මැකඩමියා
 

Macadamia integrifolia

 

Macadamia tetraphylla

විවිධ නිෂ්පාදන සඳහා උපයෝගී කරගත හැකි මැකඩමියා කජු හා සමාන බවකින් යුක්‌ත ය. මෙම බෝගයේ සම්භවය සිදු වන්නේ ඕස්‌ටේ්‍රලියාවේ ය. හවායි දූපත්වලට හඳුන්වා දී ඇති මේ බෝගය මේ වන විට වැඩිදියුණු කර ඇත. චොකලට්‌, කේක්‌, අයිස්‌ක්‍රීම් වැනි ආහාර නිෂ්පාදන සඳහා යොදා ගැනෙයි. අපේ රටට මේ බෝගය හඳුන්වා දී ඇත්තේ අසූව දශකයේ දී පමණ බව වාර්තා වේ. ප්‍රධාන වශයෙන් විශේෂ 2ක්‌ ඇත.

මැකඩමියා ඉන්ටෙග්‍රිෆොලියා (
Macadamia integrifolia) සහ මැකඩමියා ටෙට්‍රාෆයිලා (Macadamia tetraphylla) එම විශේෂ වේ.

බහුවාර්ෂික ශාකයක්‌ වන මෙය අතු පතර බෙදී වැඩෙයි. සාමාන්‍යයෙන් මීටර් 5-6ක්‌ උසට වැඩෙනු දැකගත හැකි ය.

වර්ග දෙකක මැකඩමියා ශාක වෙනස්‌කම් පැහැදිලිව හඳුනා ගෙන ඇත.
Macadamia integrifolia විශේෂයේ අතුවල එක්‌ ගැටයකින් හෝ පත්‍ර 3ක්‌ හටගන්නා අතර මෙම ශාකයේ ඇති වන්නේ සුදු පැහැති පුෂ්ප මංජරියකි. Macadamia tetraphylla විශේෂයේ අතුවල එක්‌ ගැටයකින් පත්‍ර 4ක්‌ හටගනී. මෙම විශේෂයේ රෝස පැහැ පුෂ්ප මංජරි ඇති වේ.

මැකඩමියා පලයෙහි පොත්ත කොළ පැහැති ය. සාමාන්‍යයෙන් දොඹ ගෙඩිවල ප්‍රමාණයට හටගනී මෙම කොළ පැහැ පොත්ත ක්‍රමයෙන් දුඹුරු පාට වේ. ඇතුළතින් දුඹුරු පාට තද ආවරණයක්‌ පවතී. ඇතුළත තිබෙන සුදුපාට මදය ඉවත් කරගැනීමට මේ තද ආවරණය පැලිය යුතු ය. මෙම මදය ඉතා ම රසවත් ය. එහි අඩංගු තෙල් මොනොසැචුරේටඩ් (Monosaturated) කාණ්‌ඩයට අයත් වන නිසා හිතකර ලෙස හැඳින්විය හැකි ය. මෙම වර්ගයේ ගුණාත්මය රඳා පවතින්නේ මෙම මේදය මත ය. මදය විවිධ ක්‍රමවලට සකස්‌ කරගත හැකි නිසා වෙළෙඳපොළේ දී හොඳ මිලක්‌ ලබාගත හැකි ය. මෙහි ඇති තවත් විශේෂත්වයක්‌ වන්නේ ප්‍රොaටීන් හා විටමින් ද, ඛනිජ ලවණ ද වැඩි ප්‍රමාණයක්‌ අන්තර්ගත වීම ය.

මැකඩමියා ශාකය තෙත් කලාපයේ ද, උඩරට අන්තර් කලාපවල ද වගා කළ හැකි බෝගයක්‌ ලෙස හඳුනාගෙන ඇත. මෙය කටුක දේශගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන බෝගයක්‌ ලෙසට ද හඳුනාගෙන ඇත. 250 C - 30 C අතර උෂ්ණත්වය ද මි.මී. 1800-2000 අතර හොඳින් පැතිරුණ වර්ෂාපතනය ද මෙම බෝගයේ වර්ධනයට හිතකර බව සඳහන් ය. හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය සහිත පසක්‌ වගාව සඳහා තෝරා ගත යුතු ය. මැටි හෝ ආම්ලික පස වගාවට හිතකර නො වන බව ද සඳහන් ය. දිගු කාලයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම බෝගය සඳහා පර්යේෂණ කර ඇති අතර ප්‍රභේද කිහිපයක්‌ ම අත්හදාබැලීම සඳහා යොදාගෙන ඇත. ඕස්‌ටේ්‍රලියාවෙන් ද 741 හා H2 යනුවෙන් ප්‍රභේද ගෙන්වාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ සියලු ඇගයීම්වලින් පසු "ලංකා" සහ "හර්ෂ" යනුවෙන් ප්‍රභේද 2ක්‌ 2007 වසරේ දී නිර්දේශ කර ඇත.

ලංකා වර්ගයේ මේද ප්‍රතිශතය 41%ක්‌ පමණ වන බව ද, හර්ෂ වර්ගයේ මේද ප්‍රතිශතය 37%ක්‌ පමණ වන බව ද සඳහන් ය. ගස්‌ හොඳින් නඩත්තු කිරීම මගින් අස්‌වැන්න වැඩි කර ගත හැකිය.

මැකඩමියා, බීජ මගින් ප්‍රරෝහණය කළ හැකි ය. එහෙත් බීජ පැළ වීමේ ප්‍රතිශතය 30%ක්‌ පමණ වේ. ඒ සඳහා මාස 3 1/2ක පමණ කාලයක්‌ ද ගත වේ. මුල් මාසය තුළ දී ප්‍රරෝහණය වන බීජ ද යම් ප්‍රමාණයක්‌ තිබේ. බීජ පැළවල අස්‌වැන්න ලබාගැනීමට ද කාලයක්‌ ගත වේ. සාමාන්‍යයෙන් වසර 8-11ක්‌ පමණ කාලයක්‌ ගත විය හැකි ය. මේ නිසා බද්ධ පැළ වගාවට යොදා ගැනීමට වඩාත් සුදුසු ය. බද්ධ පැළයකින් වසර 5-6ක දී අස්‌වැන්න නෙළා ගැනීමට හැකි බව සඳහන් වේ. කුඤ්ඤ බද්ධය මේ සඳහා සුදුසු බව ද සඳහන් ය. මාස 3-4 පමණ වයස පැළයක්‌ ග්‍රාහකය සඳහා යොදාගත යුතු ය. ග්‍රාහකය සඳහා මැකඩමියා ඉන්ටෙග්‍රිෆොaලියා වර්ගයේ පැළයක්‌ යොදා ගැනීම සුදුසු ය. බීජ පැළයේ ඇති ශීඝ්‍ර වර්ධන හැකියාව මෙහි දී ප්‍රයෝජනයට ගනු ලබයි. අනුජය සඳහා නිර්දේශිත ප්‍රභේදයකින් අංකුර තෝරා ගැනීම අවශ්‍ය ය.

පැළ ක්‍ෂෙත්‍රයේ සිටුවීම

පැළ ක්‍ෂේත්‍රයේ සිටුවීම සඳහා මීටර් 10 x 5, 7 x 7 හෝ 6 x 5 යොදා ගත හැකි ය. හතරැස්‌ හෝ ත්‍රිකෝණාකාර ක්‍රමයට පැළ සිටුවා ගැනීමට පුළුවන. පැළ සිටුවීම සඳහා සෙ.මී 60 x 60 x 60 ප්‍රමාණයේ වළවල් සකස්‌ කරගත යුතුය. වළවල් පිරවීමට මතු පස්‌ + කාබනික පොහොර යොදාගත යුතු ය. කාබනික පොහොර කූඩ 3ක්‌ වත් යෙදීම සුදුසු ය.

පරපරාගණය මගින් අස්‌වැන්න වැඩි කරගත හැකි හෙයින් ප්‍රභේද 2ක්‌ මාරුවෙන් මාරුවට සිටුවා ගැනීම වඩාත් ප්‍රතිඵලදායක වේ. පැළය සිටුවා සෙවණ කිරීමත්, ජලය ර නො පැවතීමට වගබලාගැනීමත්, ග්‍රාහකයෙන් එන රිකිලි ඉවත් කිරීමත් පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය ය.

රසායනික පොහොර යෙදීම මගින් ඉක්‌මන් වර්ධනයත්, ඉක්‌මන් අස්‌වැන්න ලබාගැනීමත් කළ හැකි ය. අඩු ජල අවශ්‍යතාවක්‌ තිබුණ ද ගෙඩි වර්ධනය වන අවස්‌ථාවේ දී ජලය අවශ්‍ය ය. වසුන් මඟින් ගස්‌ වටා තෙතමනය ආරක්‌ෂා කරගැනීමට පුළුවන.

ශාකය පහුණු කිරීම හා කප්පාදුව අවශ්‍ය ය. ග්‍රාහකයෙන් එන රිකිලි ඉවත් කළ යුතු ය. මුල් අවුරුදු 2ක කාලය තුළ සෘජු කඳක්‌ තබා ගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා පහතින් එන රිකිලි ඉවත් කර ගැනීම අවශ්‍ය ය. ගස සෙ.මී.80-100 පමණ වන විට අග්‍රස්‌ථය ඉවත් කර පාර්ශ්වික ශාඛා වැඩීම උත්තේජනය කළ හැකි ය. එකිනෙක හරස්‌ කරමින් වැඩෙන අතුද ඉවත් කිරීම යෝග්‍ය ය.

සාමාන්‍යයෙන් මැකඩමියා ශාකවල මල් හට ගැනීම සිදු වන්නේ ජනවාරි පෙබරවාරි මාසවල දී ය. පල මේරීම සඳහා මාස 4ක පමණ කාලයක්‌ ගත වනු ඇත. අස්‌වැන්න නෙළා ගැනීම ජුනි, ජූලි මාසවල දී සිදු වේ. පල මේරූ විට ස්‌වාභාවිකව හැළීම සිදු වේ. එසේ නැතිනම් අස්‌වැන්න නෙළා ගැනීමට ද පුළුවන. මුල දී අඩු අස්‌වැන්නක්‌ ලැබුණ ද එය පසුකාලීනව ක්‍රමයෙන් වැඩි වේ.

අස්‌වැන්න නෙළාගත් පසු පිටතින් ඇති කොළ පාට පොත්ත ඉවත් කිරීම වඩා සුදුසු ය. එසේ නැතිනම් උෂ්ණත්වය වැඩි වී කුණු වීම සිදු වේ. පොත්ත ඉවත් කර පවනේ වියළාගත හැකි ය. මෙහි තද ආවරණය කඩා ඉවත් කර මදය වෙන් කර ගැනෙයි. මෙම මදය රෝස්‌ට්‌ කර ආහාර වශයෙන් භාවිතයට ගත හැකි ය.

Giant Garanadilla හෙවත් ටංටිං

යෝධ පැෂන්ෆට්‌ නමින් ද හඳුන්වන "ටංටිං"වල පලය විශාල ය. මෙය පලතුරක්‌ ලෙස සැලකුවත් ඖෂධීය වටිනාකමක්‌ සහිත ඵළවළුවක්‌ ලෙසට ද භාවිත කිරීමට පිළිවන. මෙම වර්ගය වැල් ආකාර වන අතර ඉක්‌මනින් වර්ධනය වන නිසා වගාවට පහසු ය. උද්භිද නාමය වනුයේ passiflora quadrangularis L ය.

මෙම වර්ගයේ ඉදුණු පලවල ඇතුළ මදය කුඩා කැබැලිවලට කපා පලතුරු සලාද සෑදීමේ දී යොදාගත හැකි ය. සීනි සමග එක්‌ කර තම්බා පිළියෙල කර අතුරුපසක්‌ ලෙසට ද පාවිච්චි කළ හැකි ය. එමෙන්ම සීනි හා ලෙමන් මිශ්‍ර කර රත් කිරීමෙන් ද අතුරු පස වඩාත් රසවත් කරගත හැකි ය. ඉදුණු ගෙඩි යොදාගෙන වයින් සකස්‌ කිරීමට ද පිළිවන. ළපටි ගෙඩි එළවළුවක්‌ ලෙස පිළියෙල කර ගැනීමට ද පිළිවන.

මෙම ශාක පත්‍ර සමේ ආසාදනවලට ද ගුණාදායක බව කියෑවේ. මදය කොටස්‌ හිසරදය, නින්ද නො යැම, පාචනය වැනි රෝගවලට ද යොදාගනී. වේදනා නාශකයක්‌ ලෙසට භාවිත කළ හැකි බව සඳහන් වේ. මල් ඉතා ආකර්ෂණීය වේ. පෙති පහකින් යුක්‌ත සුවඳ හමන මලකි. මලින් හටගන්නා පලය තුනී ය. සිනිඳු බවකින් යුක්‌ත ය. කොළපාටෙහි විශේෂත්වයක්‌ තිබේ. අඳුරු කොළ කහ මිශ්‍ර පාටකි. විවිධ ගෙඩි වර්ග ලබා දෙන විශේෂ තිබේ. පලය හොඳ රසයකින් යුක්‌ත ප්‍රභේදයක්‌ ලෙස passiflora Macrocarpa හඳුනාගෙන තිබේ.

මුහුදු මට්‌ටමේ සිට අඩි 700-1500 අතර ප්‍රදේශ වගාවට උචිත වේ. වැඩි තෙතමනයකින් යුක්‌ත උණුසුම් දිවා හා රාත්‍රී කාලයක්‌ පවතින ඝර්ම කලාපීය ප්‍රදේශවල වගාවෙන් උසස්‌ ප්‍රතිඵල ලබාගැනීමට සුදුසු ය. එමෙන්ම හොඳ ජලවහනයක්‌ සහිත තෙත පසක්‌ද වගාවට හිතකර ය.

මෙම බෝගය ගෙවත්තක භූමි අලංකරණය සඳහා ද යොදාගත හැකි ය. ආරුක්‌කුවක්‌ හෝ මැස්‌සක්‌ හෝ ආකාරයට නඩත්තු කරගත හැකි ය. වර්ණවත් මල් හා ඕවාලාකාර හැඩැති පල ගෙවත්තට අලංකාරයක්‌ එක්‌ කරයි. වැල් වශයෙන් වර්ධනය වීමේ දී ආධාරක ලබා දීම අවශ්‍ය ය. කප්පාදු කරමින් වැල් පාලනයක්‌ කිරීම මගින් වැඩි අලංකාරයක්‌ එක්‌ කරගත හැකි ය. එමෙන්ම වර්ධන වේගය ද ඉක්‌මන් කළ හැකි ය.

මෙම බෝගය බීජ මගින් බෝ කරගැනීමට පිළිවන. බීජ පැළ වීමට සති 2-3ක්‌ ගත වේ. එම පැළ සති 3-4ක්‌ ගත වන විට අඟල් 6-7ක්‌ උසට වැඩේ. බීජ පැළ ලබාගැනීමට හැකි වුවත් කඳ කැබැලි මඟින් ද පැළ ලබා ගැනීමට පිළිවන. වැලි මාධ්‍යයක මේ කඳ කැබැලි මුල් අද්දවා ගැනීමට පුළුවන. ලේයර් ක්‍රම අනුගමනය කිරීම මගින් ද පැළ සකස්‌ කරගත හැකි ය. එම වර්ධක ප්‍රචාරණ පැළ මවු ශාකයට ආසන්න ලක්‍ෂණ ඇති පැළ හා පල ලබාගැනීමට උපකාරී වේ.

සාමාන්‍යයෙන් මෙම ශාකවල මල් හට ගැනීම ආරම්භ වන්නේ මැයි මාසයේ දී ය. පරාගණය සාර්ථක නම් පල හට ගැනීම හොඳින් සිදු වේ. පල හටගෙන ගෙඩි ඉදීම සඳහා දින 65-75ක්‌ පමණ ගත වේ. විශාල ගෙඩි සහිත ප්‍රභේද ද තිබේ. සාමාන්‍යයෙන් පල හටගැනීම ආරම්භ වූ පසු ක්‍රමයෙන් ලබාගත හැකි ගෙඩි ප්‍රමාණය වැඩි වේ. වයස අවුරුදු 2-3ක්‌ පැරැණි වගාවකින් වසරකට ගෙඩි 15-35 අතර ප්‍රමාණයක්‌ ලබාගත හැකි ය. ගෙඩි පැසීගෙන එන විට පලාවරණය දිළිසෙන පැහැයකට හැරෙයි. ඉහළ කෙළවරේ කහ පැහැයක්‌ ද ඇති වේ.

රෝග සහ පළිබෝධ ගැන සලකා බැලීමේ දී තවාන්වල දී දළඹුවන් ගේ හානිය දැකගත හැකි ය. කොළ පාටින් යුත් පස්‌මුලූ මකුණා ගේ හානිය ද දැකගත හැකි ය. පස්‌මුලූ මකුණා ළපටි ගෙඩිවලට හානි කරයි. ළපටි පල සිදුරු කර යුෂ උරා බීම නිසා පලය වියළී යයි. පලතුරු මැස්‌සා ද පලවලට හානි කරයි. පල ළපටි කාලයේ දී ආවරණය කිරීම මගින් මෙම කෘමියා ගේ හානිය-කෘමිනාශක නො යොදා වළක්‌වාගත හැකි ය. එය සෞඛ්‍යාරක්‍ෂික පිළිවෙතක්‌ ද වේ. හොඳින් පැසී ඉදුණු පල නෙළාගත් පසු නො තැලෙන ආකාරයට තබා ගැනීම අවශ්‍ය ය. ගුණාත්මයෙන් ඉහළ ආහාරයක්‌ සඳහා එය වැදගත් වේ.

ඉදිරිපත් කරන්නේ
කෘෂි උපදේශක
සුසිලා රත්නසේකර