logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දෙවියන් වහන්සේලා හා විද්‍යා

මහාචාර්ය නලින් ද සිල්වා

අපේ විද්‍යාවක දෙවියන් වහන්සේ නැත. එපමණක්‌ නො ව ඊනියා යථාර්ථයක්‌ ද නැත. එහෙත් බටහිර විද්‍යාවෙහි යථාර්ථයක්‌ ද දෙවියන් වහන්සේ ද වෙති. දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති යථාර්ථය අප සිටියත් නැතත් පවතියි. ඒ වාස්‌තවික ය. බටහිර විද්‍යාඥයන් ඇතැමෙක්‌ දෙවියන් වහන්සේ නො පිළිගනිති. එහෙත් ඔවුහු යථාර්ථය පිළිගනිති. ඔවුන්ට යථාර්ථය දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති දෙයක්‌ නො වේ. යථාර්ථය එනම් වාස්‌තවික යථාර්ථය කෙසේ ඇති විණි දැයි කීමට ඔවුහු නො දනිති. මෙයට අවුරුදු බිලියන 13.7කට පමණ පෙර විශ්වය ඇති වූ බවත් ඉන්පසු ක්‍රමයෙන් ඒ විකාශය වී මිනිසුන් සහිත වත්මන් ලෝකය (විශ්වය) නිර්මාණය වී ඇති බවත් ඔවුහු පිළිගනිති. ඒ විශ්වයෙහි පොල් ගෙඩි පොළොවට වැටෙන බව දන්නා ඔවුහු ඒ සිදු වන්නේ කෙසේ ද යන්න සොයා ගන්නේ යෑයි සිතති.

පොල් ගෙඩියක්‌ ඇති වීම හා පොළොවට වැටීම අපෙන් තොර ව සිදු වන්නේ යෑයි ඔවුහු සිතති. පොල් ගසෙහි මුදුනෙහි වල්ලක හටගන්නා එක්‌තරා ආකාරයක හැඩයක්‌ ඇති පාටක්‌ ඇති ගෙඩි, පොල් ගෙඩි නමින් හැඳින්වෙයි. අප වැනි මිනිසුන් ලෝකයේ සිටියත් නැතත් පොල් ගස්‌ හා පොල් ගෙඩි ඇති බවට ඔවුහු තර්ක කරති. එසේ ඇති පොල් ගෙඩි ඉඳහිට අප සිටියත් නැතත් පවතින පොළොවට වැටෙන්නේ කෙසේ ද යන්න බටහිර විද්‍යාඥයින්ට ඇති ප්‍රශ්නය වෙයි. එයට ද වාස්‌තවික හේතුවක්‌ ඇතැයි සිතන ඔවුහු ඒ හේතුව සොයාගැනීමට උත්සාහ කරති. පොල් ගස්‌ හා පොල් ගෙඩි සහිත යථාර්ථය දෙවියන් වහන්සේ විසින් මවන ලද ද නැත් ද යන්න මෙහි දී ප්‍රශ්නයක්‌ නො වේ. දෙවියන් වහන්සේ මැව්වත් නැතත් ඇතැම් බටහිර විද්‍යාඥයන් සිතන්නේ පොල් ගෙඩියේ යථාර්ථය අපෙන් ස්‌වායත්ත ව පවතින බව ය.

එහෙත් මෙහි දී කිව යුතු කරුණක්‌ වෙයි. දෙවියන් වහන්සේ විශ්වය මවා ඇත් ද නැත් ද යන්න මේ ආකල්පවලට හා උපකල්පනවලට බල නො පාන බව පැහැදිලි කරගත යුතු ය. අපෙන් තොර යථාර්ථය දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇති බව ඇතැම් විද්‍යාඥයන් පිළිගන්නා අතර ඇතැම්හු ඒ නො පිළිගනිති. ඒ කුමක්‌ වුවත් ඔවුන් සියලු දෙනා ම වෙහෙසෙන්නේ අපෙන් තොර ව, අපෙන් ස්‌වායත්ත ව ඇති මේ යථාර්ථය තේරුම් ගැනීමට ය. යථාර්ථය හෙවත් වාස්‌තවික යථාර්ථය ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට දෙන පිළිතුර සම්බන්ධයෙන් පමණක්‌ ඔවුහු වෙනස්‌ වෙති. එක්‌ පිරිසකට අනුව වාස්‌තවික යථාර්ථය දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇත. අනෙක්‌ පිරිසට අනුව ඒ නිර්මාපකයකු රහිත ව නිර්මාණය වී ඇත. එනම් මැවී ඇත. එක්‌ පිරිසකට නිර්මාපකයකු සහිත නිර්මාණයක්‌ වෙයි. අනෙක්‌ පිරිසට නිර්මාපකයකු රහිත නිර්මාණයක්‌ වෙයි.

මෙහිදී වැදගත් වන්නේ නිර්මාණය ය. නිර්මාණය අහවලා ගේ යෑයි පිරිසක්‌ කියන අතර අනෙක්‌ පිරිසට එසේ කීමට අහවලකු නැත. අනෙක්‌ අතට නිර්මාපකයා ගැන කියන පිරිස ගෙන් නිර්මාපකයා ඇති වූයේ කෙසේ දැයි ඇසුව හොත් ඔවුන්ට එයට පිළිතුරක්‌ නැත. දෙවැනි පිරිසට යථාර්ථය ආකස්‌මිකව ඇති වී තිබෙන අතර පළමු වැනි පිරිසට දෙවියන් වහන්සේ ආකස්‌මිකව ඇති වී තිබේ. එහෙත් මෙහි දී වැදගත් වන්නේ දෙපිරිසට ම මූල හේතුවක්‌ තිබීම ය. දෙපිරිස අතර වෙනස ඇති වන්නේ මූල හේතුව කුමක්‌ ද යන්න සම්බන්ධයෙන් පමණකි. එහෙත් මූqල හේතුවක්‌ ඇතැයි යන්න පිළිබඳ ඔවුන් අතර ප්‍රශ්නයක්‌ පැන නො නඟියි.

මේ ස්‌ථාවර දෙක අතර විශාල වෙනසක්‌ නැත. ස්‌ථාවර දෙක ම පැනනඟින්නේ අපෙන් වෙන් වූ නිර්මාණයක්‌, නිර්මාපකයකු ඇතැයි කියන සංස්‌කෘතියක ය. එක්‌ ස්‌ථාවරයක මූල හේතුව ප්‍රාණවාචී වෙයි. අනෙක්‌ ස්‌ථාවරයෙහි මූල හේතුව අප්‍රාණවාචී වෙයි. එහෙත් මෙහි දී වුව ද ඇතැමුන් වෙනසක්‌ නො දකිනු ඇත. එයට හේතුව දෙවියන් වහන්සේ ප්‍රාණවාචී ද නැත් ද යන්න ගැන අප නිසි ලෙස නො දැනීම ය. දෙවියන් වහන්සේට ඇත්තේ ද අනෙක්‌ සත්ත්වයනට මෙන් වූ ප්‍රාණයක්‌ ද? එයටත් එහා ගොස්‌ දෙවියන් වහන්සේ හුදු ජීවයක්‌ පමණක්‌ ද යන ප්‍රශ්නය නැඟිය හැකි ය. දෙවියන් වහන්සේ ගේ ජීවය හෝ ප්‍රාණය හෝ ගැන අප නො දන්නේ නම් උන්වහන්සේ ප්‍රාණවාචී නැත් ද යන්න එතරම් ගැටලුවක්‌ බවට පත් නො වෙයි.

මූල හේතුව ප්‍රාණවාචී ද නැත් ද යන ප්‍රශ්නය වැදගත් නො වෙයි. ලෝකයට (විශ්වයට) පටන් ගැන්මක්‌ ඇත. ඒ පටන් ගැන්මෙන් පසු ලෝකය විකාශය වෙයි. එමෙන් ම ලෝකයෙහි ඒ ඒ වස්‌තු හැසිරෙන ආකාරය පිළිබඳ නීති, නියම වෙයි. මේ නීති ගැන ද ඇත්තේ කලින් සඳහන් වෙනස පමණ ය. බටහිර ඇතැමුන්ට අනුව ඒ නියම ද දෙවියන් වහන්සේ විසින් මවනු ලැබ ඇත. දෙවියන් වහන්සේ විශ්වය පමණක්‌ නො ව විශ්වයට ම බලපාන නියම ද මවා ඇත. අනෙක්‌ පිරිසට අනුව ඒ නියම අපෙන් තොර ව, අපෙන් ස්‌වායත්ත ව පවතියි. ඒ නියමවලට ද මැවුම්කරුවකු නොමැත. එහෙත් නියම වෙයි. බටහිර විද්‍යාඥයන්ට කරන්නට ඇත්තේ එක්‌කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද එසේත් නැතිනම් ආකස්‌මිකව පහළ වූ මේ නියම සොයා ගැනීම ය.

මෙහි දී ද අපට පෙනී යන්නේ මේ ස්‌ථාවර දෙක අතර වෙනසක්‌ නැති බව ය. ලෝකය පිළිබඳ නියම ඒ භෞතික වේවා, ජෛවීය වේවා, සමාජයීය වේවා, එක්‌කෝ අපෙන් තොර ව (දෙවියන් වහන්සේ) මවා ඇත. එසේත් නැතිනම් මැවී ඇත. බටහිර විද්‍යාඥයින්ට කිරීමට ඇත්තේ මේ නියම කවරේ දැයි සොයා ගැනීම ය. දැන ගැනීම ය. දෙවියන් වහන්සේ ගැන විශ්වාස කළත් නො කළත් මේ ස්‌ථාවර ඇති විය හැක්‌කේ අපෙන් තොර මූල හේතුවක්‌ ගැන විශ්වාස කරන සංස්‌කෘතියක ය. එවැනි සංස්‌කෘතීන්හි හා නිර්මාපකයා අපෙන් තොර ව පවතියි. ඒ සඳහා හොඳ ම උදාහරණ වනුයේ යුදෙව් සංස්‌කෘතිය, යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා මුස්‌ලිම් සංස්‌කෘතිය ය.

මෙහි දී පෙනී යන කරුණ නම් අපෙන් තොර වාස්‌තවික යථාර්ථය යනු ලෝකය (විශ්වය) පමණක්‌ නො ව ඒ පිළිබඳ නියම ද වන බව ය. නියම ද විශ්වයේ ආරම්භයේ දී ම එක්‌කෝ නිර්මාණය කළ යුතු ය. නැත්නම් නිර්මාණය වී තිබිය යුතු ය. එසේ නැත්නම් විශ්වයට විකාශය විය නොහැකි ය. දෙවියන් වහන්සේ ඒ ඒ අවස්‌ථාවේ දී මැදිහත් වී නියම නිර්මාණය කරමින් විශ්වය තමන්ට අවශ්‍ය තැනකට ගෙන යැමක්‌ ඉහත කී සංස්‌කෘතීන්හි දක්‌නට නො ලැබෙයි. දෙවියන් වහන්සේ එක්‌ වරක්‌ පමණක්‌ මැදිහත් වී විශ්වය සමගින් නියම ද නිර්මාණය කරයි. ඒ නිර්මාණයට මිනිස්‌ දින හයක්‌ ගත වන්නට ඇත. ඒ දේව දින හෝ දේව විනාඩි හෝ දේව තත්පර හෝ කීය දැයි අපි නො දනිමු. කාලය කොපමණ වුවත් ඒ එක්‌ වරකට පමණක්‌ සීමා වන නිර්මාණයකි. එසේ එක්‌ වරක දී විශ්වය නිර්මාණය කරන දෙවියන් වහන්සේ ඉන්පසු ලෝකයෙන් වෙන් වෙයි.

එපමණක්‌ නො වේ. කාලය ද දෙවියන් වහන්සේ ගේ නිර්මාණයකි. දෙවියන් වහන්සේ කාලය මැවීමට පෙර යන්න අර්ථ ශූන්‍ය කියමනක්‌ වන්නේ කාලය මැවීමට පෙර කාලය යන්න නැති බැවින්, පෙර යන්න ද නැති බැවිනි. දෙවියන් වහන්සේ ලෝකය මැවීමට පෙර කුමක්‌ කෙළේ ද යන්න අර්ථ ශූන්‍ය වන්නේ කාලය මවා නැති විට පෙර යන්න අර්ථ නො දැක්‌වෙන බැවිනි. දෙවියන් වහන්සේ නැති වුවත් අනෙක්‌ කොටසට ද ඒ සියල්ල වලංගු වෙයි. විශ්වයේ නිර්මාණය සමග නියම පමණක්‌ නො ව කාලය ද නිර්මාණය වෙයි. එබැවින් ඒ අර්ථ දැක්‌වීමෙහි ද විශ්වය නිර්මාණය වීමට පෙර කුමක්‌ තිබිණි ද යන්න අර්ථ ශූන්‍ය ප්‍රශ්නයකි.

එහෙත් හින්දු සංස්‌කෘතියෙහි හෝ කතෝලික සංස්‌කෘතියෙහි හෝ එවැනි ලෝකයෙන් වෙන් වූ දේව නිර්මාණ නැත. එහි ද දෙවියන් වහන්සේ විසින් හෝ බ්‍රහ්මන් විසින් හෝ ලෝකය (විශ්වය) නිර්මාණය කෙරෙයි. එහෙත් ඒ දෙවියන් වහන්සේ හෝ බ්‍රහ්මන් හෝ ලෝකයෙන් හා මිනිසුන් ගෙන් වෙන් වූ අයෙක්‌ නො වෙති. මෙහි දී බ්‍රහ්මන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. බ්‍රහ්මන් ලෝකය නිර්මාණය කරන්නේ මකුළුවකු දැලක්‌ නිර්මාණය කරන ආකාරයට ය. දැල නිර්මාණය වන්නේ මකුළුවා ගේ මුවින් ගලන ද්‍රවයකිනි. මකුළුවා හා මකුළු දැල එකිනෙක සමඟ බැඳී පවතී. මකුළුවා මකුළු දැලෙන් වෙන් වී නො පවතියි. එමෙන් ම බ්‍රහ්මන් හා ලෝකය අතර බැඳීමක්‌ වෙයි. බ්‍රහ්මන් ලෝකය මවන්නේ ශිව දෙවියන් ලෙස ය. ලෝකය පවත්වාගෙන යන්නේ විෂ්ණු දෙවියන් ලෙස ය. අවසානයේ දී ලෝකය විනාශ කරන්නේ ඊශ්වර දෙවියන් ලෙස ය. එක ම බ්‍රහ්මන් ගේ ත්‍රිමුර්තියක්‌ වෙයි. හින්දුන් ගේ ත්‍රිශුලයෙන් සංකේතවත් වන්නේ මේ ත්‍රිමූර්තිය ය.

ඒ අතර බ්‍රහ්මන් ගේ අවතාර විෂ්ණු ගේ අවතාර ලෙස ලෝකයට එයි. එසේ පැමිණෙන විෂ්ණු මිනිසුන් සමඟ සම්බන්ධකම් පවත්වයි. මිනිස්‌ ස්‌ත්‍රීන්ට පෙම් කරයි. විෂ්ණු ගේ අවතාර දහයක්‌ ගැන කියෑවෙන නමුදු ඉන් වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ක්‍රිෂ්ණ ය. බුදුන් වහන්සේ ද විෂ්ණු ගේ අවතාරයක්‌ ලෙස සැලකෙයි. ඇතැම් සිංහල උපකාරක පංති විශාරදයන් කුමක්‌ කීව ද අවතාර යන්නෙහි අව යනු උපසර්ගයක්‌ යෑයි කියෑවෙයි. එහි අව යන්නෙන් වැටීමක්‌, තත්ත්වයෙන් පහළ දැමීමක්‌ ආදී තේරුම් ගෙන දෙයි. අවපාතය යන්නෙහි පමණක්‌ නො ව අවකලනය යන්නෙහි ද එවැනි වැටීමක්‌ ගැන කියෑවෙයි. ශ්‍රිතයක්‌ අවකලනයෙන් පසු අපට ලැබෙන්නේ එකතුවක්‌ නො වේ. බහුපදයක්‌ අවකලනය කිරීමෙන් ලැබෙන ශ්‍රිතයෙහි මාත්‍රය අඩු වෙයි. ඒ කෙසේ වෙතත් හින්දු සංස්‌කෘතියෙහි බුදුන් වහන්සේ විෂ්ණු ගේ අවතාරයක්‌ ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ ගේ තත්ත්වය පහතට දැමීමෙනි.

කතෝලික සංස්‌කෘතියෙහි ද දෙවියන් වහන්සේ ලෝකය මැවීමෙන් පසු පැත්තකට වී ලෝකය සමග ගනුදෙනුවක්‌ නොමැති ව නො සිටිති. කතෝලික ආගමට අනුව ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා ය. එමෙන් ම දෙවියන් වහන්සේ ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරියතුමිය ගේ කුසින් ඉපදුණ හ. වෙනත් අයුරකින් කියන්නේ නම් දෙවියන් වහන්සේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ වෙසින් ලෝකයට පැමිණිය හ. මෙහි ලෝකයට පැමිණෙන විෂ්ණු ගේ අවතාර සමඟ සම්බන්ධයක්‌ දැකිය හැකි ය. ක්‍රිස්‌තියානි ආගමෙහි ද දෙවියන් වහන්සේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ වෙසින් ලෝකයට පැමිණිය ද මරියතුමියට ඒ ආගමෙහි විශේෂිත තැනක්‌ නො ලැබෙයි. හින්දු චින්තනයෙහි මෙන් ම කතෝලික චින්තනයෙහි ද න්‍යාය වනුයේ ත්‍රිකෝටික න්‍යාය ය.

හින්දු ආගමෙහි හා කතෝලික ආගමෙහි නිර්මාපක බ්‍රහ්මන් හා දෙවියන් වහන්සේ, යුදෙව් ආගමේ, ක්‍රිස්‌තියානි ආගමේ හා ඉස්‌ලාම් ආගමෙහි දෙවියන් වහන්සේට වඩා නිර්මාණය සමඟ බැඳෙයි. හින්දු ආගමෙහි හා කතෝලික ආගමෙහි ද දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කරන නමුත් ඒ වියුක්‌ත දෙවියන් වහන්සේ නො වෙති. ඒ අදාළ සංස්‌කෘතීන්හි වියුක්‌ත චින්තනය ද එතරම් නැත. දෙවියන් වහන්සේ ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ නිර්මාණය කර ලෝකයෙන් වියෝ නො වී ය. ඒ සංස්‌කෘතීන්හි වියුක්‌ත වාස්‌තවික විද්‍යාවක්‌ බිහි නො විණි. දෙවියන් වහන්සේ සිටිය දී ද ඒ සංස්‌කෘතීන්හි බටහිර විද්‍යාවක්‌ බිහි නො වුණු කල දෙවියන් වහන්සේ (හෝ ඊනියා යථාර්ථය හෝ) ඉවත් කළ පමණින් බටහිර විද්‍යාව අපේ විද්‍යාවක්‌ වන්නේ යෑයි කිව හැක්‌කේ අඳබාල මුග්ධයකුට පමණකි.