logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ව්‍යාපාරික මට්‌ටමෙන් කිරිදෙනුන් ඇති කිරීම

ඉදිරිපත් කිරීම කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

අතීතයේ දී විශාල වශයෙන් ගවපට්‌ටි පවත්වාගෙන ගිය බොහෝ දෙනෙක්‌ අද එයින් ඈත් ව සිටිති. ගෙවල ඇති කළ ගවයින් එකකු හෝ දෙදෙනකු සිටිය ද අද ඒ තත්ත්වය ද වෙනස්‌ වී ගොසිනි. ඒ කාලයේ සිය නිවසට සෑහෙන කිරි ප්‍රමාණය දොවා ගැනීමට හෝ ඇති කරන ලද දෙනුන් ගේ ප්‍රමාණය අඩු වී ගොසිනි. කිරිදෙනුන් ඇති කිරීමට යන වියදම, ජීවන රටාවන් වෙනස්‌ වීම, ඉඩකඩම් සීමා වීම ආදිය මේ තත්ත්වයට හේතු වී ඇත.

උසස්‌ නිෂ්පාදනයක්‌ ඇති කිරි දෙනක ඇති කිරීමෙන් විශාල ලෙස කිරි අවශ්‍යතා සපුරා ලිය හැකි ය.. සෑම ගෙදරක ම කිරි සුළු ප්‍රමාණයක්‌ ලබා ගන්නා දෙනක බැගින් ඇති කරනවාට වඩා වැඩි කිරි නිෂ්පාදනයක්‌ ඇති දෙනුන් පවුල් කිහිපයකට දෙනක බැගින් ඇති කළ ද සෑහෙයි. එම කිරි අලෙවි කර පවුල් කිහිපයක අවශ්‍යතාව ඉටු කළ හැකි ය. එමෙන්ම එය හොඳ ආදායම් මාර්ගයක්‌ ද වනු ඇත. පිරිසිදුව නිෂ්පාදනය කරනු ලබන කිරි පරිභෝජනයට කවුරුත් කැමැති ය. කිරිපිටි දියකර බොනවාට වඩා නැවුම් කිරි කෙතරම් පෝෂ්‍යදායක ද යන්න කවුරුත් දන්නා කරුණකි.

කිරි එළදෙනක නිවසට සිරියාව කැන්දන බව කවුරුත් දන්නා දෙයකි. රළු තන්තුවලින් යුක්‌ත වූ සෙලියුලෝස්‌මය ශාක කොටස්‌ හොඳින් ජීර්ණය කරගත හැකි යන්ත්‍රයක්‌ ලෙස ගවයන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියා කරයි. සංයුක්‌ත ආමාශයක්‌ ඇති ඔවුහු විශාල ආහාර ප්‍රමාණයක්‌ ගබඩා කර ගනිමින් ඒවා නැවත වමාරා කන අතර ම අපට ප්‍රයෝජනයට ගත නොහැකි ශාක කොටස්‌ කිරි හා මස්‌ බවට පත් කර දෙති. බැහැර වන දේ වටිනා පොහොරක්‌ ලෙසට යොදාගත හැකි ය. මේ නිසා ගවයා ඉතා උසස්‌ ලෙස ගෞරවයට පාත්‍ර විය යුතු ය.

ව්‍යාපාරික වශයෙන් කිරි දෙනුන් ඇති කිරීමේ දී හොඳ සැලැස්‌මක්‌ තිබීම අවශ්‍ය ය. මෙහි දී දෙනක ගෙන් උපරිම පැටවුන් සංඛ්‍යාවක්‌ ලබාගැනීමත් කිරි මුරය තුළ උපරිම කිරි අස්‌වැන්නක්‌ ලබා ගැනීමත් මඟින් අරමුණු ඉටු කරගත යුතු ය.

කිරි දෙනක ගෙන් වැඩි පැටවුන් සංඛ්‍යාවක්‌ ලබාගැනීමත් සමග වැඩි කිරි ප්‍රමාණයක්‌ ලබාගැනීමට නිරතුරුව ම සිදු වේ. මෙහි දී කිරිමුරය තුළ ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කර ගැනීමට සැලකිල්ල යොමු කළ යුතු ම ය. අලුත පැටවකු ලබා දී ඊළඟ මාස 3ක කාලය තුළ දෙන නැවත ගැබ් ගැන්වීම කළ යුතු ය. බොහෝ දෙනෙක්‌ කිරි මුරය අවසානය දක්‌වා ම කිරි දොවාගෙන එම දෙන විකුණා වෙනත් ගැබ් දෙනක මිල දී ගනිති. මේ වන විට දෙන ගේ දුර්වල ලක්‍ෂණ ඇති විය හැකි ය. එවැනි දෙනක නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට සෑහෙන කලක්‌ ගත වේ.

විශේෂයෙන් ම වැස්‌සි පැටවකු නිරෝගීව ඇතිදැඩි කරගැනීමෙන් නිසි කලට වැඩි වියට පත් වේ. ගැහැනු පැටවකු සිය මව ගේ බරෙන් 60%ක බර ප්‍රමාණයට ළඟා වන විට ලිංගික පරිණතියට පත් වේ. මෙය වැඩිවියට පත් වීම ය. මේ අනුව බලන කල වැස්‌සි පැටවකු අවුරුදු 1 1/2ක්‌ පමණ වන විට මේ තත්ත්වයට පත් වේ. මේ සඳහා පැටවා නිසි පරිදි පෝෂණය කළ යුතු වේ. එහෙත් බොහෝ වැස්‌සි පැටවුන් මේ තත්ත්වයට පත් වනවා ද යන බව සැක සහිත ය. එයට හේතු වී ඇත්තේ නිසියාකාරව ආහාර හා පාලනය ලබා නො දීමයි. එහෙත් අවුරුදු 1 1/2 වන විට වැස්‌සි පැටවකු නිසියාකාරව වර්ධනය වී ලිංගික පරිණතියට පැමිණිය හොත් ජීවිත කාලය තුළ වැඩි කිරි මුර සංඛ්‍යාවක්‌ ලබා දෙනු ඇත.

පැටවා ඉපදීමට පෙර මවු කුසේ සිටිය දී ම පෝෂණය කළ යුතු වේ. මවු කුස සිටින කාලයේ දී මාසයක්‌ පාසා පැටවා ගේ බර වැඩි විය යුතු ය. විශේෂයෙන් ගැබ් කාලයේ අවසාන මාසවල මේ බර වැඩි වීම ඉහළ මට්‌ටමක ගමන් කරයි. අවසන් මාස දෙකෙහි බර වැඩි වීමේ ප්‍රමාණය ඉහළ ය. මේ අනුව සියලු පෝෂණ පදාර්ථ මවු දෙන ගෙන් ලබාගන්නා නිසා මවු දෙන ගේ පෝෂණය ඉතා සැලකිල්ලෙන් කළ යුතු ය. පැටවකු සිටින දෙනක ඊළඟ පැටවා ලැබෙන විට අවසාන මාස දෙකේ දී කිරි වැරීම අනිවාර්යෙන් ම කළ යුතු ය. එය ක්‍රමයෙන් කළ යුතු වේ. අවසාන වරට කිරි දොවා අවසන් වූ පසු බුරුලු ප්‍රදාහය වැළැක්‌වීම සඳහා වූ ප්‍රතිකාරය සෑම පුඩුවක්‌ සඳහා ම ලබා දී කිරි වැරීම කළ යුතු ය. ඒත් සමග ම දෙනට හොඳින් ආහාර හා ඛණිජ ලවණ ලබා දිය යුතු වේ. හොඳින් පෝෂණය ලැබෙන්නේ නම් දෙන ගේ ශරීරය සිනිඳුව පැහැපත්ව පැවතිය යුතු ය.

ප්‍රසූතිය සිදු වන අවස්‌ථාවේ දී ද සැලකිල්ලෙන් සිටීම අත්‍යවශ්‍ය ය. මේ අවස්‌ථාව වන විට දෙන නොසන්සුන්ව හැසිරෙයි. යෝනි ප්‍රදේශයේ සහ ඒ අවට පේශිවල ලිහිල් බවක්‌ ඇති වේ. කිරි බුරුල්ල ඉදිමුණු ගතියක්‌ පෙන්වයි. කිරි ස්‍රාවය වේ. ස්‌වාභාවික ප්‍රසූතිය සිදුවීම බොහෝ විට සිදු වේ. අවශ්‍ය වුව හොත් පශු වෛද්‍ය නිලධාරියා ගේ සහාය ලබාගත යුතු ය.

පැටවා ලබාගත් පසු දෙන ගෙන් පිට වන මුල් කිරි පැටවාට නොවරදවා ම ලබා දිය යුතු ය. එම මුල් කිරි පෝෂණ ගුණයෙන් අනූන ය. එහි ප්‍රොaටීන්, සීනි, මේදවලට අමතරව බණිජ ලවණ ද විශාල වශයෙන් ඇතුළත් ය. ප්‍රතිශක්‌තිය ලබා දීමේ හැකියාව ද මෙම මුල් කිරිවල පවතී. ඛණිජ ලවණ නිසා අස්‌ථි සවිමත් වීමට ද මේ මුල් කිරි ඉවහල් වේ. වසු පැටවාට දීර්ඝ කාලයක්‌ කිරි ලබා දීම අවශ්‍ය නො වේ. පළමු මාස 3 කාලය ඉතා වැදගත් ය. දිනකට වාර දෙකක්‌ පැටවා ගේ බරින් 10%ක්‌ බර කිරි ප්‍රමාණයක්‌ වැදගත් වේ. එහෙත් වයස සති 2ක්‌ පමණ වන විට වියළි තෘණ සුළු වශයෙන් දීම ආරම්භ කළ යුතු ය. එම ආහාර ලබා දීමෙන් පසු පැටවා ගේ ආමාශය සරල තත්ත්වයේ සිට සංකීර්ණ තත්ත්වයට විකාශනය වී වර්ධනය වීමට පටන් ගනී. තණකොළ වැනි රළු ආහාර ජීර්ණය සඳහා සංකීර්ණ ආමාශයක්‌ බවට පරිවර්තනය අවශ්‍ය ය. මේ නිසා වියළි තෘණ ආදිය ලබා දී එම තත්ත්වය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. එම පැටවා මාස 3 පමණ වන විට සාන්ද්‍ර ආහාර සඳහා ද හුරු කිරීම අවශ්‍ය ය. සාන්ද්‍ර ආහාර කි.ග්‍රෑ 1/2 ක්‍රමයෙන් 1 දක්‌වා වැඩි කරමින් ඉතිරි ප්‍රමාණය හැකි තරම් තෘණ ද ලබා දෙමින් දිනකට ග්‍රෑම් 500ක සාමාන්‍ය වර්ධන වේගයක්‌ ඇති කර ගැනීම කළ යුතු ය. එවිට මාස්‌ පතා කි.ග්‍රෑ 15ක පමණ වර්ධන වේගයක්‌ පවත්වා ගත හැකි ය. මෙසේ මාස 18 වන විට නියමිත බරක්‌ සමග ලිංගික පරිණතියට පැමිණ ගැබ් දැරීමට ද සුදුසු තත්aත්වයට පත් වේ.

මෙසේ කටයුතු කර වැදගත් ම ක්‍රියාකාරකම වන නියමිත අවස්‌ථාවේදී ගැබ් ගැන්වීම ස්‌වාභාවිකව හෝ කෘත්‍රීමව කළ යුතු වේ. හොඳ ශරීර ශක්‌තියක්‌ තිබේ නම් දින 21කට වරක්‌ ගැබ් දැරීම සඳහා ඔවුන් සූදානම් ය. ගැබ් නො ගත් දෙනක වුව ද වැඩුණු වැස්‌සියක වුව ද මේ තත්ත්වයට සූදානම් ය. මෙම අවස්‌ථාව වන විට ගැබ් ගෙළ ලිහිල් වේ. යෝනියේ ඉදිමීම ද යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක්‌ පිට කිරීම ද සිදු වේ. කලබලකාරී ස්‌වභාවයක්‌ ද ආහාර අරුචියක්‌ ද පෙන්නුම් කරයි. වෙනත් දෙනක ගේ හෝ පට්‌ටියේ සිටින අනෙක්‌ සතුන් ගේ හෝ පිට උඩ නැගීමට උත්සාහ කරයි. මෙම තත්ත්වය පෙර මද තත්ත්වය ලෙස හඳුන්වයි. ඉන්පසු ක්‍රමයෙන් මෙම තත්ත්වය සන්සුන් වී වෙනත් සතුන්ට තම ඇඟ මත නැඟීමට ඉඩ සලසා දෙයි. මේ තත්ත්වය හැම සතකු ම තුළ දක්‌නට නො ලැබෙන අතර කුමන හෝ ලක්‍ෂණ ඇති විය හැකි ය. මෙම කාල සීමාව පැය 18කට පමණ සීමා වන නිසා හොඳ සැලකිල්ලෙන් සිට මෙම කාලය තුළ කෘත්‍රිම සිංචනය මගින් හෝ ස්‌වාභාවික ගැබ් ගැන්වීම හෝ කළ යුතු ය. මේ සඳහා ප්‍රදේශයේ පශු වෛද්‍ය නිලධාරියා වෙතින් අවශ්‍ය කරන උපදෙස්‌ ලබාගත හැකි ය. මෙම අවස්‌ථාව කිරි නිෂ්පාදනයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානතම සාධකය වන හෙයින් ඉතා ම සැලකිලිමත් විය යුතු කාර්යය වේ.

ගැබ් ගැන්වීම කළ ද එය සාර්ථක වන තෙක්‌ විමසිලිමත් විය යුතු ය. ඊළඟට මද ලකුණු පහළ වේදැයි දින 21 වන විට සැලකිලිමත්ව පරීක්‍ෂාවෙන් සිටීම අත්‍යවශ්‍ය ය. ගැබ් ගැන්වීම කර එය සාර්ථක යෑයි එක්‌ වර ම නිගමනය නො කළ යුතු ය. එක්‌ වාරයක්‌ අසාර්ථක වීම යනු කිරි මුරයේ දින 21ක්‌ අපතේ යැමකි. මෙය ව්‍යාපාරයක්‌ ලෙස පවත්වාගෙන යන කිරිපට්‌ටි පාලනයට විශාල පාඩුවකි. මේ නිසා නිසි කලට ගැබ් ගැන්වීමට අවශ්‍ය පෝෂණය හා පාලනය වැස්‌සියකුට ලබා දීමට ද, නියම මද කාලය හඳුනාගෙන නිසි අවස්‌ථාවේ ගැබ් ගැන්වීම සිදු කිරීමට ද, එක්‌වරක්‌ පැටවකු ප්‍රසූත කර ඊළඟ දින 90 (මාස 03) තුළ නැවත ගැබ් ගැන්වීම ද ඉලක්‌ක කර ගනිමින් කිරි දෙනක පාලනය කිරීම ආර්ථික ලාභ ලැබීමට හේතු වේ.

මේ කරුණු අනුව පැහැදිලි වන්නේ හොඳ පෝෂණයෙන් යුත් නිරෝගී ශක්‌තිමත් ආකාරයට කිරි දෙන පාලනය කරගත යුතු බවයි. ආවාට ගියාට කිරි දෙනුන් පාලනය කර එයින් ආර්ථික ලාභයක්‌ නො ලැබේ යෑයි පැවසීම පලක්‌ ඇති කටයුත්තක්‌ නො වේ. සතා ගේ පෝෂණය, අභිජනනය, සත්ත්ව සෞඛ්‍යය, ගොවිපොළේ පාලනය, අලෙවිය යන කරුණු සියල්ල හොඳින් අවබෝධ කරගෙන කැප වීමෙන් කටයුතු කරන්නේ නම් කිරි දෙනුන් පාලනය කිසි දා පාඩු නො වන ව්‍යාපාරයක්‌ වනු ඇත.