logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


දේශීය බෝග අතර වැදගත් තැනක්‌ හිමි වන තිබ්බටු

ඉදිරිපත් කරන්නේ කෘෂි උපදේශක සුසිලා රත්නසේකර

                                        

නියඟයට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්‌ ඇති තිබ්බටු වියළි කලාපයේ වඩාත් පැතිරී පවතී. එහෙත් පහතරට තෙත් කලාපයේ මෙන්ම වියළි හා අන්තර් දේශගුණික කලාපවල ද හොඳින් වර්ධනය වී පලදාව ලබා දෙයි. එහෙත් වියළි කලාපයට වඩාත් ගැලපෙන බෝගයක්‌ ලෙස හැඳින්වීමට පුළුවන. අවුරුද්දේ ඕනෑ ම කාලයක මෙම බෝගය සිටුවා ගැනීමට හැකි වීම විශේෂ ලක්‍ෂණයකි. එසේ පැළ සිටුවා ගැනීම වර්ෂාව පවතින කාලයක සිදු කරන්නේ නම් වඩාත් සුදුසු ය.

                                                

තිබ්බටු බහුවාර්ෂික බෝගයකි. ඒ නිසා හොඳින් නඩත්තු කරන ගසකින් වසර කිහිපයක්‌ ම අස්‌වනු ලබාගත හැකි ය. මේ බෝගය තනි වගාවක්‌ ලෙස පවත්වා ගනිමින් හොඳ ආදායමක්‌ උපයා ගැනීමට පුළුවන. වෙනත් බෝග සමග මිශ්‍ර වගාවක්‌ ලෙසට ද වගාව පවත්වාගත හැකි ය. ඉඩකඩ තිබේ නම් හොඳිsන් අතුපතර විහිදා ශාකය වැඩේ. වෙනත් බෝග සමග අයින් තීරුවල ද මෙම වගාව සාර්ථකව කළ හැකි ය. ඉඩකඩ සීමිත ගෙවත්තක වුව ද මෙවැනි ගසක්‌ දෙකක්‌ සිටුවා ගන්නේ නම් වඩාත් වාසිදායක ය. ඊට හේතුව වන්නේ වැඩි අවධානයක්‌ නො යෙදුවත් හොඳින් වැඩි පලදාවක්‌ ලබා දීමයි. එපමණක්‌ නො ව පොකුරු වශයෙන් අතු කෙළවර හටගන්නා සුදු පැහැති මල් පොකුරු හා ගෙඩි අලංකාරයක්‌ ද ලබා දෙයි.

තිබ්බටුවල පවතින පෝෂණ ගුණය මෙන්ම ඖෂධීය ගුණය ද ඉතා ම වැදගත් ය. එහි අඩංගු වන රසායනික සංඝටකවලින් "සොලනින්" සහ "සොලනිඩින්" යන සංඝටක ශරීරයට ප්‍රයෝජනවත් ය. ආහාරයට ගැනීමෙන් හතිය, කැස්‌ස, සෙම් හා පිත් හා පණු රෝග නසන බවත් සඳහන් ය.

අතීතයේ හේන් වගාවක්‌ ලෙසට කෙරුණු තිබ්බටු වගාව දැනට තනි වගාවක්‌ වශයෙන් කරනුයේ එයින් ලැබෙන ආර්ථික වාසිය වැඩි නිසා ය. වෙළෙඳපොළේ තිබ්බටු සඳහා වැඩි මිලක්‌ ගෙවන්නට සිදු ව තිබෙන්නේ එහි පවතින ඖෂධීය හා පෝෂණීය ගුණය වටහාගෙන තිබෙන නිසා ය.

බීජ තවාන්වල සිටුවා හෝ අතු මුල් කැබැලි මගින් හෝ පැළ ලබාගත හැකි ය. බීජ පැළ සිටුවා වගාව ආරම්භ කරන්නේ නම් වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමට පුළුවන. බීජ පැළ ලබා ගැනීමට බීජ තවාන් දැමීම ද අවශ්‍ය ය. බීජ ලබා ගැනීමට හොඳින් පැසුණු හෝ ඉදුණු හෝ ගෙඩි ප්‍රයෝජනයට ගත යුතු ය. එම ගෙඩිවලින් බීජ වෙන් කර ඒවා ජලයෙන් හොඳින් සෝදාගෙන තවාන් කළ යුතු ය. මෙම බීජ පැළ වීමට වැඩි කාලයක්‌ ගත වන හෙයින් ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කිරීම අවශ්‍ය ය. එනම් බීජවලින් පැළ මතු වීම ප්‍රමාද වන විට ඉවසිලිවන්තව බලා සිටිය යුතු ය. පැළ වීම ඉක්‌මන් කරවා ගැනීමට බීජ පෙඟවීම හෝ හෝමෝන ප්‍රතිකාර හෝ කළ හැකි ය.

බීජ තවාන් දැමීම සඳහා පාත්ති සකස්‌ කිරීමට හොඳින් හිරුඑළිය වැටෙන ස්‌ථානයක්‌ තෝරා ගත යුතු ය. පස හොඳින් පෙරළා උස්‌ පාත්ති සකස්‌ කර ගැනීම අවශ්‍ය ය. මෙසේ සකස්‌ කරගත් පාත්ති මත සරු මතුපස්‌ හා දිරාපත් වු ගොම පොහොර 1(1 අනුපාතයට ගෙන තුනී තට්‌ටුවක්‌ ආකාරයට තැන්පත් කළ යුතු වේ. මෙම පාත්ති හොඳින් ජීවාණුහරණය කර ගැනීම වැදගත් ය. විශාල වශයෙන් වගා කිරීමේ දී මේ ක්‍රමය අනුගමනය කළ යුතු වුවත් ගෙවතුවල කුඩා පරිමාණ වගාවන් කරන විට මේ මූලධර්ම උපයෝගී කරගෙන තවාන් බඳුන් පිළියෙල කරගත හැකි ය. බීජ වැපිරීම සඳහා ඉරි ඇඳ ඒ දිගේ බීජ දමා තුනී පස්‌ තට්‌ටුවක්‌ යොදා බීජ වසා දැමිය යුතු ය. මෙසේ තවාන් කළ බීජ පැළ වීමේ ප්‍රතිශතය 50%ක්‌ පමණ වේ. එහෙත් බීජ ප්‍රතිකාරක යෙදීමෙන් පැළ වීමේ ප්‍රතිශතය වැඩි කර ගත හැකි ය. මෙසේ තවාන් කළ බීජ පැළ වී සති 2-3ක්‌ පමණ ගත වන විට පැළ ගලවා පොලිතීන් බඳුන්වල නැවත සිටුවා ගැනීම යෝග්‍ය ය. මෙසේ කිරීමෙන් පැළ ශක්‌තිමත් කර ගත හැකි ය. මෙසේ බඳුන්වල සිටුවා සති 2-3ක්‌ පමණ ගත වූ පසු සාර්ථකව දැඩි කරගත් පැළ ස්‌ථිර බිමේ සිටුවීමට පුළුවන. ඒ මගින් ශක්‌තිමත් පැළ යොදාගෙන වගාව ආරම්භ කරගත හැකි ය. ශක්‌තිමත් පැළවලින් ආරම්භ කරන වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට පුළුවන.

කෙසේ වෙතත් තම ගෙවත්තේ තිබ්බටු ගස්‌ තිබේ නම් ඒවායේ මුල් කපා දැමීමෙන් ද අලූත් පැළ ලබාගත හැකි ය. සමහර අවස්‌ථාවල ගෙවත්තේ තිබ්බටු ගස්‌ තිබෙන විට තැන් තැන්වල පැළ මතුවී තිබෙන ආකාරය දැකගත හැකි ය. එම පැළ වෙන් කර වෙන ම සිටුවා ගැනීමට ද පුළුවන. දඬු කැබැලි ක්‍ෂෙත්‍රයේ සිටුවීමෙන් ද වගාවන් ඇති කරගත හැකි ය. පැළ වීමේ ප්‍රතිශතය අඩු නිසා වැඩි අවධානයක්‌ ඒ කෙරෙහි යොමු කළ යුතු ය.

හොඳින් ජලය බැස යන ගැඹුරු පසක්‌ වගාව සඳහා යෝග්‍ය වේ. කාබනික ද්‍රව්‍ය හොඳින් යෙදීමෙන් සාර්ථක වගාවක්‌ පවත්වාගත හැකි ය. මහ කන්නයේ තද වැසි අවසාන වූ පසු පැළ සිටුවීම කළ යුතු බව නිර්දේශ කර ඇත. සාමාන්‍යයෙන් සෙ.මි. 45දූ45දූ45 ප්‍රමාණයේ වළක්‌ පැළ සිටුවීම සඳහා සකස්‌ කර ගත යුතු ය. මෙසේ සකස්‌ කරගත් වළවලට හොඳින් කාබනික පොහොර යොදා එක්‌ වළක එක්‌ පැළයක්‌ වන සේ පැළ සිටුවිය යුතු ය. තිබ්බටු ගසක්‌ පසුකාලීනව මීටර 3-3 1/2ක්‌ පමණ දක්‌වා අතු විහිදී වැඩෙන නිසා පැළ අතර වැඩි පරතරයක්‌ තිබීම අවශ්‍ය ය. පරතරය අඩු කරන්නේ නම් අතු කප්පාදු කර ගස පාලනය කර මනා අතු වියනක්‌ පවත්වාගත යුතු ය. කෙසේ වෙතත් ගස්‌ උසට වැඩීම පාලනය කරගත යුතු ම ය. නැතිනම් ගෙඩි කඩා ගැනීමට එය අපහසුවක්‌ වනවා ඇත.

කාබනික පොහොර සඳහා හොඳ ප්‍රතිචාරයක්‌ දක්‌වන තිබ්බටු ශාකයට රසායනික පොහොර ද ලබා දෙන්නේ නම් වැඩි ඵලදාවක්‌ ලබාගත හැකි ය. පැළ සිටුවීමට පෙර භථඡථණ පොහොර ද, පැළ සිටුවා සති 4 දී භ ද, සති 8 දී භ හා ණ ද, සති 12 දී නැවත භ ද, ඉන්පසු සති 4කට වරක්‌ භ හා ණ ද යොදන්නේ නම් අස්‌වැන්න වැඩි කරගත හැකි ය. පැළ කුඩා කාලයේ දී වල් මර්දනය අවශ්‍ය වුවත් අතු වියන විහිදී වැඩි වන විට සෙවණ නිසා වල්පැළ මතු වීම බොහෝ දුරට සීමා වේ. වියළි කාලගුණයට ඔරොත්තු දෙන ශාකයක්‌ වුවත් වියළි කාලගුණය පවතින විට සතියකට වරක්‌ හෝ ජලය සැපයීම වැදගත් ය. ජල සංරක්‍ෂණය සඳහා පැළෑටි වටා උදලූ ගාන තණකොළ යොදා වසුනක්‌ ලෙස සකස්‌ කරගත හැකි ය.

තිබ්බටු පැළ සිටුවා අතු විහිදී වැඩීමට මාස කිහිපයක්‌ ගත වන නිසා පැළ අතර තබන වැඩි ඉඩකඩ ප්‍රයෝජනයට ගනිමින් ඒ ඉඩෙහි වෙනත් වගාවක්‌ කළ හැකි ය. තිබ්බටු අයත් වන්නේ සොලනේසි ශාක කුලයට නිසා අතුරු වගාව ලෙස වෙනත් ශාක කුලයක බෝග (කුරක්‌කන්, බඩ ඉරිඟු= වැනි ධාන්‍ය බෝගයක්‌, මුං කව්පි වැනි රනිල බෝගයක්‌, තම්පලා කංකුං වැනි පලා වර්ගයක්‌) සිටුවා ගැනීමට පුළුවන. මෙය උපයෝගී කරගනිමින් ගෙවත්තක නම් බෝග අතරට තිබ්බටු ගසක්‌ දෙකක්‌ ඉඩ ඇති පරිදි යොදා ගැනීම ගැන අවධානයට ගත යුතු ය.

තිබ්බටු සිටුවා නිසි පරිදි පාලන කටයුතු කළ හොත් මාස 6-6 1/2ක්‌ පමණ ගත වන විට අස්‌වැන්න ලබාගත හැකි ය. කිනිති වශයෙන් ගෙඩි හටගන්නා අතර කිනිත්තේ 90%ක්‌ පමණ ගෙඩි විශාල වන විට මේරීමට පෙර කඩාගත යුතු ය. ගෙවත්තේ නම් අවශ්‍ය අවස්‌ථාවල දී කිනිත්තෙන් ගෙඩි තෝරා වෙන් කරගත හැකි ය. තදින් මේරූ විට පොත්ත තද නිසා මේරීමට පෙර ගෙඩි රසවත් බවින් වැඩි ය.

රෝග වශයෙන් බැක්‌ටීරියා හිටුමැරීම වැළඳීමට පුළුවන. පෙර කන්නවල සොලනේසි කුලයේ බෝග වගා නො කළ බිමක සිටුවීම මගින් මෙවැනි රෝග පාලනය කරගත හැකි ය. මුලින් පැළ මළානික වීමත් පසුව වියළී මිය යැමත් සිදු වේ. රෝගය ඇති ශාක පස්‌ ද සමග ම වගා බිමෙන් ඉවත් කිරීම රෝග පාලනයට ඉතා වැදගත් ය.

කෘමි හානි ලෙස කරටි ගෙඩි විදින පණුවා ගේ හානිය දැකගත හැකි ය. පැළ කාලයේත් මල් හා ගෙඩි හටගන්නා කාලයේත් කරටි, ළපටි ගෙඩි සිදුරු කර මෘදු පටක ආහාරයට ගනී. වගාව පිළිබඳව සැලකිල්ලෙන් සිට හානිය දුටු විගස කරටි හා ගෙඩි කඩා විනාශ කිරීම කෘමිනාශක යොදනවාට වඩා සෞඛ්‍යාරක්‍ෂිත ය.

කුඩිත්තා, පිටි මකුණා සහ කොළ කීඩෑවා පත්‍රවල යටි පෘෂ්ඨයේ ජීවත් වෙමින් පත්‍රවල යුෂ උරා බොයි. මේ මගින් පත්‍ර විකෘති වීම, කහ වීම, පත්‍ර හැළී යැම ආදිය නිසා ගස්‌ ද මැරී යැම සිදු වේ. හානිය උග්‍ර නම් කෘමිනාශක යෙදීමට සිදු වේ. මකුණන් සහිත පත්‍ර දුටු වහාම වගා බිමෙන් ඉවත් කර පුළුස්‌සා දැමීම වඩාත් වැදගත් ය.

එතරම් හානිදායක රෝග හා පළිබෝධ හානි තිබ්බටු වගාවේ ඇති නො වේ. එම නිසා පහසුවෙන් වගා කළ හැකි වැඩි අස්‌වැන්නක්‌ හා ආදායමක්‌ ලබාගත හැකි බෝගයක්‌ ලෙස තිබ්බටු හැඳින්විය හැකි ය.