logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


Z score මුදලට ගැනීම

ඔබ recorrection දැමීමට රු 600ක්‌ පහසුවෙන් සොයා ගත හැකි සිසුවෙක්‌ ද? එම මුදලත් අරං යන්න එන්න මාත් එක්‌ක හම්බන්තොට, මොණරාගල වැනි දිස්‌ත්‍රික්‌කයක දුෂ්කර ගමක අව්වට පිච්චෙමින්, හරියට අහරක්‌ නැතිව, දාඩිය වගුරුවමින් කුඹුරක ගොයම් කපන අම්මා කෙනෙක්‌ හමු වන්න. (ගොයම් කපන මැෂිමත් දැන් ඇයට ප්‍රශ්නයක්‌ වෙලා). ඔබ රැගෙන ආ මුදල ඇයට දෙන්න. ඇය ඔබට නමස්‌කාර කරනවා නිසැකයි. මොකද ඇය ගේ සැමියා ලෙඩෙක්‌, විශ්‍රාම පඩි නෑ, ළමයින්ට උගන්වන්න තියෙනවා. මහන්සි වුවත් දවසට ලැබෙන්නේ රු 500/- කටත් අඩු මුදලක්‌. අපි දැන් ඇය ගේ ළමයෙක්‌ ගැන කතා කරමු.

ඔහු 2008 උසස්‌ පෙළ කළා. ලැබෙන result එකෙන් සෑහීමකට පත් වෙන්න වෙලා. result නැවත බලවන්න සල්ලි නෑ. ඉංජිනේරුවෙක්‌ වුණොත් පවුල ම ගොඩ කියලා දන්නවා. නංගිටයි, මල්ලිටයි උගන්වන්න ඔහුත් දැන් කුලී වැඩ කරනවා. ඒත් බලධාරීන් ගේත් ගුරුවරුන් ගේත් සමහර වැඩ නිසා ම, මුදල් ප්‍රශ්නයක්‌ නැති ළමයින්ට recorrection දැමීම trend එකක්‌ වෙලා. ගොඩක්‌ දෙනකු ගේ result වෙනස්‌ වීමෙන් මධ්‍යන්‍යය වැඩි වූ නිසා සැම ගේ Zscore වෙනස්‌ කරන කොට recorrection නො ඉල්ලූ සැම ගේ Zscore පහළ බසිනවා. ඇමැතිවරු කුමක්‌ කීවත් සමාජයේ විපරම් කරනවා නම් ඔවුන්ට නො ව ඔබටත් පෙනේවී තුන්වැනි දශම ස්‌ථානයෙන් නො ව පළමු දශම ස්‌ථානයෙන් පවා Zscore වෙනස්‌ වූ, සරසවි සිහිනය බොඳ වූ ළමයින් සිටිනවා. ඇමැතිවරුන් ගේ ළමයින්ට නම් පිටරට සුර සැප. සරසවි බලාපොරොත්තු තිබූ ළමයි නැවත Class ගියේ නෑ.

අපි කතා කරන ළමයා සරසවියට නො තේරෙන්නේ එක දශමස්‌ථානයෙන් නම්, ඔහු recorrection දැම්මා නම් එක විෂයක වත් ලකුණු 10ක්‌ වැඩි වීම නිසා Zscore දශමයක්‌ වැඩි වී ඔහු සරසවියට ප්‍රවේශ වනවා නම්? ඔබ සිතන්න එම ළමයා ඔබ වුණා නම් ඔබට සමාජය ගැන ඇති වන්නේ ප්‍රේමනීය හැඟීමක්‌ ද කියා? එහෙත් ඔහුට සමාජය ගැන වෛරයක්‌ නෑ. මොකද ඔහු දන්නේ නෑ මේ කිසිවක්‌ (වාසනාවට). කළ යුතු වන්නේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සමීක්‍ෂණය කරන ගුරුවරුන්ට තම විෂයට අදාළව test එකක්‌ පවත්වා එයින් 50%ක්‌ වත් පසු කරන ගුරුවරුන් ප්‍රශ්න පත්‍ර සමීක්‍ෂණයට ගැනීමයි. නැතිනම් සිදු වන්නේ marking scheme එකට අනුව ම එයට වහල් වී සමීක්‍ෂණ කරන ගුරුවරු අතින් වඩා නිර්මාණශීලී ළමයින් ගෙන් සමාජයට ලබාගත හැකි සුවිශේෂී නිර්මාණ නැති වී යාමයි.

ඡේ. ජි. සුරේෂ්, විජයබා ජාතික පාසල