|
කෘෂි ගැටලූ ඉදිරිපත් කරන්නේ කෘෂි උපදේශක සුසිලා රත්නසේකර
තෙල් බෝගවලට වැළඳිය
හැකි රෝග හඳුන්වා දී ඒවා පාලනය ගැන ද සඳහන් කරන්න.
තෙල් බෝග ලෙස කෘෂිකර්මයේ දී අවධානය යොමු වන්නේ රටකජු, සූරියකාන්ත යන බෝගයන් ය.
මෙයිනුත් වැඩි අවධානය යොමු වන්නේ රටකජු බෝගයට ය. කොළපුල්ලි රෝගය රටකජු වගාවේ
මාස් කන්නයේ දී වැඩියෙන් දක්‌නට ලැබෙන රෝගයකි. මෙය පූර්ව කොළ පුල්ලි රෝගය හා
පශ්චිම කොළ පුල්ලි රෝගය ලෙස දැක්‌විය හැකි ය. පූර්ව කොළ පුල්ලි රෝගයේ රෝගකාරකය
සර්කස්‌පෝරා ඇරවිසිකෝලා දිලීර විශේෂය වේ. පත්‍ර තලය මත තද දුඹුරු පුල්ලි ඇති
වීමත් උඩු පෘෂ්ඨයේ දිලීර බිජාණු සෑදීමත් සිදු වේ. "සර්කස්‌පෝරා පර්සනේටා" දිලීර
විශේෂය පශ්චිම කොළ පුල්ලි රෝගයේ රෝගකාරකය වේ. පත්‍රයේ යටි පැත්තෙහි තද වර්ණයක්
ගන්නා කළු පුල්ලි ඇති වේ. බීජාණු සෑදීම ද පත්‍ර තලයේ යටි පැත්තෙහි සිදු වේ.
මෙම රෝග පාලනය සඳහා බෝග මාරුව නිර්දේශ කරනු ලබයි. දිලීරනාශක පත්‍ර මතට හොඳින්
යෙදීම කළ යුතු වේ. දිලීර නාශක ලෙස "ප්‍රොපිනෙබ්, මැනෙබ් මැන්කොසෙබ්,
ක්‌ලෝරොතැලිනෝල් වැනි වර්ග නිර්දේශ කර ඇත. පළාතේ කෘෂිකර්ම නිලධාරීන්ට තම වගාව
පෙන්වා නිසි පරිදි උපදෙස් ලබාගත යුතු ය.
මළකඩ රෝගය ද රටකජු වගාවේ හානිකර දිලීර රෝගයකි. රෝගකාරකය "පක්‌සීනියා ඇරකිඩිස්"
දිලීර විශේෂය වේ. පත්‍රවල යටි පැත්තේ තැඹිලි පැහැති බිබිලි ඇති වී ඒවා පසුව
පිපිරී රතු දුඹුරු දිලීර බිජාණු නිදහස් කරයි. හානිය පැතිරී ගිය හොත් පත්‍ර
ක්‍රමයෙන් මැරී යයි.
දිලීර නාශක පත්‍ර මතට ඉසීමෙන් රෝගය පාලනය කළ යුතු වේ. ක්‌ලෝරොතැලොනිල් කොපර්
තෙත් කුඩු, මැන්කොසෙබ්, ඔක්‌සොකාබොක්‌සීන් වැනි වර්ග නිර්දේශිත ය.
පාදස්‌ථ කුණු වීම ද දිලීර රෝගයකි. රෝග කාරකය ස්‌ක්‌ලෙරොටියම් දිලීර විශේෂයයි.
මෙහි දී සිදු වන්නේ කඳෙහි පාදස්‌ථය කුණු වීමක් ඇති වීමයි. දිලීර ජාලය සුදු
පාටින් කඳ පාමුල හා මුල් වල ද දැකගත හැකි ය. ශාකය කහ පාටට හැරෙයි. මළානික වේ.
පසුව ශාකය මැරී යයි. රෝගය පැතිරීම වැළැක්‌වීමට රෝගී ශාකය මුල් පස් ද සමග වගා
බිමෙන් ඉවත් කළ යුතු ය. ඒත් සමග ම එම ප්‍රදේශය දිලීර නාශක යොදා පිරිසිදු කර
ගැනීම වඩා සුදුසු ය.
කැප්ටාන්, තිරාම්, ක්‌ලොරොනැලිනිල් වැනි sතෙත් කුඩු වර්ග නිර්දේශ කර තිබේ.
වයිරස් රෝග ලෙස අංකුර අංගමාර රෝගය හඳුනාගෙන ඇත. පැළ මැක්‌කා රෝග වාහකයා වෙයි.
රෝග කාරකය තක්‌කාලි මැළවීමේ ලප වයිරස විශේෂය වේ. රෝග ලක්‍ෂණ ලෙස ළපටි පත්‍රවල
හරිතක්‍ෂ ලප දැකගත හැකි ය. පසුව එම ස්‌ථාන මැරී දුඹුරු පැහැයට හැරෙයි.
අග්‍රස්‌ථ අංකුරය ද දුඹුරු පාට වී පසුව මිය යයි. ශාකයේ වර්ධනය ඇණහිටීමත් ශාක
කුරු වී මිය යැම සිදු වේ.
ඔරොත්තු දෙන ප්‍රභේද සිටුවීමත් ක්‍ෂෙත්‍රය අවට පිරිසිදුව පවත්වා ගැනීමත් පැළ
මැක්‌කා මර්දනයට කෘමි නාශක යෙදීමත් රෝගය ඇති පැළ ගලවා ඉවත් කිරීමත් රෝගය මර්දනය
සඳහා අනුගමනය කළ යුතු ය.
බැක්‌ටීරියා රෝග ලෙස හිටුමැරීමේ රෝගය රටකජු වගාවට වැළඳෙයි. රෝගකාරකය ලෙස
රැල්ස්‌ටෝනියා බැක්‌ටීරියා විශේෂය හඳුනාගෙන ඇත. මුලින් පැළ මළානික වීමත් පසුව
පැළ මැරී යැමත් සිදු වේ. රෝගී ශාක පස් සමග ම ඉවත් කළ යුතු ය. ඊළඟ කන්නයේ දී
බෝග මාරුවක් කිරීම යෝග්‍ය වන අතර බෝග මාරුවේ දී සොලනේසි කුලයේ හෝ කුකුර්බිටේසි
කුලයේ බෝග වගා නො කළ යුතු ය. රෝගී ප්‍රදේශවල සිට නිරෝගී ප්‍රදේශවලට බැක්‌ටීරියා
ගමන් කළ හැකි කිසිදු කටයුත්තක් සිදු නො කිරීම ඉතා වැදගත් ය.
සූර්යකාන්ත වගාවේ දී හානිකර දිලීර රෝගයක් ලෙස ෆොaමා කඳ කුණු වීමේ රෝගය
හඳුනාගෙන ඇත. රෝගකාරකය ලෙස ෆොaමා දිලීර විශේෂය සඳහන් ව තිබේ. රෝග ලක්‍ෂණ ලෙස
පහළ පත්‍ර, පත්‍ර නටුව, කඳ හා පුෂ්පවල කුඩා කහ පැහැති දාරයක් සහිත වියළි ලප
ඇති වේ. ශාකය ඇද වැටීමත් මැරී යාමත් සිදු වේ. අධික වර්ෂාව සහිත කාලවල මෙය දැකගත
හැකි නිසා එම කාල මඟහැර සිටුවීම සුදුසු ය.
බ්‍රොයිලර් වර්ගයේ කුකුළන් ඇති කිරීමේ දී සැලකිල්ලට
ගත යුතු විශේෂ කරුණු මොනවා ද?
බ්‍රොයිලර් වර්ගයේ සතුන් ඇති කිරීමේ මූලික පරමාර්ථය නම් නියමිත කාලයක් තුළ
ශරීරය උපරිම වර්ධනයට භාජන කර වැඩි බරක් ලබා ගැනීම ය. ඒ නිසා ආරම්භයේ දී ම හොඳ
නිරෝගී පැටවුන් මිල දී ගැනීම අවශ්‍ය ය. මිල දී ගන්නේ එක් දිනක් වයස පැටවුන්
ය. මේ අවස්‌ථාවේ දී සතකු ග්‍රෑම් 35-45 අතර බරකින් යුක්‌ත වීම වඩා සුදුසු ය.
එමෙන්ම ඒකාකාර වර්ධන ලක්‍ෂණ තිබිය යුතු ය. එක සේ ක්‍රියාකාරී විය යුතු ය.
ශක්‌තිමත් පාද සහිත වීම ඉතා වැදගත් ය. ක්‍රියාශීලී සතුන් ඉක්‌මනින් අවශ්‍ය බර
ප්‍රමාණයට වර්ධනය කර ගැනීමට පුළුවන.
ගන්නා ආහාර ප්‍රමාණය ශරීරය වර්ධනයට යොමු වීම අවශ්‍ය ය. වැඩි ඉඩකඩ තිබුණ හොත්
එහා මෙහා ඇවිදීමෙන් ශරීර ශක්‌තිය වැය වේ. සති 4 දක්‌වා පැටවකුට වර්ග සෙන්ටිමීටර
450ක් පමණ සෑහෙයි. සති 4-6 දක්‌වා වයස වන විට එය වර්ග සෙ.මී 900 දක්‌වා වීම
වැදගත් ය. ආහාර ලබා දීමේ දී වයස් කාණ්‌ඩය අනුව වෙනස් කළ යුතු ය. පළමු දින 14
තුළ "චික්a බූස්‌ටර්" ලබා දීම අවශ්‍ය ය. දින 14-21 දක්‌වා ආරම්භක සලාකය (Sඒරඑeර
ප්sය) දීම වැදගත් ය. එතැන් සිට අවසානය දක්‌වා ම අවසන් සලාකය (Starter Mash) දීම
වැදගත් ය. මේ වර්ග වෙළඳපොළෙන් නිවැරැදිව ලබාගැනීමට තිබේ.
ආහාර බඳුන් සඳහා ආහාර යොදන විට අපතේ නො යන ආකාරයට යෙදීම අවශ්‍ය ය. ආහාර යොදන
විට ආහාර ගැනීමට පොකුරු වශයෙන් රොක් වන නිසා අපතේ නො යන ආකාරයට ආහාර පිරවීම කළ
යුතු ය. කුඩා ආහාර මෙන් කැට ආහාර අපතේ නො යන නිසා කැට ආහාර දිය යුතු ය. එක්
ආහාරයක සිට අනෙක් ආහාරයට එකවර මාරු නො කළ යුතු ය. මුල් දිනවල නොගැඹුරු භාජන
ප්‍රයෝජනයට ගත්තත් පසුව එල්ලාගත් භාජනවලට මාරු කළ යුතු ය. එයින් ආහාර අපතේ යැම
වළක්‌වාගත හැකි ය. ආහාර භාජන තබන විට මුල් සති 3 දී එක් සතකුට දිග සෙ.මී
2.5ක් ද, සති 3 සිට සෙ.මී 5ක් පමණ ද ලැබෙන ලෙස ආහාර භාජන පිළියෙල කළ යුතු ය.
බිත්තර වී නිසියාකාරව පැළ කරගන්නා අන්දම පැහැදිලි
කරන්න....
බිත්තර වී පැළ කිරීමේ දී ඉතා ම වැදගත් වන්නේ බිත්තර වී පැළ කර ගැනීමට අවසාන
මොහොත දක්‌වා ම බලා නො සිටීම ය. යොදාගැනීමට බලාපොරොත්තු වන බිත්තර වීවලින්
ස්‌වල්පයක් ගෙන කලින් පැළ කර බලන්න. එවිට එම වීවල පැළ වීමේ ශක්‌තිය පිළිබඳව
කලින් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.
බිත්තර වී පැළ කරගැනීමේ දී මුලින් ම එම වී පොලා ශුද්ධ කරගත යුතු ය. බොහෝ විට
හොඳ තැනකින් හොඳ ගුණාත්මයකින් යුත් බිත්තර වී ලබාගත හොත් ඒවා හොඳින් ශුද්ධ කර
තිබෙන ඒවා විය හැකි ය. කෙසේ වෙතත් තමා යොදාගන්නා විට නැවත පොලා ශුද්ධ කර ගැනීම
වඩා සුදුසු ය. ඉන්පසු පිරිසිදු ජලයෙන් කිහිප වරක් ම සෝදමින් ජලයේ පා වන වී ඇට
ඉවත් කර ගැනීම අවශ්‍ය ය.
ඒ ආකාරයට පිරිසිදු කරගත් වී පැය 24ක කාලයක් ජලයේ පොඟවා ගත යුතු ය. මෙසේ පොඟවා
ගන්නා වී පිරිසිදු රෙදි බෑග්වල දමා හෝ පිරිසිදු ගෝනියක බහා පොඟවා ගැනීම කළ හැකි
ය. මඩ සහිත ජලය ගලා යන ඇළවල සමහර දෙනෙක් වී ගෝනි තබා පෙඟවීම කරති. එය සුදුසු
ක්‍රමයක් නො වනු ඇත. ගෝනියක දමා වී පොඟවන විට ගෝනියෙන් අඩක් පමණ වී පුරවා
ගැනීම කළ යුතු ය.
පැය 24ක් පොඟවා ගත් වී පැළ කරගැනීම සඳහා යහන් කළ යුතු වේ. මේ සඳහා පැය 48-72
පමණ කාලයක් ගත කළ යුතු ය. යහන් කරන ස්‌ථානය පිරිසිදු සහ මට්‌ටම් සහිත වීම
අවශ්‍ය ය. මෙම ස්‌ථානයේ පිරිසිදු කෙසෙල් කොළ,, හබරල කොළ වැනි දෙයක් එලා ගැනීම
සුදුසු ය. ඒවා පොඟවා ගත් බිත්තර වී අඟල් 3-4 ඝනකමට අතුරා හොඳින් තද කළ යුතු ය.
එම වී තට්‌ටුව ඉහළින් කෙසෙල් කොළ හෝ හබරල කොළ අතුරා ඒ මත තෙත් ගෝනි යහන තද වන
ආකාරයට ඒ මත බර යෙදීම ද කළ යුතු ය.
පැළ වීම පරීක්‍ෂා කිරීමට වී වපුරන දිනය වන තෙක් බලා සිටීම බොහෝ දෙනකු කරන
දෙයකි. එහෙත් ඊට පෙර දින තවාන පරීක්‍ෂා කිරීම ඉතා ම වැදගත් ය. වීවල මුල් අවශ්‍ය
ප්‍රමාණයට දික් වී තිබේ නම් ගැටලූවක් පැන නො නඟී. මුල් දික් වී නොමැති නම්
යහනට හොඳින් ජලය ඉස කවලම් කර නැවත වසා ගැනීම සුදුසු ය. මුල් අවශ්‍ය ප්‍රමාණයට
වඩා දික් වී තිබේ නම් යහනෙන් ඉවත් කර තුනී කරගැනීම යෝග්‍ය ය.
කෘෂි ව්‍යාපෘතියක් ලෙස ඇන්තූරියම් වගාව කිරීමට
අදහස් කර ඇත. ඒ සඳහා සුදුසු පරිසර සාධක පිළිබඳ දැනුවත් කරන්න.
අන්තූරියම් වගාව පහසු ය. එහෙත් බලාපොරොත්තු වන ආකාරයට මල් ලබා ගැනීමට නම් ශාකය
මනාව පැවතිය යුතු ය. ගුණාත්මකභාවයෙන් ඉහළ මලක් ලබා ගැනීමට නිසියාකාර ලෙස පරිසර
සාධක තිබීම අවශ්‍ය ය. යෝග්‍ය පරිසර සාධක ලෙස සෙවණ, ආලෝකය හා උෂ්ණත්වය ද
ආර්ද්‍රතාව ද සැලකිය හැකි ය.
සෙවණ වශයෙන් 78%-80% අතර සෙවණක් සාර්ථක වගාවකට අවශ්‍ය වේ. අපනයනය සඳහා මල්
ලබාගැනීමේ දී 80% සෙවණ ලබා දීම වැදගත් ය. දේශීයව වගා කෙරෙන ඇන්තූරියම් සඳහා 70%
සෙවණ ප්‍රමාණවත් වේ. ලේඩිඡේස්a වගාව සඳහා ද මේ සෙවණ ප්‍රමාණය ම ප්‍රමාණවත් වේ.
මේ ලබා දෙන සෙවණ මත අනෙකුත් සාධක ද (ආලෝකය, ආර්ද්‍රතාව ආදිය) පාලනය වන හෙයින්
සෙවණ ලබා දීමේ දී වැඩි අවධානයක් යොමු විය යුතු වේ.
දහවල් 11.00-3.00 අතර වැටෙන හිරු එළිය සෙවණ දැල් අතරින්
කෙළින් ම ශාක මත පතිත වන්නේ නම් එය ඉතා වැදගත් ය. මල් පිපීම කෙරෙහි මේ ආලෝකය
ලැබීම ඉතා වැදගත් ය. 70% සෙවණක් සැපයුව හොත් වගාවට 30%ක ආලෝකයක් ලැබේ. එහෙත්
සෙවණ 80% වන විට ලැබෙන ආලෝකය 20%ක් වේ. අනෙකුත් ගස්‌වලින් ද සෙවණ ලැබේ නම් ඒ
අනුව වගාවට සෙවණ ලබා දීම තීරණය කළ යුතු වේ.
උෂ්ණත්වය වශයෙන් දිවා කාලයේ සෙල්සියස් අංශක 25-30 දක්‌වා පරාසය සුදුසු ය.
රාත්‍රී කාලයේ දී උෂ්ණත්වය අඩු ප්‍රදේශ වගාවට යෝග්‍ය නො වේ. මෙහි දී යෝග්‍ය නො
වේ යනුවෙන් අදහස් කරනුයේ ව්‍යාපාරික අන්තූරියම් වගාවකට සුදුසු නො වන බව ය.
ගුණාත්මක බවෙන් ඉහළ මට්‌ටමක ඇති මල් ලබාගැනීමට මේ උෂ්ණත්වය අවශ්‍ය ය.
ආර්ද්‍රතාව වශයෙන් හඳුන්වන පරිසරයේ අඩංගු වන ජල වාෂ්ප
ප්‍රමාණය 50%-60% අතර තිබීම වගාවේ සාර්ථකභාවයට බලපායි. නිසි ආර්ද්‍රතාව සහිත
වගාවක මල් හොඳින් දිළිසෙන තත්ත්වයෙන් පවතී. දුර්වර්ණ වූ ගොරෝසු බවින් යුත් මල්
ඇති වන්නේ නිසි පරිදි ආර්ද්‍රතාව නො පවතින විට ය. ශාක තැන්පත් කරන විට ද එක
ගොඩේ ශාක නො පිහිටන ලෙස ඈත් කර තැබීම ඉතා වැදගත් ය. එසේ කිරීමෙන් ශාකයට ආලෝකය
ලැබීම ද, අධික ලෙස සෙවණ නො පැවතීම ද, ආර්ද්‍රතාව යහපත් ආකාරයට පැවතීම ද සිදු
වනු ඇත.
|