|
චින්තන වෙනසකින් තොරව කිසිදා සංවර්ධනය නො වන රට අධිරාජ්‍යවාදීන් ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව අපට චෝදනා කළ නොහැකි ය. ඕනෑ ම අධිරාජ්‍යවාදියකු රටක් යටත් කර ගන්නේ අත ලෙව කන්නට නො වෙයි. එහෙත් 1948 වසරේ දී බ්‍රිතාන්‍යයන් මෙරටින් ඉවතට යන විට ඉන් ඉදිරියට මෙරට ගෙන යාමට හැකි ශක්‌තිමත් සමාජ ආර්ථික පදනමක් නිර්මාණය කර තිබූ බව අප අමතක නො කළ යුතු ය. මහාමාර්ග, දුම්රිය සේවා, වරාය, ගුවන් සේවා, ආරම්භ කර තිබිණි. තේ, පොල්, රබර් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනයන්ට ද කදිම අත්වැලක් සපයා තිබිණි.. කෘෂිකර්මය, වාරිකර්මාන්තය බිඳ වැටීමක් තිබුණ ද, ඒවා යළි මුල් තත්ත්වයට පත් කර ගැනීමේ අපහසුතාවක් නො වීය. 1948 බලයට පත් වූ මෙරට පාලකයන්ට මේ අභියෝගය එල්ල විය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳුන් උර දුන්නේ මේ ජාතික වගකීමට ය. යළිත් වරක් කෙත් වතු ළා නිල්ලෙන් වැසී ගියේ ය. මෙරට කෘෂිකර්මය යළි පුනර්ජීවනය විය. අපට අප ගේ ආහාර වේල සඳහා අනුන් ගේ රටවලට අතපෑමට අවැසි නො වීය. කෘෂිකාර්මික ආර්ථිකයක් හරහා අපනයන බෝග වගාවන් ද දියුණු කර රට පෙරට ගෙන යැමට පාලකයින්ට අවශ්‍ය විය. ඒ සඳහා මෙරට ජනතාව ද සූදානම් විය. අනුන්ට අත නො පා ස්‌වාධීනව නැඟී සිටීමට ජනතාව සූදානම් වූ හ. එහෙත් මේ සියලූ ක්‍රියාවන් සමඟ පෙරට යාමට ජනතාව ගේ ආකල්පමය වෙනසක් සිදු නො වී ය. ගඟක් අසලට පැමිණ බිලී පිත්තක් රැගෙන මාළුවා ද අල්ලා දී එම මාළුවා ද කපා, උයා, බත් පිඟානට බෙදා දෙන තුරු මෙරට ජනතාව බලා සිටින යුගයක් දැන් උදා වී ඇත. නොමිලේ තුන් වේල ම ලබා දෙන්නේ නම් එම පාලකයන් බලයට ගෙන ඒමට ජනතාව සූදානම් ය. විදේශ රටවලින් ඩොලර් බිලියන ගණනින් ණය මුදල් ලබා ගන්නේ රටේ සංවර්ධනයට ම නො ව රටේ ජනතාවට ඇතැම් දේ නොමිලේ ලබා දීමට ද අවශ්‍ය නිසා ය. ජීවනෝපාය මාර්ග පෙන්වා දෙන පාලකයින්ට ජනතාව රුචි නැත. රැකියා මාර්ග විවර කර දෙන පාලකයින්ට ජනතාව කැමැති නැත. මසකට වරක් රුපියල් දෙ දහස් පන් සියයක් නොමිලේ ම නිවසට ගෙනැවිත් දෙන්නේ නම් ඔහු රජ කිරීමට ජනතාව සූදානම් ය. අපට විදේශාධාර ලබා දෙන, ණය මුදල් ලබා දෙන සමාජවාදී රටවල් තම රටේ ජනතාවට නොමිලේ කිසි ම පහසුකමක් ලබා නො දෙයි. මෙරට ඊනියා සමාජවාදී නායකයින් මේ තත්ත්වය නො දන්නේ දැයි විමසා බැලිය යුතු ය. පසුගිය හතළිහ පනහ දශකවල දී ජපානය, සිංගප්පූරුව යන දියුණු වෙමින් පවතින රටවල් තම ජනයාට දියුණු වීම සඳහා ආදර්ශයට ගන්නා ලෙස පැවසුවේ ශ්‍රී ලංකාව ය. තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන නො ව "රට" පෙරට ගෙන යාමේ සංකල්පය දේශප්‍රේමය පෙරටු කරගත් එරට ජනතාව නිවැරැදි නායකත්වය සමඟ වෙහෙස නො බලා කටයුතු කිරීම තුළින් ලොව සියලූ රාජ්‍යයන් පරදවන සංවර්ධිත සංකල්පවලට ළඟා වූ හ. එය හාස්‌කමක් නො වී ය. තමන් ලද විදේශාධාරවලින් උපරිම ඵලදායීතාව ලබා ගැනීම සඳහා අධ්‍යාපන අංශ, සරසවි, විද්‍යා තාක්‍ෂණ ආදී පර්යේෂණ දියුණු කිරීමට යෙදවිණි. දශක කිහිපයක් ලේ දහඩිය කඳුළු හෙළමින් රටේ දියුණුව වෙනුවෙන් දිවා රාත්‍රී නො බලා කටයුතු කළ එරට ජනතාව අද සංවර්ධනයේ ආශ්වාදය විඳිති. අපේ රටේ ජනතාව එක් නිවාඩු දිනයන් අහෝසි කළ හොත් වීදි බසිති. විදේශයන්ට ණය වී ලබා දෙන සහනාධාර කපා හැරිය හොත් ඊළඟ ජන්දයේ දී ගෙදර යාමට සිදු වෙයි. වරද ඇත්තේ කොතැන ද? රටක අමාත්‍යාංශ අතර ආරක්‍ෂක හා මුදල් අමාත්‍යාංශ හැරුණු විට ප්‍රමුඛතාව හිමි විය යුත්තේ අධ්‍යාපන හා විද්‍යා තාක්‍ෂණ අමාත්‍යංශවලට ය. මක් නිසාද යත් රටක සමස්‌ත සංවර්ධන ක්‍රියාවලීන් පාලනය විය යුත්තේ මෙම අමාත්‍යංශ හරහා වීම නිසා ය. එහෙත් රටේ අවාසනාවකට අපේ රටේ මෙම අමාත්‍යංශ ද්විත්වයට එතරම් වැදගත් ස්‌ථානයක් හිමි ව නැත. ශ්‍රී ලංකාව තුළ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් නො ව නිදහස් චින්තනයට, විද්‍යාත්මක සංකල්පවලට අවකාශ සලසන අධ්‍යාපන රටාවක් නිර්මාණය කළ යුතු ය. බොහෝ විට විද්‍යාත්මක සංකල්පය ගැන සිතමින් පර්යේෂණ, නිරීක්‍ෂණ හා නිගමනයන්ට පැමිණෙන සිසු දරුවෝ විභාගවලින් අසමත් වෙති. වසර දහ තුනකට ආසන්න කාලයක් අධ්‍යාපන තරගයේ යෙදී සිටින දරුවන් ගෙන් සරසවි වරම් ලබන්නේ ඉතා අතළොස්‌සකි. එම සරසවි උපාධිධාරීන් ගෙන් අවසානයේ රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ලබන්නේ තවත් අතළොස්‌සකි. මේ නිසා දහ තුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනයට හිර කර තැබීමෙන් වන ආයෝජනයක් නොමැත. ජපානය, සිංගප්පූරුව, චීනය හෝ ඕනෑ ම යුරෝපා රටක විද්‍යාඥයින් පැරැදවිය හැකි බුද්ධි මහිමයක් ඇති තරුණ තරුණියෝ රැසක් අපේ රටේ සිටිති. ඔවුහු කැළෑ මල් ලෙස වනයේ පිපී වනයේ ම පර වී යති. ලොව මෙතෙක් නිෂ්පාදනය නො කළ අන්දමේ නිර්මාණ ඉදිරිපත් කළ තරුණ තරුණියන් රැසක් ම නව නිර්මාණ තරගවල දී හඳුනා ගැනීමට ලැබෙයි. ඔවුන් ගේ දක්‍ෂතාවලට සහතික පතකින් ඔබ්බට ගිය කිසිවක් හිමි නො වේ. අපේ රටට අගයක් නො වූ ඇතැම් තරුණ නිර්මාණකරුවන් ජපානය, චීනය, සිංගප්පූරුව වැනි රටවලට රැගෙන යන ලදි. දැන් එම රටවල් අපේ තරුණයන් ගේ මොළවලින් තම සංවර්ධනයට උපරිම දායකත්වයක් ලබා ගනියි. අපේ රටේ තරුණයකු ගුවන් යානයක්, දුම්රියක්, විශේෂ ගිනි අවියක්, විශේෂ මෝටර් රථයක්, වෙඩි නො වදින ඇඳුමක් නිර්මාණය කළ හොත් සිදු වන්නේ සිපිරි ගෙයක ලැගීමට ය. එම නිර්මාණකරුවන් ගේ සැබෑ දක්‍ෂතාවන්ට අත දීමක් සිදු නො වෙයි. මේ නිසා ම අප දේශපාලකයින් ගේ රැවටිලි බස්‌වලින් මිදී, යථාර්ථය අවබෝධය කරගත යුතු කාලය පැමිණ ඇත. ඉන්දියාව වැනි රටවල සාක්‌ෂරතාව, සෞඛ්‍ය පහසුකම් අපට වඩා බොහෝ පහළ වුව ද දැන් ඉන්දියාව හඳට යාමට ද සූදානම් ය. ස්‌වදේශිකත්වයට මුල්තැන දීම, විද්‍යාව හා තාක්‍ෂණයට දොරටු විවර කර දීම මෙයට හේතුවයි. අපේ රටට වඩා දිළිඳු ජනතාවක් සිටින ඒක පුද්ගල ආදායම අඩු ඉන්දියාව නිවැරැදි චින්තනයකින් ඉදිරියට පැමිණ තිබේ. දිළින්දන් දුක් විඳින බව පවසමින් එහි විද්‍යාඥයින් අත් බැඳගෙන නිහඬ ව සිටින්නේ නැත. රට වෙනුවෙන් තම යුතුකම ඉටු කිරීමට ඔවුහු කැප වෙති. අපේ රටේ බොහෝ විද්‍යාඥයින් ගේ වැදගත් ම කාර්යය තරු පහේ හෝටලවල දී දේශන පැවැත්වීම යි. නැත්නම් ලාභ තනතුරු පසුපස ගමන් කිරීම ය. මෙය වෙනස් කිරීමට කාලය පැමිණ ඇත. කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව |
||||
|
||||