logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කතෝලික චින්තනයේ දුබල අභියෝග

මහාචාර්ය නලින් ද සිල්වා

බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය විසින් සිංහල බෞද්ධ චින්තනය පරදවනු ලැබී ය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ සිංහල බෞද්ධ චින්තනය නෛසර්ගිකව ගත් කල දුර්වල වීම හෝ වෙනත් එවැනි හේතුවක්‌ නිසා හෝ පරාජය වූ බව නො වේ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය සිංහල බෞද්ධ චින්තනයට වඩා ශක්‌තිමත් එසේත් නැත්නම් යහපත් නිසා එලෙස පරාජය විණි යන්නක්‌ ද මෙහි දී අදහස්‌ නො කෙරෙයි. ඉන් කියෑවෙන්නේ එදා පැවති සමාජයට සිංහල බෞද්ධ චින්තනයට ඔරොත්තු නො දිය හැකි වූ බව ය.

ලංකාවේ අද පවතින ක්‍රිස්‌තියානි සමාජය අවුරුදු පන් සියයක්‌ මුළුල්ලේ විකාශය වූවකි. පෘතුගීසීන් මෙරටට පැමිණි දිනයේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය මෙරටට හඳුන්වා දෙනු ලැබිණි. එකල පෘතුගීසීහු ආගමින් කතෝලික වූ හ. එහෙත් ඔවුන් ගේ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි බවට පත් වෙමින් තිබිණි. රෙපරමාදු ක්‍රිස්‌තියානිය ද එකල යුරෝපයේ නො තිබිණි. රෙපරමාදු ක්‍රිස්‌තියානිය නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුයේ 1517 දී ය. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ඒ වන විටත් දකුණු යුරෝපයේ ක්‍රමයෙන් වැඩෙමින් තිබිණි. රෙපරමාදු හා විවිධ ක්‍රිස්‌තියානි ආගම් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ ආගමික මුහුණුවර විය.

එකල යුරෝපයේ තිබියේ කතෝලික චින්තනය ය. කතෝලික චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට පරාජය විය. අප කලින් සඳහන් කර ඇති ආකාරයට චින්තනය හා සමාජය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. පහළොස්‌ වැනි සියවසේ දී දකුණු යුරෝපය වෙනස්‌ වීමට පටන් ගත්තේ ය. පළමුවෙන් ම ඒ වෙනස ඇති වූයේ කලාකරුවන් අතර ය. විශේෂයෙන් ම චිත්‍ර ශිල්පීහු, ප්‍රතිමා නෙළන්නෝ එහි නායකත්වය ගත් හ. වෙන් කිරීම, පෞද්ගලිකත්වය ඉස්‌මතු කිරීම පළමුවෙන් ම කළෝ ඒ කලාකරුවෝ ය. අද පුනරුදය නමින් හැඳින්වෙන්නේ ඉතාලියෙහි සිදු වූ මේ කලා පෙරළියයි. එය යුරෝපීයයන් සලකන්නේ යළි පිබිදීමක්‌ ඉපදීමක්‌ ලෙස ය.

එසේ වුවත් ඒ කලා පෙරළියක්‌ පමණක්‌ නො ව චින්තන විප්ලවයක්‌ ද විය. කලාකරුවන්, එනම් චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් අතින් හඳුන්වා දෙනු ලැබූ නව කලා ආකල්ප, ප්‍රමිතීන් ආදිය පිළිගැනීමට උගත් සමාජය සූදානම් ව සිටියේ ය. පාප් වහන්සේ ගේ ආධිපත්‍යයට එරෙහි ව සටන් කළ යුතු බවට ඉතාලියේ කෙසේ වෙතත් ඇතැම් යුරෝපීය රටවල මතයක්‌ පැතිර යමින් පැවතියේ ය. මේ අතර අරාබි වෙළෙන්දන් ඔස්‌සේ පෙරදිගින් පැමිණි දැනුම ද නැඟෙනහිර හා දකුණු යුරෝපීයයන් අතර ප්‍රචලිත විය. වෙනත් චින්තනයක නිර්මාණය වූ ඒ දැනුම අවශෝෂණය කර ගැනීම සංයුක්‌ත චින්තනයක්‌ වූ කතෝලික චින්තනයට ප්‍රශ්නයක්‌ විය.

බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ඇති වූයේ එවැනි පසුබිමක ය. එහි ග්‍රීක චින්තනයෙන් මෙන් ම යුදෙව් චින්තනයෙන් ද ගත් කොටස්‌ විය. එයට අමතරව ක්‍රිස්‌තියානි චින්තනයක්‌ ද විය. ඒ අප විසින් ක්‍රිස්‌තියානි චින්තනය යෑයි නම් කෙරුණ ද ක්‍රිස්‌තියානි ආගම පහළ වූයේ චින්තනය ඇති වී කලකට පසුව ය. අප විසින් කලකට පෙර පෙන්වා දෙනු ලැබ ඇති පරිදි බොහෝ විට ආගමක්‌ පහළ වනුයේ යම් චින්තනයක ය. ආගම විසින් පසුව චින්තනය ද යම් ප්‍රමාණයකට වෙනස්‌ කෙරෙයි. මේ සියල්ල ප්‍රවාහයක්‌ මිස ස්‌ථිතික ප්‍රපංචයක්‌ නො වේ. අප ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ක්‍රිස්‌තියානි නමින් ද හඳුන්වන්නේ ඒ චින්තනය හා පසුව ඇති වූ ආගම අතර ඇති සම්බන්ධය සලකමිනි.

ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය විසින් කතෝලික චින්තනය පරාජය කෙරිණි. ඉන් අදහස්‌ වන්නේ කතෝලික චින්තනය මිය ගිය බව නො වේ. කතෝලික චින්තනය අදත් ලෝකය පුරා හොල්මන් කරයි. මා මෙහි දී සලකන්නේ කතෝලික චින්තනය මිස කතෝලික ආගම නො වේ. මාක්‌ස්‌වාදය මෙන්ම ම ෆැසිස්‌ට්‌වාදය ද කතෝලික චින්තනය මත පදනම් වෙයි. කතෝලික චින්තනය නැවත වරක්‌ යුරෝපයේ හිස එසවීමට තැත් කෙළේ එසේත් නැතිනම් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පරාජය කිරීමට උත්සාහ කෙළේ ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදය ඔස්‌සේ ය. කතෝලික චින්තනයේ අවාසනාවකට මේ මතවාද දෙක එකිනෙක සමඟ ඇතැම් කරුණු අතින් ප්‍රතිරෝධ ඇති කර ගත්තේ ය. එහි ප්‍රතිඵලය වූයේ ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදය එකිනෙකට සතුරු වීම ය.

මෙයින් කියෑවෙන්නේ ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදය එකිනෙකට සතුරු නො වන්නට කතෝලික චින්තනයට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පරාජය කිරීමට හැකියාවක්‌ තිබූ බව නො වේ. ඒ වන විට සමාජය විකාශය වී තිබුණේ පෞද්ගලිකත්වය ඉස්‌මතු කරමින් සාමූහිකත්වය යට කරමින් ඉන්ද්‍රිය පිනවීමටත් ඒ සඳහා පරිභෝජනය වැඩි කිරීමටත් ය. එයට අමතරව විශ්ලේෂණයට දුන් ප්‍රමුඛත්වය ආදිය ද විය. පරිභෝජන වැඩි කිරීම සඳහා නිෂ්පාදනය වැඩි කිරීමේ අවශ්‍යතාව විය. එහෙත් සාමූහිකත්වය මත පදනම් වී නිෂ්පාදනය වැඩි කිරීමේ දී පෞද්ගලිකත්වය මත පදනම් වී නිෂ්පාදනය වැඩි කිරීමේ දීට වඩා ප්‍රශ්න ඇති වේ. ෆැසිස්‌ට්‌වාදය සාමූහිකත්වය ඇති කෙළේ ඒකාධිපතියකු ගේ ආධිපත්‍යයට මුළු සමාජය ම යට කරමිනි. මාක්‌ස්‌වාදය ඒ කෙළේ පක්‍ෂ නායකත්වයකට, එහි දී ද අවසාන වශයෙන් ගත් කල පුද්ගලයකු ගේ ආධිපත්‍යයකට, සමාජය යට කරමිනි.

එහෙත් ඒ එකක්‌ වත් දීර්ඝකාලීනව කළ හැකි දේ නො වේ. එයට හේතුව එකල තිබූ සමාජයෙහි කතෝලික චින්තනය යල් පැන ගිය, වලංගු නො වූ චින්තනයක්‌ වූ බැවිනි. සමාජයකට චින්තනයක්‌ බලහත්කාරයෙන් පැටවිය හැකි නො වේ. චින්තනයක්‌ විසින් සමාජය වෙන් කරනු ලැබේ. එහෙත් එසේ කළ හැකි වන්නේ සමාජය ඒ සඳහා සූදානම් ව ඇත්නම් පමණකි. ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදය අතර ප්‍රශ්න නො තිබුණත් ඒ දෙක ම යථා කාලයේ දී නැති වීමට තිබිණි. ෆැසිස්‌ට්‌වාදය පරාජය වීමෙන් පසුව ලෝකයේ මාක්‌ස්‌වාදය ඉතිරි වුවත් එයට ඉන්පසු ෆැසිස්‌ට්‌වාදයෙන් තර්ජනයෙක්‌ නො තිබුණත් මාක්‌ස්‌වාදී රාජ්‍යය ද අවසානයේ දී අවුරුදු හැත්තෑවක්‌ වැනි සුළු ආයු කාලයක්‌ පමණක්‌ වළඳා අභාවයට ගියේ ය. මානව ඉතිහාසයේ අවුරුදු හැත්තෑවක්‌ යනු ඉතා ම සුළු කාල පරිච්ඡේදයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.

එහෙත් කලින් සඳහන් කළ පරිදි අදත් කතෝලික චින්තනය ලොවේ හොල්මන් කරයි. ඒ චින්තනය විසින් මෙහෙයවනු ලබන්නෝ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වූ බටහිර විද්‍යාවට ඉඳහිට අභියෝග කරති. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්‌ස්‌වාදී විකට රූප තවමත් දකුණු ඇමෙරිකාවේ කාලයෙන් කාලයට පහළ වනු දැකිය හැකි ය. දකුණු ඇමෙරිකාව සමස්‌තයක්‌ ලෙස ගත් කල කතෝලික මහාද්වීපයකි. ආගමින් කතෝලික වූQ ඒ මහාද්වීපයෙහි ඉඳහිට ඇතැම් රටක කතෝලික චින්තනය හා මාක්‌ස්‌වාදී විකට රූප මතු වනු දක්‌නට හැකි ය. අද දකුණු ඇමෙරිකාවේ මතු වී ඇති මාක්‌ස්‌වාදී විකට රූපවලට වැඩි ආයුෂක්‌ නැත. ඇමෙරිකා එක්‌සත් ජනපදයෙහි ආර්ථිකය නැවත වරක්‌ ධන වටයකට යත් ම මේ විකට රූප ඉතිහාසයේ වේදිකාවෙන් කිසි ම හැලහොල්මනක්‌ නැති ව ම බැස යනු ඇත.

මෙයින් අදහස්‌ කෙරෙන්නේ දකුණු ඇමෙරිකාවේ විවිධාකාර ඊනියා සමාජවාදී ආණ්‌ඩු ඉක්‌මනින් ම නැති වී යන බව නො වේ. ඒ සමාජ ටික කලක්‌ තිබී පසුව ඇමෙරිකාවේ සෘජු හෝ වක්‍ර හෝ බලපෑමෙන් නැති වී යයි. ඇමෙරිකාවේ බලපෑම යනු අන් කිසිවක්‌ නො ව ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි බලපෑම ය. නැවතත් කල් ගත වීමෙන් පසුව දකුණු ඇමෙරිකාවේ ඒ රටේ ම හෝ වෙනත් රටක මාක්‌ස්‌වාදී විකට රූපයක්‌ මතු වෙයි. එය චක්‍රයක ගමන් කරයි. එදා අයියන්ඩේ (ඇලන්ඩේ) විය. අද චාවේස්‌ හා ලුලා ඩා සිල්වා වැන්නෝ වෙති. එහෙත් ඒ රාජ්‍ය පුද්ගල බද්ධ වෙයි. ඒ ඒ පුද්ගලයා නැති වීමෙන් පසු ඊනියා සමාජවාදය ද නැති වී යයි.

දකුණු ඇමෙරිකාවේ රටවල ලිබරේෂන් තියොලොජි නමින් හැඳින්වෙන විමුක්‌තිකාමී දේව ධර්මයක්‌ ද ඇති බව මෙහි දී අවධාරණය කළ යුතු ය. කතෝලික පූජකවරුන් අතර පැනනැඟී ඇති මේ ව්‍යාපාරය සමාජයට විමුක්‌තිය උදා කිරීමේ ෙච්තනාවෙන් ක්‍රියා කරනු දැකිය හැකි ය. එය සම්මත කතෝලික පල්ලියෙන් කැඩීමට අදහස්‌ නො කරයි. ඒ වෙනුවට කතෝලික පල්ලිය තුළ ම යම් ප්‍රතිසංස්‌කරණ කිරීම එහි අරමුණ වෙයි. මේ ව්‍යාපාරය දහ සය වැනි සියවසේ ඇති වූ මාටින් ලුතර් නම් පූජකවරයා ගේ ගේ ව්‍යාපාරයට වඩා වෙනස්‌ වෙයි. මාටින් ලුතර් නැඟී එමින් පැවති ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පිළිගත්තෙකි. ඔහුට අවශ්‍ය වූයේ මුළුමනින් ම කතෝලික චින්තනයෙන් හා කතෝලික ආගමෙන් කැඩී වෙන් වී වෙන ම ආගමක්‌ ඇති කිරීම ය.

එහෙත් දකුණු ඇමෙරිකාවේ කතෝලික පූජකවරුන්ට කතෝලික පල්ලියෙන් හෝ කතෝලික චින්තනයෙන් හෝ කැඩීමේ අවශ්‍යතාවක්‌ නැත. ඔවුන් දකින ආකාරයට ද සමාජයේ විෂමතා ඇති අතර සූරාකෑමකට ලක්‌වන්නෝ වෙති. මේ පූජකවරු ධනපති ක්‍රමයට විරුද්ධ වෙති. ඒ ඔස්‌සේ ඔවුහු යම් ප්‍රමාණයකට ධනපති ක්‍රමය පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට විරුද්ධ වෙති.

එහෙත් ඔවුන්ට විකල්පය ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයක නො ව නැවතත් කතෝලික චින්තනයෙහි ම ය. කතෝලික පූජකවරුන් ලෙස ඔවුහු තම චින්තනය මත පදනම් වූ මාක්‌ස්‌වාදී සමාජවාදයෙහි සමාජ අසාධාරණයට පිළියම් දකිති. ඔවුහු කතෝලික පල්ලියෙහි සුළු සුළු වෙනස්‌ කිරීම් ඔස්‌සේ විමුක්‌තිය ලබාගත හැකි යෑයි විශ්වාස කරති. එසේ කිරීමට ඔවුන්ට හැකි වී ඇත්තේ මාක්‌ස්‌වාදය බොහෝ දෙනා නො දකිතත් කතෝලික චින්තනය මත පදනම් වී ඇති බැවිනි. විමුක්‌තිකාමී දේවධර්මවාදය යනු අන් කිසිවක්‌ නො ව ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පරදවා ඒ මත බිහි වී ඇති ධනපති සමාජය වෙනස්‌ කර නැවතත් කතෝලික චින්තනය ජයග්‍රහණය කරවීමට දරන උත්සාහයක්‌ පමණකි. මේ පූජකවරුන්ට ද අවශ්‍ය වනුයේ ධනපති සමාජය වෙනුවට කතෝලික චින්තනය මත පදනමි වී යම් ආකාරයක මාක්‌ස්‌වාදී සමාජවාදයක්‌ ඇති කිරීම ය. මේ රටවලින් චාවේස්‌ වැන්නවුන් බිහි වීම අපේක්‍ෂා කළ යුතු ය.

විමුක්‌තිවාදී දේවධර්මය යම් ප්‍රමාණයකට දැකිය හැකි එක ම ආසියාතික රට පිලිපීනය ය. කතෝලික රටක්‌ වූ පිලිපීනයෙහි ඒ දේවධර්මය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා පූජකවරු වෙති. එහෙත් පිලිපීනයට තවමත් තාවකාලිකව වුව ද චාවේස්‌ කෙනකු බිහි කර ගැනීමට හැකි වී නැත. එයට හේතුව පිලිපීනය ඇමෙරිකා එක්‌සත් ජනපදයේ අතිමහත් බලපෑමට හසු වී තිබිම ය. කතෝලික චින්තනය පිලිපීනයේ දී ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හමුවෙහි තීරණාත්මක ලෙස පසුබා ඇත. පිලීපීනය ආගමින් කතෝලික වුව ද ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය රජයන රටකි. එය දකුණු ඇමෙරිකාවේ කතෝලික රටවලින් වෙනස්‌ වෙයි. දකුණු ඇමෙරිකාවේ ඉඳහිට වුවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය තාවකාලිකව වුව ද පසුබැස්‌වීමේ හැකියාව වෙයි. එහි කතෝලික චින්තනයට උර දෙන ප්‍රබල ජාතිකත්වයක්‌ වෙයි.