුව ඇතැම් සමාගම් පැරැණි ක්‍රමවේදයන්ට අනුකූලව නිපැයූ රුධිර නිෂ්පාදන තවත් වසර කිහිපයක්‌ ගත වන තෙක්‌ නිකුත් කළ බව ද සඳහන් ය. එහි දී ද බලවත් හා බලවත් නො වන ඇත්තන්ට බෙදීමේ දී බොහෝ තැන්වල පිළිබිඹු වන හැඳි දෙකේ පිළිවෙත ක්‍රියාවට නැඟුණු ආකාරය ද පැහැදිලි ය. ඇතැම් සමාගම් පැරැණි ක්‍රමවේදයට නිපැයූ රුධිර නිෂ්පාදන ලතින් ඇමෙරිකාවට සහ ආසියාවටත් නව ක්‍රමවේද භාවිතයෙන් නිපැයූ දේ බටහිර රටවලටත් සැපයීමට යොමු ව ඇත්තේ ඒ අනුව ය. එහෙත් එහි දී ද සමාගමේ අරමුණ හා ගනුදෙනුවට අදාළව ගිවිසගත් පරිදි ඇතැම් බටහිර රටවලට ද රෝගකාරක ලැබී ඇත්තේ නියමිත ප්‍රමිතියකින් පාලනයකින් තොරව ය.

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සමාගම් මගින් සැපයූ රුධිර නිෂ්පාදන ප්‍රතිකාර ලෙස ලබාගත් හීමොෆීලියා රෝගීන් ගෙන් බ්‍රිතාන්‍යයේ දී 4670ක්‌ හෙපටයිටිස්‌ සී ආසාදනයට ද, 1243ක්‌ එච්අයිවී ආසාදනයට ද ලක්‌ වන්නේ ඒ අනුව ය. එලෙස හීමොෆීලියා රෝගීන් 2000ක්‌ කැනඩාවේ දී ද, 4000ක්‌ ප්‍රංශයේ දී ද, 1400ක්‌ ජපානයේ දී ද, 1300ක්‌ ඉතාලියේ දී ද එච්අයිවී ආසාදනයට ලක්‌ වූ බව සඳහන් ය ආසියාවේ බොහෝ රටවලට ද එච්අයිවී ආසාදනය ද හෙපටයිටිස්‌ සී ආසාදනය ද ආනයනික රුධිර නිෂ්පාදන මගින් පැතිරුණු ආකාරය එලෙසින් ම පැහැදිලි ය.

හීමොෆීලියාව යන වචනය ඇසූ පමණින් ම බොහෝ දෙනකු ගේ මතකයට පිවිසෙන්නේ ප්‍රවේණිගත රෝගයක්‌ පිළිබඳව ය. රුධිර වහනයක්‌ සිදු වන විටෙක දී එය වැළැක්‌වීමට, අවම කිරීමට සිරුරින් විය යුතු පාලනයේ, පවතින දුබලතාව රෝගයට හේතුවයි. ජීවිතය පවත්වා ගැනීමට සිරුරේ සියලු අහුමුලු වෙත දිවෙන රුධිරවාහිනී තුළ ගලා එන රුධිරය ද්‍රවමය ස්‌වභාවයක තිබිය යුතු ය. එපමණක්‌ නො ව රුධිරවාහිනිවල ඇති දුබලතාවකින් හෝ බැහැරින් සිදු වන අනතුරකින් හෝ සිදු වන ඇතුළත හෝ පිටත රුධිර වහනයක්‌ නිසි ලෙස පාලනය වීමට කැටි ගැසීමේ හැකියාව ද රුධිරයට පැවතිය යුතු ය. එලෙස අවැසි විටෙක කැටි ගැසීමේ හැකියාව රුධිරයට ලබා දෙන එහි පවතින සංඝටක බොහෝ ය. ඒවා හැඳින්වෙන්නේ රුධිර කැටි ගැසීමේ සාධක (Clotting Factors) වශයෙනි.

හීමෝෆීලියා "ඒ" රෝගයේ දී සිදු වන්නේ රුධිර කැටිගැසීමේ අටවැනි සාධකය අඩු වීම ය. හීමෝෆිලියා "බී" රෝගයේ දී අඩු වන්නේ රුධිර කැටිගැසීමේ නවවැනි සාධකයයි. රුධිර කැටි ගැසීමට අවැසි මේ සාධක අඩු වන ප්‍රමාණය අනුව රෝග ලක්‌ෂණයේ හෙවත් රුධිර වහනයේ බරපතල බව වෙනස්‌ වනු ඇත. හීමෝෆීලියා රෝගයේ උරුමය උපතේ දී ම ලැබෙන මුත් රෝග ලක්‌ෂණ පහළ වන්නේ මාස කිහිපයකින් පසුව ය. දණගෑමට, ඇවිදීමට උත්සාහ දරන කාලයේ දී සන්ධිවල හෝ පේශි අතර සිදු වන ලේ ගැලීම් සුලබව ඇති විය හැකි ය.

හීමෝෆීලියා රෝගියකුට රුධිර වහනයක්‌ ඇති විට එය පාලනය කිරීම සඳහා බැහැරින් රුධිර කැටි ගැසීමේ සාධක ලබා දීම අවශ්‍ය ය. රුධිර කැටි ගැසීමේ සාධක රුධිරයෙන් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු වන්නේ පරිත්‍යාගශීලියකු ගෙන් රුධිරය ලබාගෙන විසි හතර පැයක්‌ ඉක්‌මවීමට මත්තෙනි. එලෙස වෙන් කොටගන්නා රුධිර කැටි ගැසීමේ සාධක අධි ශීතකරණයක සෙල්සියස්‌ අංශක සෘණ 30ක පහළ උෂ්ණත්වයක පවත්වා ගැනීමෙන් වසරක කාලයක්‌ දක්‌වා ඒවා භාවිතයට ඉඩ සැලසෙනු ඇත.

පරිත්‍යාගශීලියකු ගෙන් ලබා ගන්නා රුධිරය බොහෝ විට විසි හතර පැයක්‌ ඇතුළත ප්‍රධාන කොටස්‌ දෙකකට වෙන් කොට ගැනෙන්නේ සෛල (Packed cells) කොටස සහ දියර කොටස වන අලුත් ප්ලාස්‌මාව (Fresh plasma) ලෙසිනි. රුධිර කැටි ගැසීමේ සාධක සාන්ද්‍රණ (Cryo precipitate) නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනෙන්නේ මේ අලුත් ප්ලාස්‌මාව ය. වෙන් කොට ගන්නා අලුත් ප්ලාස්‌මාවේ රුධිර කැටි ගැසීමේ සාධක පවතින්නේ වැඩි දියර පරිමාවක්‌ තුළ ය. එය ද සෙල්සියස්‌ අංශක සෘණ 30ක පහළ උෂ්ණත්වයක අලුත මිදුණු ප්ලාස්‌මාව (Fresh Frozen plasma) ලෙස වසරක කාලයක්‌ භාවිතයට පවත්වාගත හැකි ය. රුධිර කැටි ගැසීමේ සාධක සාන්ද්‍රණයක (Cryo precipitate) වැඩි සාධක ප්‍රමාණයක්‌ අඩු දියර පරිමාවකට සීමා වී ඇත. එහෙයින් හීමොෆීලියා වැනි රුධිර වහනය පාලනයක්‌ අවශ්‍ය වන තත්ත්වයක දී වඩාත් ප්‍රතිඵලදායක ලෙස යොදා ගත හැකි වන්නේ රුධිර කැටි ගැසීමේ සාධක සාන්ද්‍රණයන් ය.

අසූවේ දශකයේ අග භාගය තෙක්‌ ලෝකයේ බොහෝ රටවල රුධිර පාරවිලයනයකට පෙර අදාළ රුධිර සාම්පල එච්අයිවී රුධිර පරීක්‌ෂණයකට ලක්‌ නො වීමෙන් හීමෝෆීලියා රෝගීන් දහස්‌ ගණනකට ප්‍රශ්න ඇති කළ බව පැහැදිලි ය. රුධිරය හරහා පැතිරිය හැකි හෙපටයිටිස්‌ බී සහ සී ආසාදනයන්ට මේ රෝගීන් විශාල පිරිසක්‌ ලක්‌ ව ඇත්තේ ද, ලබා දෙන රුධිර සාම්පල වෙනුවෙන්, අදාළ පරීක්‌ෂාවන් අසූවේ දශකය පසු වන තෙක්‌ බොහෝ රටවල ක්‍රියාත්මක ව නො පැවැති නිසා ය.

එහෙත් ශ්‍රී ලංකාවේ දී හීමොෆීලියා රෝගීන්, සංවර්ධනයෙන් ද තාක්‌ෂණයෙන් ද ඉහළ හා දියුණු යෑයි පැවසෙන ලොව බොහෝ රටවල හීමොෆීලියා රෝගීන්ට ද වඩා බෙහෙවින් වාසනාවන්ත ය. අසූවේ දශකයේ දී පවා ආනයනික රුධිර කැටි ගැසීමේ සාධක සාන්ද්‍රණ ශ්‍රී ලංකාවේ හිමෝෆීලියා රෝගීන් වෙනුවෙන් භාවිත වූයේ බෙහෙවින් සීමිතව ය. නිවැරැදිව සඳහන් කළ හොත් භාවිතය සිදු වූයේ නැති තරම් ය.

ජාතික ලේ දීමේ සේවයෙන් මේ රෝගීන් සඳහා අවැසි විට දී සපයන ලද්දේ අපේ රුධිර පරිත්‍යාගශීලීන් ලබා දුන් රුධිරයෙන් සකසා ගත් අලුත් රුධිර ප්ලාස්‌මාව ය. (Fresh Frozen plasma), තවත් වසර කිහිපයක දී රුධිර කැටි ගැසීමේ සාධක සාන්ද්‍රණ නිපැයුම ද ශ්‍රී ලංකාවේ දී සිදු වූ හෙයින් ප්‍රතිකාරය තවත් පහසු විය. ඒ අනුව හීමොෆීලියා ප්‍රතිකාරයේ දී කිසිදු රෝගියකු ශ්‍රී ලංකාවේ දී එච්අයිවී. ආසාදනයකට ලක්‌ වූයේ නැත.

1986 දී එච්අයිවී ආසාදනය ශ්‍රී ලංකාවේ වාර්තා වීමෙන් අනතුරුව තවත් දෙවසරක කාලයක දී එනම් 1988 දී ලබාගන්නා සියලු රුධිර සාම්පල රුධිර පාරවිලයනයකට පෙර එච්අයිවී රුධිර ප්‍රතිදේහ පරීක්‌ෂණයට (HIV antibody test) ලක්‌ වීම ඇරඹිණි. එහෙයින් රුධිරය හෝ රුධිර නිෂ්පාදන හරහා හෝ එච්අයිවී ආසාදනයකට ඇති ඉඩ තව තවත් ඇහිරුණු බව පැහැදිලි ය.

හිරු නො බසින අධිරාජ්‍යය ඇතුළු දියුණු යෑයි සම්මත තවත් රටවලට මෙලෙස අදටත් වාර්තා ලියන්නට, උත්තර බඳින්නට ඉඩ ඇති කළ

වරද ශ්‍රී ලංකාවේ දී නො සිදු වීම අගය කළ යුතු ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය බෙහෙවින් සරල ය. අපේ හීමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය රුධිර නිෂ්පාදන ප්‍රතිකාරය රට තුළින් ම සොයා ගැනීමෙන් සෑහීමට පත් වීමට ජාතික ලේ දන්දීමේ සේවය එදවස ගත් ක්‍රියාමාර්ගයන්හි සාර්ථක බව අද වන විට මැනැවින් පැහැදිලි වන්නේ ඒ අනුව ය. සුවපත් වීමට ද සිය රට දේ වැදගත් වන බව එමගින් පැවසෙන පණිවිඩය ය.