logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


චින්තනය හා සමාජය

මහාචාර්ය නලින් ද සිල්වා

සිංහල බෞද්ධ චින්තනයේ පරාජය පිළිබඳ තවත් බොහෝ දේ කිව යුතු ව ඇතත් මේ ඒ සඳහා අවස්‌ථාව නො වේ. එහෙත් කරුණක්‌ දෙකක්‌ නො කියා ම බැරි ය. සමාජය යනු විකාශය වන්නකි. එලෙස ම සමාජයෙහි ජීවත් වන පුද්ගලයෝ ද විකාශය වෙති. චින්තනය විසින් සමාජය වෙනස්‌ කෙරෙන අතර සමාජ විකාශනය විසින් චින්තනය ද වෙනස්‌ කෙරෙයි. ඇතැම් සමාජයකට ඇතැම් චින්තනයක්‌ කිසිසේත් ම ගැලපෙන්නේ නො වේ. ඇස්‌කිමෝ සමාජයෙහි සිංහල බෞද්ධ චින්තනයක්‌ ගැන කතා කිරීම ම විහිළුවකි.

මේ බව එලෙස සඳහන් නො වුණ ද, බෞද්ධ සාහිත්‍යයෙන් අපට ඒ සඳහා උදාහරණ සොයා ගත හැකි ය. බෝසතාණන් වහන්සේ මෙලොව ඉපදීමට පෙර පස්‌මහබැලුම් බැලු සේක. එහි තේරුම කුමක්‌ ද? උන්වහන්සේ බුදු වීමෙන් පසු ලෝකෝත්තර වශයෙන් ගත් කල නිවන් මඟ හෙළි කළ හ. ලෞකික වශයෙන් ගත් කල වත්මන් වචනවලින් කියන්නේ නම් බුදුන් වහන්සේ නව සුසමාදර්ශයක්‌ හා චින්තනයක්‌ හඳුන්වා දුන් හ. මෙලොව ඉපදීමට පෙර බෝසතාණන් වහන්සේට අවශ්‍ය වූයේ ඒ චින්තනය පිළිගන්නා සමාජයක්‌ දීපයක්‌ දේශයක්‌ ආදී වශයෙන් ඇත් දැයි සොයා බැලීම ය. පස්‌මහබැලුම් බැලුවේ ඒ සඳහා ය.

බුදු වීමෙන් පසුව ද තමන් වහන්සේ ගේ ධර්මය අනෙක්‌ අයට තේරුම් ගත හැකි වේ ද යන ප්‍රශ්නය උන්වහන්සේට විය. අප කැමැති වුවත් අකැමැති වුවත් පිළිගත යුතු දෙයක්‌ වෙයි. ඒ, බුදුන් වහන්සේ ගේ ධර්මය දඹදිව පැවතුණේ සියවස්‌ කිහිපයක්‌ පමණක්‌ බව ය. බුදුදහමේ ඇතැම් අංග පසුව බිහි වූ හින්දු ආගමට (හින්දු ආගම බිහි වූයේ හයවැනි සියවසේ පමණ ශංකරාචාර්යවරයා ගෙන් පසුව ය. සිදුහත් කුමරු ඉපදුණේ හින්දු සමාජයක යෑයි කලක්‌ ඉන්දියාවේ ජනාධිපති ව සිටි සර්වපල්ලී රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු බොහෝ පඬිවරුන් කියා ඇති නමුදු එහි සත්‍යතාවක්‌ නැත.) ඇතුළත් වී ඒ ඔස්‌සේ වත්මන් ඉන්දියාවේ ද දැකිය හැකි බව සැබෑ ය. එහෙත් අද බෞද්ධ චින්තනයක්‌ හෝ සංස්‌කෘතියක්‌ හෝ ඉන්දියාවේ දක්‌නට නැත.

අශෝක රජු මැදිගත් වී මිහිඳු මහ රහතන් වහන්සේ මගින් මෙරටට බුදුදහම නිල වශයෙන් හඳුන්වා නො දෙන්නට මුළු ලෝකයෙන් ම බුදුදහම අතුරුදන් වී යැමට ඉඩ තිබුණි. වෛදික ආක්‍රමණයට ලක්‌ වූ දඹදිව බුදුදහමට තිබුණේ අල්පායුෂ ය. සිදුහත් කුමරු උපන්නේ ද අර්ධ වෛදික සමාජයක බව අමතක නො කළ යුතු ය. එතුමා මුළුමනින් ම වෛදික වූ සමාජයක ඉපදිණි නම් බුදුදහමට හිස එසවීමට වත් ඉඩක්‌ නො ලැබෙනු නොඅනුමාන ය. එහෙත් බුදුදහමට තරමක හෝ වෛදික සංස්‌කෘතියක්‌ ද අවශ්‍ය විය. යම් අයුරකින් බෝසතාණන් වහන්සේ චීනයෙහි ඉපදිණි නම් එවිට ද බුදුදහමට ඉඩක්‌ නො ලැබෙන්නට තිබිණි.

බෝසතාණන් වහන්සේ ලංකාවේ ඉපිදිණි නම් එවිට ද බුදුදහමට එවැනි ම වූ ඉරණමක්‌ ලැබෙන්නට තිබිණි. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි ලංකාව අවශ්‍ය ප්‍රමාණයට අර්ධ වෛදික වී නො තිබිණි ය යන්න මගේ නිගමනය වෙයි. යක්‍ෂ ගෝත්‍රිකයන් බලවත් ව සිටි සමාජයක බුදුදහමට තදබල විරෝධයක්‌ ඇති වීම වැළැක්‌විය හැකි නො වේ. පඬුq අබා රජුට පෙර මෙරට අතරින් පතර බෞද්ධයන් සිටින්නට ඇත. ශාක්‍ය වංශිකයකු වූ භද්දකච්චානා කුමරිය ද බෞද්ධ වන්නට ඉඩ ඇත. එහෙත් බුදුදහම ව්‍යාප්ත වීමට සමාජයෙහි යක්‍ෂ ගෝත්‍රික බලපෑම අඩු වී අර්ධ වෛදික බලපෑම වැඩි වීම අවශ්‍ය විය. ඒ කරුණු දේවානම්පියතිස්‌ස සමය වන විට ඉටු වීමෙන් පසුව පමණක්‌ මෙරට බුදුදහම ව්‍යාප්ත වීමට ඉඩකඩ සැලසිණි. පඬුq අබා කුමරු ඇතැම් යක්‍ෂයන් ගේ සහාය ලබා ගෙන රජ වුව ද එතුමා ගෙන් පසුව යක්‍ෂ බලය ක්‍රමයෙන් අඩු වන්නට පටන්ගෙන ඇති බව පෙනී යයි.

බුදු දහම ව්‍යාප්ත වීමේ දී නාග, දේව ආදී ගෝත්‍රිකයන් ගෙන් ලැබුණු ආධාරය ද සැලකිල්ලට ගත යුතු ය. යක්‍ෂ ගෝත්‍රිකයන් විරුද්ධ වුව ද නාග හා දේව ගෝත්‍රිකයෝa බුදු දහමට විරුද්ධ නො වූ හ. සමන් දෙවියන් පිළිබඳ කථාවලින් ද චුqලෝදර මහෝදර මෙන් ම මණිඅක්‌ක නා රජවරුන් ගේ කතාවලින් ද පැහැදිලි වන්නේ නාග හා දේව ගෝත්‍රිකයන් බුදුන් වහන්සේට හා බුදු දහමට දැක්‌ වූ ගෞරවය ය. එවැනි ගෞරවයක්‌ තිබිය දී ද මහාවංශයට අනුව යක්‍ෂයන් දමනය කිරීමට බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීමෙන් පෙන්නුම් කරන්නේ ලංකාවේ බුදු සමය පැතිරීමට බුදුන් වහන්සේ වැඩ විසූ කාලයෙහි සුදුසු වාතාවරණයක්‌ නො තිබි බව ය.

භාරතයෙන් බුදුදහම නැති වී ගිය ද ලංකාවේ අපට බුදුදහම රැකගැනීමට හැකි වූයේ බුදුදහමේ ව්‍යාප්තියට අඩු ම තරමින් කඩා නො වැටීමට අවශ්‍ය සමාජ ක්‍රමය යම් දුරකට නො වෙනස්‌ ව තබා ගැනීමෙනි. මහායානයට ගොදුරු වීමට තිබුණු ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කිරීමට පස්‌වැනි සියවසේ වැඩ උන් භික්‍ෂූන් වහන්සේ ඇතැම් පියවර ගත් හ. ඒ පියවර අතර බුදුදහම ආශ්‍රිත කෘති සිංහලෙන් පාළි භාෂාවට පෙරළීමක්‌ ද විය. ඒ ක්‍රියාවෙන් දහම ආරක්‍ෂා වූ බව රහසක්‌ නො විය යුතු ය. සිංහල හා ආන්ද්‍ර ප්‍රදේශ භික්‍ෂූන් වහන්සේ එකතු වී පස්‌වැනි සියවසේ පමණ ගත් තීරණය වූයේ ථෙරවාදය ආරක්‍ෂා කිරීමට නම් මහායාන චින්තනයට වැට බැඳිය යුතු බව හා සතුරු පරිසරයක ථෙරවාදයට වුව ද වැඩෙන්නට ඉඩ නො දිය යුතු බව ය. දහම් පොත් සිංහලෙන් පාළියට පරිවර්තනය කෙරුණේ ඒ අනුව ය. උන්වහන්සේ ඒ අනුව කටයුතු නො කරන්නට කලින් කියා ඇති පරිදි මේ වන විට අප හින්දුන් වී අවසාන ය.

අද මුළු ලෝකය ම ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට යට වී ඇත. ඉන්ද්‍රීය පිනවීම, වෙන් කිරීම හා වෙන් වීම, ස්‌වභාවධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇති බව පිළිගැනීම ආදිය ඒ චින්තනයෙහි වෙයි. අද මිනිස්‌සු ඒ සියල්ලට කැමැති වෙති. ස්‌වාභාවික මිනිසුන් යොමු වන්නේ ද ඒ පිළිගැනීමට ය. එහෙත් මෙහි කෙළවරක්‌ වෙයි. දැනට ඇති සීමිත සම්පත් හිඟ වූ කල අප එකිනෙකා ගෙන් වෙන් ව ඒවා ලබාගෙන ඉන්ද්‍රිය පිනවීමට එකිනෙකා සමඟ තරග වදින විට අපට අනෙක්‌ අය සතුරන් ලෙස පෙනෙනු ඇත.

මුරුගසං වරුසාවට තෙමුණු විට ද එකිනෙකා සතුරන් මෙන් පෙනෙන්නට ගන්නේ යෑයි කියමනක්‌ තිබේ. ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි කෙළවර ද ඇත්තේ එවැනි විනාශයකි. ඒ විනාශයට කලින් හෝ ඒ විනාශයත් සමඟ හෝ මිනිසුන්ට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි මානව හා ස්‌වභාවධර්ම (පරිසර) විරෝධී බව වැටහෙනු ඇත. එවිට සමාජයට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි අදාළ බවක්‌ වලංගු බවක්‌ නැති වනු ඇත. ලෝකයාට වෙනත් චින්තනයක අවශ්‍යතාව එලෙස දැනෙනු ඇත.

ඇතැම් විට ඉහත කී අන්දමේ තත්ත්වයක්‌ උදා වීමට පෙර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය සමාජයේ අවලංගු වී ඇති බව මිනිසුන්ට දැනෙනු ඇත. ඔවුන්ට නව චින්තනයක්‌ අවශ්‍ය වනු ඇත. ඒ චින්තනය අන් කිසිවක්‌ නො ව සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනය වෙයි. ස්‌වභාවධර්මය සමඟ සහජීවනයෙන් හා එකිනෙකා අතර වූ සාමූහිකත්වයෙන් එමෙන් ම සාමූහිකත්වය හා පෞද්ගලිකත්වය අතර මනා සමතුලනයකින්, තම අවශ්‍යතා හැකි තාක්‌ අඩු කරගනිමින් බහුභාණ්‌ඩිකත්වය පිළිකෙව් කරමින්, මමත්වය තුනී කර ගනිමින් සකස්‌ කර ගන්නා ජීවන ක්‍රමයක්‌ මිනිසුන්ට අවශ්‍ය වෙයි.

පරිසරය ගැන අප කතා කරන්නට පටන් ගත්තේ දැනට අවුරුදු විසි පහකට පෙර කිසි ම දේශපාලන පක්‍ෂයක්‌ හෝ ජාතික සංවිධානයක්‌ හෝ ඒ ගැන සිතීමට වත් පටන්ගෙන නො තිබූ අවධියක බව මෙහි ලා සඳහන් කළ යුත්තේ අද ඒ පිළිබඳ අවධානයක්‌ සමාජයෙහි ඇති බැවිනි. එහෙත් කිව යුත්තක්‌ ඇත. බටහිර රටවල ද පරිසරය සුරැකීම ගැන සාකච්ඡා ආරම්භ වී ඇත. එසේ ආරම්භ වූයේ අප ඒ ගැන සඳහන් කිරීමට පෙර බව පිළිගත යුතු ය. එහෙත් පරිසරය ගැන කතා කරන බටහිර විද්‍යාඥයින්ට සීමා පැනවී ඇත. ඔවුන් කටයුතු කරන්නේ ම බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. මේ චින්තනය අවුරුදු විසි පහකට පමණ පෙර අප විසින් හඳුන්වනු ලැබුවේ යුදෙව් චින්තනය නමින් බව සඳහන් කළ යුතු ය. එකල ජාතික චින්තනය යන වචන දෙක සමාජයේ අසන්නට නො ලැබිණි. චින්තනය යන්න අප විසින් මුල සිට යොදා ගනු ලැබූයේ නිශ්චිත සංකල්පයක්‌ ප්‍රකාශ කිරීමට මිස විසිරුණු අදහසක්‌ ප්‍රකාශ කිරීමට නො වේ. සිංහල බෞද්ධකම යනු කුමක්‌ දැයි නිශ්චිතව පැහැදිලිව නො කියා සිංහල බෞද්ධ ආර්ථිකයක්‌ ගැන කතා කිරීමේ තේරුමක්‌ නැත.

සිංහල බෞද්ධ ආර්ථිකයක්‌ හෝ ජාතික චින්තනයක්‌ ගැන කතා කරමින් බටහිර විද්‍යාව හා තාක්‍ෂණය අනුගමනය කිරීම තරම් අමනෝඥ ක්‍රියාවක්‌ තවත් නැත. බටහිර විද්‍යාවට හා තාක්‍ෂණයට කිසි දිනෙක පරිසරය

රැකිය හැකි නො වේ. අද බටහිර විද්‍යා පාඨමාලාවල ද පරිසර සංරක්‍ෂණය උගන්වනු දැකිය හැකි ය. එහෙත් බටහිර තාක්‍ෂණය මිනිසා ගේ ඊනියා සුඛ විහරණය සඳහා පරිසරය විනාශ කරමින් සිටිය දී පරිසරය රැකීම ගැන කතා කිරීම ම විහිළුවකි. මේ සම්බන්ධ ඇතැම් කරුණු පරිසරය හා බටහිර ආකල්ප නමින් පළ වී ඇති කෘතියෙහි සඳහන් වෙයි.

සංවර්ධනයේ සීමා (ඛසපසඑs එද ටරදඅඑය) යන ලේඛනය බටහිර පළ වී අවුරුදු පනහක්‌ පමණ වෙයි. ඉන් කියෑවුණේ සම්පත් (Resදමරජැs) ක්‍ෂය වී යැමත් සමග බටහිර වර්ධනයට සීමා පැනවෙන බව ය. එහෙත් බොහෝ බටහිර උගත්තු හා බුද්ධිමත්තු එයට විරුද්ධ වූ හ. ඔවුන් කියා සිටියේ බටහිර විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමඟ වෙනත් සම්පත් සොයා ගනු ඇති බව ය. වෙනත් ග්‍රහලෝකවලින් පවා සම්පත් (ඉන්ධන ආදිය) ගෙන ඒමට ඇතැම්හු කතා කළ හ. එබැවින් ටික කලකින් ම සංවර්ධනයේ සීමා යන්න බටහිර සාකච්ඡාවලට ලක්‌ නො වූ කරුණක්‌ විය. කෙසේ වුවත් බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට සංවර්ධනයේ සීමා යන්න ආගන්තුක සංකල්පයක්‌ වෙයි.

තම පෞද්ගලික අවශ්‍යතා වැඩි කරන, ඉන්ද්‍රිය පිනවීම වර්ධනය කරන ස්‌වභාවධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇතැයි කියන චින්තනයක ඊනියා සංවර්ධනයට සීමා තිබිය හැකි නො වෙයි. සංවර්ධනයේ සීමා යන්න බටහිර සුළු ධාරාවේ සංකල්පයක්‌ විය. නොබෝ කලකින් ම ඒ පරාජය වීම පුදුමයට කරුණක්‌ නො වේ. සිංහල බෞද්ධ චින්තනයෙහි සංවර්ධනයට සීමා යන සංකල්පය ම නැත. සීමාව යන සංකල්පය ඇති වන්නේ සංවර්ධනය සීමාවක්‌ නැති ව සිදු වන්නේ ය යන සංකල්පය ඇති විට ය. සිංහල බෞද්ධයන්ට එවැනි අසීමිත නො ව කිසි ම සංවර්ධනයක්‌ නැත. සිංහල බෞද්ධයන්ට ඇත්තේ සහජීවනය, සමතුලනය වැනි සංකල්ප මිස සංවර්ධනය යන්න නො වේ.