logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගම් පෙරළියක්‌ නො වූ ගම්පෙරළිය

මහාචාර්ය නලින් ද සිල්වා

ගම්පෙරළියෙන් අවුරුදු හැටකටත් වැඩි කාලයකින් පසුවත් ඒ ඉක්‌මවා යන සිංහල නවකතාවක්‌ බිහි නො වී යෑයි ඇතැම්හු පවසති. මේ කියමන සත්‍යයක්‌ ද නැත් ද යන්න මට කිව නොහැක්‌කේ මා ඉන්පසු නිකුත් වූ සිංහල නවකතා බොහොමයක්‌ කියවා නොමැති බැවිනි. ඒ කෙසේ වුවත් ගම්පෙරළිය උසස්‌ නවකතාවක්‌ නො ව බටහිර සමාජ පෙරළි ප්‍රවාදවලට අනුව ලියෑවුණු කල්පිතයක්‌ බව සඳහන් කළ යුතු ය. මෙයින් අදහස්‌ කරන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බලපෑම හමුවේ ලංකාවේ ගම් වෙනස්‌ නො වූ බව නො වේ. එහෙත් නිදහස්‌ අධ්‍යාපනය ඔස්‌සේ උසස්‌පෙළ (සරසවි පිවිසුම්) අධ්‍යාපනය ගමට යන තෙක්‌ ම සිංහල ගම් වෙනස්‌ වූවා නම් ඒ මඳ වශයෙනි.

අනෙක්‌ අතට ගම වෙනස්‌ වීම ඉතා සුළුවෙන් සිදු විණි ද ගමේ පරිපාලන රටාව බිරිතානීන් විසින් වෙනස්‌ කෙරී තිබිණි. සාමාන්‍ය මිනිසුන් අතර සම්බන්ධකම් එතරම් වෙනස්‌ නො වුණ ද, ගමේ සාමූහිකත්වය එලෙස ම තිබුණ ද, අත්කම් ක්‍රමයෙහි වෙනසක්‌ නො වුණ ද, මුහන්දිරම්ලා, විදානෙලා, ඔපිසරලා ආදී වශයෙන් ප්‍රභූ පිරිසක්‌ ඇති කිරීමට විසිවැනි සියවසේ දෙවැනි කාර්තුව වන විට බිරිතානීන් සමත් වී තිබිණි. ගම්පෙරළියේ නිරූපණය වන්නේ මොවුන් ගේ ජීවිතය හා සාමාන්‍ය ජනයා ගේ ජීවිතය යෑයි මාර්ටින් වික්‍රමසිංහ මහතා සිතූ සිද්ධි මාලාවකි.

මුහන්දිරම්ලා, විදානෙලා, ඔපිසරලා (මේ සියල්ලෝ ම බිරිතානීන් විසින් පත් කරන ලද පහළ මට්‌ටමේ නිලධාරීහු වූ හ.) සිංහල සමාජයෙහි තිබූ තනතුරුලාභීහු නො වූ හ. රාජකාරි ක්‍රමය කෝල්බෲක්‌ කැමරන් යෝජනාවලියෙන් (ඒ ප්‍රතිසංස්‌කරණ නො ව බිරිතානි සමාජ ක්‍රමය අප මත බලෙන් පැටවීමට යොදා ගත් සිංහල විරෝධී යෝජනාවලියක්‌ විය.) අහෝසි කර තිබිණි. රාජකාරි ක්‍රමයේ රාජපුරුෂයන්, නිලමෙලා, අදිකාරම්ලා ආදීන් වෙනුවට බිරිතානීන් විසින් ලේකම්වරුන්, දිසාපතිවරුන්, උප දිසාපතිවරුන්, ආදායම් පාලක නිලධාරීන් ආදීන් පත් කර තිබිණි. මුහන්දිරම්ලා ආදීහු මේ ධුරාවලියෙහි පහළ මට්‌ටමේ අය වූ හ. මේ අය සිංහල සමාජ ක්‍රමයෙන් මුළුමනින් ම කැඩී නො ගිය නමුදු ඔවුන් ගේ පුත්තු නගරයේ පාසල්වල අධ්‍යාපනය ලැබූ හ. වික්‍රමසිංහ මහතා ද එලෙස අධ්‍යාපනය ලැබූවෙක්‌ විය. ගම්පෙරළියෙහි තිස්‌ස ද එවැන්නෙකි.

මේ පහළ නිලධාරීහු ගම්වල ප්‍රභූවරු වූ හ. ඔවුන් ගේ දරුවන් සාමාන්‍ය මිනිසුන් ගේ දරුවන් සමඟ සෙල්ලම් කරන්නට ඇත. එහෙත් අවාහ විවාහ කර නො ගත් හ. දරුවෝ සාර්ථක අධ්‍යාපනයක්‌ ලැබී නම් මුල දී ම කොළඹ පාසලක ශිෂ්‍යත්වයක්‌ හිමි කරගත් හ. එසේ නැත්නම් පසුව 1921 දී ඇති කරන ලද විශ්වවිද්‍යාල ආයතනයටත්, 1942 දී ඇති කරන ලද ලංකා විශ්වවිද්‍යාලයටත් ඇතුළු වී තවදුරටත් බටහිර අධ්‍යාපනය ලැබූ හ. ඔවුන් ගෙන් සමහරෙක්‌ ඉහත සඳහන් ධුරාවලියෙහි ඉහළ තනතුරුවලට පැන ගත් හ. ගම්පෙරළියට පසුබිම් වන කාල පරිච්ඡෙදයෙහි විශ්වවිද්‍යාල ආයතනය තිබිණි යෑයි සිතිය හැකි ය.

ගම්වල එකල සිටියේ සාමාන්‍ය මිනිසුන් හා මේ පහළ නිලධාරීන් පමණක්‌ නො වේ. සිංහල ගුරුවරුන් හා භික්‍ෂූන් වහන්සේ ද එකලත් ගම්වල දැක ගත හැකි විය. සිංහල ගුරුවරු ද සිංහලෙන් බිරිතානි අධ්‍යාපනයෙහි ප්‍රාථමික හා පශ්චාත් ප්‍රාථමික කොටස්‌ ගමට ගෙන යැමට යොදා ගනු ලැබූ හ. උදාහරණයක්‌ ලෙස ගත හොත් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ඉතා ප්‍රාථමික කොටසක්‌ වන සෞඛ්‍යය (ස්‌වස්‌ථතාව) යන විෂය යටතේ ගමට ගෙන යැමට බිරිතානීහු සිංහල ගුරුවරුන් යොදා ගත් හ. එමගින් දේශීය වෙදකම අවිද්‍යාත්මක කිරීමේ පළමු පියවර ගැනිණි.

එහෙත් සිංහල මාධ්‍යයෙන් දෙනු ලැබූ අධ්‍යාපනයෙන් බිරිතානීන් බලාපොරොත්තු වූ තරමට ම බිරිතානි අධ්‍යාපනය ගමට නො ගියේ ය. එයට ප්‍රධාන හේතුවක්‌ වූයේ බිරිතානි අධ්‍යාපනයේ හරය සිසුන්ට ලැබෙන්නේ සරසවි පිවිසුම් පෙළෙහි (අද නම් උසස්‌ පෙළෙහි) දී වීම ය. සරසවි පිවිසුම් පෙළෙහි හා සරසවිවල අධ්‍යාපනය ඉංගිරිසි මාධ්‍යයෙන් කෙරෙන තෙක්‌ හා සරසවි පිවිසුම් පෙළ පංති සහිත පාසල් නගරවලට සීමා වන තෙක්‌ ගම්වල වෙනස්‌ වීම (ගම් පෙරළිය) ඉතා සුළුවෙන් සිදු විය. ගම්වල බිරිතානි අධ්‍යාපනය ජ්‍යෙෂ්ඨ පංතියෙන් (සාමාන්‍ය පෙළෙන්) අවසන් විය. අධ්‍යාපනය ඔස්‌සේ ගම වෙනස්‌ කිරීමට බිරිතානීන්ට නොහැකි වූ එක්‌ හේතුවක්‌ වූයේ එය ය.

එහි දී තවත් හේතුවක්‌ බලපෑවේ ය. අනාදිමත් කාලයක සිට සිංහලයා ගේ (සිංහල බෞද්ධයා ගේ) ගුරුවරුන් වූයේ භික්‍ෂුන්වහන්සේ ය. භික්‍ෂුන්වහන්සේ ගේ අධ්‍යාපනය දහ නව වැනි සියවසේ තුන් වැනි කාර්තුවෙන් පසුව ප්‍රබල පිරිවෙන් දෙකක්‌ බවට පත් වූ විෙද්‍යාදය හා විද්‍යාලංකාර පිරිවෙන් මුල් කරගෙන කෙරිණි. එහි දැනුම නිර්මාණයක්‌ නො වුණ ද පස්‌වැනි සියවසේ සිට මෙරට පැවැති සිංහල බෞද්ධ අධ්‍යාපනය හා දැනුම දැඩිව ආරක්‍ෂා කිරීමක්‌ ඉන් සිදු විය. පිරිවෙන් පද්ධතියක්‌ ලංකාව පුරා ඇති විණි. එහි ප්‍රතිඵලය වූයේ බිරිතානි අධ්‍යාපනයෙන් දූෂිත නො වූ පිරිසක්‌ ලංකාව පුරා ගුරුවරුන් සේ කටයුතු කිරීම ය.

ඒ සමඟ ම සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට කියවීමට තරම් පොත් පැරැන්නන් විසින් ලියෑවී තිබුණි. ඉංගිරිසියෙන් තිබූ පොත් පරිවර්තනය කර ඉගැන්වීමේ අවශ්‍යතාවක්‌ නො වී ය. කෝaට්‌ටේ යුගයේ ලියෑවුණු සංදේශ කාව්‍ය මෙන් ම පොළොන්නරු, දඹදෙණි යුගවල ලියූ පොතපත ද සිසුන්ට කියවීමට හැකි විය. මේ පොත් සිංහල මාධ්‍යයෙන් ගමේ පාසල්වල ඉගෙන ගත් සිසුන් ගේ පෙළ පොත් විය. මේ පොත් ඔස්‌සේ හා භික්‍ෂුන්වහන්සේ ගේ බලපෑම ඔස්‌සේ අධ්‍යාපනය දීම හේතුවෙන් ද බිරිතානීන්ට තම සිතැඟි පරිදි අධ්‍යාපනය ඔස්‌සේ ගම වෙනස්‌ කිරීමට නොහැකි විය.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ ගම්පෙරළියෙහි මේ එකක්‌ වත් සඳහන් නො වෙයි. ඊනියා උසස්‌ අධ්‍යාපනය හා පසුව ජනමාධ්‍ය (වික්‍රමසිංහ මහතාට ඒ ජනමාධ්‍ය අත්දැකීම් මුළුමනින් ම ලබා ගැනීමට නොහැකි විය. ගම්පෙරළිය ලියූ කාලයේ ද ගුවන්විදුලිය ගමේ ව්‍යාප්ත වී නො තිබිණි. පුවත්පතට ද තිබුණේ සීමිත සංසරණයකිs. සිංහල පුවත්පත් කියවූවන් ගෙන් ඉතා විශාල පිරිසක්‌ වූයේ භික්‍ෂූන්වහන්සේ, සිංහල ගුරුවරුන් හා සිංහල වෙද මහතුන් බැවින් ඒ පුවත්පත් ඔස්‌සේ ඒ පිරිස්‌වලට අවශ්‍ය දැනුම ලබා දීමට ද සිදු විණි.) ගමට යන තෙක්‌ ගම ඉතා සෙමින් වෙනස්‌ විය. ගම් කඩිනමින් වෙනස්‌ වීමට පටන් ගත්තේ උසස්‌ පෙළ අධ්‍යාපනය හා ජනමාධ්‍ය ගමට යැමෙන් පසුව මිස ඉන් පෙර නො වේ.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ ගම්පෙරළිය හිතළුවකට වැඩි දෙයක්‌ නො වේ. ගම්පෙරළියෙහි භික්‍ෂූන්වහන්සේ දැක ගන්නට නැත. සිංහල ගුරුවරු, වෙද මහත්වරු නැත. ගම වෙනස්‌ වී නම් එතරම් පෙරළියක්‌ ගමේ සිදු වී නම් එහි දී භික්‍ෂුන්වහන්සේ ගේ භූමිකාව කුමක්‌ දැයි කිව යුතු ව තිබිණි. එහෙත් ගම්පෙරළියෙන් නිරූපණය වන ගමේ පන්සලක්‌ තිබිණි ද යන්න වත් නො කියෑවෙයි. පරගොඩ මල් පූජාවකට යන තරුණ තරුණියන් ගේ විනෝද ගමනකට (එය වන්දනා ගමනක්‌ වී නම් ඒ මහලූ උපාසකම්මලාට පමණක්‌ විය.) පමණක්‌ ගමේ ආගමික කටයුතු සීමා වීම අහම්බයකින් සිදු විණි යෑයි සිතිය හැකි නො වේ. වික්‍රමසිංහ මහතා ගේ අනෙක්‌ කෘතිවල ද භික්‍ෂුන්වහන්සේ හා පන්සල පෙනෙන්නට ඇත්නම් ඒ එතරම් යහපත් අයුරකින් නො වේ. ගුණදාස අමරසේකර මහතා ද තම කෘතිවල, ගමනක මුල කෘතියෙහි වුව ද, පන්සල හා භික්‍ෂුන්වහන්සේ ගැන එතරම් සඳහනක්‌ නො කරයි. ඔහුට වුව ද ගුරුවරුන් හා වෙද මහත්වරුන් චරිත වන්නේ තම මවුපියන් සම්බන්ධයෙන් ය. පනස්‌ හයේ පෙරළියට මුල් වූ භික්‍ෂූන්වහන්සේ කිහිප දෙනකු ගැන කියවුණ ද පන්සල හා ගම අතර සම්බන්ධය ඒ මහතා අතින් ද නිරූපණය නො වෙයි. මෙරට ඉහළ පෙළේ සංස්‌කෘතික ලේඛකයන් දෙදෙනකු ලෙස විමල් දිසානායක මහතා ගේ සම්භාවනාවට පාත්‍ර වන වික්‍රමසිංහ හා අමරසේකර මහතුන් අතින් එසේ සිදු වන්නේ අප නො දන්නා සංස්‌කෘතියක්‌ හා ජාතික චින්තනයක්‌ ඔවුන් දන්නා බැවින් ද?

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ ගම්පෙරළියෙහි ගුරුවරයෙක්‌ සිටියි. ඒ නන්දාට ඉංගිරිසි ඉගැන්වූ පියල් ය. එහෙත් ඔහු පාසලක ඉගැන්වූ ගුරුවරයකු නො ව එකල, එනම් නන්දාට ඉංගිරිසි ඉගැන්වූ කාලයෙහි, කොළඹ හෝටලයකට ආහාර සැපයූQ කොන්ත්‍රාත්කාර වෙළෙන්දෙක්‌ විය. ඔහුට නන්දාට ඉංගිරිසි ඉගැන්වීමට අවස්‌ථාව ලැබුණේ කෙසේ ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් පියල් අමාරුවෙන් ඉංගිරිසි ඉගෙනගෙන ඇති බව පැහැදිලි ය. තම මව පොල් ලෙලි තලමින් ඉපැයූ මුදලින් පියල් කෙසේ ඉංගිරිසි ඉගෙන ගත්තේ ද යන්න පැහැදිලි නැතත් ඔහු ඉංගිරිසි ඔස්‌සේ කොන්ත්‍රාත්කම ද නන්දා ද ලබා ගැනීමට සමත් විය.

ගම්පෙරළියෙහි සඳහන් වන්නේ බිරිතානීන් විසින් ගම්වල ඇති කරන ලද පහළ නිලධාරියකු සුළු වෙළෙන්දකු වශයෙන් ද කටයුතු කිරීමෙන් පසුව තම පවුලත් සමඟ ආර්ථික වශයෙන් ප්‍රපාතයට යැම ය. ඒ අතර පොල් ලෙලි තලන ගැහැනියක ගේ පුතකු වුව ද කෙසේ හෝ ඉංගිරිසි ඉගෙන ගත් පියල් කොළඹ ගොස්‌ කොන්ත්‍රාත්කරුවකු ලෙස බටහිර ආර්ථිකය ඔස්‌සේ ඊනියා දියුණු තත්ත්වයකට පත් වීම ය. කයිසාරුවත්තේ මුහන්දිරම් ගේ පුතා වූ තිස්‌ස ගාල්ලේ ද ඉංගිරිසි අධ්‍යාපනයක්‌ ලබා පසුව පියා ගේ අගහිඟකම් හේතුවෙන් අධ්‍යාපනය දිගට ම කරගෙන යැමට අසමත් ව පසුව කොළඹ පැමිණ බිරිතානි ආර්ථිකයෙහි ම සුළු රැකියාවක්‌ කරන්නකු බවට පත් වෙයි.

ගම්පෙරළියෙන් පසුව වික්‍රමසිංහ මහතා යුගාන්තය නම් තවත් මනඃකල්පිත කතාවක්‌ ද පසුව ගම්පෙරළිය හා යුගාන්තය ඈඳීමෙන් කලියුගය නම් නවකතාව ද නිර්මාණය කෙළේa ය. තිස්‌ස මේ කතා තුනෙහි ම ජීවත් වෙයි. කයිසාරුවත්තේ මුහන්දිරම්ලා, මාතර හාමිනේලා, පියල්ලා, නන්දලා, තිස්‌සලා, ඇලන්ලා, නාලිකාලා, සවිමන් කබලානලා, චමරීලා, මාලින්ලා, දොස්‌තර අරවින්ද විහාරහේනලා, දිනෙත්ති රතුසේනලා ඔස්‌සේ අපි ගම්පෙරළියකින් පටන් ගෙන යුගාන්තය දකින්නෙමු ද? නැත හොත් බටහිර විච්චූරන ප්‍රවාදවලට සරිලන සේ මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල සමාජය කපා කොටා නිර්මාණය කළ මනඃකල්පිතයක්‌ දකින්නෙමු ද?

මාර්ටින් වික්‍රමසිංහ මහතා මාක්‌ස්‌වාදය ගැන දැන සිටිය ද මාක්‌ස්‌වාදය අවබෝධ කරගෙන සිටි බවට සාක්‍ෂි නැත. ඔහු මාක්‌ස්‌වාදය හා සමාජවාදය ගැන තැනින් තැන ලියා ඇති දෙයින් පැහැදිලි වන්නේ ඔහුට මාක්‌ස්‌වාදය ගැන අවබෝධයක්‌ නො තිබූ බව ය. මාක්‌ස්‌වාදය ගැන දැන සිටීම යන්නෙන් මාක්‌ස්‌වාදය ගැන අවබෝධයක්‌ තිබුණු බවක්‌ නො කියෑවෙයි. ගුණදාස අමරසේකර මහතාට ද ඒ කරුණු එසේ ම වලංගු වෙයි. හතළිහේ දශකයේ නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු සුළුවෙන් හා හැත්තෑවේ දශකයෙන් පසුව ඉක්‌මනින් වෙනස්‌ වූ ගම් මෙරට ඇත. ඒ අතර කොළඹ ද වෙනස්‌ වී ඇත. එහෙත් තවමත් යුගාන්තයක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. කයිසාරුවත්තේ මුහන්දිරම් වෙනුවට ඔහු ගේ බෑණා වූ පියල් ද, පියල් වෙනුවට ඔහු ගේ බෑණා වූ සවිමන් කබලාන ද පසුව රඟපෑ නමුත් කබලාන ගේ බෑණා දොස්‌තර කෙනකුට පමණක්‌ සීමා වී නිෂ්පාදනයක්‌ නැතිව දැනුම් විකුණන්නකු බවට පත් විය. ඒ අතර මාලින්ට කළ හැකි සමාජ විප්ලවයක්‌ ද නැති විය. ඔහු ගේ ව්‍යායාමෙහි අවසානය කෙසේ වත් යුගාන්තයක්‌ නො වි ය.