කුළුබඩු බෝග අතර ප්‍රධාන තැනක්‌ ගන්නා කුරුඳු

ශ්‍රී ලංකාව කුරුඳුවලට ප්‍රසිද්ධියක්‌ උසුලන රටකි. සම්භවය ලංකාව වීමත්, ලෝකයට කුරුඳු සපයන ප්‍රධාන රට ලෙසටත් ලංකාව පත් ව තිබීමත් විශේෂත්වයකි. ලංකාවේ කුරුඳුවල ඇති රසය හා ගුණාත්මය වෙනත් රටවල කුරුඳුවල දක්‌නට නොමැති හෙයින් ලෝක වෙළෙඳපොළට සැපයෙන කුරුඳුවලින් සියයට 70ක්‌ පමණ ප්‍රමාණයක්‌ අප රටට සැපයීමට හැකි ව තිබේ. වාර්ෂිකව රුපියල් මිලියන 5000-6000ත් අතර විදේශ විනිමයක්‌ අප රටට උපයා දෙන බෝගයක්‌ බවට කුරුඳු පත් ව ඇති බව විශේෂයෙන් ම සඳහන් ව තිබේ. කුරුඳු උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ Cසබබ්පදපමප ඩැරමප ඡරුsක ලෙසට ය.

ප්‍රධාන වශයෙන් වගා වන දිස්‌ත්‍රික්‌ක ලෙස ගාල්ල, මාතර, රත්නපුර, කළුතර හා හම්බන්තොට හැඳින්විය හැකි ය. ප්‍රධාන වශයෙන් මේ දිස්‌ත්‍රික්‌ක වගාවට යොමු වී ඇතත් තවත් බොහෝ ප්‍රදේශවල සුළු වශයෙන් වගා කර තිබෙන බව ද දැකගත හැකි ය. විශේෂයෙන් ම කුරුඳු වගා කළත්, අස්‌වනු සකස්‌ කිරීමේ ක්‍රමය හරියාකාරව නො දන්නා නිසා ඒ වගාවෙන් නිසි ප්‍රයෝජන නො ලබන බව ද පෙනෙයි. කුරුඳු තනි වගාවක්‌ ලෙස කිරීමට ද පොල් වැනි බෝග අතර වගා කිරීමට ද හැකියාව ඇත. මෙය සැලකිල්ලට ගන්නේ නම් වගා බිම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මේ වගාව යොදාගත හැකි ය.

කුරුඳු තරමක්‌ නියඟයට පවා ඔරොත්තු දෙන බෝගයක්‌ ලෙසට හඳුනාගෙන ඇති නිසා එවැනි ප්‍රදේශවලට බෝගය තෝරාගත හැකි ය. එහෙත් පැළ කුඩා කාලයේ දී දැඩි ලෙස නියං තත්ත්වයක්‌ පැවතීම එතරම් සුදුසු නො වේ. බෝගය ස්‌ථාපනය වූ පසු එය එතරම් දුරට බලපානු නො ලැබේ. දිගු කාලයක්‌ ජලය රඳා සිටින වගා බිම් ද එතරම් සුදුසු නැත.

මෙම බෝගය වගා කිරීමේ දී බීජ මගින් මෙන්ම අතු කැබැලි මඟින් ද ප්‍රචාරණය කර ගැනීමේ හැකියාව තිබේ. එහෙත් ප්‍රධාන වශයෙන් බීජ මගින් ප්‍රචාරණය කෙරෙයි. කුරුඳු ගස්‌වල ඇති බීජ ඉදුණු පසු නෙළාගෙන සිටුවීමට යොදාගත හැකි ය. ජුනි, ජූලි මාසවල මෙම ඉදුණු බීජ ලබාගත හැකි ය. නෙළාගත් බීජ දින 2-3ක්‌ ගොඩගසා තබාගෙන ඉන්පසු ජලයෙන් සෝදා පොතු ඉවත් කරගැනීම අවශ්‍ය ය. ඉන්පසු මඳ පවනේ වියළා ගැනීම කළ යුතු ය. මෙම බීජ වියළි ලී කුඩු සමග මිශ්‍ර කර පොලිතීන් බඳුන්වල අසුරා තබාගත යුතු ය. මාස 3ක කාලයක්‌ ඇතුළත වගා මාධ්‍ය පිරවූ බඳුන්වල සිටුවා පැළ ලබාගත හැකි ය.

බීජ සිටුවීම සඳහා යොදාගනු ලබන මාධ්‍යයට මතුපිට පස්‌, වැලි, කොහුබත්, ගොම හෝ කොම්පෝස්‌ට්‌ සමාන ප්‍රමාණවලින් මිශ්‍ර කරගත යුතු වේ. මෙසේ මිශ්‍ර කරගත් මාධ්‍යය පොලිතීන් මලූවලට (8"ක්‌ පමණ උස 5"පමණ විෂ්කම්භයෙන් යුත්) පුරවා එක්‌ බඳුනකට බීජ 5-6ක්‌ දමා තුනී පස්‌ තට්‌ටුවකින් වසාගත යුතු ය. මේවා සෙවණ සහිත ස්‌ථානයක තැන්පත් කර ප්‍රමාණවත් පරිදි ජලය සපයා දීමෙන් පැළ කරගත හැකි ය. මෙම පැළ හොඳින් රැකබලා ගැනීමෙන් මාස 4-6ක්‌ පමණ වන විට ක්‍ෂෙත්‍රයේ සිටුවිය හැකි ප්‍රමාණයට විශාල කරගත හැකි ය.

කුරුඳු පැළ සිටුවීම සඳහා අඩි 1 X 1 X 1 ප්‍රමාණයේ වළවල් සකස්‌ කර ගැනීම යෝග්‍ය වේ. මේ වළවලට ගොම හෝ කොම්පෝස්‌ට්‌ යොදා ගැනීම වඩාත් සුදුසු ය. මෙසේ සකස්‌ කරගත් වළවල, කලින් බඳුන්වල තවාන් කළ පැළ ඇති (ශක්‌තිමත් පැළ 4-5ක්‌ සහිත) බඳුන් පොලිතීනය ඉවත් කර සිටුවා ගත යුතු ය. කුරුඳු වගා කිරීමේ දී පොල් වගාව අතර සිදු කරන්නේ නම් වගා බිමෙන් වැඩි ආදායමක්‌ උපයා ගැනීමට ද හැකි වනු ඇත. බොහෝ විට පොල් වගාව සිදු කරන්නේ අඩි 24 X 24 පරතරය ඇති ව නිසා අක්‌කරයකට කුරුඳු පඳුරු 1500ක්‌ පමණ වගා කිරීමේ හැකියාව තිබේ. මෙහි දී විශේෂයෙන් ම වැදගත් කරුණක්‌ වන්නේ කුරුඳු වගාවටත් පොල් වගාවටත් වෙන් වෙන් වශයෙන් පොහොර යෙදීම අවශ්‍ය වීම ය. එවිට බෝග දෙකෙන් ම හොඳ ආදායමක්‌ ලබාගත හැකි ය. නැතිනම් බෝග දෙක ම පෝෂණ දුර්වලතාවලට භාජන වේ.

කුරුඳු වගාවෙන් අස්‌වැන්න ලබාගැනීම සඳහා වසර 21/2-3ක්‌ පමණ ගත වේ. මේ අවස්‌ථාව වන විට ගසෙහි පොත්ත දුඹුරු පැහැයක්‌ ගනී. අස්‌වැන්න නෙළීමට මාස 3කට පමණ පෙර පහළින් ඇති හරස්‌ අතු ද, දුර්වල අතු ද ඉවත් කර ගසට මනා පාලනයක්‌ කිරීම වැදගත් ය. අලූත් දලූ ඇති වන විටත් තදින් පායන කාලයටත් කුරුඳු පොතු ගැලවීම අපහසු වන හෙයින් මේ අවස්‌ථාවන් මගහැර අස්‌වැන්න නෙළාගත යුතු වේ. අස්‌වැන්න නෙළීමේ දී එක්‌ පඳුරකට මේරූ අතු 1-2ක්‌ ඉතිරි කර අනෙක්‌ අතු පොළොව මට්‌ටමේ සිට 6"ක්‌ පමණ ඉහළින් කපා ගැනීම අවශ්‍ය ය. අතු කපන විට අංශක 45ක ආනතියක්‌ ඇතිව කැපුම් සිදු කළ යුතු ය.

කුරුඳු අස්‌වැන්න සකස්‌ කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණ කට්‌ටලයක්‌ ඇත. කුරුඳු පොතු සකස්‌ කිරීම වෙනස්‌ කාර්යයක්‌ වන බැවින් බොහෝ දෙනෙක්‌ එය අපහසු යයි සිතති. එහෙත් පළපුරුදු අය මෙය ඉතා ම කාර්යක්‍ෂම ලෙස සිදු කරති. මේ අවශ්‍ය කරන උපකරණ කට්‌ටලය පිළිබඳ වත් අවශ්‍ය කරන පුහුණුව පිළිබඳ වත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් විමසා දැනගත හැකි ය. කුරුඳු වගාව පිළිබඳව අවශ්‍ය කරන සියලූ ම තොරතුරු මඟපෙන්වීම් ඔවුන් ගෙන් ලබාගත හැකි ය. දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‍ෂ කාර්යාලවලින් මෙන්ම පළාතේ ගොවිජන සේවා මධ්‍යස්‌ථානවල සිටින ව්‍යාප්ති නිලධාරීන් වෙතින් ද මේ තොරතුරු ලබා ගැනීමට පුළුවන.

අස්‌වැන්න ලබාගෙන කුරුඳු පොතු සකස්‌ කිරීම, කුරුඳු පොතු තෙල් නිෂ්පාදනය, කුරුඳු කොළ තෙල් නිෂ්පාදනය වශයෙන් වෙළෙඳ පොළට ඉදිරිපත් කළ හැකි ය. කුරුඳු පොතු ලබා ගැනීමට මේරූ කෝටු ගැනීමෙන් පසු ඉතිරි වන කොළවලින් තෙල් නිස්‌සාරණය කරගනු ලබයි. මේවා කොළ තෙල් ලෙස හඳුන්වයි. මේවායේ අඩංගු වන රසායනික ද්‍රව්‍ය "ඉයුජිනෝල්" වේ. පොතුවලින් ලබාගන්නා තෙල්වල අඩංගු වන රසායනික ද්‍රව්‍ය "සිනැමැල්ඩිහයිඩ්" ය. පොතු තෙල්වල මිල, කොළ තෙල්වල මිලට වඩා වැඩි ය. පොතු නිෂ්පාදනයේ දී ද ඇල්බා ශ්‍රේණි ලෙස හඳුන්වනු ලබන හීනි කුරුඳු නිෂ්පාදනය කළ විට වැඩි මිලක්‌ ලබාගත හැකි ය.

ඉදිරිපත් කරන්නේ
කෘෂි උපදේශක
සුසිලා රත්නසේකර