logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගම්පෙරළියේ පෙරළිය

මහාචාර්ය නලින් ද සිල්වා

ගම්පෙරළිය ගැන පමණක්‌ නො ව බොහෝ නවකතා ගැන ද බොහෝ දේ සඳහන් කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්‌ථාව නො වෙයි. මෙහි දී අපේ අවශ්‍යතාව වනුයේ බටහිර කවිය බටහිර නවකතාවෙන් වෙනස්‌ වන ආකාරයත් සිංහල කවිය බටහිර කවියෙන් වෙනස්‌ වන ආකාරයත් සාකච්ජා කිරීම ය. අප ගම්පෙරළිය ගැන මෙහි දී කතා කරන්නේ ඒ අරමුණෙන් ය. මෙරට සිංහලෙන් බටහිර අච්චුවේ නවකතා ලියූ පළමු තැනැත්තා වූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. කෙටියෙන් කිව හොත් ඒ මහතා බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ නවකතා සිංහලෙන් ලිවී ය. එපමණක්‌ නො ව ඒ මහතාට බටහිර නවකතා අච්චුවෙන් ම සිංහලෙන් කවි ලිවීමට ද අවශ්‍ය විය.

ගම්පෙරළියේ සඳහන් වන්නේ කයිසාරුවත්තේ මුහන්දිරම් ගැන වුවත් එහි ආර්ථික වශයෙන් අහේනියට යන්නේ කයිසාරුවත්තේ මුදලාලි ය. මුහන්දිරම් ආදී තනතුරුවල ගාම්භීරත්වය අභාවයට ගියේ බිරිතානීන් මෙරටට යම් ආකාරයක දේශපාලන නිදහසක්‌ දීමෙන් ද පසුව ය. එහෙත් පොතෙහි කියන්නට තැත් කරන්නේ ඊනියා වැඩවසම් සමාජයක්‌ අහෝසි වීම ගැන ය. ලංකාවේ කිසි ම දවසක යුරෝපයේ මෙන් වැඩවසම් සමාජයක්‌ තිබී නැත. වැඩවසම් සමාජයක ඉඩම්වල අයිතිය රජුට රදලයන්ට හා පූජකවරුන්ට තිබිය යුතු ය. සිංහල සමාජයෙහි තිබුණේ ඉඩම්වල අයිතියක්‌ නො ව භාරකාරත්වයක්‌ ය.

අයිතිය යන සංකල්පය අපට ලැබුණේ බටහිරයන් ගෙනි. විශේෂයෙන් ම ලන්දේසීන්ගෙනි. ඉඩම් අයිතියක්‌ හඳුන්වා දී ඔප්පු තිරප්පු අපට හිමි කර දීමට ලන්දේසීහු කටයුතු කළ හ. ඉංගිරිසීහු මේ අයිතිය තහවුරු කළ හ. උඩරට සිංහල ගැමියන්ට මුඩුබිම් පනත යටතේ ඉඩම් අහිමි කිරීමට ඉංගිරිසීන්ට හැකි වූයේ අයිතිය යන සංකල්පය නො තිබූ රටක ගැමියන්ට ඊනියා අයිතියක්‌ පෙන්වීමට නොහැකි වූ බැවිනි. අපේ නො තිබූ වැඩවසම් සමාජයක්‌ ගැන පඬිවදන් ලියන්නෝ බටහිරයන් ගෙන් ඉගෙන ගත්, ඔවුනට අනුව ලෝකය බලන මෙරට හා පිටරට සමාජ විද්‍යාඥයෝ ය.

කෙසේ වෙතත් මෙරට නො තිබූ වැඩවසම් සමාජයක අභාවය ගැන කියන්නට ගම්පෙරළිය ලියූ නමුත් මුහන්දිරම් වැනි චරිත ඔස්‌සේ ඒ නො කළ හැකි බව මාර්ටින් වික්‍රමසිංහ මහතා කල්පනා නො කරන්නට ඇත. මුහන්දිරම් වැනි නිලතල සිංහල සමාජයේ නිලතල නො ව බිරිතානීන් ගේ ම නිලතල බව ඒ මහතාට අමතක වන්නට ඇත. කෙසේ වෙතත් ගම්පෙරළියෙහි අභාවයට යන්නේ එවැනි නිලතල නො වන්නේ බිරිතානී යටත්විජිතවාදය යටතේ ඒ අභාවයට නො ගිය බැවිනි.

ගම්පෙරළියෙහි අභාවයට යන්නේ කයිසාරුවත්තේ මුහන්දිරම් නමැති සුළු මුදලාලි කෙනෙකි. ඇතැම් සුළු මුදලාලිලා අභාවයට ගියේ ධනපති ක්‍රමය යටතේ සුළු මුදලාලිලා නැති වී ලොකු මුදලාලිලා ඇති වීමෙන් නො ව ඔවුනට වෙළෙම නුහුරු වූ බැවිනි. මාතර හාමිනේ වැන්නන්ට කෙසේ වත් වෙළෙම හුරු නැත. ඒ පෞද්ගලික කරුණකි. බොහෝ සිංහලයන්ට අදත් වෙළෙඳාම හුරු නැත්තේ සිංහල සමාජය වෙළෙම මත නො ව කෘෂිකර්මය හා ස්‌වයංපෝෂණය මත පදනම් වූ සමාජයක්‌ බැවිනි. අද ද සමාජයේ වෙළෙම වැඩියෙන් කෙරෙන්නේ දෙමළ මුස්‌ලිම් ජනවර්ග හා දකුණු පළාතේ සිංහලයන් කිහිප දෙනකු අතිනි. කයිසාරුවත්තේ මුහන්දිරම් හෙවත් මුදලාලි හා මාතර හාමිනේ දකුණේ වුවත් ඔවුන්ට ද වෙළෙම හුරු වී නැත.

මෙයින් මා පෙන්වීමට තැත් කරන්නේ ගම්පෙරළියෙන් පොදු සමාජ විපර්යාසයක්‌ පිළිබිඹු නො වන බව ය. වික්‍රමසිංහ මහතාට කීමට අවශ්‍ය වූයේ කුමක්‌ වුවත් පොතෙන් කියෑවෙන්නේ පවුලක කතාවකි. මෙහි ඊනියා වැඩවසම් සමාජයක්‌ අභාවයට ගොස්‌ ධනපති සමාජයක උපතක්‌ නො දැක්‌වෙයි. වික්‍රමසිංහ මහතා බටහිර මාක්‌ස්‌වාදී අදහස්‌ කට ගාගෙන වැඩවසම් ක්‍රමය නැති කර ධනපති ක්‍රමය ඇති වන බව දැන සිටියත් ලංකාවේ වැඩවසම් ක්‍රමයක්‌ නැති විට ඒ අභාවයට යා නොහැකි බව නො දැන සිටි බව පැහැදිලි ය. කයිසාරුවත්තේ මුහන්දිරම් නම් මුදලාලි අභාවයට යන්නේ ධනපති ක්‍රමයේa සුළු මුදලාලි නැති වී ලොකු මුදලාලි ඇති වන ඊනියා ඒකාධිකාර ගොඩනැඟීමක්‌ නිසා නො ව කයිසාරුවත්තේට හා මාතර හාමිනේට වෙළෙම නුහුරු බැවිනි. ඔවුහු ගැමියන්ට අනුකම්පා කරති. ඔවුන් ගැමියන්ට ණයට දෙන්නේ ඒ ණය ආපසු නො ගෙවන බව දැන ගනිමිනි. මාර්ටින් වික්‍රමසිංහ මහතාට පැහැදිලිව ම වැඩවසම් ක්‍රමය ගිලා බැස යමින් ධනපති ක්‍රමය උපදින ගම්පෙරළියක්‌ තම පොතෙන් නිරූපණය කිරීමට අවශ්‍ය වූ බව පැහැදිලි ය. එහෙත් ගම්පෙරළිය පොතෙන් එවැන්නක්‌ නො සිදු වෙයි. එබැවින් වික්‍රමසිංහ මහතා අගයන බටහිර නවකතා අච්චුවට අනුව වුව ද ඒ අසාර්ථක කෘතියකි. එහෙත් ගම්පෙරළිය උසස්‌ ම සිංහල නවකතාව ලෙස පැසසුම් ලබයි. ඒ ඇසුරෙන් නිපදවන ලද චිත්‍රපටයට ද සම්මාන ලැබී ඇත. ඒ එසේ සිදු වූයේ කෙසේ ද යන්නට ද කෙටි පිළිතුරක්‌ දිය යුතු ය.

එයට ප්‍රධාන හේතු දෙකක්‌ වෙයි. එක්‌ හේතුවක්‌ වූයේ පේරාදෙනි විශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ගෙන් ගම්පෙරළියට ලැබුණු අනුග්‍රහය ය. සරච්චන්ද්‍ර මහතා මෙරටට කේම්බ්‍රිඡ් සාහිත්‍ය විචාරය හඳුන්වා දුන් පේරාදෙනි විශ්වවිද්‍යාලයෙහි ඉංගිරිසි මහාචාර්ය ලුඩොවයික්‌ මහතා අනුව ගොස්‌ බටහිර සාහිත්‍ය විචාරය සිංහල නවකතාවට යොදා ගත්තේ ය. ඒ මහතා පසුව ප්‍රචලිත වූ යථාර්ථවාදී සාහිත්‍ය විචාරය අනුගමනය නො කළත් ඊනියා තාත්විකවාදී සාහිත්‍ය විචාරයක්‌ අනුගමනය කෙළේ ය. අද්භූතවාදි සාහිත්‍යයක්‌ වෙනුවට විශ්වාස කළ හැකි තාත්විකවාදී සාහිත්‍යයක්‌ ඒ මහතා අගය කළේ ය. ඒ මහතාට ගම්පෙරළිය තාත්විකවාදී උසස්‌ කෘතියක්‌ විය.

සරච්චන්ද්‍ර මහතාට දේශපාලන බලයක්‌ විය. ඒ පාර්ලිමේන්තුවේ හෝ දේශපාලන පක්‍ෂයක තිබූ බලයක්‌ නො වේ. අද ඇතැමුන් ඊනියා සිවිල් බලය යනුවෙන් හඳුන්වන්නේ සමාජයේ ඒ ඒ ක්‍ෂෙත්‍රවල ඒ ඒ පුද්ගලයන් දරන දේශපාලන බලයයි. යම්කිසි ආකාරයක බලයක්‌ ක්‍රියා කරන ක්‍ෂෙත්‍රයක බලාධිපත්‍යය හේතු කොටගෙන දේශපාලන බලයක්‌ ඇති වෙයි. සාහිත්‍යයේ ද බල අරගලයක්‌ වෙයි. ඒ බල අරගලය තාවකාලිකව කෙළවර වන්නේ බලය වැඩි කිනම් කණ්‌ඩායමට ද යන්න මත ය. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා හා පියදාස සිරිසේන මහතා සිංහලෙන් කතා කීමේ කලාවේ මාර්ග දෙකක ගමන් කරමින් සිටිය හ. මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර ඊනියා යථාර්ථවාදී රීතිය අනුගමනය කළේ ය. (ඒ සාර්ථක වී ද නැත් ද යන්න වෙන ම ප්‍රශ්නයකි). සරච්චන්ද්‍ර මහතා වික්‍රමසිංහ මහතා අනුගමනය කිරීමට තැත් කළ රීතිය අගය කෙළේ ය.

සරච්චන්ද්‍ර මහතාට සාහිත්‍යයෙහි අවශ්‍ය දේශපාලන බලය ලැබුණේ ලංකා විශ්වවිද්‍යාලය ඔස්‌සේ ය. ඉංගිරිසීන් විසින් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය මෙරට ප්‍රචලිත කිරීම සඳහා පිහිටුවන ලද ලංකා විශ්වවිද්‍යාලයට ඒ ඉංගිරිසීන් නිසා ම ආධිපත්‍යයක්‌ ලැබී තිබුණේ ය. සරච්චන්ද්‍ර මහතාට පමණක්‌ නො ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට පටහැනි ව නො යන ඕනෑ ම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකුට මේ දේශපාලන බලය ලැබෙයි. විශේෂයෙන් ම ඔහු අතින් ජාතිකත්වයට පහරක්‌ එල්ල කෙරේ නම් ඔහුට තව තවත් බලය ආරෝපණය වෙයි. ජාතිකත්වය අගය කළ පියදාස සිරිසේන මහතා ගේ කතා විවේචනය කිරීමෙන් සරච්චන්ද්‍ර මහතාට ඒ අතිරේක බලය ද හිමි විය. සරච්චන්ද්‍ර මහතා සාමාන්‍ය පාසල් ගුරුවරයකු වී නම් ඒ මහතාට එතරම් දේශපාලන බලයක්‌ අත් නො වන බව පැහැදිලි ය.

අනෙක්‌ අතට ඒ මහතා විසින් බිහි කරන ලද ශිෂ්‍ය පරම්පරාවක්‌ විය. මේ ශිෂ්‍ය පරම්පරාව එක්‌කෝ පරිපාලනයෙහි ඉහළ තනතුරු දැරූ හ. නැත හොත් පාසල් ගුරුවරුන් ලෙස සේවය කළ හ. ඒ කුමක්‌ වුවත් ඔවුන්ට ද යම් බලයක්‌ හිමි විය. එකල උපාධිධාරියකු වීම නිසා මත් යම් දේශපාලන බලයක්‌ හිමි විය. විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පොත් නියම කළෝ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ය. මෙසේ නියම කෙරුණේ තමන්ට රුචි පොත් බව අමුතුවෙන් කිව යුතු නො වෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව විභාග දෙපාර්තමේන්තුව ඔස්‌සේ ද සරච්චන්ද්‍ර මහතා ගේ ගෝලයෝ තම ආධිපත්‍යය පැතිර වූ හ.

පේරාදෙනි සාහිත්‍යය යනු සරච්චන්ද්‍ර, අමරසේකර මහතුන් විසින් නිර්මාණය කෙරුණු සාහිත්‍යය නො වේ. අද බොහෝ දෙනා

වැරැදියට වටහා ගෙන සිටිය ද, පේරාදෙනිය සාහිත්‍යය යනු පේරාදෙනි ගුරුකුලය විසින් අගය කෙරුණු සාහිත්‍ය ය. පේරාදෙනි ගුරුකුලය යනු පේරාදෙනිය විශ්වවිද්‍යාලය විසින් ප්‍රචලිත කෙරුණු සාහිත්‍ය විචාරය පිළිගත් පිරිස ය. එහි වැඩි වශයෙන් වූයේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ඉගෙන ගත් සිසු සිසුවියන් ය. පේරාදෙනි ගුරුකුලය එසේ හඳුනා ගත් පසු පේරාදෙනි සාහිත්‍යය හඳුනා ගැනීම අපහසු නො වේ. පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහ මහතා ද ගුණදාස අමරසේකර මහතා ද ඒ සාහිත්‍යයට කුමක්‌ කීව ද කලෙක ඔවුන් ගේ නිර්මාණ ද අයත් වූයේ පේරාදෙනි සාහිත්‍යයට ය.

සරච්චන්ද්‍ර මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතා ඔසවා තැබී ය. සරච්චන්ද්‍ර මහතා ගේ සාහිත්‍ය විචාරයට වික්‍රමසිංහ මහතා ගේ කෘති ගැලපුණේ ය. ගම්පෙරළිය සරච්චන්ද්‍ර මහතාට තාත්වික නවකතාවක්‌ විය. කෙසේ වෙතත් ඒ දෙදෙනා ම අවසාන වශයෙන් කෙළේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට සේවය කිරීම ය. කෙතරම් සංස්‌කෘතිය ගැන කතා කළ ද ඔවුන් ගේ සාහිත්‍යය ජාතික සංස්‌කෘතියක්‌ මත පදනම් නො වී ය. මනමේ, සිංහබාහු නාට්‍ය දෙක පමණක්‌ පේරාදෙනි සාහිත්‍යයෙන් බිහි වූ ජාතික නාට්‍ය දෙකක්‌ වශයෙන් පවතියි. එයට හේතුව ඒ නාට්‍ය නිර්මාණයෙහි දී සරච්චන්ද්‍ර මහතාට සිංහල ගැමි නාටකය සොයා යැමට සිදු වීම ය.

පසුව සුචරිත ගම්ලත් මහතා විසින් සරච්චන්ද්‍ර මහතා අතික්‍රමණය කෙරිණි යෑයි කියනු ලැබේ. ගම්ලත් මහතා විසින් කරන ලද ඊනියා අතික්‍රමණයක්‌ හෝ සමතික්‍රමණයක්‌ හෝ නැත. ඒ මහතා කෙළේ ට්‍රොට්‌ස්‌කිවාදී සාහිත්‍ය විචාරය භාවිත කිරීම පමණ ය. සරච්චන්ද්‍ර සාහිත්‍ය විචාරය මෙන් ම එය ද තවත් හුදු අනුකරණයක්‌ පමණක්‌ විය. ගම්පෙරළිය ට්‍රොට්‌ස්‌කිවාදී සාහිත්‍ය විචාරයට මෙන් ම ස්‌ටැලින්වාදී සෝවියට්‌ සමාජ යථාර්ථවාදී සාහිත්‍ය විචාරයටත් ප්‍රිය මනාප කෘතියක්‌ වූයේ අර කොහේ වත් නැති වැඩවසම් ගමක්‌ මාක්‌ස්‌වාදී අච්චුවට අනුව වෙනස්‌ වීමක්‌ ඉන් නිරූපණය කිරීමට තැත් කර තිබූ නිසා ය. තාත්විකත්වය, යථාර්ථවාදය බැරි නම් යථය ගැන මොන කතා කීවත් මේ සෑම සාහිත්‍ය විචාරයකින් ම කෙරෙන්නේ තමන් සමාජය දකින ආකාරය කෘතියෙන් නිරූපණය වන්නේ දැයි විමසා බැලීම ය. එසේ නිරූපණය වන බවක්‌ පෙනී යන්නේ නම් ඒ කෘතිය සාර්ථක කෘතියක්‌ යෑයි කියනු ලැබෙයි. ඒ සෑම විචාරයක්‌ ම අවසානයේ දී ජාතිකත්වයේ හරහට සිටියි. ගම් පෙරළියෙන් වූ එක ම පෙරළිය ජාතිකත්වය පෙරළීම ය.