|
දොස්‌තර මාමා
දොස්‌තර මාමට බොහොම උදව් කරපු හිතවතෙක් මිය ගිහින්. "මරණෙට, මඟුලට නැති
මිනිස්‌සුන් ගෙන් වැඩක් නැති නිසා කොච්චර වැඩ තිබුණත් දොස්‌තර මාමා මළ ගෙදර ගියා.
මළ ගෙදර තිබුණේ මාතලේට කිට්‌ටු බොහොම සුන්දර ගම් පළාතක. ඉස්‌පිරිතාලෙ රාජකාරිවලට
තමන් ගේ යාළුවෙක් පංගාත්තු??? කරලා පැන ගත්තට මොකද රෑ බෝ වෙන්න කලින් එන
පොරොන්දුවත් දීලයි තිබුණේ. ඒ නිසා ආදාහන කටයුතුවලට සහභාගී නො වී ම දොස්‌තර මාමා
ආපහු එන්න පිටත් වුණා. ගමන යෙදිලා තිබුණෙ නුවර හරහා. නුවර කිට්‌ටු කරන කොට දොස්‌තර
මාමට ලොකු බඩගින්නක් දැනුණා. උණු උණු ආප්ප කන්න නම් මරු වෙලාව. දොස්‌තර මාමට
හිතුණා බඩගින්නෙ හැටියට දොස්‌තර මාම ගෙ කල්පනාව තිබුණෙ ආප්ප හත අටක් වත් ගිලලා
දාන්නයි.
ඒකට සුදුසු තැනක් බල බලා එන කොට දොස්‌තර මාමා දැක්‌ක උණු උණුවෙ ආප්ප බාන තැනක්.
කිට්‌ටු වෙලා බලන කොට ආප්ප විතරක් නම් බැරි යෑ. කොත්තුත් දානවා. තව තව රොටි ජාතිත්
දෙක තුනක් ම හදනවා. දොස්‌තර මාමත් දෙන්නම් බැටේ කියල ඕඩරේ දීලා එළිපහලියෙන් ම වාඩි
වුණේ හුළං ටිකක් වදින්නත් එක්‌කයි.
ආප්ප කෙසේ වෙතත් කොත්තු ගන්න නම් කට්‌ටිය පොරකනවා. නුවර පළාතෙ යමක්‌කමක් තියෙන
උදවියත් තමන් ගෙ රෑ කෑම අරගෙන යන්න එන ප්‍රසිද්ධ තැනක් හැටියටයි ටික වෙලාවක් යන
කොට දොස්‌තර මාමට මේ ස්‌ථානෙ පෙනුණෙ.
වෛවාරන්න ජාතියෙ උදවිය එනවා කොත්තු ගන්න. කාර් බාර්වලින් එන උදවිය,
මෝටර්සයිකල්වලින් එන උදවිය, බස් එකෙන් බැහැලා ගෙදර යන ගමන් එන උදවිය. ඒ විතරක්
නම් බැරි යෑ. බොහොම අපූරුවට ඔසරිය ඇඳලා ඉන්න උඩරට මැණිකෙලත් එනවා.
දොස්‌තර මාමා උඩරට මැණිකෙලා ගැන හිතිල්ල පොඩ්ඩක් නවත්තල කොත්තු ගැන හිතන්න පටන්
ගත්තා.
දොස්‌තර මාම ගෙ නිච්චියෙ හැටියට මේ කොත්තු වසංගතේ අපේ රටට බෝ වෙලා වැඩි කල් නෑ.
වැඩි ම වුණොත් අවුරුදු දහයක් පහළොවක් ඇති. දැන් හැම හන්දියක් ගානෙ ම කොත්තු කඩ.
ගොඩක් උදවිය හවසට කොත්තු අරගෙන යන්නේ රෑ කෑමට කියල. දැන් සමහරුන්ට ඒක පුරුද්දක්
වෙලා. ඉස්‌කෝලෙ යන ළමයි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හිටන් දැන් මේවට පුරුදු වෙලා.
ගොඩක් වෙලාවට කොත්තු හදන්නෙ පාන් පිටිවලින් හදපු රොටි කෑලි කපලා. සමහර වෙලාවට
ඉදිආප්ප කොත්තුත් හදනවා. ඒත් ඉතින් පාන් පිටි ඉදිආප්ප තමයි. ඊට අමතරව එළවළු.
මාර්කට් එකෙන් විකුණන්න බැරි ව අයින් කරන එළවළුත් කපල දානවා. සාමාන්‍යයෙන් ඉතින්
බිත්තරයක් හරි දෙකක් හරි වරද්දන්නෙ නෑ. ඉල්ලූමේ හැටියට තමයි මස්, මාළු දාන්නෙ.
මේ ඔක්‌කොම කලවම් කරලා කොත්තුව පදමට ගන්නෙ පාම් තෙල්වලින්. එහෙම තැන්නම් කොහෙන් හරි
හොයාගත්ත, කොහේ හරි පිටරටකින් අඩු ගානට ගෙනාපු තෙල් වර්ගයකින්.
සංතෘප්ත මේදය, කොලෙස්‌ටරෝල්... ඔය විවිධ නම්වලින් හඳුන්වන මනුස්‌ස ශරීරෙට ඕනෑවට වඩා
ඕනෑ ම නැති හැම කෙහෙල්මලක් ම මේ කොත්තුව අස්‌සෙ තියෙනවා. මිනිස්‌සු මොකද කරන්නෙ ඕක
දැන දැනත් කොත්තු ම ගිලිනවා. ඊට පස්‌සෙ තෙල බස්‌සන්න කියලා බෙහෙතක් බොනවා. පණ
කඩාගෙන උදේ හවස දුවනවා, යෝග පංති යනවා. තව තව අමුතු දේවල් මහ ගොඩක් කරනවා. කට
පරෙස්‌සම් කරගත්ත නම් ඔය එක කරදරයක් වත් නෑ නෙ. ඔහොම හිත හිත ඉන්න කොට මෙන්න පාර
දිගේ "ඊවිනින් වෝක්" එකකට ආපු වයස හැට හැත්තෑවක විතර ජෝඩුවකුත් දොස්‌තර මාම ගේ
පැත්තට ආවා. හරියට චීන ඌරෝ දෙන්නෙක් වගෙයි. තෙල් බේරෙනවා. දොස්‌තර මාමට හිතුණෙ මේ
තෙල බස්‌සන්න නම් මේ කපේ දි බැරි බවයි.
දෙන්න දැක්‌ක ගමන් කොත්තු-ආප්ප කඩේ කැෂියර් උන්නැහේ ගෝලයන්ට කෑගැහුවා "කොල්ලො, මේ
අපේ මැඩම් ගෙ කොත්තු පාර්සලේ දීපන්" කියල. කියන පමාව විතරයි කඩේ වැඩ කර කර උන්නු
කොලූ ගැටයත් පාර්සලයක් උස්‌සගෙන ඇවිත් අර ජෝඩුවට දුන්නා. "තෑන්ක් යූ.. තෑන්ක්
යූ.." කියල ඒක ඩැහැගත්ත ජෝඩුව ආයෙත් තමන් ගේ "ඊවිනින් වෝක්" එක පටන් ගත්ත. ඒක
දැකපු දොස්‌තර මාමට හැම දා ම මෙතනින් කොත්තු අරගෙන යන ඩබලක් කියල තේරුම් ගන්න
අමාරු වුණේ නෑ. දොස්‌තර මාමට පිටුපාලා ගිය දෙන්න ගෙ ම ඉනේ වට ප්‍රමාණෙ අඟල් 50කට
අඩු නෑ කියලයි දොස්‌තර මාම ගේ නිච්චිය. ශරීර ව්‍යායාම කරල නිරෝගී ව ඉන්න එක නම්
කොච්චර හොඳ දෙයක් ද? ඒ වුණාට මෙහෙම ඉල්ලන් පරිප්පු කන ජෝඩුවක ගෙ ඊවිනින් වෝක් එක
නම් දොස්‌තර මාමට විහිළුවක්.
"අනේ අනිච්ජං" කට පරෙස්‌සම් කරගත්ත නම් මෙච්චර නහින්න ඕන ද? දොස්‌තර මාම ආප්ප බිල
ගෙවන්න නැගිට්‌ටා.
|
|
|